කූඹියෝ හී ප්‍රියන්ත මහඋල්පතගම යනු අද ලංකාවේ ජයප්‍රියතම චරිතයක් වනවා. මේ එහි ප්‍රියන්තට පණ දෙන කළණ ඔහු ගැන කියන කතාවයි.
ඔබගේ ගම් පළාත කොහෙද?
වෙනිවැල් කොළ කියන ගම්මානයයි මගේ ගම වෙන්නේ. ඒ පිහිටලා තිබෙන්නේ පිළියන්දලට ආසන්නවයි.
ඔබ පාසල් කාලයේ පටන් ම රංගනයට ආදරය කළාද?
මා පාසල් ගියේ පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයටයි. එහි තිබුණු මුතුහර ළමා සමාජයට සම්බන්ධ වී මා වැඩ කළා. ඒ කටයුතුවලට මා වැඩිපුරම සහභාගි වුණේ පන්ති කට් කරන්න වුවමනා නිසයි. මා රංගනය ගැන ඉගෙන ගත්තේ ප්‍රේමකුමාර කරුණාරත්න කියන ගුරුතුමාගෙන්.
මුලින් ම වේදිකාවටයි ඔබ සම්බන්ධ වන්නේ?
රුවන් මලික් පීරිස් හා මගේ අධ්‍යක්ෂණයෙන් කළ ‘දාස මල්ලිගේ බංගලාව’ කියන වේදිකා නාට්‍යය වේදිකා ගතවන්නේ 2004 වසරේදී. ඒ සඳහා රාජ්‍ය නාට්‍ය උලෙළේදි සම්මාන හතක් හිමිවෙනවා. ඉන්පසුව ධර්මප්‍රිය ඩයස් සමඟ එකතු වී නිර්මාණ කිහිපයකටමත් දායක වෙනවා. මෑත කාලයේදී මා රංගනය ගැන යම් යම් හැදෑරීම් ටිකක් කරන්නේ ප්‍රවීණ අධ්‍යක්ෂවරයකු වන ප්‍රසන්න විතානගේගෙන්. ඊට පස්සේ අහුවෙන අහුවෙන නිර්මාණවලට දායක වෙමින් යහළුවන්ගේ කණ්ඩායමත් එක්ක එකතු වී රස්තියාදු ගසමින් නාට්‍ය කර කර සිටියා. ‘මං දියවෙලා’, ‘ඊගෝ නගරය’, ‘රයිනෝසිරස්’, ‘ලේ නෑයා’ වගේ නිර්මාණවලට මා රංගනයෙන් දායක වුණා. මේ දවස්වල වේදිකාවේ මා රඟපාන්නේ ‘ලස්සන මුරුගයා’ කියන වේදිකා නාට්‍යයේ.
වේදිකාවෙන් පස්සේ ටෙලිනාට්‍ය සඳහා ඔබට ආරාධනා ලැබෙනවා?
අනුරුද්ධ ජයසිංහගේ ‘යකඩ පහන්තිර’ ටෙලි නාට්‍යයේ මා චරිතයක් රඟපානවා. ආනන්ද අබේනායක මහත්තයාගේ ටෙලි නාට්‍ය කිහිපයකමත් මට රඟපෑමට අවස්ථාව ලැබෙනවා. ලලිත් රත්නායකගේ ‘වන්වේ’ ටෙලි නාට්‍යයේ, ඊට පස්සේ ‘හුස්ම සහ ඔක්සිජන්’, ලක්මිණි අමරදේවගේ ‘විභාගේ ෆේල්’, තුෂාරි අබේසේකරගේ ‘ශ්වේත ගංතෙර’, ‘මේ වසන්ත කාලයයි’ වගේ නිර්මාණ රැසකටම මට රංගනයෙන් දායක වීමට හැකියාව ලැබෙනවා. ඒ වගේ ම ‘වන්වේ’ ටෙලි නාට්‍යයේ රඟපෑ චරිතය සඳහා මට ගිය වසරේදී හොඳම සහය නළුවාට හිමි සම්මානය හිමි වෙනවා. ඒ රාජ්‍ය ටෙලි සම්මාන උලෙළේ හා සිග්නිස් සම්මාන උලෙළවලදීයි.
ඒ අතර ඔබට සිනමාවටත් සම්බන්ධ වීමට තරම් වාසනා හිමිවුණා?
