බොහෝ ඉල්ලීම් ලැබී තිබෙන නමුත් තවමත් ඒ සම්බන්ධයෙන් අවසාන තීරණයක් ගෙන නොමැති බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි පවසයි.
විශේෂ ප්‍රකාශය කරමින් ඇමතිවරිය ඒ බව පවසන්නේ, කෝවිඩ්19 වසංගතය හේතුවෙන් මිය යන මුස්ලිම්වරුන් ආදාහනය කිරීම පිළිබඳව ශ්‍රී ලංකාව තුළ යළිත් වරක් ආන්දෝලනයක් මතුවීමෙන් අනතුරුවය.
“මේ සම්බන්ධයෙන් පත්කරන ලද විශේෂඥ කමිටුව තව වාර්තා කිහිපයක් මා වෙත ලබාදීමට නියමිතව තිබෙනවා. පසුගිය කැබිනට් මණ්ඩලයේ දී මේ සම්බන්ධයෙන් කිසිදු තීන්දුවක් ගනු ලැබුවේ නැහැ. විශේෂඥ කම්ටුවේ වාර්තා ලැබුණු පසු අවසාන තීන්දුවක් ගන්නවා,” යනුවෙන් ද ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කළාය.
මුස්ලිම් ජාතික කෝවිඩ්-19 රෝගීන් මිහිදන් කිරීමට ආණ්ඩුව අවසර දී ඇතැයි සිලෝන් තව්හීඩ් ජමාආත් සංවිධානය පවසා තිබුණි.
සිලෝන් තව්හීද් ජමාඅත් සංවිධානයේ මහ ලේකම් ආර්.අබ්දුර් රාසික් නොවැම්බර් 09 ජනාධිපති, අගමැති රාජපක්ෂ සොහොයුරන් වෙත ලිපියක් යොමු කරමින් සදහන් කර තිබුනේ මුස්ලිම් මෘත දේහයන් භුමදානය කිරීමට අවසර ලබා දීම සම්බන්ධයෙන් ජනාධිපති ඇතුලු වත්මන් රජයට “අනන්ත අප්‍රමාණ ස්තුතිය” පුද කරන බවයි.
මේ අතර කැබිනට් මණ්ඩලයේ සමහර අමාත්‍යවරුන් එසේ මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහ මිහිදන් කිරීමට අවසර දුන් බව පැවසූ අතර තවත් සමහර අමාත්‍යවරුන් කියා සිටියේ එවැනි තීන්දුවක් නොගත් බවය.
එක්සත් ජාතීන්ගේ අවධානය:
මේ අතර අගමැති මහින්ද රාජපක්ෂ වෙත ලිපියක් යවන කොළඹ සිටින එක්සත් ජාතීන්ගේ නියෝජිතවරිය හැනා සිංගර් (Hanaa Singer) පවතින තත්වය පිළිබඳව බරපතල අවධානය යොමු කර තිබිණ.
“ශ්‍රී ලංකාව තුළ කෝවිඩ්-19 වින්දිතයන් ආදාහනය කිරීම තහනම් කෙරෙන විධිවිධාන ඉක්මනින්ම යළි සලකා බැලීමට සැරසෙන බව සඳහන් මාධ්‍ය වාර්තා මම උනන්දුවෙන් සලකා බලමින් සිටිමි,” යනුවෙන් ඇය සිය ලිපියේ සඳහන් කරයි.
“එහෙත් කෝවිඩ්-19 වින්දිතයන් ගේ අවමගුල් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු එකම ක්‍රියාමාර්ගය ආදාහනය කිරීම පමණක් බව දැක්වෙන සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අවධානය යළි පළ කිරීමට මම මෙය අවස්ථාවක් කරගනිමි.”
එම ලිපියේ පිටපතක් සහිතව මාධ්‍යවේදිනී ජමිලා හුසේන් නිකුත්කළ ට්විටර් පණිවුඩයක් පහත දැක්වේ.
සිදු වූයේ කුමක්ද?
