ට්‍ර්ප් ස්විට්ච් නැති යුගයට අප රැගෙන යන්න උතුමාණෙනි!

0
404
tripඅපේ ගෙදර නිතර නිතර විදුලිය ඇන හිටීම හරිම කරදරයක් බවට පත් විය. විදුලියෙන් ක‍්‍රියා කරන කුමන උපකරණයක් ක‍්‍රියාත්මක කළත් වහාම මුළු නිවසේම විදුලිය ඇන හිටින්නේ පැන්නුම් දඟරය හෙවත් ට‍්‍රිප් ස්විචය ක‍්‍රියා විරහිත වී විදුලි සැපයුම ඇන හිටීම නිසාය. එවිට නැවත විදුලි බලය ලබා ගැනීම සඳහා අදාල විදුලි උපකරණය ක‍්‍රියා විරහිත කොට නැවත ට‍්‍රිප් ස්විචය ඔන් කරන්නට සිදු වේ.
නලීන් බාප්පා නම් මේ ගැන කියන්නේ මේ සේරම ප‍්‍රශ්න විදුලිය පාවිච්චි කරන්නට පටන් ගත් නිසා ඇති වූ ඒවා බවයි.
“ඇයි බං අපේ අවුරුදු දහස් ගණනක් පැරණි ශිෂ්ටාචාරය අපේ මුතුන් මිත්තෝ ගොඩනගලා තියෙන්නේ විදුලිය තිබිලයැ. මේව සේරම අධිරාජ්‍යවාදීන් අපේ ස්වාධීනත්වය නැති කරල කළු සුද්දන් පිරිසක් හදන්න කරපු කුමන්ත‍්‍රණවල ප‍්‍රතිඵලයක්” බාප්පා කියයි.
නලීන් බාප්පාට අර්සස් අමාරුව තියෙන බැවින් ඔහු තරහ ගස්සවා ගැනීම නුවණට හුරු නැති බව ගෙදර කවුරුත් දන්නා නිසා බාප්පා කියන කතාවලට කවුරුත් විරුද්ධ නොවුණත් කවුරුත් ඒ කතා ඒ හැටි ගණන් ගන්නේ නැත.
“අපි ගෙදරට ලයිට් ගත්ත කාලේ මේ වගේ ප‍්‍රශ්නයක් තිබුණෙ නැහැනෙ. ඒ කාලේ අපි කළේ බල්බ් පත්තු කරපු එක විතරයි.” තාත්තා කීය.
විදුලිය ලබා ගැනීමෙන් පස්සෙ ටිකෙන් ටික ගෙවීමේ ක‍්‍රමයට අපේ ගෙදරට විවිධාකාරයේ උපකරණ එකතු වූයේ නොදැනුවත්වම වාගේය. මුලින්ම විදුලි ඉස්ත‍්‍රික්කයක් ද, ඉන්පසු පිළිවෙළින් කළු සුදු රූපවාහිනී යන්ත‍්‍රයක්, හොට් ප්ලේට් එකක්, විදුලි කේතලයක්, විදුලි පංකා, ශීතකරණයක්, රයිස් කුකර් එකක් ආදී වශයෙන් ගෙදරට භාණ්ඩ එකතු වූ අතර, දරුවන් ලොකු මහත් වී රැුකියා කරන කාලය වන විට වර්ණ රූපවාහිනී යන්ත‍්‍රයක්, හයි ෆයි සවුන්ඞ් සෙටප් එකක්, වොෂින් මැෂින් එකක් ආදී උපකරණ මිලට ගන්නා ලදී.
 දැන් ඇතිවී තිබෙන තත්වය යටතේ ඒ බොහොමයක් විදුලි උපකරණ ක‍්‍රියාත්මක කරන්නට බැරි තත්වයක් උද්ගත වී ඇත. මේ පිළිබඳව දන්නා කියන ගොඩ වෙදකම් සියල්ල කිරීමෙන් පසුව අන්තිමේදී විදුලි කාර්මිකයෙකුගේ උපදෙස් ලබා ගැනීමට අපි තීරණය කළෙමු.