මාලකගේ ‘බහුචිතවාදියා’, කසුන් පතිරණගේ ‘නයිට් රයිඩර්’, කෞශල්‍ය මාධවගේ ‘ඉක්කා’, ජගත් මනුවර්ණගේ ‘මුරුග සන්නිය’, සුජීව ප්‍රියාල්ගේ ඇතුළු චිත්‍රපට රාශියකට ම රංගයෙන් දායක වීමට අවස්ථාව ලැබීම මගේ ජීවිතයේදී මා සලකන්නේ භාග්‍යයක් විදියටයි.
එහෙත් ඔබව වඩාත් රූපවාහිනි නරඹන්නන් අතර කතාබහට ලක්වන්නේ ‘කූඹියෝ’ ටෙලි නාට්‍යයේ ප්‍රියන්තගේ චරිතය හරහායි. ඒ චරිතයට ඔබට ආරාධනා ලැබුණු අයුරු මතකද?
ලක්මාල් සමඟ මා මීට පෙර වැඩ කරලා තිබෙනවා. ඔහු මගේ මිත්‍රයෙක්. ඔහු මට මේ චරිතයට කතා කළාට පස්සේ මම පිටපත කියවලා බැලුවා. ඒ පිටපත ගැන මගේ සිතේ ඇතිවුණේ කියා ගන්න බැරි සතුටක්. දමිත තමයි මෙහි පිටපත ලියලා තිබුණේ. ඔවුන් සමඟ කතා කරලා බලලා, මට පුළුවන් විදියට මා මේ චරිතයට පිවිසුණා.
ප්‍රියන්ත මහවුල්පතගම කියන්නේ ගමෙන් නගරයට පිවිසෙන තරුණයෙක්?
ඇත්තටම මේ චරිතය ගැන අධ්‍යක්ෂවරයා හා පිටපත් රචකයාත් සමඟ මා බොහෝ දේ කතාබහ කළා. ඒ චරිතයේ හැඩය ගැන නිර්මාණය ගැන ඒ කතා අතර තිබුණු කාරණායි. ඒ කතාබහවල ප්‍රතිඵලයක් විදියටයි අවසානයේ ප්‍රියන්ත මහවුල්පතගම කියන චරිතය නිර්මාණය වන්නේ. මා ජීවත්වන්නේ නගරයට ආසන්නව වුණත් ගමක ජීවත්වන කෙනෙකු විදියට එහි තිබෙන සමහර අත්දැකීම් මේ චරිතයට යොදා ගැනීමට හැකියාව ලැබුණා. අද නරඹන්නන් ප්‍රියන්තගේ චරිතයේ යම් සාර්ථකත්වයක් දකිනවා නම් ඒ සාර්ථකත්වය මා ඇතුළු පිටපත් රචකයා, අධ්‍යක්ෂවරයා ඇතුළු කණ්ඩාමටත් හිමිවිය යුතුයි කියලයි මා විශ්වාස කරන්නේ.
දීර්ඝ කාලයක් ප්‍රියන්තගේ චරිතය ගැන සාකච්ඡා සිදුවුණාද?
අපට මාසයක පමණ කාලයක් ඒ සඳහා ලබාදී තිබුණා. ඒ අතර කාලයේ පිටපත කියෙව්වා. ඒ ගැන කතාබහ කළා. කොහොමත් නළුවකු පිටපතක් කියවලා ඒ චරිතය සිතට වැදුණාට පස්සේ ඔහුට අවට සියලු දේ ඒ විදියට පෙනෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඔහු චරිතය සොයනවා. ඔහුට තිබෙන අත්දැකීම් මතයි චරිතයක් සාර්ථක වෙනවාද නැද්ද යන්න තීරණය වන්නේ.
ප්‍රියන්ත මහවුල්පත ගැන සොයන විට කළණට හමුවුණේ මොනවාද?
