එදා මෙදා තුර ලෝකයේ වැඩියෙන්ම අලෙවි වූ ජංගම දුරකථන

0
125

අද අපි හැමකෙනෙක් ලඟම ජංගම දුරකථන තියනවා. එහෙම නැති කෙනෙක් හොයාගන්න බැරි තරම්. සමහර ළඟ දුරකථන කිහිපයක් දැක ගන්න පුළුවන්. කොහොමහරි අද තත්වය මෙහෙම වුණාට දශකයකට දෙකකට කලින් මේ තත්වය මිට වඩා ගොඩක් වෙනස්. ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල් මහතා විසින් හඳුන්වා දුන් දුරකථනය රැහැන් සහිත එකක් වුණත් තාක්ෂණයේ දියුණුවත් සමඟ රැහැන් රහිත උපාංගයක් දක්වා දියුණු කිරීමට සමත්වුණා. කොහොමහරි දුරකථන නිෂ්පාදනයේ එවකට ඉදිරියෙන්ම හිටපු සමාගමක් ලෙස Nokia සමාගම හඳුන්වන්න පුළුවන්. අපි දැන් බලන්න යන්නේ මේ සමාගම විසින් නිර්මාණය කරපු උණු කැවුම් වගේ අලෙවි වුනු දුරකථන ගැන.

Nokia 3310

පෙනුමෙන් දැන් තියන දුරකථන වගේ නොවුනත් ඒ කාලේ හැටියට හොඳම දුරකතනයක්. කැල්කියුලේටරයක්, විරාම ඝටිකාවක්, වගේම තවත් පහසුකම් වලින් මේ දුරකථනය සමන්විත වුනා. Bantumi, Pairs II සහ Space impact වගේ ගේම් මේ දුරකතනයේ තිබුනා. නමුත් මේ හැම එකටම වඩා ගොඩක් දෙනෙක් අතර ජනප්‍රිය වුනේ Snake II ගේම් එක. මේක ක්‍රීඩා කරලා තියන අයට මේ ගේම් එක මතක ඇති. මේකට කොච්චර ඇබ්බැහි වෙලා හිටියද කියලා. මේ දුරකථන මිලියන 136ක් අලෙවි වෙලා තියනවා.

Nokia 5230

Nokia 5230 කියන්නේ Symbian (සිම්බියන්) පාලන පද්ධතිය සහිත දුරකතනයක්. මේක ස්මාර්ට් ෆෝන් එකක්. අඟල් 3.2ක තිරයක් සහිත මේ දුරකථනයේ MicroSD කාඩ් ස්ලොට් එකක්, FM රේඩියෝ, Bluetooth සහ GPS පහසුකම් වලින් යුක්තයි. ඒවගේම මේක 3G දුරකතනයක්. මිලත් සාපේක්ෂව අඩු වූ නිසා ලොවපුරා බොහෝ දෙනෙක් මේ දුරකථනය භාවිතා කරන්න යොමු වුනා. මේ දුරකථන මිලියන 150ක් අලෙවි වුණා.

Nokia 1200

එතරම් දැකුම්කළු දුරකතනයක් නොවුණට dual-band GSM පහසුකම සහ දුහුවිල්ලට ඔරොත්තු දෙන යතුරු පුවරුවක් සහිත නිසා ගොඩක් දෙනෙක් ගේ අවධානය මේ දුරකතනයට යොමුවුනා. ඒවගේම මිලත් ඉතාම සාධාරණ වූ නිසා මේ වර්ගයේ දුරකථන මිලියන 150ක් අලෙවි වෙලා තියනවා.

Nokia 3210

ටිකක් විතර මහත දුරකතනයක්. බරින් ග්‍රෑම් 153ක් පමණ වුනා. අභ්‍යන්තර ඇන්ටනාවක් සහිත ප්‍රථම දුරකථනය ලෙස සැලකෙනවා. Snake, Memory සහ Rotation කියන ගේම් තුන මෙහි ඇතුලත් වූ නිසා බොහෝ තරුණයන් මේ දුරකතනයට ඇලුම් කළා. මේ දුරකථන මාදිලියෙන් ඒකක මිලියන 160ක් පමණ අලෙවි වුනා.

Nokia 1110

Nokia 1110 කියන්නේ ඉතාම සරල දුරකතනයක්. ආන්ධුනිකයන්ට නිර්මාණය කල දුරකතනයක් ලෙස හැඳින්වීම වඩා නිවැරදියි. ඒවගේම ඉතාමත් අඩු මුදලකට මෙය මිලදී ගැනීමට හැකි වුනා. මෙහි භාවිතා කිරීමේ පහසුව සහ මනා නිමාව නිසා බොහෝ දෙනෙක් මේ දුරකතනයට ඇලුම් කළා. මේ දුරකථනය කෙතරම් දෙනෙකුගේ සිත දිනාගත්ත ද කියනවා නම් මේ දුරකතන මිලියන 250ක් අලෙවි වෙලා තියනවා !

උපුටාගැනීම -www.sira.lk