ඕනෑම අරගයකින් පසුව පරාජිත පිලේ අර්බූද, මත ගැටුම්, වාද විවාද ඇතිවීම ස්වාභාවිකය. නමුත් එක්සත් ජාතික පෙරමුණ ජනාධිපති සටනින් පරාජය වූ පසු එහි ප්‍රධානම කොටස්කරු වූ එක්සත් ජාතික පක්ෂයේ ඇතිවී තිබෙන්නා වූ ගැටුම එවැන්නක් නොවන බව පෙනෙන්නට තිබේ. එය පසුගිය කාලය පුරා පක්ෂයේ නායකත්වය පිළිබඳව අළු යට තිබූ ගිනි පුපුරු පරාජයේ සුළඟින් නැවත මතුපිටට පැමිනීමකි. එමනිසා “එක්ව ඉදිරියට” යන තේමා පාඨය එජාප ජනාධිපතිවරණ වේදිකාවේ මුඛ්‍ය තේමා පාඨය ලෙස ගෙන තිබුනේ ජයග්‍රහණය ලැබුනානම් කුමන නායකයා සමග එක්ව ඉදිරියට යන්නටදැයි දැන් ප්රශ්නයක්ව ඇත. නමුත් දිනුම පැරදුම කුමක් වුවද එක්සත් ජාතික පක්ෂය සමඟ “එක්ව ඉදිරියට යන මඟ සැදුනා” යි යන බලාපොරොත්තුව ජාතිවාදී, ආගම්වාදී නොවන ප්රජාතන්ත්රවාදය අගයන කඳවුරේ බලාපොරොත්තුව වූ බව පෙනෙන්නට තිබේ. මන්ද සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී රාජ්‍යයක් පිහිටුවා ගැනීමට ජාතිවාදීන් ගෙනගිය අත් නොහල සටනේදී එය පරාජය කිරීමට ප්රජාතන්ත්රවාදීන් කඳවුරු බැන්දේ එජාපය සමගය. එහෙත් අගමැති රනිල් ප්රමුඛ යහපාලන ආණ්ඩුවට එම කඳවුරේ බලාපොරොත්තු ඉටුකර දීමට නොහැකිවිය.
රනිල්ට වඩා රාජපක්ෂලාට හදවතින් රහසේ ආදරය කරන යූඇන්පී කාරයෝ..
——————————–
2001 වසරේ රනිල් අගමැති පදවියට පත්ව ජාතික ප්‍රශ්නයට විසඳුමක් පතා දෙමළ විමුක්ති කොටි සංවිධානය සමඟ සාම ගිවිසුමකට අත්සන් තැබුවේය. ඒ වන විට එල්ටීටීඊය ත්‍රස්තවාදී සංවිධාන ලැයිස්තුවට ඇතුලත් කොට ලංකාව තුළ තහනම් සංවිධානයක් වූ හෙයින් අවශ්‍යනම් චන්ද්‍රිකා ජනාධිපතිනියට අගමැති රනිල් අත්අඩංගුවට ගැනීමට නීතිමය ප්‍රතිපාදන තිබුනද ඇය එසේ කළේ නැත. එසේ වුවද අගමැති රනිල් එකී සාම ගිවිසුම ක්‍රියාත්මක කළේ බලය බෙදා හරිමින් ජාතික ප්‍රශ්නයට විසඳුමක් ගෙනෙන දිශාවකට නොව එල්ටීටීඊය කඩාබිඳ දමා දියකර හැරීමටත්, පුද්ගලීකරණය වෙනුවෙන් ගෝලීය බලවතුන් සමඟ විවිධ ආර්ථික හා දේශපාලන ගිවිසුම් ගසා ගැනීමටත් ය.
