”කාන්තා  ශ්‍රමය සූරාකන සමාගම් පවා අද කාන්තා දිනය සමරනවා”

0
372

‘අද කාන්තා  ශ්‍රමය සූරාකන සමාගම් පවා කාන්තා දිනය සමරනවා” -බන්ඩාර මැණිකේ
අද කාන්තා දිනය සමරන්නේ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන සංවිධාන හා කාන්තාවන් පමණක්  නොව කාන්තාවන් ගේ ශ්‍රමය සූරාකන සමාගම්,බැංකු ආදියත් කාන්තා දින සමරනවා. නමුත් කාන්තා දින සැමරුම් වල ඉතිහාසය ඒ තරම් සුන්දර නැ. ඒවා ආරම්භ වුණේ මර්ධනයට මුහුණදෙමින් –  සමාජ දේශපාලන ක්‍රියාකාරිනී, බන්ඩාර මැණිකේ විසින් සිය අදහස් දැක්වමින් මේ බව ප්‍රකාශ කලේ  මිගමුව කාදිනල් කුරේ මධ්‍යස්ථානයේදි පැවති ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමිව පැවැතුන වැඩසටහනකදිය.තවදුරටත්අදහස් දැක්වු ඇය මෙසේ පැවසුවාය.

”එක්සත් ජාතින්ගේ සංවිධානයේ කාන්තා දින තේමාව තමයි ස්ත්‍රීන් සඳහා වැඩි වැඩියෙන් ආයේජනය කරන්න කියන එකයි. කාන්තා සංවිධාන එකතු වෙලා කොලඹදි මුලින්ම  කාන්තා දිනය සැමරු‍වේ 1983 දී.  මමත් ඇතුළුව ඒ රැස්විමට මූලිකත්වය ගත්තු සහෝදරියන් බොහෝ පිරිසක් අද ජිවතුන් අත නැහැ. ඒ අයව මම ආදරෙන් සිහිපත් කරනවා.
1975 – 85 දශකයේදී කාන්තා සංවිධාන මේ තරම් ප්‍රමාණයක් තිබුණේ නැහැ.එලියටවත් බහින්න බැරි කාලයක්.1983 දී අපි සහෝදරියෝ 7 දෙනෙක්් එකතුවෙලා  සංකේතාත්මකව  විරෝධතාවයක් පල කළා. 1984 දී  අපි ලොකු පෙළපාලියක් ගියා. 84 දි කටුනායක පොලිටෙක්ස් ගාමන්ට් එකේ 1500ක් එළියට දැම්මා. ඒ අවස්ථාවේදිඅපි ඒ කම්කරුවන්ගේ සහභාගිත්වයෙන්  විශාල පෙලපාලියක් ගියා. අපේ සහෝදරියෝ 03 දෙනෙක්ව අත්අඩංගුවට ගත්තා. අපි පසුබැස්සේ නෑ අපි නගර ශාලාවට පෙළපාලියේම ගිහින් කාන්තා දිනය සැමරුවා. ඒ වගේ මර්ධනිය ඉතිහාසයක් තුළ තමයි කාන්තා දින සැමරුම් ආරම්භ වුනේ. හැබැයි අද කාන්තා දින සමරන්න බැංකු වලින්  නොයෙක් ගිණුම් වර්ග හඳුන්වා දෙනවා.විවිද තෑගි දෙනවා. කාන්තාවන්ගේ ශ්‍රමය සූරාකන සමාගම් පවා  අද කාන්තා දිනය සමරනවා.
ඉතින් අපිට සතුටු වෙන්න පුලුවන්  එක දෙයක් ගැන.ඒ තමයි කාන්තාවන්ගේ ප්‍රශ්න ගැන අද හැමෝම කතා කරනවා. පෑඩ් එක ගැන වේවා,බස් රථයේදි සිදුවෙන ලිංගික අතවර ගැන වේවා කවුරුත් කතාකරනවා.
ඒක අපේ නොනවතින අරගලයේ ප්‍රතිපළයක්.”

ජනාවබෝධ කේන්ද්‍රය විසින් සංවිධානය කර තිබූ මෙම කාන්තා දින සැමරුමට  කාන්තා ක්‍රියාකාරිනියන්,  සිවිල් සංවිධාන ක්‍රියාකාරින් පිරිසක් සහභාගී වී සිටියහ.