ශ්‍රී ලංකාවේදී කෝවිඩ්-19 රෝගයෙන් මිය යන පුද්ගලයෙක් ආදාහනය කිරීමට හෝ මිහිදන් කිරීමට හැකියාව පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පසුගිය මාර්තු 30 වෙනි දින මුලින් ම නිකුත්කරන ලද මාර්ගෝපදේශවල දැක්විණ.
ශ්‍රී ලංකාවේදී කෝවිඩ්-19 රෝගයෙන් මිය යන පුද්ගලයෙක් ආදාහනය කිරීමට හෝ මිහිදන් කිරීමට හැකියාව පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පසුගිය මාර්තු 30 වෙනි දින මුලින් ම නිකුත්කරන ලද මාර්ගෝපදේශවල දැක්විණ.
එහෙත් කෝවිඩ්-19 රෝගයෙන් මියයන සියලු දෙනා ආදාහනය කළ යුතු බව පවසමින් අදාළ නිර්දේශය ඉන් දිනකට පසුව සංශෝධනය කරනු ලැබිණි.
එහි ප්‍රතිඵලයක් වශයෙන් කොරෝනාවෛරසය ආසාදනය නොවූ මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙකු ඇතුළු පස් දෙනෙකුවත් මේ වනවිට ආදාහනය කරනු ලැබ තිබේ.
ඒ අතරින් ෆාතිමා රිනෝසාගේ මරණය තවමත් නිල වාර්තාවල දැක්වෙන්නේ කෝවිඩ් ආසාදිත වීම හේතුවෙන් සිදු වූ මරණයක් බවය. ආණ්ඩුවේ තීරණය වෙනස් කරන ලෙස එවක් පටන් බොහෝ මුස්ලිම් නායකයෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ආණ්ඩුවේ නායකයින්ගෙන් දිගින් දිගටම ඉල්ලීම් කරමින් සිටිති.
මියගිය ෆාතිමා රිනෝසා සිය සැමියා සහ දරු දෙදෙනා සමඟ
කෝවිඩ්-19 වැළඳීමෙන් මිය යන මුස්ලිම් ජාතිකයින් භූමදානය කිරීම සම්බන්ධයෙන් අවසර ලබාදෙන මෙන් අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි ඇතුළු මුස්ලිම් මන්ත්‍රිවරුන් ද පාර්ලිමේන්තුවේ දී ද නොයෙක්වර ඉල්ලීම් කර තිබුණි.
මේ වන විට රටවල් 189ක කොරෝනා වැළඳීමෙන් මියැදෙන පුද්ගලයන් ගේ සිරුරු භූමදානයට අවසර දී ඇත.
”මේ වන විට රටවල් 189ක කොරෝනා වැළඳීමෙන් මියැදෙන පුද්ගලයන්ගේ සිරුරු භූමදානයට අවසර දී ඇත.”
මුස්ලිම් ප්‍රජාව මෙන්ම සමහර කතෝලිකයන් පිරිසක්ද ශ්‍රී ලංකාවේ ආණ්ඩුවේ තීරණය අභියෝගයට ලක්කරමින් අධිකරණය වෙත පෙත්සම් ඉදිරිපත් කර තිබේ.
වසංගතය හේතුවෙන් මියයන මුස්ලිම් ජාතිකයන් භූමදානය කිරීම පිණිස නොවැම්බර් 08 වන දින අවසර දී ඇති බව වාර්තා වූයේ ඒ අතරවාරයේය.
මන්නාරම ප්‍රදේශයේ තෝරාගෙන ඇති හුදෙකලා ප්‍රදේශයක, පවුලේ ඥාතීන් දෙදෙනකුගේ පමණක් සහභාගිත්වයෙන් කොරෝනා සම්බන්ධයෙන් ඇති ජාත්‍යන්තර රෙගුලාසිවලට අනුව මෙම භූමදාන කටයුතු සිදු කිරීමට කෝවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය අවසර දී ඇති බව දෙරණ මාධ්‍ය ජාලයට අයත් ‘අරුණ’ පුවත්පත නොවැම්බර් 10 වෙනි දින වාර්තාකර තිබිණ.
