ඔක්සිජන්, සෙල්ලම් පිට්ටනිය හා කඩොල් මීගමුවේ පරිසර අර්බුදය හා ක්‍රිස්තියානිය !

0
714
mangrovesbbb

මීගමුවේ මුන්නක්කරයේ කඩොලාන දූපතක්, ක්‍රීඩා පිට්ටනියක් බවට පත් කරන්නට කළ ඉල්ලීමක් පිළිබඳ මුන්නකරයේ ජනතාවගෙන් පිරිසක්, අඩවි වන නිලධාරිනිය හා ධීවර කටයුතු රාජ්‍ය ඇමති අතර සිදු වූ කතාබහ සමාජය තුල විශාල ආන්දෝලනයක් ඇති කර තිබේ.

මේ ටිකක් දීර්ඝ ලිපිය ප්‍රශ්නයේ අතීතය වර්ථමානය හා අනාගතය ගැනයි. මෙය එක්තරා විදිහක මෙනෙහි කිරිමක්.

පමාවේ පාපය.

2014 දී මේ ලියුම්කරු “මීගමු පරිසර සටන – 3 පවා වීම පාපයකි” යි ලිපියක් ලියමින් පහත කරුණු ඉදිරිපත් කරන ලදී.

අද 2014 වන විට මීගමු කළපුව ආශ්‍රීත පරිසර පද්ධතිය දැවැන්ත විනාශයකට ගොදුරු කරමින් පවතින අතර එයට එරෙහිව සංවිධානාත්මක අරගලයක් දියත් නොවීම මෙතෙක් කළ සියලු ජයග්‍රහණ ආපස්සට ඇද දමන පාපයක් බවට පත්වෙමින් තිබේ. මීගමු කළපු පරිසර පද්ධතිය වටා ඇවිද යන ඇසි ඇති කවරෙකු වූවද මේ විනාශය මොනවට පෙනී යයි.

කඩොල් බිම් ගොඩකිරිම මේ විනාශයේ ප්‍රධාන ස්වරූපයයි.
1992 දී හෙක්ටයාර 4300 ක් වූ කළපු භූමි ප්‍රදේශය අද වන විට හෙක්ටයාර 1136 කින් අඩු වී ඇත. එය භූමියෙන් 25% කටත් වඩා අහිමි වීමකි. මත්ස්‍ය වර්ග 130 ක් දැකිය හැකි වූ කලපුවෙන් මත්ස්‍ය වර්ග 22 ක්ම දැකිය නොහැකි තත්වයකි. එය 20% කට ආසන්න ප්‍රතිශතයකි.

මහා ආණ්ඩුවේද, පලාත් ආණ්ඩුවේද කිතුනුවන් යැයි කියන ඇමතිවරු සිටියදී මේ තත්ත්වය සිදුවීම මගින් පෙන්වන්නේ මේ විනාශය සඳහා දේශපාලන හස්තයේ රැකවරණය පවතින බවයි. කළපු කළමනාකරණ කමිුව, තොටුපල සංවිදාන ඇතුලු සංවිධාන ගණනාවක් තිබියදි රජය සම්මත කර ඇති පනත් වලට පිටුපා සිදුවන මේ දැවැන්ත විනාශය යනු සෘජු හා වක්‍ර ධීවරයින් 12000 ක් හා ඔවුන්ගේ පවුල් වල ආර්ථික ප්‍රශ්න පමණක් නොවේ.

මීගමුවේ අනන්‍යතාවය හා පැවැත්ම ඇත්තේ පුංචි රෝමය යැයි හඳුන්වන පල්ලිවල පමණක් නොවේ. ප්‍රධාන වශයෙන් කළපු පරිසර පද්ධතියේය.

එය විනාශ වීමට ඉඩ හැර දෙවියන්ට ඔප්පු කරන දිව්‍ය පූජාව සුව මෙහෙයන් සමිඳුන්ට ප්‍රසන්න නොවනු ඇත.

