spot_img
spot_img
Friday, September 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
Home Interviews තමන් ප්‍රගුණ කල ශිල්පය තුළින් ජීවිතය සාර්ථකව ජයගත් ව්‍යාපාරිකයෙක් !

තමන් ප්‍රගුණ කල ශිල්පය තුළින් ජීවිතය සාර්ථකව ජයගත් ව්‍යාපාරිකයෙක් !

0
142

ජීවිතය තුළ අනේකවිද ප්‍රශ්න ගැටලු , අමාරුකම් සහ දුෂ්කරතා සියල්ල ඔහු තම ජීවිතයේ සාර්ථකත්වය බවට පත් කරගත්තේය. තම පාසල් අවධියේ සිටම විවිධ කැපකිරීම් කරමින් පුරුදු පුහුණු වී ප්‍රගුණ කර කරගත් ටින්කරින් සහ පේන්ටින් ශිල්පය තුළින් ඔහු මේ වන විට මෙරට පමණක් නොව ජපානයේද සිය ව්‍යාපාර කටයුතු ආරම්භ කර ඇත.. මීගමුව, දළුපත ප්‍රදේශයේ පිහිටි බන්දුල මෝටර්ස් කාර් සෙන්ටර් හී අධිපතිවරයා වන්නේ ඔහුයි. එමෙන්ම ජපානයේ නගායෝ ප්‍රදේශයේ නොබෝදා ආරම්භ කෙරුණු බන්දුල මෝටර් සමූහ ව්‍යාපාරයේ අධිපතිවරයා වන්නේ ද ඔහුයි. ඔහු නමින් බන්දුල අමරජීව නවරත්න යි.. ඔහු සතු ශිල්පීය ඥානය සහ සිය ව්‍යාපාරික දැක්ම පිළිබඳව ඔහු සමඟින් කළ විශේෂ සංවාදයක් පහත පළ වේ.

ඔබ මේ වෙද්දි මෙරට වාහන ටින්කර් සහ පේන්ටින් ඇතුළු රථ වාහන අලුත් වැඩියා කරන සේවා ස්ථානයක් පවත්වාගෙන ව්‍යාපාරිකයෙක්. මේ ක්ෂේත්‍රයට ඔබේ පැමිණීම සිදුවන්නේ කොහොමද?

මම හිතන්නේ මේ ක්ෂේත්‍රයට මට එන්න සිදු වෙන්නේ ඒ වෙලාවේ පැවති ආර්ථික තත්ත්වය. මගේ තාත්තා කොළඹ පුද්ගලික ආයතනයක රැකියාවක් කලා මගේ අම්මා රැකියාවක් කෙරුවේ නෑ. මගේ පවුලේ පිරිමි දරුවන් හතරයි. මට වැඩිමල් අයියලා තුන් දෙනෙක් ඉන්නවා.මම තමයි පවුලේ බාලයා. ඉතිං ඒ වෙලාවේ පවුලේ ආර්ථික තත්ත්වය ටිකක් අමාරු තත්වෙක තිබුණේ. මගේ තාත්තා සතියකට නැත්නම් සති දෙකකට සැරයක් වගේ තමයි ගෙදර ආවේ. නිතරම ආවේ ගියේ නැහැ.ඉතින් මගේ අම්මට කොහොමහරි උවමනා වුණේ අපිට හොඳට කන්න බොන්න දෙන්න. ඉතින් අම්මයි තාත්තයි අපි වෙනුවෙන් එහෙම මහන්සි ගන්නකොට ඇත්තටම කිව්වොත් දරුවෝ විදිහට ඒක අපිටත් අපේ ඇඟට දැනුනා .ඉතිං අපිටත් අවශ්‍ය වුණා මොනවා හරි දෙයක් කරන්න ඕන කියලා. විශේෂයෙන්ම මට ඒක හරියට තදින් දැනුනා. එහෙම දැනුන හින්දා තමයි මම උත්සාහ ගත්ත මොකක් හරි දෙයක් කරන්න . මොකද මට තේරුන දෙයක් තමයි අපිට හොඳට උගන්වන්න අම්මටයි තාත්තටයි වියදම් කරන්න පුළුවන් කමක් නැහැ, ඉතින් අපිට ගොඩ යන්න නම් මොකක් හරි දෑතේ කර්මාන්තයක් ඉගෙන ගන්න ඕන කියන එක මගේ හිතේ තදින්ම තිබුණා. ඒ අනුව තමයි මම දෑතේ කර්මාන්තයක් ඉගෙන ගන්න උත්සහ ගත්තේ..ඉතින් එහෙම හිතලා තමයි අපේ ගමේ ඒ කියන්නේ මීගමුව,පෙරියමුල්ලේ, තිබුන “ටොම්සි” ගැරේජ් එකේ මම රැකියාවක් හොයා ගත්තේ. එතකොට මම පාසලේ 08 වෙනි පන්තියේ හිටියේ. පාසල් ගිහින් ඇවිල්ලා ,මම ටොම්සි ගැරේජ් එකේ වැඩට යනවා. මටත් අවශ්‍ය වුණේ මොනවා හරි දෙයක් ඉගෙන ගන්න. ඉතින් ටොමිසි ගැරජ් එකේ අයිතිකාර ටොම්සි මහත්තයා මට ඒකට අවස්ථාවක් දුන්නා.ටොම්සි ගැරේජ් එකට යන එක ගැන ඔබේ දෙමව්පියන් විශේෂයෙන්ම ඔබේ මව විරුද්ධ වුනේ එහෙම නැද්ද ?