විශේෂ පත්‍රිකාවක්:
ඒ සමඟම එම තීරණය පිළිබඳව ආන්දෝලනයක් මතු වූ අතර, ඒ අතරවාරයේ කෝවිඩ්-19 රෝගයේ විද්‍යාත්මක පසුබිම පැහැදිලි කරන ලේඛනයක් ආණ්ඩුවට සම්බන්ධ විද්වතුන් පිරිසක් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අදාළ විද්වත් කමිටුව වෙත භාර දී තිබුණි.
බීබීසී සිංහල සේවයට ද දැකගැනීමට ලැබුණු එම ලේඛනයේ සඳහන් වන පරිදි කොවිඩ්-19 වෛරසයේ ස්ථායිතාව වාතයේදී ආසන්න වශයෙන් පැය 3-4 ක්, ප්ලාස්ටික් හෝ මල නොබැඳෙන වානේ මත පැය 72 ක්, ප්‍රතිකාර කළ දැව හෝ රෙදි මත පැය 24 කට නොඅඩු වන අතර, ආසාදිත පුද්ගලයෙකු මිය ගිය විට වෛරසයට එහි ධාරකය අහිමි වන බවයි.
එම තත්ත්වය අනුව භූමදානය කිරීමෙන් පසු මෙම කිරීටක වෛරසය දින කිහිපයකට වඩා නොනැසී පවතිනු ඇතැයි ඇතැමුන් විශ්වාස කරන්නේ මන්දැයි පැහැදිලි කරගත යුතු අතර, විෂබීජ නාශක සමඟ ස්පර්ශ වීමෙන් කොවිඩ්-19 කොරෝනා වෛරසය විනාශ වන බවත් එම ලේඛනයේ දැක්වේ.
ආණ්ඩුවට සම්බන්ධ විද්වතුන් පිරිසක් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාර දුන් ලේඛනයෙන් කොටසක්
එම පත්‍රිකාව තවදුරටත් පවසන්නේ, 2020 නොවැම්බර් 11 වන විට ගෝලීය වශයෙන් මිලියන 1.2 ක් කොවිඩ්-19 න් මරණ සිදුවී ඇති අතර, මෙම කොරෝනා වෛරසය මළ සිරුරක සිට ජීවමාන පුද්ගලයෙකුට සම්ප්‍රේෂණය වූ බවට මෙතෙක් කිසිදු අවස්තාවක වාර්තා වී නොමැති බවය.
කෝවිඩ්-19 යෙන් මියගිය අයගේ සිරුරු වලට නිරාවරණය වීමෙන් පුද්ගලයින්ට මෙම වෛරසය ආසාදනය වී ඇති බවට කිසිදු සාක්ෂියක් නැතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය විශේෂයෙන් සඳහන් කර ඇති අතර, මේ දක්වා මෙම ස්ථාවරය සංශෝධනය කර නැති බව මෙන්ම සිරුර නිසි ලෙස වළලනු ලැබූ පසු මියගිය අයගෙන් ආසාදනය වූ බවක් වාර්තා වී නොමැති බවත් අදාළ පත්‍රිකාවේ වැඩිදුරටත් සඳහන් වේ.
‘වෛරසය ජල මූලාශ්‍රවලට එක්වේවි’:
මේ අතර කොළඹ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් තෙන්නකෝන් මාධ්‍ය වෙත කියා සිටියේ, කොරෝනා ආසාදිතයන් බවට තහවුරු වූ විට එවැනි මෘතදේහයන් මරණ පරීක්ෂණයකට භාජනය නොකර පවුලේ ඥාතීන් සම්බන්ධ කරගෙන මියගිය පුද්ගලයා පිළිබඳ සියලු තොරතුරු රැස්කොට වාචික මරණ පරීක්ෂණයක් (verbal Autopsy) මගින් මිය යාමට හේතුව අනුමාන වශයෙන් සඳහන් කරන බවය.