අගමැති රනිල්ගේ බලය බෙදා හැරීමේ කතා ව්‍යාජයක් බව ඔහු විසින්ම නැවත පෙන්නුම් කළේ චන්ද්‍රිකා ජනාධිපතිනිය විසින් සිය පාලනය අවසාන කාලයේදී ගෙනා නව ව්‍යවස්ථාවට විරුද්ධවීම තුළය. අගමැති රනිල් එයට හේතු ලෙස දැක්වුවේ බලය බෙදීමේ ව්‍යවස්ථාවේ චන්ද්‍රිකා ජනාධිපතිනිය සිය ධූරකාලය හයමසකින් දීර්ඝ කරගැනීමට ඇතුලත් කර තිබූ වගන්තියයි. 2015 ජයග්රහණයෙන් පසුවද බලය බෙදීමේ නව ව්‍යවස්ථාව යනු අගමැති රනිල්ට බලය ලබාගැනීම සඳහාත්, ආණ්ඩු බලය අනතුරේ වැටෙද්දී දෙමළාගේ සහය ලබා ගැනීමට මැජික් පෙට්ටියෙන් එලියට ගන්නා තවත් එක් මෙවලමක් පමණක් බව සක්සුදක් සේ පෙනෙන්නට තිබුණි. මන්ද මෙවරද අගමැති රනිල් බලය බෙදීමේ නව ව්‍යවස්ථා කෙටුම්පත එලියට ගත්තේ සිරිසේන ජනාධිපතිවරයා සහ ආණ්ඩුවේ විරසකය හොඳින් ලියලා ඉස්මත්තට පැමිණි පසු සහ මහජනයා අතර ආණ්ඩු විරෝධය උත්සන්න වූ පසුවය.
කරුණු එසේ වුවද ටයිකෝට්කාරයා, අධිරාජ්යගැතියා යන විරෝධය අගමැති රනිල්ගේ දේශපාලන ජිවිතයට එතරම් බලපෑමක් නොකළද එල්ටීටීඊය සමඟ සාම ගිවිසුමකට අත්සන් තැබීමෙන් පසු ජාතිවාදී සිංහල බෞද්ධ සමාජයේ බරපතල වෛරයට පාත්‍ර වුනි. ජවිපෙ, හෙළ උරුමය විසින් කොටියා, බෙදුම්වාදියා, රටකඩන (ඔහු එසේ නොවුනත්) දේශද්‍රෝහියා යනුවෙන් ජාතිවාදී සිංහල බෞද්ධ සමාජය තුළ පැලපදියම් කළ වෛරයෙන් අදටත් ඔහුට ගැලවීමක් නොමැති බව මෙවර මැතිවරණයෙන්ද සනාථ වී තිබේ. එපමණක් නොව එජාප මැති ඇමතින් ගේ සිට පහළ බොහෝ සාමාජිකයා දක්වා රනිල්ට වඩා රාජපක්ෂලාට ගෞරව කරති. හදවතින් රහසේ ආදරය කරති. ඒ අන් කිසිවක් නිසා නොව ඔවුන්ද ජාතිකවාදීන් වන බැවිනි. පාඨලී චම්පික මන්ත්‍රීවරයා අද ආමන්ත්‍රණය කරන්නේ එජාපයේ මේ බලවේගයටය. බලය බෙදා හැරීමේ නව ව්‍යවස්ථාව වෙනුවෙන් පළමුව තම පක්ෂය එකඟ කරවා ගැනීමට රනිල් කිසිදු උත්සාහයක් ගෙන නොතිබීම ඔහුගේ චපල බව ඔප්පු කරන තවත් සාධකයකි.
ලිං කටෙන් ගොඩ ඒම..