නැහැ. මගේ අම්මයි තාත්තයි කවදාක්වත් විරුද්ධ වුනේ නෑ. අම්මා තමයි අපි අඳුරන අයියා කෙනෙකුට කියලා මාව එතනට යොමු කෙරුවේ. මොකද මට කුඩා කාලේ ඉඳලා ආසාවක් තිබුණා, වාහන සම්බන්ධව, ලෑන්ඩ් මාස්ටර් එකක රෝදා එකතු කරගෙන ,කවදා හරි දවසක වාහනයක් හදනවා කියලා මම හිතේ තියාගෙන හිටියා. ඉතින් මගේ ඇඟේ වාහන සම්බන්ධව යම් ආසාවක් තිබුනා. අම්මා ඉතින් ඕක දන්නවා. කොහොම හරි ටොම්සි ගැරජ් එකේ වැඩට ආවට පස්සේ මට හොඳ අවස්ථාවක් ලැබුණා. මම වාහන ටින්කරින් වැඩ හොඳට පුරුදු පුහුණු වුණා. ඉතිං පාසල ඇරෙන්නේ දවල් 1.30 ට. හරියටම 2.00 වෙද්දි මම දවල්ට කෑම කාලා .ගැරජ් එකේ වැඩට යනවා.අද කාලේ වගේ නෙමේ ඒ කාලේ වැඩ පුරුදු වෙන අයට පඩියක් දෙන්නේ නෑ.දැන් නම් වැඩ පුරුදු වෙන ළමයින්ටත් දවසකට රුපියල් 1000 ක් විතර පඩියක් දෙන්න ඕනේ.අපිට ඒ කාලේ සතියකටම රුපියල් 50 ක් විතර වගේ තමයි දෙන්නේ, සබන් ගන්න කියලා. ඉතින් මම ඉස්කෝලේ ඉඳලා ඇවිල්ලා, එතන වැඩ කරලා සමහර දවස්වල ගෙදර එද්දි වෙලාව රෑ 10 ත් පහුවෙනවා. ඉතින් එහෙම ලොකු කැප කිරීමක් අපි ඒ කාලේ කලා.එහෙම කැපකිරීමක් කරලා තමයි අපි වැඩ ඉගෙන ගත්තේ.

ඔබ ටොම්සි ගැරේජ් එකේදී විශේෂයෙන්ම රථ වාහන ටින්කරින් වැඩ ඉගෙන ගන්න වැඩිපුරම නැඹුරුනේ ඇයි ?