නමුත් කෝවිඩ්-19 ආසාදිත දේහයන් භූමදානය කිරීම පිළිබඳව සොයා බලන ඇගයුම් කමිටුවේ සාමාජිකාවක වන ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ, ව්‍යවහාරික පීඨයේ මහාචාර්ය මෙත්තිකා විදානගේ පවසන්නේ එසේ ආදාහනය කිරීමෙන් වෛරසය භූගත ජලයට එකතුවීමේ අවදානමක් ඇති බවය.
“තෙත් කලාපයේ හා වියළි කලාපයේ යන දෙකේම භූගත ජල මට්ටම ඉතාම නොගැඹුරුයි. ඒ හින්ද තමයි භුමදානයට ලංකාවේ පාංශු ස්වභාවය සරිලන්නේ නැත්තේ,” මහාචාර්ය මෙත්තිකා විදානගේ සඳහන් කළාය.
“ශ්‍රී ලංකාවේ ජල මූලාශ්‍රයන් බහුලව තියනවා. එසේ භූමදාන කළහොත් වෛරසය අපේ ගංගා, ඇලදොල, ලිං වලට එක්වීම වැලැක්විය නොහැකියි. මිය ගිය පුද්ගලයෙකුගේ කිලෝ එකක අපවිත්‍ර ජලය ලීටරයක් තියනවා, ඒ නිසා තමයි ලඟම ආදාහනාගාරයක ඉහල උෂ්ණත්වයකදී කිසිම පුද්ගලයෙකු සහභාගි කර නොගෙන දේහයන් ආදාහනය කරන්නේ,” යනුවෙන් ඇය මාධ්‍ය හමුවේ පැවසීය.
නමුත් ‘අනිද්දා’ පුවත්පතේ මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර කළ විමසීමකට පිළිතුරු දෙමින් මහාචාර්යවරිය පවසා ඇත්තේ සිය ප්‍රකාශය තමන් කළ පරීක්ෂණයකින් හෙළි වූ කරුණු මත පදනම් වූවක් නොවන බවය.
මේ පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අදහස් පළවෙමින් තිබේ.
ට්විටර් ජාලය ඔස්සේ ඒ පිළිබඳ සිය අදහස පළ කරන කාටුන් ශිල්පිනී ශානිකා සෝමතිලක, කිසියම් ලෙසකින් තමන් රෝගයකින් මරුමුවට පත්වුවහොත් සිය දේහය පිළිබඳ අවසාන තීරණය ගත යුත්තේ සිය පවුලේ සාමාජිකයන් විනා ආණ්ඩුව නොවන බව අවධාරණය කරන්නීය.
හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක ගේ දියණිය, වෛද්‍ය තුෂ් වික්‍රමනායක තම මුහුණුපොතේ සටහනක් තබමින්, “මහාචාර්යවරිය කෝවිඩ් ආසාදිත මලමිණි භූමදානයට එරෙහිව හදිසියේ පහළ වූ expert නොවන expert කෙනෙක්ගෙ ප්‍රකාශය – මෙතුමිය නිසා භූගත ජලයෙන්, වාෂ්පයෙන් සහ පොළොව දෙබෑ කරන් මතුවන වෛරස් නිසා අනිසි බියක් සහ අනවශ්‍ය ජාතිවාදී අරගලයක් නිර්මාණය වුනා,” යනුවෙන් පවසා තිබුණි.
“හිතුවා වගේම මෙතුමියත් විෂය දැනුමක් නොදැන ප්‍රකාශ කළ බවට මෙයින් සනාථ වෙනවා. 20/21 ශතවර්ෂයේ ලෝකයේ පැතිරුණු වසංගත ගණනාවක් ඇතත්, වලලපු මිණි වලින් නැවත සමාජ ගතවූ එකම වසංගතයක්වත් නෑ. ඒ මිථ්‍යාවත් හබක්!”
“පුරවැසියන්ට අවනම්බු කරන්න එපා. නොමග යවන්න එපා.”
