“ආමේනියානු ජන මර්දනය ‘ජනසංහාරයක්’ ” – පාප්වහන්සේ ගේ ප්‍රකාශයෙන් තුර්කිය කෝප වෙයි .

0
51
Armeniyaදේව දයාවේ මංගල්‍ය දිනයේ සුදොතුම් ප්‍රැන්සිස් පාප්වහන්සේ කල ප්‍රකාශයකින් කෝප වූ තුර්කිය සිය වතිකාන තානාපතිවරයා ආපසු කැඳවා තිබේ.

ඔටෝමාන් අධිරාජ්‍යයේ තුර්කි පාලකයන් විසින් 1915 දී ආමේනියාන ජාතිකයන් අතිවිශාල සංඛ්‍යාවක්  ඝාතනය කිරීම “ජනසංහාරයක් ” බව ඉරිදා දිව්‍ය පුජාව ආරම්භයේ පාප්වහන්සේ ප්‍රකාශ කළහ.

“ඉකුත් සියවස තුළ අපගේ මානව පවුල අති දැවැන්ත සහ අනපේක්ෂිත ඛේදාන්ත තුනකට මුහුණ දුන්නේය. ඒ අතරින් 20 වැනි සියවසේ ප්‍රථම ජනසංහාරය ලෙස පුළුල් වශයෙන් සැලකෙන්නේ ඔබේ ජනතාවට, එනම් ආමේනියානු ජනතාවට එරෙහිව එල්ල වූ ප්‍රහාරයයි” යැයි දේව දයාවේ ඉරිදා දීව්‍ය පුජාවට හවුල් වූ ආමේනියානු සභාවේ රදගුරු හිමිවරුන්, පුජාප්‍රසාදිවරුන් සහ ගිහි වන්දනාකරුවන් අමතමින් පාප්වහන්සේ කියා සිටියහ.

පාප්වහන්සේ මෙම පුජාව පැවැත්වුයේ මෙම සිද්ධියට සියවසක් පීරීම  නිමිත්තෙන් ආමේනියාන කිතුවන්ගේ ප්‍රාණපරිත්‍යාගය සැමරීම සඳහාය. අප්‍රේල් 24 දිනය මෙම සිද්ධිය ආරම්භ වූ දිනය ලෙස ගණන් ගැනේ.
ප්‍රැන්සිස් පාප්වහන්සේගේ  ගේ මෙම ප්‍රකාශයෙන් තුර්කිය කෝපයට පත්ව තිබේ. ඊට වහාම ප්‍රතිචාර දැක්වූ තුර්කි රජය වතිකානයේ සිටි සිය තානාපතිවරයා ඉරිදාම සිය රටට කැඳෙව්වේය.

1915 දී ඔටෝමාන් හමුදා විසින් ආමේනියාන කිතුනුවන් පහළොස් ලක්ෂයක් පමණ ඝාතනය කරන ලද බව ආමේනියාව මෙන්ම ඉතිහාසඥයෝ ද පවසති. එහෙත් තුර්කිය ඊට ප්‍රතිවිරුද්ධ මතයක් ප්‍රකාශ කරයි. ඔවුන් පවසන්නේ පළමුවන ලෝක යුද්ධය ආරම්භ වීමට තුඩු දුන් සිවිල් යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස මෙම මරණ සිදුවූ බවයි.

ප්‍රැන්සිස් පාප්වහන්සේ ඉරිදා ප්‍රකාශ කල මෙම ස්ථාවරය කතෝලික සභාවේ නව ස්ථාවරයක් නොවේ. ආමේනියාන ජන ඝාතනය ජන සංහාරයක් බව  ශු. දෙවැනි ජුවාම් පාවුළු පාප් වහන්සේ සහ ආර්මෙනියාන සභාවේ නායක දෙවැනි කරෙකින් ශ්‍රේෂ්ඨ පේත්‍රියාක් තුමන් අතර 2001 දී අත්සන් තැබුණු ප්‍රකාශනයේ  සඳහන් වේ.

ආමේනියාන සභාවේ ප්‍රධාන ශ්‍රේෂ්ඨ පේත්‍රියාක් තුමන් ද හවුල් වූ මෙම දිව්‍ය පුජාවෙදී  සුපුරුදු ලතින් භාෂාවට අමතරව ආමේනියාන බසින්ද ගායනා කෙරින. ආමේනියාන වැඳුම් පිළිවෙත් හා පුජා ඇඳුම් ද එක්ව  ව තිබු මෙම අවස්ථාව  දැකුම්කලු එකක් විය.

www.vathikanasulaga.com