මම කුඩා කාලේ ඉඳලම ටින්කරින් වලට යම් කැමැත්තක් තිබුණා, ටොම්සි ගැරජ් එකේ හිටියා, කුලියපිටිය පැත්තේ ඉඳලා ආපු උපාලි කියලා ටින්කර් බාස් කෙනෙක්. එයා තමයි මගේ ගුරුවරයා. මම ඉස්කෝලේ 08 වැනි පන්තියෙදි තමයි, ඔය ගැරේජ් එකේ වැඩ පුරුදු වෙන්න ගියේ. ඒ කියන්නේ ඉස්කෝලේ වෙලාවෙන් පස්සේ. එතකොට මම සාමාන්‍ය පෙළ විභාගේ අරගෙන මම එතනින් පාසල් අධ්‍යාපනයෙන් අයින් වුනා. එහෙම මම සාමාන්‍ය පෙළ කරලා පාසලෙන් අයින් වෙනකොට, මට තනියම වුණත් ගැරේජ් එකක වාහන ටින්කරින් කරන්න හැකියාවක් සහ දක්ෂතාවයක් මම ඒ වෙද්දි ප්‍රගුණ කරගෙන තිබුණා. සමහර ගැරේජ් එකේ වැඩට යන්නැති නිවාඩු දවස්වල සමහර කස්ටමර්ස්ලා මාව හොයාගෙන වැඩ කරගන්න ,අපේ ගෙදරටත් ආවා. මම ගෙදරත් සමහර දවස් වලට වැඩ කරනවා.සමහර වෙලාවට අපේ ගැරජ් එකෙනුත් මට වැඩ එවනවා. මම අවංකව වැඩ කරන නිසා ඒවට අවශ්‍ය ආයුධ උපකරණ පවා වෙනමම මට දීලා තිබුණා. ඔහොම යනකොට ටොම්සි ගරාජ් එකේ අයිතිකාර ටොම්සි මහත්මයා මිය ගියා. ඊට පස්සේ ඒකේ මැනේජර්ලා ඒක කරගෙන ගියා ඊට පස්සේ මගේ ගුරුවරයා ඒ කියන්නේ මම අර කලින් සඳහන් කරපු උපාලි කියන ටින්කර් බාස්, මගේ ගුරුවරයා එයා වෙනමම ගැරේජ් එකක් කට්ටුවේ පටන් ගත්තා .මාත් එතන එයත් එක්ක වැඩට ගියා.මම එතන අවුරුදු හතරක් විතර එයත් එක්ක වැඩ කෙරුවා.ඊට පස්සේ හදිස්සියේ උපාලි කියන මගේ ගුරුවරයාත් මිය ගියා. ඊට පස්සේ මම ආයේ ටොම්සි ගැරේජ් එකේ වැඩට ආවා.ඊට පස්සේ ටොම්සි ගැරේජ් එකේ මැනේජර් ,එයා වෙනමම ගැරේජ් එකක් පටන් ගත්තා මීගමුව රෝහල ගාව. ක්ලින්ටන් ගැරේජ් කියලා ඒකට කියන්නේ. එතනත් මම ටික කාලයක් වැඩ කෙරුවා.

 

මේ කාලේ ඔබේ ජීවිතයේ වෙනස්වීම් කිහිපයක් සිදු වෙනවා නේද ? ඒ ගැන කෙටියෙන් විස්තර කළොත් ?