මීගමු පරිසර සටන – 3 ඇරඹීම දැනටමත් ප්‍රමාදය එහෙත් දැන්වත් ඇරඹිය යුතුය. එසේ නොවුන හොත් “අපේ දිනපතා භෝජනය අදඅ පට දේව” යන්න යදින විට එය අරුත් සුන් යැදුමක් බවට පත්වෙනු ඇත. සංචාරක ව්‍යාපාරය සංවර්ධනය විය යුත්තේ භූමි පුත්‍රයන් භූමියෙන් ඈත් කොට ඉබාගාතේ යන්නන් බවට පත් කරමින් නොවේ. පාරිසරික සංචාරක කර්මාන්තය (Eco Tourism) හෙවත් පරිසරය විනාශ නොකරන සංචාරක කර්මාන්තය මෙන්ම පරිසරය විනාශ නොකරන සංවර්ධනයක් ද මුළු ලොවට මෙන් මීගමුවටද අවැසිමය.

“කළපු දෙවියා” තුළින් දෙවියන් දකින විශ්වාසය මරා නොදැමිය යුතුය.
(උපුටා ගැන්ම අවසන්)

අද සිදු වී ඇත්තේ ඒ අපරාධයයි.

ප්‍රශ්නයක් නොවිසිදු විට එය අර්බුදයක් බවට පත් වේ. පාපයක් මහත්වූ අපරාධයක් බවට වර්ධනය වේ. අද මීගමුවේ පරිසරයට සිදු වී ඇත්තේ එයයි.

ඊට වගකිව යුත්තේ කව්ද ?

“සියල්ල භාණ්ඩ දේවල් ලෙස සලකන ප්‍රාග්ධන තර්කය හෙවත් ලාභය, ප්‍රයෝජන, වටිනාකම ගැන සිතිමේ චින්තනයට යටවූ,

1. දේශපාලකයින්
2. රාජ්‍ය නිලධාරින්
3. ආගමික නායකයින්
4. ධනවතුන්
5. ප්‍රජා සංවිධාන
6. ජනතාව ආදි සියල්ලෝ වගකිව යුතුය.

ක්‍රමයේ ප්‍රශ්නය

ප්‍රශ්නය සනත් නිශාන්ත හෝ ඔක්සිජන් මොකටදැයි අසන පුද්ගලයාගේ නොවේ. පළමුව ලාභය මුල්කරගත් ඊනියා සංවර්ධන ක්‍රියාදාමයයි. දෙවනුව එයට අවනත නොවි දේව මැවිල්ල ආරක්ෂා කිරිමට සටන් කිරිමේ ධර්මයේ ආලෝකය ජනතාවව අතරට ගෙන නොගිය පවතින ක්‍රමය තුළම ක්‍රියාත්මක වන ආගමිකභාවයේය.

විවිධ නම් වලින් එක් එක් ආන්ඩු නම් කරන සංවර්ධන ක්‍රියාවලිය තුළ මීගමුවට අදාල සැලසුමක් ඇත. එය ජාතික භෞතික සැලැස්මේ කොටසකි. සාමාන්‍යයෙන් ලංකාවේ බොහෝ ආගමික නායකයින්ට ඒ සැලැස්ම රාජපක්ෂවරු ක්‍රියාවට නංවන විට ගැටළුවක් නොවේ.

යහපාලන කාලය තුළ යම් පමණකට යටගිය ඒ සැලැස්ම දැන් මතුව ඇත. ඒ බව කියන්නේ වන නිධලාරිනියට සෘජුව ඉන්නට හයිය දුන්නේ අපේ ජනපති යැයි කියා එහි කීර්තියද තම ගිනුමට බැර කරගන්නා රාජපක්ෂ ආන්ඩුවේ ඒ ජනපතිම පත් කළ රාජ්‍ය ඇතිවරයාමය.