‘ජාතිවාදී ප්‍රශ්නයක්’
මේ අතර කොරෝනාවෛරසය ආසාදිත වී මරුමුවට පත්වන මුස්ලිම් වරුන්ගේ දේහ භූමදානය සඳහා අවසර දිය යුතු බවට අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි පසුගිය දිනවල දිගින් දිගටම ඉල්ලා සිටියේය.
ලොව ප්‍රමුඛතම විද්‍යාත්මක සඟරාවක් වන විද්‍යා සඟරාව උපුටා දක්වමින් මුහුණුපොතේ සටහනක් තබන අමාත්‍යවරයා පවසන්නේ කැනඩාව, බ්‍රසීලය, ආර්ජන්ටිනාව, නෙදර්ලන්තය සහ රුසියාව ලෝකයේ අඩුම ‘ජල වගු ගැඹුර’ ඇති රටවල් වන නමුත් එම රටවල් සියල්ල COVID19 වින්දිතයින් භූමදාන කරන බවයි.
අමාත්‍ය අලි සබ්‍රි මුහුණුපොතේ තැබූ සටහන
“එය ජාතිය හෝ ආගම ගැන නොවේ, එය විද්‍යාව ගැනය. අපි සාධාරණ, සංවේදි සහ තාර්කික වෙමු. වෙනත් කෙනෙකුගේ ඉල්ලීමක් සහ මතයක් ප්‍රතික්ෂේප කිරීමේදී යමෙකු පුද්ගලික හා වාර්ගික නොවිය යුතුය.”
මේ අතර මුහුණුපොතේ සටහනක් තබමින් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය පවසන්නේ, “සාධාරණ කතාවක් සබ්‍රිතුමා කියන්නෙ. කැනඩාව, බ්‍රසීලය, ආර්ජන්ටිනාව, නෙදර්ලන්තය සහ රුසියාව, ලෝකයේ ඉතා අඩු ගැඹුරු මට්ටමකදී ජලය හමුවන රටවල්. ඒ රටවල ලංකාවට වඩා අඩු ගැඹුරක දී ජලය හමුවෙනව. ඒ රටවල කොවිඩ් මරණ වල දාන්න දෙනව. ලංකාවෙ තියෙන්නෙ විද්‍යාව පිළිබඳ ප්‍රශ්ණයක් නෙමෙයි, ජාතිවාදී ප්‍රශ්ණයක්,” යනුවෙනි.
වින්දිතයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් මුල සිටම පෙනී සිටි, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ද ගොනු කොට තිබෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සහීර් මවුලානා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්, කෝවිඩ් ආසාදිතයෙකු මිහිදන් කිරීම හේතුවෙන් භූගත ජලයෙන් රෝගය ආසාදනය වී ඇතැයි මෙතෙක් කිසිදු රටකින් වාර්තා වී නොමැති බව පෙන්වා දෙයි.
කෙසේ වුවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් සහ මහාචාර්ය කුඹුරුගමුවේ වජිර හිමියන් ඇතුළු බොහෝ භික්ෂූන් වහන්සේ කෝවිඩ්-19 රෝගීන්ගේ මළසිරුරු භූමදාන කිරීමේ උත්සහයට දැඩි විරෝධය පළකරමින් අදහස් දක්වා තිබුණි.
කැබිනට් මණ්ඩලයේ මත දෙකක්:
මෘත දේහ භුමදානය සඳහා රජය අවසර ලබාදුන්නේ දැයි පසුගියදා මාධ්‍යවේදීන් විමසීමක් කළ අවස්ථාවේ අමාත්‍ය චමල් රාජපක්ෂ පැවසුවේ, “නියම කරලා තියෙනවා, හැමතැනම නෙමෙයි. ඒක අමාත්‍ය මණ්ඩලය ගත්ත තීන්දුවක් ගිය සඳුදා,” යනුවෙන් කියා සිටියේය.
එහෙත් අමාත්‍ය විමල් වීරවංශ මාධ්‍ය හමුවේ පැවසුවේ මෘතදේහ භූමදානය කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ දී සාකච්ඡාවක් ඇතිවුවත් දැනට ගෙන ඇති තීරණය වෙනස් කිරීමට කිසිදු තීරණයක් නොගත් බවය.