——————————–
නමුත් ළිඳට වැටුණු එකා ළිං කටෙන්ම ගොඩ එන්න ඕනෑ යැයි ජනවහරේ තිබෙන්නාක් මෙන් රනිල් වික්රමසිංහටද, රාජපක්ෂලාට විකල්ප දේශපාලන ජයග්‍රහණයක් ලැබිය හැකිවන්නේ බලය බෙදීමේ නව ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමට අවංකව ඉදිරිපත්වීමෙනි. ඒ සඳහා ලක්ෂ පනහකට අධික ජනබලයක් 1994 සිට වරින් වර රට තුළ ප්‍රදර්ශනය වී තිබේ. නමුත් රනිල් කිසිදා ඔවුන්ට යුක්තිය ඉටු කළේ නැත. සිව් වරක් මෙරට අගමැති පදවිය හොබවා නියමිත ධූර කාලයට පෙර පදවිය අහිමි වුවත් කිසිදා ඉතිහාසයෙන් පාඩම් ඉගෙන නොගන්නා, සුළු ජාතිකයන් හා ප්රජාතන්ත්රවාදීන් රැවටූ රනිල් වික්‍රමසිංහ හෙට දවසේ හෝ සුපුරුදු චර්යාවන් අත්හරිනු ඇතැයි සිතන්නට හෝ නොහැක. එසේනම් රාජපක්ෂලාට විකල්පය ලෙස එජාපය ගොඩනැගිය හැක්කේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසටද ?
එජාප නියෝජ්‍ය නායක ධූරයෙන් දැනට ඉල්ලා අස්වී සිටින සජිත් ප්‍රේමදාස විසිහයක් ගතවන සිය දේශපාලන ජිවිතයේ කිසිවිටෙක නව ව්‍යවස්ථාවක් හෝ ජාතික ප්රශ්නය අරබයා හෝ එකදු ප්‍රකාශයක් සිදුකර නොමැති අතර එසේ ප්‍රකාශයක් හෝ කළේ නම් එය මෙවර පැවැති ජනාධිපතිවරනයේදී පමණි. ඒ වගේම සජිත් ප්‍රේමදාස සිය පියාමෙන් සමාජයේ අව වරප්රසාදිත ජනයාගේ වීරයා බවට පත්වුවත් ඔහු කිසි විටෙක එය රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකයා සමඟ හෝ පක්ෂය සමඟ මුහු නොකිරීමට වග බලා ගත්තේය. ඒ වෙනුවට ඔහු කළේ කිලී මහාරාජා සහ රනිල් විරෝධීන් සමඟ රංචු ගැසෙමින් පක්ෂයට අභියෝග කරමින් නායකත්වයට පොර බැදීමය. පක්ෂය මෙහෙයවන්නේ ටයිකෝට් කාරයන්, සීතල කාමරවල ජිවත්වන දුප්පතාගේ දහදිය සුවඳ නොදන්නා වුන් යයි වහසි බස් කීමය. ප්‍රථම වරට පක්ෂ නායකත්වය විවේචනය කිරීමට එජාප පාක්ෂිකයාට හුරු කෙළේ සජිත්ය. මෙය එජාපය පරිහානියට ගමන් කළ ප්‍රධානම සාධකයකි. මෙවර ජනාධිපතිවරණ වේදිකාවේද සජිත් ප්‍රේමදාස සිය පියා ගේ හා තමන්ගේ හැකියාව පිලිබඳ, අවසානයේ පියාගේ ජින්තු ගැන පවා වගාඩාම්බර දෙසුවා හැර 2015 න් පසු ජනතාව දිනාගත් ප්රජාතන්ත්රවාදී ජයග්‍රහණ හෝ එක්සත් ජාතික පෙරමුණේ ශක්තිය පිලිබඳ කතා කළේ නැත. නමුත් ආර්.ප්‍රේමදාස ඔහු උපයාගත් සමාජ බලය ජේ.ආර්. සමඟ මුහු කරමින් 1978 දී එජාපයට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්කර දීමට පෙරමුණ ගත්තේය.
සිරිසේනගේ ගුලි ගිලීම..