මීගමු නගරය හා ඒ ආශ්‍රිත ප්‍රදේශය සංවර්ධන කිරිමේ ව්‍යාපෘතියක් 2015 ට පෙර පැවැති රජය ක්‍රියාත්මක කළා. එය නැවත ආරම්භ කරලා තියෙනවා. ඒ ව්‍යාපෘතිය පසුගිය යහපාලන ආණ්ඩු නවතා තබා තිබුණා. මේ ව්‍යාපෘතිය මීට වසර 7 කට පෙර ආරම්භ කළේ ඊට රුපියල් මිලියන දස දහසක් වෙන් කර තිබුණා. නමුත් මිලියන තුන්දහක වැඩ කොටසක් පමණයි අවසන් කෙරු‍නේ. මේ රජය නැවත මේ ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙනවා.

(නියෝජ්‍ය ධීවර අමාත්‍ය සනත් නිශාන්ත -2020.02.16 ලංකා පුවත්පතේ ප්‍රකාශ කළ ප්‍රකාශයක්)

ඉතිං දැන් ඇත්ත කතාව පැහැදිලිය.

මීගමු සංවර්ධන සැලැස්මට පරිසරය අදාල නැත. එයට වෙන් වී ඇති මිලියන ගණනක මුදල “ජනතාව” යැයි නම් කරන තම පාක්ෂික හිතවතුන්ටත් ඔවුන් හිතන විදිහේ (දෙවියන් හිතන විදිහේ නොවේ) යහපතක් වන ආකාරයටත් දේශපාලකයින්ටත් කුට්ටියක් ලැබෙන ලෙසත් වැය කළ යුතුය.

කලපුව හෑරිම හා ගොඩකිරිම

දැනටමත් එහි එක් පියවරක් අරඹා ඇත. ඒ කලපුව හෑරිමයි. හාරා වැලි ටික විකිනීම හා ආන්ඩුවට හිතවත් අයට තෑගි ලෙස අනුග්‍රහ ලෙස දීමයි.

ධීවරය‍ෝ ඊට විරුද්ධය. ඒ මේ කලපුව හෑරිමේ කිසිදු විද්‍යාත්මකබවක් නැති නිසාය. මේ හෑරිම විසින් කලපු ධීවර කර්මාන්තයේ ඉතිරිව ඇති ටිකත් නැත්තටම නැති කරනු ඇත. මහා විශාල බෝට්ටු ට්‍රොලර් මීගමු කලපුවටම ගෙනවිත් සුළු පන්න කර්මාන්තය නැති කොට මහා පරිමාණ ධීවර වරායක තත්වයට මීගමුව පත් කිරීම මහා සැලැස්ම බව කියන්නට ලොකු දැනුමක් අවශ්‍යව නැත.

දැනටමත් මීගමුවේ කල්අඩිතෝට්ටම් වගුරු බිම නීති විරෝධි ආකාරයට පස් දමා ගොඩකර තිබේ. ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට පරිසර යුක්ති කේන්ද්‍රය සූදානම් වන බව අද පුවත්පත (2020,02,18) වාර්තා කර තිබුණි. කලපුව හෑරිම මගින් මෙන්ම මෝයකට අසලින් පස් ලබාගෙන මෙම භූමිය කොඩ කරමින් ඇත.

නිලධාරින්ගේ අවදිවීම.

මීගමු කලපු සටන පළමුව ඇවිල ගියේ කලපු කඩොල් දූපතක හෝටලයක් සෑදීමට ව්‍යාපාරිකයෙක් කටයුතු කිරිමක් සමඟය. කලපු දූපතට ඔප්පුවක් ඉදිරිපත් කරමින් ඔහු එය දැන් කරගෙන යයි.

අද සෘජුව කතා කරන නිලධාරිනිය වැනි අය එදා සිටියා නම් ඔප්පුවක් තිබුණාද පාරිසරික වැදගත්කම සලකා රජය මැදිහත් වී ව්‍යාපාරිකයාට වන්දි ගෙවා හෝ දූපත රැකිය හැකිව තිබුණි. දැන්වූවද එය කළ හැක. අධිවේගි මාර්ග සඳහා බිලියන ගණන් වන්දි ගෙවෙමින් ඉඩම් අත්පත් කර ගැනීම සිදුකරන ආකාරයට ය කළ හැකි බව ජනතාව දනී.

