ටියුෂන් මහත්තුරුන්ගේ පුද්ගලික අධ්‍යාපන කඩ තරගය ?

0
172

DSC_0642මේ  දිනවල   විදුහල්  ඉදිරිපිටට   පැමිණෙන   ටියුෂන්   මහත්තුරුන්ගේ   නියෝජිතයින්  කිසිදු  ඉවක් බවක්  නැතිව  විශාල  මුදලක්  යොදවා   මුද්‍රණය  කරනලද   අත්පත්‍රිකා  සිසු  දරුවන්ට  බෙදති. බෙදා  අවසන් වූ  පසුව  මෙකී  අත්පත්‍රිකා  පාසැල  ඉදිරිපිට   හලා   දමන්නේ  ඡන්ද  කලයේදී   තමන්ගේ  අංකය  තැන  තැන  විසුරුවන  දේශපාලකයින්  ලෙසිනි. මෙසේ  බෙදූ  අත්පත්‍රිකා   සුළඟින්  ගසාගෙන  ගොස්  කානුවලටද  වැටී  කානු දිගේ  ගමන්  කරන්නේ  මෙම  කානුවල  මාළු  සිටී  නම්  උන්ටද  මේ  ටියුෂන්  ගැන  උනන්දුවක්  ඇතිකිරීමට  මෙනි. පාසැල්  අවට  විසිරී  තිබෙන  පොත්  සහ  අත්පත්‍රිකා   ගැනීමට  කිසිවෙකු  උනන්දු  නොවන  නිසා  ඒවා  වාහන  වලට  යටවන  අතර   මේ  අපරාධ  සල්ලි  නේදැයි  සමහරු  ප්‍රශ්ණ  කරති.

පාසැල්  වලින්  ලැබෙන  අධ්‍යාපනය  ප්‍රමාණවත්  නැතිනිසා  දෙමව්පියන්  තම  දරුවා  ටියුෂන්  පංති  කරා  යොමු  කිරීම  සාමාන්‍ය  දෙයක්  බවට  පත්වී  ඇත. එසේම  ටියුෂන්  ගුරුවරයාද  පාසැලේ  ලැබෙන  සොච්චම්  පඩිය  පවුලක්  නඩත්තු  කිරීම  උදෙසා  ප්‍රමාණවත්  නැති  හෙයින්  ටියුෂන්  පංති  යොදා  ගනිමින්  දරුවන්ගේ   අවශ්‍යතාව  ඉටු කර  දීමට  උත්සාහ  කිරීමද  සාමාන්‍ය  දෙයක්  බවට  පත්වී  ඇත. දරුවෙකු   විෂය  දැනුම  ලබා  ගැනීමට  දැඩි  මහන්සියකින්  කටයුතු  කරති.  එසේ  කරනලද  කැපකිරීමේ  ප්‍රතිඵලයක්  ලෙස  ලබන  සම්මාන  වල  අයිතිය  පවසමින්   එක්  පැත්කින්  ටියුෂන්  පංතියද,  අනෙක්  පසින්  පාසැලද  පෙනී  සිටිති. මේ  දෙපිරිසම  නිසා දරුවාගේ  අධ්‍යාපන   වර්ධනයට  බලපෑමක්  සිදුනොවී  යැයි  කිසිවෙකුටත්  කිවනොහැක. නමුත්  දෙමව්පියන්,  පාසැල,  ටියුෂන් පංති  මේ  සියල්ල  දියවැලකට  අසුවූවන්සේ   තරඟයක  යෙදී  සිටින  බව  පැහැදිළිය.  මේ  තරඟය  හරහා  පාසැල උත්සාහ  කරන්නේ  තමන්ගේ  නම  ඉහළින්  තබා  ගැනීමටය.  ටියුෂන්  මුදලාලිලාද  පෙනී  සිටින්නේ  මුදල්  වැඩියෙන්  හම්බ  කිරීම  උදෙසා වන  තරඟයේදී  තමන්ගේ  නම   ඉහළින්ම  තබා  ගැනීමටය. මෙම  තත්වය  මත  මුදල්  සෙවීමේ  ත්‍රියාවලිය  මේ  දෙපිරිස  අතින්ම  ගජරාමෙට  සිදුවෙයි. පසුගිය  දිනවල  කතෝලික  පාසැල්වල  පැවැත්වෙන  සංගීත  සංදර්ශන  සඳහා   ටිකට්  විකුණමින්   කරනලද  ජාවාරම  ගැන  අපි  මීට  පෙර  සඳහන්  කර  ඇත්තෙමු.DSC_0654

එමෙන්ම   ටියුෂන්  මුදලාලිලා  අතර  පවතින   පෝස්ටර්   සහ  අත්පත්‍රිකා  බෙදීමේ  තරඟයද  එවැන්නකි.  එක  පෝස්ටරයක්   තාප්පයේ  ඇලවෙන විට  එහි  පාප්ප   වේලෙන්නටත්  පෙර තව  පෝස්ටර්  කිහිපයක්  ඊට උඩින්  ඇලවෙන  අයුරු  අපි  දැක  ඇත්තෙමු.   එසේ  තරඟ  නොකලොත්    පාසැල්  දරුවා   තමන්ගේ  ටියුෂන්  පංතියට  ඇදගත  නොහැක.  මේ  සියල්ල  සඳහා  වැඩි  වැඩියෙන්  මුදල්  යොදවන්නේ   ජීවත්වීම  උදෙසා  අරගලයක  යෙදී  සිටින  සාමාන්‍ය   ගුරුවරු  නොව,  ටියුෂන්  මුදලාලිලා  බව  අපි  අවධාරණය  කරන්නෙමු.  දරුවන්  වෙනුවෙන්  තමන්ගේ  හද  පතුලෙන්ම  ඇතිවූ   ආදරය  සහ  කරුණාව  පෙරදැරි  කරගත්  ගුරුවරු  නැතිවා  නොවේ.  නමුත්  ඔවුන්  මුදල්  පසුපස  හඹා  යන්නේ  නැත. කෙසේ  නමුත්  අප  අවධාරණය  කරන්නේ   මේ  සියළු  කාරණා  අවබෝධයට  ගනිමින්  කටයුතු  කිරීම  දෙමව්පියන්ගේ  මෙන්ම  දරුවන්ගේද   යහපතට  හේතු  වන  බවය.DSC_0653


සැම්සන් ඥානසිරි