‘කැමරා කාචය මගේ ඇස තමයි, මගේ ඇස් වලට පෙනුණ දේ තමයි මම වීඩියෝ කළේ ‘

0
125

DSCN0218 new(17.42pm)මෙම ප්‍රකාශය සිදුකළේ සිරස මාධ්‍යවේදී ප්‍රේමලාල් මහතා විසින්  අද (20) මීගමුව මහා අධිකරණයේදී දිගහැරුණ රෝෂේන් චානක ඝාතන නඩුවේ  සාක්ෂි විමසීමේදීය. ජේ්‍යෂ්ඨ නීතිඥ හර්ෂ නානායක්කාර මහතා විසින් නඟන ලද  මෙම වීඩියෝ දර්ශන වල  කොපමණ පොලිස් නිලධාරීන් සංඛ්‍යාවක් සිටිනවාද කියා ඔබට කිව හැකිදැයි  මෙන්ම T-56 අතේ තියාගත් පොලිස් නිලධාරීන් කී දෙනෙක්  හිටියාද යනුවෙන්  නැගූ  ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ප්‍රෙේමලාල් මහතා මෙම ප්‍රකාශය සිදුකරන ලදී.
2011 වර්ෂයේ  මැයි මස 29 වනදා කටුනායක නිදහස් වෙළඳ කලාපයේ කම්කරු උද්ඝෝෂනයේදී පොලිස් වෙඩි පහරින් මියගිය රොෂෙන් චානක ගේ නඩුවේ සාක්ෂි ඇසීමේ තෙවන දිනය අද මීගමුව මහ අධිකරණයේදී  මහාඅධිකරණ විනිසුරු අමල් රවීන්ද්‍ර රණවිරාජ මහතා ඉදිරියේදී  සිදුවිය. මෙම අවස්ථාවට සාක්ෂිදීම සඳහා මාධ්‍යෙවේදීන්  05 දෙනෙකු සහභාගී වී සිටිය අතර සාක්ෂි ලබාදීම සිදුකරනු ලැබූවේ සිරස මාධ්‍ය ජාලය  මාධ්‍යවේදියෙකු වන දඩුගේ කංකානම්ලාගේ ප්‍රේමලාල් මහතා වේ. 2011 මැයි මස 29 වනදා සහ ඊට දින කීපයකට පෙර මෙම කලාපයේ ඇතිවී තිබූ උණුසුම් තත්වය වාර්තා කළ සිරස මාධවේදී ප්‍රේමලාල් මහතා 29 වනදා තමන්ට සිරස ආයතනයෙන් ලැබුණ දුරකතන ඇමතුමකට අනුව  පෙ.ව. 9.30 ට පමණ කටුනායක වෙළද කලාපයට ගොස් ඒ වන විට කම්කරුවන් ආරම්භ කර තිබූ විරෝධතාවය සහ ඒ අවට සිදුවීම් වාර්තා කිරීම ආරම්භ කළ බවත් එදින සවස 6.30 වනතෙක්ම ඒ අවට රැදෙමින් තමන් දුටු සියල්ල වීඩියෝ කළ බවත් ඔහු අධිකරණය ඉදිරියේදී ප්‍රකාශ කරන ලදි. එමෙන්ම පොලීසිය හා කම්කරුවන් අතර ගැටුම ආරම්භ වූ විට එම දර්ශන වීඩියෝ ගත කරමින් සිටි ප්‍රේමලාල් මහතාට ද ගල් පහරක් එල්ල වූ බවත් ඒ සමගම තමන්ටද තුවාල සිදුවූ බවත්, තමන් වලකට ඇද වැටී අපහසුවෙන් නැවත නැවත වීඩියෝ කිරීම් කළ බවත් ඔහු විසින් ප්‍රකාශ කරන ලදී. මෙහිදී මාධ්‍යවේදී ප්‍රේමලාල්  මහතා විසින් එදින ගන්නා ලද වීඩියෝ පට 4ක් සිරස ආයතනයේ සේවකයෙකු අත එම ආයතනය යැවූ බවත් ඔහු විසින් ප්‍රකාශ කළ අතර සංරක්ෂිත මෙම වීඩියෝ පට ඔහු විසින් වීඩියෝ කරන ලද බව  අධිකරණයේදී අද සිදුකළ දර්ශන කිරීම් වලදී ඔහු විසින් හඳුනා ගන්නා  ලදී.
මෙහිදී පැමිණිල්ලේ පාර්ශවය වෙනුවෙන් නිතිපති දෙපාර්තමෙන්තුව නියෝජනය කරමින් අධිනීතිඥ උදාර කරුණාතිලක සහ තිස්ස විජේසූරිය යන නීතිඥවරුන් පෙනී සිටියහ. වගඋත්තරකාර පාර්ශවය වෙනුවෙන්  ජේ්‍යෂ්ඨ නීතිඥ හර්ෂ නානායක්කාර මහතා සහ  ජේ්‍යෂ්ඨ නීතිඥ සුමුදු හීන්කේන්ද මහත්මිය පෙනී සිටින ලදී. එමෙන්ම මෙම අවස්ථාවට සාක්ෂිකරුවන් ආරක්ෂාකිරීම සදහා සිරස මාධ්‍ය ආයතනය වෙනුවෙන්  නීතිඥ ඇසෝසියේටඩ් සංගමයේ  නීතිඥ සුදත් පෙරේරා  මහතා  සහභාගී විය.

රොෂේන්
රොෂේන්