දැන් මට මේ කාලේ වෙද්දි මට තනියම ඕනෑම ටින්කරින් වැඩක් කරන්න පුළුවන් හැකියාව සහ දක්ෂතාවය තිබුණාා. ඒත් එක්කම මට යම් ප්‍රසිද්ධියකුත් තිබුණා. ඔය අතරෙදි මම ආදර සම්බන්ධතාවයක් උඩ මගේ විවාහය සිදුවුණා.ඒ 2000 වසරේදී. ඊට පස්සේ අපි දළුපත ප්‍රදේශයේ පදිංචියට එනවා. ඊට පස්සේ මම ගෙදරත් වැඩ කරන්න පටන් ගත්තා. ඔහොම ඉන්නකොට මගේ යාළුවෙක් පිටරට යන්න රස්සාවක් ලෑස්ති කලා. 2003 වසරේ මම කටාර් වල රැකියාවකට ගිහිල්ලා, වසරකට විතර පස්සේ ආපහු ලංකාවට ආවා. මම හිටපු වසරක් වැනි කෙටි කාලයක් වුණත් මම පුදුමාකාර විදිහට පන්නරයක් ලබා ගත්තු කාලයක් ඒක.එහේ ලංකාවේ වගේ නෙමෙයි, වැඩිපුර පැය ගානක් අපි වැඩ කරන්න වෙනවා.අනිත් එකේ දේශගුණය, අපට ඔරොත්තු දෙන්නැති වුනත්,ඒකට හුරු වෙලා අපි පුදුමාකාර කැපවීමක් කරන්න ඕන ඒ රටේ වැඩ කරන්න. ඉතිං මම කල්පනා කෙරුවා මේ විදිහට අපි අපේ රටේ මහන්සි වුණා නම්, අපේ රටේ මේ වගේ කැපකිරීම් කරලා වැඩ කෙරුවනම් මේ ආදායම අපේ රටේ ඉඳලා ලබන්න පුළුවන් කියලා.එහෙම හිතේ තියාගෙන තමයි මම ලංකාවට ඇවිල්ලා මගේ බිරිඳගේ කට්ටුවේ ගේ ළඟ අලුතින් වැඩපළක් එහෙම නැත්නම් ගැරේජ් එකක් පටන් ගත්තේ. එතන අපි වසර නමයක් දහයක් විතර වගේ කාලයක් ඒ ගැරජ් එක අපි එතැන කරගෙන ගියා.

වාහන පින්තාරු කිරීම එහෙම නැත්නම් පේන්ටින් වැඩ කොහොමද පුරුදු වුණේ ?

ටින්කර් කරන කෙනෙකුට පේන්ටින් වැඩ පුරුදු පුහුණු වෙන එක එච්චර ලොකු දෙයක් නෙවෙයි.ටින්කර් කරන කෙනා දන්නවා, ඒ පේන්ට් එක කොහොමද වෙන්න ඕනේ කියලා. ඒක කාලයක් ඒ වැඩ වල නිරත වෙද්දි අත්දැකීම් සහ පන්නරය එක්ක පුරුදු පුහුණු වෙනවා. ඒ විතරක් නෙමෙයි ඒ වෙද්දි වාහන වල ඇන්ජින් වගේ දේවල් වල තියෙන දෝෂ ආබාධ වලට පවා යම් ආකාරයකින් පිළියමක් කරන්න මට හැකියාව තිබුණාා . ඇන්ජින්වල එන ඇන මුරිච්චි පවා කොයි ඒවද කියලා කියන්න මට හොඳ දැනුමක් ඒ වෙද්දි ලැබිලා තිබුණා.හැබැයි මම මේ තත්වෙට එන්න ගොඩක් කැප කිරීම් කලා. ලොකු දුකක් වින්දා ,එහෙම දුකක් විඳගෙන හරි, අච්චර ලොකු කැප කිරීමක් නොකරුවනම් මෙච්චර ඉක්මනට මට ලොකු දැනුමක් ටින්කරින් පේන්ට්න් ගැන විතරක් නෙමෙයි, වාහන වල මැකෑනිකල් සයිඩ් එක ගැන පවා දැනුමක් ලබාගන්න නොහැකි වෙන්න ඉඩ තිබුනා.

දැන් ඔබේ දළුපත, සිර කඳවුර පාරේ පිහිටි මේ නව ව්‍යාපාරික ස්ථානය එහෙම නැත්නම් මේ ගරාජ් එකෙන් සිදුවන සේවා පිළිබඳව විස්තර කළොත් ?

