දුරකථනය හරහා පක්ෂ සාමාජිකත්වය ලබාදීමේ වැඩසටහන හදුන්වාදෙමින් පසුගිය 23 වනදා ප්‍රථම වරට එය එක්සත් ජාතික පක්ෂය විසින් එය ක්‍රියාත්මක කරන ලදී. ඒ අනුව දැන් කැමති කෙනෙකුට දුරකථනය හරහා එජාප පාක්ෂිකයෙකු වීමට අයදුම් කළ හැක. මෙය එජාපය දේශපාලන පක්ෂයක් ලෙස කෙතරම් නූතන ද යන්න ප්‍රදර්ශනාත්මක අංගයක් ලෙස පෙනුනද මෙම වැඩසටහන ප්‍රාදේශියව ක්‍රියාත්මක කරවීමේ හලාවත වැඩසටහන දෙස බලන විට මෙම නූතනත්වය පක්ෂයේ ක්‍රියාකාරීත්වයේ දී එලෙසම සිදුවනවාද යන්න පිළිබඳව නම් ඇත්තේ කණගාටුවට කරුණුය. එහි ඉදිරියෙන්ම සිටින්නේ නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු මහතා සහ පාර්ලිමෙන්ත්‍තු මන්ත්‍රි ගරු ශාන්ත අබේසෙකර මහතාගේ පුත් තුෂාන් අබේසේකරය. ( චිත්‍රාල් ප්‍රනාන්දුට නැවත වටය කින් පවුල්වාදය හමුවී ඇත. )
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජංගම දුරකථන මෘදුකාංගයක් මගින් සාමාජිකත්වය ලබා ගැනිමේ පහසුව හදුන්වා දුන් එක්සත් ජාතික පක්ෂයේ මෙම මෙහෙවර පැසසිය යුතුය. නමුත් පවුල් ගස් දේශපාලනය ප්‍රවර්ධනය වීම යනු නූතන දේශපාලනයට නොගැලපෙන්නකි. මෙය පක්ෂ සාමාජිකයන් බදවා ගැනීමේදී නුසුදුසුම සුදුසුකමකි. එක අතකින් මොඩර්න් ඇප් එකකින් සාමාජිකයන්ට ආරාධනා කරන අතර පිටුපස දොරින් තමන්ගේ පුත්‍රයන් කිසිදු හිරිකිතයකින් තොරව ඡන්දයට වඩම්මවයි. මෙහිදී පක්ෂ සාමාජිකත්වයේ ගුණාත්මක අගය නැතහොත් දේශපාලන අගය වර්ධනය කිරීමට ඇති කැපවීම සම්බන්ධයෙන් නම් එක්සත් ජාතික පක්ෂය තුළ සාපේක්ෂ වර්ධනයක් පෙනෙන්නට නොමැත.
එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයා මෙන්ම ශ්‍රී.ල.නි.පයේ පක්ෂ සාමාජිකයන්ද බදවා ගැනීමේ සම්මත ක්‍රමය අනුව බැලූ බැල්මට සාමාජිකයෙකු වීම එතරම් අපහසු නොවන අතර එහිදී අපහසු වන්නේ මෙම පාක්ෂිකයන්ට පක්ෂය තුළ සමාන අයිතිවාසිකම් භුක්ති විදීමේ අවස්ථාවය.
එක්සත් ජාතික පක්ෂය ධනවාදය වෙනුවෙන් පෙනී සිටින පක්ෂයක් පමණක් නොව පවුල්වාදය ද කරගහගත් පක්ෂයකි. පසුගිය කාලය පුරාම පුත්තලම් දිස්ත්‍රික්කය තුළ එජාප දේශපාලනය දෙස බලන විට පක්ෂයේ දැඩි කැපවීම් කළ සාමාජිකයන්ට නොමිනේෂන් ලබා දීමේදී පවුල්වාදය හරස් වූ අවස්ථා ඕනෑ තරම් ඇත. එමෙන්ම තමන්ගේ අතේ හැන්ද තිබෙන විට තමන්ගේ අයට බෙදීමේ න්‍යාය ඕනෑ තරම් ඕනෑවට වැඩියෙන් සිදුවන අයුරු මේ පක්ෂ දෙකේම පොදු ලක්ෂණයකි. ව්‍යවස්ථාවේ කුමක් තිබුණත් ඡන්ද පදනම රැකගැනීම වෙනුවෙන් රනිල් වික්‍රමසිංහට පවා නුසුදුස්සන්ට පක්ෂය බාරදී තිබෙන බව මේ ලියුම්කරුගේ අදහසයි.
ආසන්නම උදාහරණය චිත්‍රාල් ප්‍රනාන්දු ට 2015 පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වීම වෙනුවෙන් නාම යෝජනා ලබා නොදීමේ ප්‍රශ්නය ගතහොත් මෙම ගැටළුව මතුවූයේ පෙස්ටස් පෙරේරාගේ පුත්‍රයා වන නිරෝෂන් පෙරේරාගේ කැමැත්තට පක්ෂයට පිටුපෑමට නොහැකි වූ හේතුවය. මෙහිදී පක්ෂය සාමාජිකත්වයට ඇහුම්කන් දුන්නාද කියන කාරණය කිසිවෙකු හෝ පක්ෂය තුල සංවාදයට ගතහොත් ඇත්තම හේතුව කුමක්ද කියා පක්ෂයේ ඉහළ නායකත්වයට උත්තර දිමට සිදුවනු ඇත. නමුත් තවමත් එවැනි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් මෙම පක්ෂය තුළ ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නොමැත. එම නිසාම පක්ෂ සාමාජිකයාගේ වලංගුභාවය හා සාමාජිකයාගේ වටිනාකමක් නැතහොත් ගුණාත්මකභාවය නැංවීමට පක්ෂය තුළ වැඩපිළිවෙලක් නොමැති බව පැහැදිලිය.