විදුලි කාර්මිකයා නිවසට පැමිණ වොෂින් මැෂින් එක ක‍්‍රියාත්මක කළේය. එසැනින්ම ට‍්‍රිප් ස්විච් එක ක‍්‍රියා විරහිත විය. තවත් විදුලි උපකරණ රාශියකම තත්ත්වය මේ ආකාර විය. එම විදුලි උපකරණ පරීක්ෂා කර බැලූ විදුලි කාර්මිකයා අවසානයේ දී ප‍්‍රකාශ කළ දෙයින් අපි හොල්මන් වී ගියෙමු.
“මේ විදුලි උපකරණ ඔක්කොම දෝෂ සහිතයි. ඒවායින් විදුලිය කාන්දු වෙනවා. ඒක පාවිච්චි කරන අයට ගොඩක් අනතුරුදායකයි. ඒ අනතුරු වළක්වා ගන්න තමයි ට‍්‍රිප් ස්විච් එක  ඕෆ් වෙන්නෙ.”
 “එතකොට දැන් අපි මොකද කරන්න  ඕන?” අපි සියලූ දෙනාම විදුලි කාර්මිකයාගෙන් ඇසුවෙමු.
“මේ දෝෂ සහිත උපකරණ එක්කෝ අලූත් වැඩියා කරන්න  ඕනෙ. නැත්නම් අලූතින් උපකරණ ගන්න  ඕන. නැත්නම් ඉතිං ට‍්‍රිප් ස්විච් එක  ඕෆ් වෙන එක නවත්තා ගන්න බැහැ.” ඔහු කීය.
 මේක මාර කතාවක් යැයි අපිට සිතිණි. මේ පුංචි ට‍්‍රිප් ස්විච් ඒක නිසා ඇති වෙන ප‍්‍රශ්නයට ගෙදර තියෙන ඔක්කොම විදුලි උපකරණ අලූතෙන් දාන එක මහදැනමුත්තගේ විසඳුමක් වගේ එකක් නේද.
 “වෙන ක‍්‍රමයක් ඇත්තේම නැද්ද?” තාත්තා ඇසුවේය.
“වෙන ක‍්‍රමයක් නැහැ. ට‍්‍රිප් ස්විච් එක තියෙන්නේ ගෙදර අයගෙත්, විදුලි උපකරණවලත් ආරක්ෂාවටනේ. ඒක ජාත්‍යන්තරව පිළිගත් ප‍්‍රමිතියකට අනුවයි හදලා තියෙන්නෙ. ඒ නිසා විදුලි උපකරණ මාරු කරන්න හරි රෙපෙයාර් කරන්න හරි වෙනවාම තමයි.” විදුලි කාර්මිකයා අනුකම්පා විරහිත ලෙස පැවසීය.
මේ මිනිහට යථාර්ථය අවබෝධ කරගැනීමට නොහැකි බව දැන් නම් අපට හොඳටම පැහැදිලිය. එච්චර වියදමක් එක පාරට දරන්නට අපි වගේ දුප්පත් මිනිස්සුන්ට පුළුවන්ද? පුළුවන් වුණත් තව සල්ලි වියදම් කරන්න  ඕන දේවල් කොයි තරමක් තියෙනවාද? අපි දැන් උත්සාහ ගන්නේ ලීස් එකක් දමා වෑන් එකක් මිලට ගන්නයි. ඒ අස්සේ මේ වගේ දේවල්වලට වියදම් කරන්නේ කොහොමද? මේ මිනිහා නම් බටහිර අධ්‍යාපනයෙන් මෙට්ටෙහි වූ බුද්ධියක් ඇති, කිසිදු සියුම් ඉවක් නැති, අනුකාරක ඇංකරයෙක් විය යුතුය. මොහු සමඟ තවදුරටත් කතා කිරීම කාලය නාස්ති කිරීමකි.