කෙසේ නමුත් මළ සිරුරු භූමදානය කිරීම පිණිස සුදුසු භූමියක් සොයා බලන මෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එහිදී උපදෙස් දුන් බව ඩේලි මිරර් පත්‍රය වාර්තා කොට තිබූ අතර, දෙපාර්ශවය මතු කරන තර්ක, විතර්ක පිළිබඳ සවිස්තර වාර්තාවක් The Leader වෙබ් අඩවියේ ද පළකොට තිබුණි.
මේ අතර හිටපු අමාත්‍ය මංගල සමරවීර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ “ජනාධිපතිවරණය සහ මහ මැතිවරණයට ආසන්නව මුස්ලිම් විරෝධී උමතුවක් ඇති කළ ‘තනි සිංහල’ රෙජීමය, කොරෝනා වෛරසය ආශ්‍රිත මරණ භූමදානය කිරීමේදී සෞඛ්‍ය අවදානමක් නොමැති බව ප්‍රමාද වී හෝ දැන් පිළිගෙන ඇත. ජාතිවාදී ජනතාවාදය කෙටි කාලීන ය: ට්‍රම්ප්ගෙන් අසා දැනගන්න,” යනුවෙනි.
‘සාක්ෂි නැහැ’:
මේ ආන්දෝලනය සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂ වෙත යොමුකරන ලිපියේ තවදුරටත් කරුණු දක්වන කොළඹ සිටින එක්සත් ජාතීන්ගේ නියෝජිත හැනා සිංගර්, “”කොවිඩ්-19 සන්දර්භය තුළ මළ සිරුරක් ආරක්ෂාකාරීව කළමනාකරණය කිරීම සඳහා ආසාදන වැළැක්වීම සහ පාලනය කිරීම” යන මාතෘකාව යටතේ, ලෝක සෞඛ්‍ය සංවිධානය, 2020 මාර්තු 24 වන දින සහ 2020 සැප්තැම්බර් 4 වන දින යාවත්කාලීන කරන ලද අතුරු මාර්ගෝපදේශයන්ට අනුව, දැනට හෙළි වී තිබෙන්නේ කොවිඩ්-19 හි රෝග ලක්ෂණ සහ එහි ප්‍රධාන සම්ප්‍රේෂණ ක්‍රම (ජල බිඳිති / සම්බන්ධතා), මිනිස් අවශේෂ හැසිරවීමේදී සම්ප්‍රේෂණය වීමේ සම්භාවිතාව අඩු බවය,” යනුවෙන් සඳහන් කරයි.
“පොදු උපකල්පනයක් වන බෝවන රෝගයක් හේතුවෙන් මියගිය පුද්ගලයන් ආදාහනය කළ යුතුය යන්න සාක්ෂි සහිතව සනාථ වූවක් නොවේ. එහෙත් ආදාහනය කිරීම සංස්කෘතික තේරීමක් හා පවතින සම්පත් පිළිබඳ කාරණයකි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මඟ පෙන්වීම අනුව, කොවිඩ්-19 යෙන් මියයන අය දේශීය ප්‍රමිතීන්ට හා පවුලේ අයගේ අවශ්‍යතා පරිදි භූමදාන කිරීමට හෝ ආදාහනය කිරීමට හැකිය,” යනුවෙන් ද ලිපියේ තවදුරටත් දැක්වේ.
අගමැතිවරයා ගේ ප්‍රතිචාරය:
බීබීසී සිංහල සේවය මේ පිළිබඳව විමසීමක් කළ අවස්ථාවේ, අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් විජයානන්ද හේරත් කියා සිටියේ, සෞඛ්‍ය රෙගුලාසි හා නිර්ණායකයන්ට අනුව ආණ්ඩුව මේ සම්බන්ධයෙන් තීරණ ගන්නා බවය.
(රංග සිරිලාල් සහ සරෝජ් පතිරණ -BBC සිංහල)