ඇත්තටම අපි මෙතනට එන්න මූලික හේතුවක් වුනේ අර අපි කට්ටුව කෙරුවනේ මගේ බිරිඳගේ ගේ ළඟ ගැරේජ් එක. ඇත්තටම අපිට එතන ඉඩ මදි වුනා. අපිට එන්න එන්නම එතන ගොඩක් වැඩ වැඩි වුණා. ඒක නිසා තමයි අපිට එතන ඉඩ මදි වුණේ.අපි කට්ටුවේ ඉන්නැද්දිම අනතුරු වලට ලක් වෙච්ච වාහන ඒ රක්ෂණ ආයතනත් එක්ක කතා කරලා වාහන අලුත් වැඩියා කටයුතු කරන්න අවශ්‍ය බලපත්‍ර එහෙම අපි අර ගත්තා. ඉතින් ඒ වැඩකටයුතු පහසු වෙන විදිහට, වැඩිපුර ඉඩකඩ තියෙන විදිහට තැනක් අපි දළුපත සිර කඳවුර ආසන්නව ” බන්දුල මෝටර් කාර් සෙන්ටර් ” කියලා අපි අලුතන් ගරාජ් එකක් 2010 පටන් ගත්තා.

 

 

 

මේ අපේ අලුත් තැනින් ටින්කර් පේන්ටින් වලට අමතරව, විශේෂයෙන්ම අනතුරු වලට ලක්වෙන වාහන තිබුණු විදිහට යථා තත්ත්වයට පත් කරන්න අවශ්‍ය කරන ඒ සියලුම අලුත් වැඩියා කටයුතු මෙතනින් සිදු කරලා දෙනවා. අපි කරන්නේ බොහෝවිට ටින්කරින් පේන්ටින් වුනාට වාහන වල අනෙකුත් කටයුතු ඒ කියන්නේ මිකෑනිකල් , ඉලෙක්ට්‍රික් , කුෂන් වගේ අනිකුත් අලුත් වැඩියා වැඩකටයුතුත් අපි සමග සම්බන්ධ වෙලා තියෙන අනෙකුත් ආයතන සමග කතා කරලා මෙතනින්ම කරලා දෙනවා. ඒත් එක්කම ඒ වාහන රක්ෂණය කරලා තියෙන රක්ෂණ සමාගම් එක්ක සම්බන්ධිකරන කටයුතුත් අපි කරලා දෙනවා. අපි ළඟට එන කස්ටමර් කෙනෙකුට අර අනතුර වෙන්න කලින් වාහනේ තිබුණු විදිහටම සමහර වෙලාවට තිබුනටත් වඩා හොඳ තත්ත්වයට අපි වාහනය සියලුම අලුත් වැඩියා කටයුතු කරලා දෙනවා.

 

ඔබට ජපන් රටට යන්න අවස්ථාවක් ලැබුණ නේද ,ඒ ගැන විස්තර ටිකක් දැනගන්න කැමතියි ?