මා මුලින්ම බැලුවේ ඔහු ගේ ග්‍රාමීය ලක්ෂණ මගේ චරිතය ඇතුළට දා ගන්නේ කොහොමද කියලයි. මා ගමේ ඉපදුණාට ගමේ ම පුද්ගලයෙක් නොවෙයි. කොළඹට ආසන්නව ජීවත්වන පුද්ගලයෙක්. අපේ ගම කොළඹට ආසන්නව පිහිටලා තිබුණත් ග්‍රාමීය ලක්ෂණ එහි තිබුණා. හැබැයි මේ නිර්මාණයේ එන ගම බොහොම ඈත ප්‍රදේශයක පිහිටි ගමක්. එවැනි ප්‍රදේශයක ජීවත් වුණු පුද්ගලයෙක් විදියට මේ චරිතය වෙනස් ම චරිත ලක්ෂණ තිබෙන පුද්ගලයකු විදියට අරගෙන එන්න කියන කාරණය ගැන අපි සැලකිලිමත් වුණා. ඒ සඳහා කතාබහ දිගටම සිදුවුණා. මේ අතර මට තිබෙන, මා දකින ලද අත්දැකීම් සමූහයෙන් සමහර දේ ප්‍රියන්තගේ චරිතයට ඇතුළත් කර බැලුවා. ඒවායෙන් සමහර දේ මේ චරිතයට හරියට ම ගැළපුණා.
ප්‍රියන්තගේ චරිතය නරඹන්නන් පිළිගන්නේ ඒ නිසාද?
ඒ නිසා වෙන්න ඇති ඔවුන් ප්‍රියන්ත ගැන විමසිලිමත් වන්නේ. ඔවුන් ප්‍රියන්තගේ චරිතය සාර්ථක යැයි පිළිගන්නේ. සමහර විට නළුවකුට එසේ නොවන්නටත් ඉඩ තිබෙනවා. නළුවකු චරිතයක් රඟපාද්දි තෝරා ගන්න අමුද්‍රව්‍යවල වැරැදීමක් සිදුවුණොත් ඊළඟ මොහොතේදි ඒ චරිතය අසාර්ථක විය හැකියි.
මට වුණත් එය පොදු කාරණයක්. ඒ නිසා චරිතයක් රඟපාද්දි අප තෝරා ගන්න අමුද්‍රව්‍ය වැරැදි නම් අනිවාර්යයෙන් ම අධ්‍යක්ෂවරයා ඊට මැදිහත් විය යුතුයි. අධ්‍යක්ෂවරයාගේ මැදිහත් වීමයි එහිදි වැදගත් වන්නේ. අධ්‍යක්ෂවරයා අසාර්ථක වුණොත් චරිතයත් අසාර්ථක විය හැකියි. නළුවාගේ කාර්යය අධ්‍යක්ෂවරයා හා පිටපත් රචකයා මතයි පදනම් වන්නේ. ඒ නිසා ලක්මාල් කියන්නේ හොඳ අධ්‍යක්ෂවරයෙක්. දමිත කියන්නේ හොඳ පිටපත් රචකයෙක්.
ඔබත් සමඟ රඟපාන තුමිඳු කියන්නේ අත්දැකීම් රැසක් තිබෙන රංගන ශිල්පියෙක්. ඔබ ඔහුව දකින්නේ කුමන විදියටද?
මා තුමිඳුව හඳුනගන්නේ පාසල් කාලයේදී. ඒ ඔහුගේ ‘අරුන්දතී’ කියන වේදිකා නාට්‍යය නැරැඹීමෙන්. ඊට පස්සේ මා ඔහුගේ ‘රයිනෝසිරස්’ වේදිකා නාට්‍යයේ රඟපානවා. එදා පටන් අපි හොඳ යහළුවෝ. තුමිඳු ඉතා ම හොඳ නළුවෙක්. ඔහුගේ පෞරුෂයෙන් කිසිවකුත් යටපත් කරන්න හදන නළුවකු නොවෙයි. රංගනය කියන විෂයය ඇතුළේ ඉන්න නළුවෙක්. ඔහු අනෙක් කෙනත් එක්ක ගනුදෙනු කිරීමේදී ඉතා සුහදවයි ඒ කටයුත්ත කරන්නේ. ඒ නිසා තුමිඳු කියන්නේ රේස් අශ්වයෙක් නොවෙයි. ඉතා ම ආදරණීය රංගන ශිල්පියෙක්.
රංගනයේදී ඔහු හා ඔබ අතර තිබුණු ගනුදෙනුව මොනවගේද?