නිලධාරිනිය ගැන විවිධ සැක සාංකා මතු කළ ද මීට පෙර නිදා සිටියේදැයි ඇසුවද, ඇයගේ දැන් ඉදිරිපත් වීම වූවද අපි අගය කළ යුතුය.

නිලධාරිනියාගේ මැදිහතත්වීමේ කීර්තිය කිසිසේත් රජයට හිමිවිය යුතු නැත. මන්ද, රජය නියෝජනය කරන්නේ ඇමති මිස නිලධාරිනිය නොවේ.

ඔක්සිජන් එපා

“ඔක්සිජන් වැදගත් නෑ” කිවු පුද්ගලයා දඩු කදේ ගැසීම, ඔහුට ගර්හා කිරිමද අපි අනුමත නොකරමු. ඇමරිකාවේ ජනපති, චීනයේ ජනපති, ඉන්දියාවේ

අගමැති ආදින් මෙන්ම ලංකාවේ පාලකයෝද ඉන්නේ පරිසරයට වඩා සල්ලි වැදගත් වන ආකල්පයේය. රතු පස්වලදි වෙඩි තිබ්බේද, උමා ඔය විනාශකාරිව හැදුවේද, පෝට්සිටිය පරිසර තත්ව වාර්තාවලට පෙරම අනුමත කළේද මේ පාලකයෝය.

පරිසර දෙව් දහම කෝ ?

Fr.Jayantha

මුන්නක්කරේ ජනතාව කඩොල් එපා පිට්ටනිය ඕනැ යැයි කියන විට මීගමුවේ ක්‍රිස්තියානිය ගැන ද ප්‍රශ්නයක් මතු වේ. ඒ පුංචි රෝමය යැයි කියන මීගමුවේ බහුතර කිතුනු ජනතාවගේ හදවතට මනසට සොබාදහම පිළිබඳ දෙව් දහමේ අංශු මාත්‍රයක් ලඟා කර දීමට මීගමුවේ කිතුනු සභාවන්ට හැකි වී නැති බව ඉන් ගම්‍ය වේ. විශේෂයෙන් වත්මන් පාප් තුමන් වේ ප්‍රශංසා විශ්ව ලේඛනය මගින් පරිසරය පිළිබද ඉතා ප්‍රබල දැක්මක් හා ක්‍රියාත්මක වීමේ ප්‍රවේශයක් හදුන්වා දී ඇති කාලයක එය ලාංකේය කිතුනු ජනයා වෙත රැගෙන නොයෑමේ ආදීනව මෙයින් පෙනී යයි.

එසේ කීම ගැන නම් ලියුම්කරු සමඟ කිතුනුවන් උරන වීමටද පුළුවන. නමුත් අප පවසන්නේ පමා වී හෝ තිත්ත ඇත්ත අප පිළිගත යුතු බවයි.

මීගමුව කේන්ද්‍රකොට ගෙන ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන ස්වේච්ඡා සංවිධාන ආදියද පසුගිය වසර පන, හය තුල සිටියේ මේ පරිසර ප්‍රශ්නය ගැන සැබෑ මැදිහත්වීමකින් තොරවය.

පමා නැත.

දැනුදු වූව පමා නැත. අවංක ස්වයං විවේචනයක් සහිතව සැබෑ ලෙස මීගමු පරිසර ප්‍රශ්නයට මැදිහත්වීමට අවස්ථාව ඇත. එහිදි ධර්මයේ ආලෝකය තුළින් ජන හදවත් ආමන්ත්‍රණය කොට සටන පාවා නොදී ඉදිරියට ගෙනයා හැකි නම් තව වසර 10 යන ්විට හෝ කඩෝලාන සහිත මීගමු පරිසර ලකුණ රැකෙනු ඇත. ජන දිවියද රැකෙනු ඇත. ඒ සදහා බලමුලු ගැන්වෙන්නට කාලයයි මේ.
මහින්ද නාමල්