මට ජපානයට යන්න අවස්ථාවක් ලැබුණා. ඒක මට ලැබුණේ අපි ඔය වාහන වලට පේන්ට් ගන්නේ මීගමුව නගරයේ තියෙන ” නිගම්බු පේන්ට් සෙන්ටර් ‘ එකෙන් . මොකද ඒ කාලේ එයාල ගාව විතරයි මීගමුවේම පෙන්ට් වල පාට හදන සහ මික්ස් කරන මැෂින් එකක් තිබුනේ. මුළු මීගමුවේම පේන්ට් ගරාජ් එතැනින් තමයි පේන්ට් අර ගත්තේ. ඉතින් එතැනට කුරුණෑගල, අකුරණ පැත්තේ ඉඳලා එන කෙනෙක්, කියලා තිබුණා, හොඳට පේන්ට් වැඩ දන්න අවංක කෙනෙක් හොයලා දෙන්න කියලා ජපන් එක්කන් යන්න.ඉතින් එයාලා මාව තමයි තෝරාගෙන තිබුණේ. ඒ අනුව තමයි මම ජපානයට ගියේ. ජපානයේ ටෝකියෝ ඉඳලා කිලෝ මීටර 500 ක් විතර එහායින් තියෙන නගායෝ කියන ප්‍රදේශයට තමයි මම ගියේ. ඒකත් ගැරේජ් එකක්. එතනත් අනතුරු වුන වාහන ගෙනල්ලා ටින්කරින් පේන්ටින් ඇතුළු අනෙකුත් අලුත් වැඩියා කටයුතු කරලා ඔක්ෂන් එකට දානවා. . එතනත් මේ වගේ වැඩ කරන්න තමයි තියෙන්නේ.එයාලා අවුරුද්දකටම වීසා හදන්න ලෑස්ති වුනා..මම ඒක කැන්සල් කලා මම මාස 03 කින් ලංකාවට ආපහු ආවා. ඒ වෙද්දි මගේ මෙහේ කස්ටර්මර්ස්ලා මම එනකල් වාහන තියාගෙන බලන් ඉන්නවා. ඉතින් මමයි මගේ බිරිඳයි අපි වෙනදට වඩා ගොඩක් කැප වෙලා අපේ මේ අලුත් ගැරේජ් එක දැන් තියෙන දියුණු තත්ත්වයට අපි මේක ගේන්න ලොකු උත්සාහයක් ගත්තා.මට ලොකු ශක්තියක් වුනා මගේ බිරිඳ . මොකද මාත් එක්කම එකට ඉඳලා මේ වැඩ ගැන එයාට හොඳ දැනුමක් වගේම හොඳ අත්දැකීමක් පලපුරුද්දකුත් තිබුණා . එයාගේ සහයෝගය මට විශේෂයෙන්ම ලොකු හයියක්, පන්නරයක් වුනා. ඉතින් ඊට පස්සේත් එයාලා මාව අවුරුද්දට දෙපාරක් විතර වගේ ජපානයට ගෙන්න ගත්තා. එතන මාස කීපයක් වැඩ කරලා මං ආපහු ලංකාවට ආවා.ඉතින් මේ අපේ අලුත් ගැරේජ් එකේ වැඩ කටයුතු සියල්ල මම නැතත් ඒ අවුරුද්දක වගේ කාලය මගේ බිරිඳ හොඳින් කරගෙන ගිහින් තිබුණා. ඒක නිසා මේ වෙද්දි මගේ මේ ව්‍යාපාරය හවුල් ව්‍යාපාරයක් බවට පත් කරලා ගිවිසුම්ගතව බිරිඳට මේකේ වැඩි කොටසක් පවරලා දුන්නා, මේක හොඳින් පවත්වාගෙන යන්න.එයා ඒ වැඩේ හොඳට මේ වෙද්දී කරගෙන යනවා. විශේෂයෙන්ම පහුගිය කාලේ අවුරුද්දක විතර වගේ කාලයක් මම ජපානයට ගිහින් තිබුණු වෙලාවේ මෙහි වැඩ කටයුතු මට බලන්න වෙලාවක් තිබුනෙම නැහැ. ඉතින් මගේ බිරිඳ මේ ව්‍යාපාරය ඉතා හොඳින් පවත්වගෙන ගිහින් තිබුණා. ඒ අනුව මගේ බිරිඳ මේ ව්‍යාපාරයේ මේ වෙද්දි අධ්‍යක්ෂක කෙනෙක් විදිහට කටයුතු කරනවා

දැන් ඔබේ මේ කාර්යභාරය කරන තවත් ගැරේජ් ගණනාවක් තියෙනවා. හැබැයි කොළඹ ප්‍රදේශයටත් එහා ඉඳලා ලංකාවේ විවිධ ප්‍රදේශවලින් මෙතැනටම හොයාගෙන එනා්න අනෙකුත් ගැරේජ් වලට වඩා ඔබේ මේ ස්ථානයේ තියෙන විශේෂත්වය මොකක්ද ?

