කරලත් බැරි, නොකරත් බැරි කසාද

0
118

ParkerSpen000006-R1-E031-600x799ඉරානයේ තරුණ පරපුර තුල විවාහය හා විවාහ ජීවිතය පිලිබද තිබූ අදහස් වෙනස් වෙමින් පවතින බව අපට දැනගන්නට ලැබුණා. ඒ කියන්නේ එරට තරුණ පරපුර විවාහය ප්‍රතික්ෂේප කරන්න පටන් අරන්ලු. විවාහ නොවී තමන්ගේ පෙම්වතා හෝ පෙම්වතිය සමග එකට ජීවත් වීමට ඔවුන් වැඩි වශයෙන් යොමු වෙන්න පටන් අරන්.

මුලදී ඉරාන බලධාරීන් විසින් මේ තත්වය හඳුන්වල තියෙන්නේ “සුදු විවාහ” කියලයි නමුත් වර්ථමානය වන විට එම හැඳින්වීම “කළු එක්වීම ” දක්වා වෙනස් වෙලා. හැදින්වීම් කෙසේ වෙනස් වුණත් දිනෙන් දිනම එරට තරුණ පරපුර විවාහය ප්‍රතික්ෂේප කිරීම ඉහල යන බවයි වාර්තා වෙන්නේ. නමුත් එරට සමාජ විද්‍යාඥයින් නම් පවසන්නේ ඉරානය තුළ කාන්තාවන්ට හා පිරිමින්ට ඇති අයිතිවාසිකම් වල ඇති අසමානතාවයන් මෙම තත්වයට සෘජුවම බලපෑම් කරන බවයි.  උදාහරණයක් වශයෙන් ඉරාන නීතිය තුළ කාන්තාවන්ට හා පිරිමින්ට සම අයිතීන් නොමැති නිසා ,කාන්තාවන් තමන්ගේ පෙම්වතා සමග විවිහ බන්ධනයට ඇතුළු නොවී වෙනම තනිව වාසය කිරීම තෝරා ගැනීමට    පෙලඹෙන බවයි ඔවුන් පවසන්නේ.

ඉරානය තුළ ක්‍රියාත්මක නීතියට අනුව විවාහය සම්බන්ධ නීති වල වැඩි වාසි හිමි වන්නේ පිරිමි පාර්ශවයටයි.
ඒ වගේම විවාහයෙන් පසු දික්කාසදය, පදිංචි විය යුතු ස්ථානය,මෙන්ම තම භාර්‍යාවගේ ගමන් බිමන්,අධ්‍යාපනය හා රැකියාව වගේ දේවල් වලත් තීරණ ගැනීමේ අයිතිය හිමි වන්නේ ස්වාමි පුරුෂයාටයි. ඒ වගේම එරට කාන්තාවන් හා පිරිමින් වෙන් වෙන් වශයෙන් සැලකීම හා ඔවුන් අතර සමීප සම්බන්ධකම් පැවැත්වීමට  ඇති සීමාවන් නිසා විවාහයකට පෙර යුවලකට හමුවී තමන්ගේ අදහස් බෙදා ගැනීමට අවස්ථාවන් හිමි වීමක් සිදු වන්නේත් නැහැ.
එම නිසා එය විවාහ ජීවිතයට දැඩි බලපෑමක් එල්ල කරන බවයි. සමාජ වද්‍යාඥයින් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.

මේ තත්වයන් නිසා තරුණ පරපුර විවාහ නොවී එකට ජීවත් වීම, විවාහ වී අමාරුවේ වැටීමට වඩා හොඳ මාර්ගයක් ලෙස තොරා ගැනීමට පටන් අරන්.  නමුත් මේ පිලිබදව අදහස් දක්වන සමාජ විද්‍යාඥයින් වැඩි දුරටත් පවසන්නේ මේ තත්වය නිසා තව තවත් අමාරුවේ වැටෙන්නේ කාන්තාවන් බවයි.  එයට හේතු වශයෙන් ඔවුන් සදහන් කරන්නේ මේ වන විටත්  ඉරාන නීතිය මගින් කාන්තාවන්ට හිමි වන්නේ අවම අයිතීන් ප්‍රමාණයක්  නිසා මේ තත්වයට නීතිමය වශයෙන් වන්දි ගෙන්න සිදුවන්නේත් කාන්තාවටම බවයි.එයට උදාහරණයක් දක්වමින් ඔවුන් සදහන් කරන්නේ කිසියම් අවස්ථාවකදී තමන්ගේ පෙම්වතා හෝ ස්වාමිපුරුෂයා විසින් කාන්තාවකට පහර දීමක් වැනි හිංසනයක් සිදු කල විට ඇයට පොලීසියේ හෝ අදාල බලධාරීන්ගේ පිහිට පැතීමට සිදුවන අවස්ථාවන් වලදී ඇය අවිවාහක බව හෙලි වුවහොත් ඇයට සිදුවන්නේ ඒ සදහා නීතියෙන් දඩුවම් විදීමට බවයි ඔවුන් පවසන්නේ.

ඉරානයේ ෂරියා නීතියට අනුව කාන්තාවක් හා පිරිමියෙක් අනිවාර්‍යෙයන් තමන්ගේ විවාහය නීතිය ඉදිරියේ ලියාපදිංචි කළ යුතුයි. එසේ නොකරන අයට හිමි වන්නේ මරණය.  නමුත් තත්වය එසේ තිබියදීත් එරට තරුණ පරපුර එම අවධානම භාර ගනිමින් විවාහය ප්‍රතික්ෂේප කිරීම තමයි මෙහි විශේෂත්වය.

නමුත් මේ වන විටත් එරට බලධාරීන් හා ඇතැම් පිරිස් විසින් ප්‍රසිද්ධයේම මෙලෙස සුදු විවාහ වලට ඇතුළු වන කාන්තාවන් නින්දාවට පත් කරන බවත් වාර්ථා වෙනවා. ඒ වගේම මේ සම්බන්ධව අදහස් දක්වන සමාජ විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ මේ සිදුවන සුදු විවාහ වල සාර්ථකත්වය රදා පවතින්නේ කාන්තාවගේ තරුණභාවය හා රූපය පවතින තාක්කල් පමණක් පවයි.
ඉන්පසු ඔවුන් අතරමං වන බවත්  බොහෝ කාන්තාවන් ගණිකා වෘත්තියට යොමු වන බවත් ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙනවා.
globalvoices.org ඇසුරිණි.
සටහන – චින්තිකා මිතිලායා ගමගේ