නව සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා සමඟ පවත්වන ලද සාකච්ඡාවකදී පළ කරන ලද අදහස් කිහිපයක් පහත දැක්වේ. විධායක ජනාධිපති ක්‍රමයට එරෙහි අරගලයේ මූලාරම්භකයෙකු වන වික්‍රමබාහු කරුණාරත්න මහතා අපවත් වී වදාළ මාදුළුවාවේ සොභිත ස්වාමීන්ගෙ සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරයේද ආරම්භක සාමාජිකයෙකි.
Q ලංකාවේ වාමාංශික පක්ෂවලට සාමාජිකයින් අඩුයි. නමුත් ලංකාවේ ජනතාවගෙ ප්‍රශ්ණ වෙනුවෙන් දක්වන මැදිහත්වීම අතින් වාමාංශික පක්ෂ ඉතාමත් ක්‍රියාශීලියි. ඇයි වාමාංශික පක්ෂවලට විශාල වශයෙන් ජනතාව ඒකරාශි කරගන්න බැරිවෙලා තියෙන්නෙ.
A ඇත්ත වශයෙන්ම අපි හදන්නෙ වෘත්තික විප්ලවවාදී සංගමයක්. එතකොට අපි හැමවෙලාවෙම උත්සාහ කරන්නෙ අධ්‍යාපනිකව සහ භාවිතයෙන් දියුණු දේශපාලනික චරිත ගොඩනගන්න. එතකොට අපි වගේ පක්ෂයක මට්ටම් කිහිපයක අය ඉන්නවා. අපි පාක්ෂිකයෝ කියලා කියන්නෙ මුලු කාලයම දේශපාලන වැඩ වෙනුවෙන් යොදන්න සූදානම් පිරිසකට. එහෙම අය ටිකයි. නමුත් තවත් විශාල පිරිසක් ඉන්නවා අපේ අදහස් පිළිගෙන තමන් ඉන්න ක්ෂේත්‍රයේ ක්‍රියාකාරීව වැඩ කරන අය. අපි සමහර නගර සභා හා පළාත් සභා මට්ටමේ ඡන්ද ජයග්‍රහණය කරලත් තියෙනවා.
අපිට ඉන්න සාමාජිකයින් ඉතාමත් ක්‍රියාශීලීව සමාජය වෙනස් කරන්න මැදිහත් වන පිරිසක්. අපි ගොඩනගන පක්ෂ යාන්ත්‍රණය එයයි. අනිත් පක්ෂවල ඉන්නෙ එහෙම පිරිසක් නෙමෙයි. ඇත්තටම අපේ වගේ පක්ෂයකට විශාල පිරිසක් එකතු කරන්න අසීරුයි. නමුත් විප්ලවකාරී අවස්ථාවල අපි වටා විශලා පිරිසක් ගොනු වෙනවා. පසුගිය ජනවාරි 8 වෙනිදා අපි ලංකාව පුරා යනකොට අපේ මතවාදයන්ට විශලා ඉඩක් ලැබුණා. අපිට පුළුවන් වුනා සමාජය වෙනස් කරන්න ක්‍රියාශීලිව දායකවෙන්න.
Q ඔබ සෝභිත ස්වාමීන් වහන්සේගෙ සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරයේ ආරම්භක සාමාජිකයෙක්. එම ව්‍යාපාරයේ ප්‍රධාන සටන් පාඨයක් වු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳ මේ දිනවල කතාබහක් ඇතිවී තිබෙනවා.
A සෝභිත ස්වාමීන් වහන්සේගෙ සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරයේ මුල් අවස්ථාවේදී මම හිටියා. පසුව සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරය ජාතික ප්‍රශ්ණය සම්බන්ධයෙන් දරන ලද ස්ථාවරය නිසා මම එයින් ඉවත්වෙලා හිටියා. එමනිසා ජනවාරි 8 ව්‍යාපාරයේ මම සහභාගී වුනේ විපක්ෂයේ විරෝධය හැටියට. ඊට අනුව සෝභිත ස්වාමීන් වහන්සේත් මමත් එකම වේදිකාවට ගොඩවුනේ වෙනස් ජනතා සංවිධාන විදියට. එතනදි අපි එකට වැඩ කළා.