——————————–
ව්‍යවස්ථා විරෝධී ලෙස තම රජය පෙරලා දැමුව සිරිසේන ජනාධිපතිවරයාට එරෙහිව අමාත්‍ය සජිත් ප්‍රේමදාස කිසිවක් නොකීවේ ඔහු රනිල් විරෝධියකු නිසා විය යුතුය. ජනාධිපතිවරයා ව්‍යවස්ථා විරෝධී බව අධිකරණය තීන්දු කිරීමෙන් පසුවද සජිත් ප්‍රේමදාස “අපේ ජනාධිපති උතුමානන්” යනුවෙන් ඔහුව ඇමතූ අතර “අපේ ජනාධිපතිතුමාට දෝෂාභියෝගයක් ගෙනෙන්න අපි ඉඩ දෙන්නේ නෑ ” යි මාධ්‍ය ඉදිරියේ සහතික කළේ හර්ෂ ද සිල්වා ඇමතිවරයා ප්රමුඛ අද සජිත් ප්‍රේමදාස වටා සිටින මන්ත්‍රීවරුය. මේ මන්ත්‍රීවරු එදා අගමැති රනිල් නොමැති ආණ්ඩුවක ඇමතිකම් ලබා ගැනීමට සිරිසේන ජනාධිපතිවරයා සමඟ රහසේ සාකච්ඡා පැවත්වූවන් බවද බොහෝ දෙනා දනිති.
ව්‍යවස්ථා වීරෝධී කුමන්ත්රණයෙන් පසුව නීතිය හා සාමය අමාත්‍යංශය සිරිසේන ජනාධිපතිවරයා විසින් බලෙන්ම ලබා ගන්නා ලදී. නමුත් වඳ පෙති, වඳ බ්‍රෙසියර්, වඳ පෑන්ටි, වඳ කොත්තු, පැලෝපීය නාලය මිරිකීම, වැනි සිංහලයා වඳ කරන්නා වූ කතා පතුරුවා හරිමින් ජාතීන් අතර ගැටුම් ඇතිකිරීමට සැලසුම් කළවුන් කිසිවකු සිරිසේන ජනාධිපතිවරයා අත්අඩංගුවට ගත්තේ නැත. අස්ගිරි මහනායකලා, ඩෑන් ප්‍රියසාද්ලා, මධුමාධවලා, රාවණා බලය, මහසෝන් බලකා ජාතින් අතර, ආගම් අතර ගැටුම් නිර්මාණය කරද්දී ක්‍රියාත්මක නොවුන ICCPR පණත ලේඛක ශක්තික සත්කුමාරට සහ කලාකරු මාලක දේවප්‍රියට එරෙහිව ක්‍රියාත්මක විය.
සිරිසේන ජනාධිපතිවරයා ගේ නියෝග මත අපරාධ මර්දන ඒකකයේ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා අත්අඩංගුවට ගත්තේ ගෝඨාභය රාජපක්ෂ සහ ජනාධිපතිවරයා ඝාතනයට මාකඳුරේ මධුෂ් නැමැත්තා සමඟ කුමන්ත්‍රණය කළ බවට නාමල් කුමාර නමැත්තෙකුගේ සාක්ෂි පදනම් කරගෙනය. මධුෂ් ඩුබායිහිදී අත්ඩංගුවට ගෙන මෙරටට ගෙනැවිත් වසරකට ආසන්න කාලයක් ගතවුවත් ගෝඨාභය රාජපක්ෂ සහ ජනාධිපතිවරයා ඝාතනයට සම්බන්ධ කිසිදු ප්‍රකාශයක් ඔහු සිදුකර නොමැත. නමුත් පාස්කු ප්‍රහාරය පිලිබඳ විමර්ශනය කළ පාර්ලිමේන්තු කාරක සභාවේදී නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා පැවසුවේ සහරාන් අත්අඩංගුවට ගැනීමට සුදානම් වෙද්දී තමන් අත්අඩංගුවට පත් වූ බැවින් සහරාන්ලාට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දියත් කිරීමට බාධාවක් නොවූ බවයි. සියල්ල මෙසේ සිදුවුවත් රනිල්ගේ ආණ්ඩුව බකංනිලා සිටියා මිස සිරිසේන ජනාධිපතිවරයාගේ කුමන්ත්රණවලට එරෙහිව කිසිවක් කළේ නැත. ඒ මන්දැයි ඔවුන් පැහැදිලි කළ යුතුය.
