ආණ්ඩුවේ නිහැඬියාව නිසා මර්දනයට එරෙහි ගුරු වර්ජනය දිගටම

0
67

නීති විරෝධි ලෙස රඳවා සිටින ගුරු සමිති නායකයන් ඇතුළු පිරිස නිදහස් කිරීමට බලකරමින් ආරම්භ  කළ

 වෘත්තිය ක්‍රියාමාර්ගයට ආණ්ඩුව කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බැවින්, වර්ජනය අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවට ගුරු විදුහල්පති වෘත්තිය සමිති නායකයෝ ආණ්ඩුවට අනතුරු අඟවා තිබේ.   ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ජුලි 13  අගහරුවාදා ගුරු, විදුහල්පති වෘත්තිය සමිති පෙන්වා දී ඇත්තේ, ඊයේ දින සිට දීප ව්‍යාප්තව ආරම්භ කළ මාර්ගගත ඉගැන්වීම් වලින් ඉවත් වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය නැවත දැනුම් දෙනතුරු අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවයි.  

අනීතිකව රඳවා සිටින ගුරු සංගම් නායක ජෝසප් ස්ටාලින් ඇතුළු පිරිස නිදහස් කිරීම, අධ්‍යාපන  ගැටළු සහ ගුරු – විදුහල්පති වැටුප් විෂමතාවය නොවිසදීමට එරෙහිව හඩ නගන ගුරු විදුහල්පති වෘත්තිය සමිති නායකයන් මර්දනයට විරෝධය පෑම සහ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සම්මත කරමින් නිදහස් අධ්‍යාපන අයිතිය කප්පාදු කිරීමට එරෙහිව එම වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබුනි.  

56745

  යල්වෙල පඤඤාසේකර හිමි, එස්.ප්‍රියන්ත ප්‍රනාන්දු, මහින්ද ජයසිංහ, මොහාන් පරාක්‍රම වීරසිංහ සහ  අමිල සඳරුවන්  යන වෘත්තිය සමිති නායකයන්ගේ අතිසනින් යුතුව නිකුත් කර තිබෙන මාධ්‍ය නිවේදනය මගින් වැඩි දුරටත් අවධාරණය කර ඇත්තේ  ජෝසප් ස්ටාලින් ඇතුළු පිරිස තවමත් අනීතිකව රදවාගෙන සිටින බවයි.  

ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය, ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමය, ඒකාබද්ධ ගුරු සේවා සංගමය, විදුහල්පති සේවා සංගමය, ස්වාධීන අධ්‍යාපන සේවක සංගමය, ලංකා ප්‍රගති ගුරු සංගමය, ස්වාධීන ලංකා ගුරු සංගමය, කතෝලික ගුරු සංගමය, පුහුණු විද්‍යාපීඨ හා උපාධිධාරී ගුරු සංවිධානය, ලංකා ගෘහ විද්‍යා හා කෘෂි විද්‍යා ඩිප්ලෝමා සංගමය හා ශ්‍රී ලංකා ඉස්ලාම් ගුරු සංගමය ඒකාබද්ධව මෙම නිවේදනය නිකුත් කර තිබේ.   අධ්‍යාපනය හමුදාකරණය සහ පුද්ගලීකරණයට එරෙහිව විරෝධතා පැවැත්වූ ජ්‍යෙෂ්ඨ වෘත්තීය සමිති නායක ජෝසප් ස්ටාලින්  ඇතුළු  පිරිසට අධිකරණය විසින් ඇප ලබා දී තිබියදීත් පොලිසිය ඔවුන් බලහත්කාරයෙන් රැගෙන ගොස් නිරෝධායනය සදහා බව පවසමින් මුලතිව් ගුවන් හමුදා කඳවුරක රඳවා සිටී.  

67567

    කඳවුර තුල හිඳිමින්ම මාධ්‍ය හමුවක් පවත්වමින් ජුලි 12 සදුදා ගුරු සංගම් නායකයා ප්‍රකාශ කර තිබුනේ හමුදා කඳවුරක් තුළ බලහත්කාරයෙන් රඳවා තබා ගැනීම ජීවිත ආරක්ෂාවට බරපතල තර්ජනයක් බවයි.   රටේ හමුදා පරිපාලනය බලවත් වෙමින් සිදුකරනු ලබන මානව හිමිකම් උල්ලංඝන උත්සන්න වී පවත්නා අනතුරුදායක තත්වයෙන් ශ්‍රී ලංකාව ගලවා ගැනීම සඳහා මැදිහත් වන ලෙස මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් වරියගෙන්  ලංකා ගුරු සංගමය මේ වන විටත් ලිඛිතවම ඉල්ලා තිබේ.
theleader.lk