විධායක ජනාධිපති ක්‍රමයට එරෙහි අරගලය ආරම්භ කළේ මම. විධායක ජනාධිපති ක්‍රමය රටට හදුන්වාදෙන දවසෙ මම හිටියෙ හිරගෙදර. එදා විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධවෙලා හිරගෙදර ඉන්න ලැබීම ගැන මට අද ආඩම්බරයි. සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරය ආරම්භ කරන කොට කරුණු තුනක් මූලික වුනා. ඒවා තමයි ඒකාධිපති ව්‍යවස්ථාවට විරුද්ධ වීම, කොමිසන් සභා පිහිටුවීම සහ බලය බෙදා රට එක්සත් කිරීම යන කාරණා. නමුත් ස්වාමීන් වහන්සේ සහ කිහිපදෙනෙක් කියුවා බලය බෙදා රට එක්සත් කිරීම ඉවත් කරමු කියලා. ඉන්පස්සෙ සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරයෙන් මම ඉවත් වුණා. බලය බෙදා රට එක්සත් කිරීම යන කාරණය විපක්ෂයේ විරෝධය කියන සංවිධානය පිලිගත්ත නිසා මම එම සංවිධානයක් සමඟ වැඩ කළා.
Q සර්ව පාක්ෂික සමුළුව පසුගියදා කැඳවනු ලැබූ අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණ දෙමුහුන් අධිකරණවලට විරෝධය පළ කරලා තිබුණා. මේ පිළිබඳ ඔබගේ අදහස කුමක්ද?
A පළමුවෙන්ම කියන්න ඕන සර්ව පාක්ෂික සාකච්ඡාවක් තිබුණෙ නැහැ. එයට නව සමසමාජ පක්ෂයට ආරාධනාවක් තිබුණෙ නැහැ. එමනිසා මම එය සර්ව පාක්ෂික සාකච්ඡාවක් විදියට පිළිගන්නෙ නැහැ. ඒක මෛත්‍රී පාක්ෂික සාකච්ඡාවක්. ඔහුට කැමති පිරිසක් තමයි කැඳවලා සාකච්ඡා කළේ. ජනතා විමුක්ති පෙරමුණත් එම පිරිසට අයත්. ඇත්තටම දෙමුහුන් අධිකරණයක් හදන්න කියලා කිසිම යෝජනාවක සඳහන් වෙලා නැහැ. එම යෝජනාවේ දේශිය යාන්ත්‍රණයට විදේශිය විනිසුරුවන් ගන්නේ නම් විශ්වාසය වැඩිවෙන බව පමණක් සඳහන් කරලා තිබුණා. බලකිරීමක් නැහැ. එය සාධාරණ ඉල්ලීමක්. අපි කැමති නම් ඔවුන්ව සහභාගී කරගන්න පුළුවන්.
අනික විදෙස් විනිසුරන් අවශ්‍ය වෙන්නෙ දැනටත් ජාතිවාදී කෝලාහල තියෙනවා නම් විතරයි. දැන් එහෙම නෙමෙයි අපි ජාතිවාදය පරාජය කරපු රටක්. අපි මතවාදීමය වශයෙන් ජාතිවාදය පරාජය කළා විතරක් නෙමෙයි පාර්ලිමේන්තුවේ ආසන සංඛ්‍යාවෙන් ජාතිවාදය පසුබස්සලා තියෙන්නෙ. දැන් ජාතිවාදයට විරුද්ධ අය බලවත් වෙලා තියෙන්නෙ. දෙමළ සහ මුස්ලිම් ජනතාව පාර්ලිමේන්තුවට ඇවිත් තියෙනවා. විරුද්ධ පක්ෂයේ නායකත්වය දෙමළ ජාතිකයෙකුට ලැබිලා තියෙනවා. දැන් අපි ඇමරිකාවට ඕන විදියට වැඩ කරන්න අවශ්‍ය නැහැ.
Q සමලිංගික විවාහ නීතිගත කිරීම සහ ගණිකා වෘත්තිය නීතිගත කිරීම ගැන ඔබගේ අදහස කුමක්ද?
A ඇත්තටම ලංකාවේ සමලිංගිකත්වය ගැන කතා කරන්න බය යුගයක් තිබුණා. සමහරු සමලිංගිකයන්ට පහර දුන්නා. ඔවුන් ඉතාමත් රහසිගතව තමයි සංවිධානයක් හදාගත්තෙ. මමත් ඔවුන්ගෙ රැස්වීම්වලට සහභාගී වෙලා තියෙනවා. ඔවුන්ගෙ ක්‍රීඩා උළෙලකට වරක් පොලු අරගෙන පිරිසක් පහරදෙන්න සැලසුම් කළා. නමුත් වර්ථමානය වෙනකොට ඔවුන්ට තමන්ගෙ ජීවිතය බුක්ති විදින්න අවකාශය හැදිලා තියෙනවා. ලංකාවෙ ගණිකා වෘත්තිය පිළිබඳ කිසිදු නීතියක් නැහැ. නීති තියෙන්නෙ ගණිකා නිවාස පවත්වා ගෙනයාම සම්බන්ධයෙන් විතරයි. අපි කතා කරන්නෙ ගණිකා වෘත්තිය නීතිගත කිරීම පිළිබඳව නෙමෙයි ගම්වල ඉඳලා එන අසරණ කාන්තාවන්ට සිදුවන අකටයුතුකම් ගැන. ඔවුන්ට පුරුෂයන් විසින් කරන හිරිහැර සහ පොලීසියෙන් සිදුවන අතවරයන් ගැන. සාමාන්‍ය ජනාතාව මෙම කාරණා හොඳින් දන්නවා. නමුත් මේවා ඔවුන් කතා කරන්නෙ නැහැ. මෙවැනි කාරණා පැහැදිලි කරලා දෙන්න කිසිදු ආගමික නායකයෙක් ඉදිරිපත් නොවීම ගැටලුවක්. බුද්ධිමත් කලාකරුවන්ට හැකියාවක් තියෙනවා සමාජයට මෙවැනි කාරණා පැහැදිලි කරලා දෙන්න.