රාජපක්ෂලාට නැවත බලය හිමිකර දී ඔහු පැජට් පාරට ගියේය..
——————————–
මේ අතර සිරිසේන ජනාධිපතිවරයාගේ කුස්සි කැබිනට්ටුවේ සාකච්ඡා කරමින් විමල්, ගම්මන්පිල, ඩලස් හා බැසිල්ලා අවසානයේ සහරාන්ගේ පාස්කු බෝම්බ ප්‍රහාරය දක්වා තෙමසක් තිස්සේ ආගම්වාදී, ජාතිවාදී මෙහෙයුම සාර්ථකව දියත් කළෝය. එයට සමගාමීව “දෙරණ ” “හිරු” “මව්බිම ” “දිවයින” නමැති ජඩමාධ්‍යද, ගණින්නාන්සේලාද, මැල්කම් රන්ජිත් ඇතුළු ඇතැම් කතෝලික නායකයන්ද සිංහල බෞද්ධ සමාජය විනාශ කිරීමට එන මුසල්මානු යක්ෂයා පිලිබඳ භීතිය සිංහල බෞද්ධ හදවත් තුළට කිඳා බැස්සුවෝය. ඉන්පසු රාජපක්ෂලාගේ වේදිකාවේ ප්රමුඛ සටන් පාඨය වුවේ ජාතික ආරක්ෂාවයි. මරාගෙන මැරෙන සහරාන්ලාගෙන්ද රට, ජාතිය, ආගම බේරා ගැනීම සඳහා බියට පත් සිංහල බෞද්ධ ජනතාව පෝලිමේ ගොස් සිය ආරක්ෂකයා වන උතුරේ දෙමළු මරා සිංහල බෞද්ධ රාජ්‍ය එක්සේසත් කළ ගෝඨාභය ජයග්‍රහණය කළෝය.
ඉන් ඉක්බිති 2015 දී රාජපක්ෂලා සමග වූ නෝක්කාඩුවෙන් ප්රජාතන්ත්රවාදීන් සමග එක්ව රටේ ජනාධිපති වූ මෛත්‍රීපාල සිරිසේන පස් වසරක ඇවෑමෙන් ඒ නොහොඳ නෝක්කාඩු සමනය වී නැවතත් වරිග සභාවට එක්විය. අපේ ආණ්ඩුව කඩා එජාපය මේ රටේ රජ කෙරෙව්වා යන චෝදනාවෙන් පමණක් හෘද සාක්ෂිය නිදොස් කර ශ්‍රීලනිප ය සහ එජාපය අර්බුදයට යවා රාජපක්ෂලාට නැවත බලය හිමිකර දී ඔහු පැජට් පාරට ගියේය. දෙසතියෙන් ජනතාවට බාර දෙන බව කී පාස්කු බෝම්බය ගැන පත්කළ ජනාධිපති කොමිසම් වාර්තාව රජ මැදුරේද, පැජට් පාරේද කියා දන්නේ ඔහුම පමණි.
අනාගත් නායකයෝ හා අනාගත නායකයා..
——————————–
එහෙත් රාජපක්ෂලාගේ වේදිකාවේ ජාතික ආරක්ෂාවටත්, සහරාන් භීතිකාවටත් පිළිතුරු ලෙස සිරිසේන ජනාධිපතිවරයාගේ කුමන්ත්‍රණය හෙළිදරව් කරමින් එයට බැට දීමක් සජිත්ගේ වේදිකාවෙන් සිදු නොවුනේ කාගේ වුවමනාවටදැයි සොයා බැලිය යුතුය. ජනාධිපති සිරිසේන සජිත්ට සහය දෙනවා යන මිත්‍යා ප්‍රබන්ධය සමාජගත කළෝ කවුරුන්ද? මන්ද වොක්ෂෝල් වීදියේ පවත්වාගෙන ගිය සජිත්ගේ ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ ප්‍රධානීන් වූවේ ජනාධිපති සිරිසේනගේ මාධ්‍ය අංශය වූ කිලී මහා රාජාගේ මාධ්‍ය නඩයත්, උපදේශක ශිරාල් ලක්තිලක, තිස්ස අත්තනායක ඇතුළු රනිල් විරෝධීන්ය. මැතිවරණ සමයේ ජනාධිපතිවරයෙක් රටේ සිටියදැයි නොදන්නා තරම්ය.