අපි දෙදෙනාගේ ගැළපීම බොහොම හොඳින් සිදුවන බව පළමු දර්ශනය ආරම්භ කළ අවස්ථාවේදීම අපට දැනුණා. සමහර අවස්ථාවල මට රූගත කිරීම් අතර නිදිමත හැදෙන අවස්ථා තිබුණා. ඒ අවස්ථාවලදි ඔහු මටත් එක්කයි චොක්ලට් එක්ක හෝ තවත් කන දෙයක් අරගෙන එන්නේ. “මහන්සි නේද? ටිකක් එළියට යමු.” කියලා පුංචි විවේකයක් අරගෙන එය භුක්ති විඳින අවස්ථා බොහොම තිබුණා. එහෙම දෙයක්වත් නොතිබුණා නම් ඒ චරිත රඟපෑමේ අවස්ථා කිරීමට බොහොම අපහසුයි.
‘කූඹියෝ’ බොහෝ රෑ බෝවී රූගත කළ අවස්ථා බොහොමයි?
සමහර දවස්වල දෙක, තුන වනතුරුත් රූගත කීරීම් සිදු වූ අවස්ථා උදාවුණා. ඒ සියලු කටයුතු කෙරෙන්නේ මීට වසර දෙක හමාරකට පමණ පෙරයි.
ඔබ රඟපාන ප්‍රියන්තගේ චරිතය ගැන නරඹන්නන් පවසන්නේ මොනවගේ අදහසක්ද?
මඟතොටේදි හමුවන ප්‍රේක්ෂකයන් මාව හඳුනාගෙන “හලෝ ප්‍රියන්ත…” කියලා කතාබහ කරනවා. නළුවකුගේ සාර්ථකත්වය තිබෙන්නේ ප්‍රේක්ෂකයා මතයි. ප්‍රේක්ෂකයා නළුවාට තෑග්ගක් විදියටයි ඔහුගේ ආදරය ප්‍රකාශ කරන්නේ. එය නළුවකු ඇඳ ගන්න ඕන කාරණයක් නොවෙයි. එය නළුවකුට ලැබෙන ලොකු වගකීමක්. මට ආදරය කරන තරමට මා ප්‍රේක්ෂකයන්ට ආදරෙයි.
ඔබත් සමඟ රඟපෑ සේනක ටයිටස් පසුගිය දිනවල අප අතරින් සමුගත්තා. ඔහු ගැනත් යමක් පැවසුවොත්?
සේනක අයියා කියන්නේ මට බොහොම ආදරණීය චරිතයක්. ඔහුව මට මුලින්ම මුණ ගැසෙන්නේ ආනන්ද අබේනායක මහත්තයාගේ වැඩකදි. ඊට පස්සේ ‘ගිනිඅවි සහ ගිනිකෙළි’ කියන ටෙලි නාට්‍යයේදියි ඔහුව මට මුණ ගැසෙන්නේ. ඉන් පස්සේ ‘කූඹියෝ’ ටෙලි නාට්‍යයේදි ඔහු මට මුණ ගැසෙනවා. එහිදි ඇතිවුණු මිතුරුකමත් සමඟ අප අතර තිබුණු මිතුරුකම වර්ධනය වෙනවා. ඒත් සමඟ ම ඔහු වසර කිහිපයක් ම මට ඔහුගේ අයියාලා සිටින වෙලාවක එහි පිවිසෙන්න යැයි ආරාධනා කරනවා. ඒ ඔවුන් මට බොහොම කැමැති නිසයි ඔහු එලෙස ආරාධනා කරන්නේ. ඒත් මට ඒ කිසිම අවස්ථාවක යන්නට ලැබෙන්නේ නැහැ. ඒත් මා ඔහුගේ නිවෙසට පිවිසුණේ ඔහුගේ අහිමි වීමත් සමඟයි. එහි කතා කරන්නට ඔහුගේ සහෝදරයන් සිව්දෙනා සිටියත් ඔහු සිටියේ නිහඬවයි.
ඔබගේ ඉදිරි බලාපොරොත්තු පෙළගැසී තිබෙන්නේ කුමන ආකාරයෙන්ද?
එහෙම ලොකු අනාගත බලාපොරොත්තු මගේ සිතේ නැහැ. ඉදිරියේදි පිටපත් රචකයකු විදියට මා ඔබ හමුවට පිවිසේවි. ප්‍රදීප් ධර්මදාස අධ්‍යක්ෂණය කළ ‘අයිස්ක්‍රීම්’ චිත්‍රපටයේ තිරරචනය ලියන ලද්දේ මා විසින්. ඒ නිසා ලිවීම හා රඟපෑම් කටයුතුවලින් මාව ඔබ සැමට දකින්නට ලැබේවි.
තිලානි ශානිකා විතනාච්චි – Lakehouse