දිසත්‍රික්කය තුළ වසර ගණනක් එජාපය වෙනුවෙන් කැපවී වැඩකරන සාමාජිකයා වෙනුවට පක්ෂය වෙනුවෙන් මුදල් වියදම් කරන්නාට තැනක් ලැබෙන්නට බොහෝ විට ඉඩ ඇත. මනාප ක්‍රමය මෙයට විශාල හේතුවක් වුවුත් එයට සම්බන්ධ නොවන දේශපාලන තීරණ ගැනීම් වලදී පක්ෂ සාමා ලෙස අසාධාරණ වලට ලක්වීමට සිදුවිය.
උදාහරණයක් ලෙස පසුගිය කාලයේ ප්‍රවණතාවයක් ලෙස ඉදිරියට ආ පිය – පුතු දේශපාලනය මෙයට හොදම නිදසුනකි. එකම පක්ෂයේ සුදුසකම් ඇති සාමාජිකයෙකු කපාගෙන දිස්ත්‍රික්කයේ පා.මන්ත්‍රීවරයාගේ පුත්‍රයාට නොමිනේෂන් සදහා ඉදිරිපත් විය හැක. පුත්තලම් දිස්ත්‍රික් එජාප දේශපාලනය තුළ ද මේ තත්වය දැන් කරළියට එමින් තිබේ. නිරෝෂන් පෙරේරා තමන්ගේ පවුලේ අධිකාරිය පක්ෂයේ ක්‍රියාධරයන් අතර බෙදීම් ඇතිකිරීමට පාවිච්චි කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හෙක්ටර් අප්පුහාමි සහ ශාන්ත අබේසේකර යන දෙපළගේම පුත්‍රයන් දැන් දේශපාලන කරලියට පැමිණ තිබේ. පවුල්වාදය යනු මෙයයි. පක්ෂ සාමාජිකයාගේ ශ්‍රමයෙන් දේශපාලනයේ ඉදිරියට ආ පසු එහි ප්‍රතිපළ පවුලට බෙදාගැනීම යනු මෙයයි. බොහෝ විට තමන්ගේ මන්ත්‍රීධූර වලට ලැබෙන තනතුරු වලට ද පවුලේ සාමාජිකයන්ට දීම හරහා ප්‍රතිලාභ පවුලට ලබාගැනීම ආදී තමන්ට ලැබෙන වාහන විකුනාගැනීම දක්වා සියල්ල යනු මෙම පවුල් දේශපාලනය ලෙස අප තේරුම් ගෙන ඇත.
පසුගියදා සාමාජිකත්වය ඇප් එක හදුන්වාදීමේ හලාවත වැඩසටහනේ ඉදිරියෙන් සිටින්නේ පා.මන්ත්‍රී ශාන්ත අබේසේකරගේ පුත්‍රයායි. ඔහුගේ විණය විරෝධී පහරදීමක් වාර්තා වී තවමත් මාස 06ක් වත් ගතවී නොමැත. ඔහු දැන් ඊළඟ පළාත් පාලන මැතිවරණයට සූදානම් වනවා විය හැක. කෙසේ වුවත් මෙය දේශපාලන සදාචාරයට පටහැනිය.
දේශපාලනය තුළ පවුල් ගස් බෝ කිරීමේ කාර්යයේ ඉදිරියෙන් සිටි මහින්ද රාජපක්ෂ පලවා හැර අලුත් රජයකට ජනතාව බලය දි ඇත. ඒ එවැනි දේ නැවතත නැවත දකින්නට නොවේ.
ඩිජිටල්කරණය හොඳය නමුත් කඳ පමණැක් ඩිජිටල් වී වැඩක් නැත. ඔලුවද ඩිජිටල් විය යුතුය. චින්තනය ද නූතන විය යුතුය.
දැන් මෙවැනි යථාර්තයක් හමුවේ දී කතාවට කියන ‘බත්පාර්සල් සහ වතුර බෝතලයට ඇදෙන‘ සාමාජිකයාට වඩා දේශපාලනය කිරීමේ අර්ථයෙන් මෙම අලුත් ඇප් එක හරහා සාමාජිකයෙකු එජාපයට බැදෙනවා නම් එය වඩාත් ධනාත්මකය. නමුත් ඒ සදහා පරමාදර්ශයක් එජාපය තුළ දේශපාලන සංස්කෘතියක් ලෙස තිබෙනවාද යන්න තවමත් ගැටළුවකි. ගමේ කතාවට කියන්නේ දේශපාලනයට එන්නේ හම්භ කරන්ඩනේ කියායි. ඒ නිසා ජනතාව දැන් මේ දේශපාලන සංස්කෘතිය පිටුදකිති. පිළිකුල් කරති. වැඩවසම් දේශපාලන ක්‍රම අවසන් කර ලිබරල් ධනවාදී පක්ෂයක් ලෙස එජාපය ස්තාපනය කළ ද දේශපාලන සදාචාරය දෝරේ ගිය තත්ත්වයක් තුළ ඉහත මතුකළ අගතීන් සහිත එජාපය වෙනස් කිරීමට නම් ඩිජිටල් ඇප් එකක් පමණක් ප්‍රමාණවත් විය හැකි ද ?
සටහන – ජසින්තා නිර්මලී