අමාත්‍ය සජිත් ප්‍රේමදාසට ජනාධිපතිවරණ නාම යෝජනා ලැබුණු පසු අගමැති රනිල්ගේ ඉල්ලීම මත කැඳවූ විශේෂ කැබිනට්ටුවට විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමේ යෝජනාව ගෙනෙන ලදී. එය පරාජය කරමින් මහා ගාලගෝට්ටියක් නැටුවේද අද සජිත් ප්‍රේමදාස වටා රොක්වී සිටින මේ මැති ඇමතිවරුමය. එදින පෙරවරුවේ විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමේ යෝජනාව අරලිය ගහමැදුරේදී සාකච්ඡා කළ බවත් ඊට විරෝධය පලකරමින් හරින් ප්‍රනාන්දු ඇමතිවරයා පුටුවක් උස්සා රනිල්ට පහර දීමට සැරසුණු බවත් “බලු වැඩ කරන්න එපා” යි කියමින් මංගල සමරවීර අමාත්‍යවරයා බැන වැදුනු බවත් මාධ්‍යවල පලවී තිබුනි. සජිත් ප්‍රේමදාස ජයග්‍රහණ උන්මාදයේ සිටි මේ කණ්ඩායමේ විකාර නිසා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේද සහයෝගයෙන් එදා විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමට නොහැකිවීමේ ආනිසංස කාට කාටත් ඉදිරියේදී භුක්ති විදින්නට හැකිය. මේ ජයග්‍රහණ උන්මාදය කෙතරම්දයත් මෙවර මැතිවරණයේදී චන්දය ඉල්ලා අපේ ගමට එක යූඇන්පී කාරයෙක් ආවේද නැත. තවත් බොහෝ ප්‍රදේශද ඔවුන් අත්හැර දමා තිබුණි.
මේ සියලු කරුණු කාරණා සජිත් ප්‍රේමදාස ගේ පරාජයේ පසුබිම වුවත් පරාජයෙන් පසු අන්ධයා අලියා විග්රහ කළාක් මෙන් එජාප යේ මැති ඇමැතින් මාධ්‍ය සන්දර්ශන පවත්වා එකි නෙකාට බෝලය පාස් කරමින් සිටිති. පරිණත දේශපාලන පක්ෂයක් ලෙස එකට එක්වී සාකච්ඡා කොට ලක්ෂ පනස් පහක ජනතාවට එක මතයක් ලබා දීමට මේ නායකයෝ අපොහොසත්ව ඇත. ඒ වෙනුවට පක්ෂ නායකයා කවුරුන්ද යන්න ප්‍රමුඛස්ථානයට පැමිණ ඇත. එකී තීන්දුවද සිරිකොතේ සාකච්ඡා කළ වුවත් මහපාරේ දී විසඳා ගැනීමට යාමෙන් විද්‍යමාන වන්නේ රනිල් – සජිත් සුසංයෝගයෙන් එජාපයට තව දුරටත් ගමනක් නොමැති බව නොවේද?.
එජාපය අනාගත් නායකයා හෝ අනාගත නායකයා තෝරා ගැනීම හෝ නැතිවූ සිංහල බෞද්ධ පදනම ගොඩනගා ගැනීමට රාජපක්ෂලාට වඩා දකුණට යන්නේද ? වමට යන්නේද? යි තින්දු කිරීම එම පක්ෂය සතු අයිතියකි. එතෙක් බලා නොසිට ප්රජාතන්ත්රවාදීන් සිය ඉදිරි ගමන සැලසුම් කළ යුතුය.
-ටෙරල් දුනුසිංහ(ලංකා ඊ නිව්ස් -2019.නොවැ.23, ප.ව.7.25)