විදුලි කාර්මිකයාගේ උපදෙස් අප නොපිළිගත් නිසා ඔහුට අකුලා ගෙන යන්නට සිදු විය. හොර නැතිව මිනිහා විදුලි උපකරණ වෙළෙන්දන්ගේ ඒජන්තයෙකු විය යුතුය. මෙවැනි උපදෙස් දීම නිසා මිනිසුන් විදුලි උපකරණ අලූතෙන් මිලට ගැනීමේදී ඔහුට වෙළෙන්දන්ගෙන් කොමිස් මුදලක් ලැබෙනවා විය යුතුය.
“ඔය විශේෂඥයන්ගේ උපදෙස් අපට හරියන්නේ නැහැ. අපි හොයා ගමු අපට ගැලපෙන විදිහට උපදෙස් දෙන්න පුළුවන් අපේම මිනිහෙක්.”
මේ මෙහොතේ අපට සිහියට ආවේ අපේ ගමේ සිටින චූටි මල්ලියාය. චූටි මල්ලි වනාහි විදුලි කාර්මික වැඩට උපන් හපනෙකි. විධිමත් ලෙස විදුලි කාර්මික ශිල්පය ඉගෙන නොගත්තත් විදුලි කාර්මිකයන්ට අත් වැඩ දීම හරහා ප්‍රායෝගික ඥානයක් ලබා ගත් ඔහු ගමේ  ඕනෑම විදුලි අවුලකදී ස්වේච්ඡුාවෙන්ම ඉදිරියට එන ජනප‍්‍රිය තරුණයෙකි.
 “ඇත්තටම අපට අමතක වුණානෙ. චූටි මල්ලි තමයි මේකට හරියන මිනිහා.” අක්කා ද කීවාය.
එදින හවසම චූටි මල්ලි අපේ ගෙදරට ආවේය. අපි ගෙදර තියෙන විදුලි ප‍්‍රශ්නය ගැනත්, නගරයෙන් ආ විදුලි කාර්මිකයා අපට ලබා දුන් උපදෙස් ගැනත් ඔහුට කීවෙමු.
ගැමි බුද්ධිමතෙකු සිටියදී අනුකාරක ලෙස නගරයේ විදුලි කාර්මිකයෙකුගේ සේවය සොයා යාම ගැන දැන් අපට ලැජ්ජාවක් ද ඇති වේ.
චූටි මල්ලීද කාර්මිකයා මෙන්ම විදුලි උපකරණ ළඟට ගොස් පරීක්ෂා කළේය. විදුලි උපකරණවලින් විදුලිය කාන්දු වන නිසා ට‍්‍රිප් ස්විචය අක‍්‍රීය වන බව ඔහුද කීය.
“අපොයි, එතකොට චූටි මල්ලි කියන්නේ අපිට ඔක්කොම ඉලෙක්ට‍්‍රික් බඩු අලූතෙන් ගන්න වෙයි කියලද?” අක්කා විස්සෝප වී ඇසුවාය.
“අයියෝ පිස්සුද අක්කා? ඒ මොන මෝඩ වැඩක් ද ෂෝර්ට් වුණාට මේ බඩු තවම හොඳට වැඩ කරනවා. මේ කරන්ට්  ඕෆ් වෙන්නේ ට‍්‍රිප් ස්විච් එක නිසානේ. අපි ට‍්‍රිප් එක ගලවලා දාමු”.
කිව්වත් වගේම චූටි මල්ලි ට‍්‍රිප් ස්විච් එක ගලවා දැම්මේය. දැන් අපේ ගෙදර සියලූ විදුලි උපකරණ කිසිදු බාධාවකින් තොරව ක්‍රියාත්මක වේ ∎
www.samabima.com