ජනතාවට තොරතුරු දැනගැනීමට අැති අයිතියට එරෙහි නොවනු!

0
49
ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ද සමඟ අතුලියේ රතන හිමි, අනුර දිසානායක, හා රාජිත සේනාරත්න යන පාර්ලිමේන්තු මංත්‍රීවරු සහභාගී වූ සිරස රූපවාහිනී නාලිකාව නොවැම්බර් 21 දින පස්වරු 7.30 ට විකාශය කළ ‘සටන’ වැඩ සටහන ටෙලිකොම් පියෝ ටී වී හා ඩයලොග් චන්ද්‍රීකා රූපවාහිණී චැනලයන් තුළින් නැරඹීමට ජනතාවට තිබූ අවකාශය රජයේ බලධාරීන්ගේ උපදෙස් මත අවහිර කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් වරයා තම බලතල අනුව ක්‍රියා කළ යුතු යැයි මාධ්‍ය සංවිධාන 12 කගෙන් සමන්විත මාධ්‍ය නිදහස සඳහා ක්‍රියාකාරී කමිටුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම නිවේදනයේ මෙසේ ද දැක්වේ.

‘සටන‘ වැඩසටහන සඳහා මෛත්‍රීපාල සිරිසේන, අතුලියේ රතන හිමි, අනුර දිසානායක, හා රාජිත සේනාරත්න යන පාර්ලිමේන්තු මංත්‍රීවරු සහභාගී වූහ. නොවැම්බර් 21 දින පස්වරු 7.30 ට විකාශය කළ එම ‘සටන’ වැඩ සටහන ටෙලිකොම් පියෝ ටී වී හා ඩයලොග් චන්ද්‍රීකා රූපවාහිණී චැනලයන් තුළින් නැරඹීමට ජනතාවට තිබූ අවකාශය රජයේ බලධාරීන්ගේ උපදෙස් මත අවහිර කර ඇත.

අන්‍ය මතයන් නොඉවසන රජය, ජනතාවට තොරතුරු හා අන් මතයන් පිළිබඳව දැනගැනීමට අයිතියට එරෙහි වෙමින් හා ජනමාධ්‍ය නිදහසට බරපතල ලෙස තර්ජනය වන අයුරින් නොකඩවා සිදුකරන මෙවැනි ක්‍රියාවන් ‘මාධ්‍ය නිදහස සඳහා වූ ක්‍රියාකාරී කමිටුව‘ දැඩි ලෙස හෙළා දකී. එසේම මෙවැනි බාධා කිරීම් අනියම් ලෙස ජනමාධ්‍ය ආයතන බියවැද්දීමට කරන උත්සාහයකි.

විශෙෂයෙන් ජාතික මැතිවරණයක් ප්‍රකාශයට පත්කොට ඇති අවස්ථාවක සිදු කළ රජයේ මෙම ක්‍රියා පිළිවෙත පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයාගේ විශේෂ අවධානයට යොමුකරන අප සංවිධානය මෙවැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා වළක්වාලීම හා තමන්ට හිමි බලතල යොදා මෙවැනි ක්‍රියාවන්ට වගකිවයුතු පුද්ගලයන් නීතිය හමුවට පැමිණවීමට පියවර ගන්නා ලෙස දැඩිව ඉල්ලා සිටී.
(lankaherald)