Q ඇමරිකාව හොරොයින් භාවිතයෙන් තරුණයින් මුදාගන්න ගංජා යොදගත් බව වාර්තා වුනා. නමුත් ලංකාවේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් දක්වන්නෙ වෙනස් ආකල්පයක්. රජයේ මත්ද්‍රව්‍ය විරෝධය පිළිබඳ ඔබගේ අදහස කුමක්ද?
A හෙරොයින් වලට ඇබ්බැහි වු අය අධික වේගයෙන් වැඩ කරනවා. උදාහරණයක් විදියට ගෙදරක ගහක් කපන්න අවශ්‍ය වුනාම මත්ද්‍රව්‍ය වලට විරුද්ධ කෙනෙක් වුනත් කියන්නෙ කුඩ්ඩෙක් අල්ලගන්න කියලා. මොකද ඔවුන්ට තියෙනවා සාමාන්‍ය මිනිහෙක්ට වඩා ශක්තිය. වැඩවලදි ඔවුන්ගෙ ශරීර දුර්වල වෙනවා. නමුත් ඔවුන් සිය ජීවිත අවධානම ගැන හිතන්නෙ නැතුව වැඩ කරනවා. මත්කුඩු හරහා ඇති කරන්නෙ එක්තරා ආකාරයක වහල්භාවයක්. ඔවුන් කුඩු ගහනවා. වැටිලා ඉන්නවා. වැඩ කරනවා. මරන්න කියුවොත් මරනවා. මෙම මත්ද්‍රව්‍ය විරෝධයේ දෙපැත්තක් තියෙනවා. එක්පැත්තකින් මිනිසුන් මේ විදියට වහලුන් ලෙස වැඩ කිරීම නවත්වන්න අවශ්‍යයයි. ඔවුන්ට ජීවිතයක් ලබාදිය යුතුයි.
ගංජා කියන්නෙ වල් පැළෑටියක්. එය මත්ද්‍රව්‍යයක් විදියට භාවිතා කළත් මත්කුඩු වගේ අන්තරාකාරී නැහැ. එමනිසා ගංජා වගේ මත්ද්‍රව්‍ය වලට යම් ප්‍රමාණයකට ඉඩදෙන්න අවශ්‍යයයි. සියලු මත්ද්‍රව්‍ය වලට එකම තත්වය ලබාදීමෙන් අනතුර තවත් වැඩිවෙනවා. එමනිසා සාමාන්‍ය මත්ද්‍රව්‍ය වලට නිදහස ලබාදීලා බිහිසුනු මත්ද්‍රව්‍ය වලින් ජනතාව විස්තාපනය කරන්න පුළුවන්. අනවශ්‍ය දේවල් තහනම් කරන්න ගියාම අවශ්‍ය දේ පවා තහනම් කරන්න බැරි වෙනවා. යම් දේකට නිදහස දුන්නම එම නිදහස ප්‍රමාණවත් කියලා හිතන ප්‍රමාණයත් වැඩිවෙනවා. එතකොට අන්තවාදය අඩු කරන්න පුළුවන්. උදාහරණයක් විදියට උතුරේ දෙමළ ජනතාවට සිය භාෂාවේ නිදහස ලබාදීම වැදගත්. ලංකාවේ ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීම කිසිවෙකුට කරදරයක් නෙමෙයි. ඔවුන්ට එම නිදහස දුන්නොත් වෙනම රාජ්‍යයක් වෙනුවෙන් තියෙන අරගලය නිකම්ම නැතිවෙලා යනවා. ඉතින් නිදහස ලබාදීමෙන් ගොඩක් ප්‍රශ්ණ විසඳාගත හැකියි.
http://lakjanahanda.com/