මම නිතරම කියන දෙයක් තියෙනවා, ඒ තමයි තමුන් කරන ක්‍රියාවයි චේතනාවයි පිරිසිදු නම් තමුන්ට කවදාවත් වරදින් නෑ කියන එක. මම කස්ටමර් කෙනෙක් ආවත් වැඩට අලුතින් කෙනෙක් ආවත් කියන්නේ ඔය කතාව තමයි, අපි කාවවත් රවට්ටන්න හොඳ නෑ. අපි කාව හරි රවට්ටන්ඩ හැදුවොත් රැවටෙන්නේ අපිමයි. අපි කරන වැඩේ හරියට කෙරුවොත් අපිට කවද හරි දිනුමක් තියෙනවා.මම එන කස්ටමර් කෙනෙකුට වුණත් කියන්නේ ඔයාගේ වැඩේ ගැන ඔයා සැටිස් නම් විතරක් අපිට සල්ලි දෙන්න.මොකද එයා සැටිස් නැත්තම් අපිට බැන බැන නේ යන්නේ. ඒක අපිට විශාල පාඩුවක්. එයා සැටිස් නම් ,ඒක අපිටත් සේලයින් එකක් වැදුනා වාගේ . ඒක ලොකු එනර්ජි එකක් ඒ කියන්නේ ඒක ලොකු ශක්තියක් වෙනවා අපේ ව්‍යාපාරයට. අපි එතකොට තවත් උනන්දු වෙනවා අනිත් වැඩ හොඳට කරන්න. දැන් කස්ටමර් කෙනෙක් අපිට බැන බැන ගියොත් අපිට මේ ජොබ් එක කරන්නත් කලකිරෙනවා. මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ මුදල් නේ. ඇත්තටම මුදල් මෙතන ඉස්සර කරගන්න හොඳ නැහැ. අපි වැඩේ හරියට කරලා කස්‌ටර්මව තෘප්තිමත් කරලා යැව්වොත් එයා වැඩිපුර හරි අපිට මුදල් දීලා යයි. මේ වැඩපළට ආපු කස්ටමර් කෙනෙක් මේ වෙනකම් මට සමුසේ කියලවත් කතා කරල ගිහින් නැහැ. සමහර හොර වැඩ කරන කස්ටමර්ස්ලාත් මෙතනට එනවා, මේක මේ විදිහට කරමු මේක අර විදියට කරමු කියාගෙන, එහෙම අයවත් මම මෙතනට ගන්නෑ.මම ඒ අයට කියන්නේ එහෙම කරන ගැරේජ් තියෙනවා, ඒ වගේ තැන් වලට ගිහින් වැඩ කරගන්න කියලයි මම කියන්නේ. මම කරන වැඩ වලට විශේෂයෙන්ම මම කරන පේන්ට් එකකට මම අවුරුද්දක් ගැරන්ටියක් දෙනවා. ඒ කියන්නේ වගකීමක් දෙනවා. මොකද මට විශ්වාසයි මම වැඩේ හරියට කරලා තියෙනවා කියලා. ඉතින් එහෙමනම් මට ගැරන්ටියක් දෙන්න පුළුවන් ඒකට. ඉතිං අපි මුදල් බලාගෙන මුදල් ඉස්සර කරගන්න හොඳ නැහැ මේ ව්‍යාපාරයේදී.මුදල් ඉස්සර කර ගත්තොත් අපිට මේ ව්‍යාපාරය මේ විදිහට පවත්වාගෙන යන්න බැරි වෙනවා. එනිසා කස්ටර්මව තෘප්තිමත් කරලා යැව්වොත් එය අපිට වැඩිපුරත් සල්ලි දීලා යයි. මුදල් පසු පස්සේ අපි යන්න හොඳ නෑ. අපි පස්සේ මුදල් එන විදිහට අපි අපේ ක්‍රමය හදාගන්න ඕන. ඒක තමයි මගේ තියරිය. කස්‌ටමර් තෘප්තිමත් කෙරුවොත්, සල්ලි අපේ පස්සෙන් එයි.

දැන් එතකොට ඔබේ ජපාන් රටෙත් මෙවැනිම ව්‍යාපාරයක් ඒ කියන්නේ ටින්කර් පේන්ටින් සහ අනතුරුවට ලක්වූ වාහන අලුත් වැඩියා කරන ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා කියලා දැනගන්න ලැබුනා?

ඔව්, අර මම කලින් ජපානයේ රැකියාවට ගිය තැන. එයාල එක වහලා දැම්මා. ඉතින් ජපනයට වතා කීපයක් මම ගියානේ.එතනදි මට හිතවත් යාළුවෝ ටිකක් මුණගැහුනා. ඉතින් මගේ යාළුවෙක් පටන් ගත්ත ඔය වගේ වර්ක් ෂොප් එකක් එහෙම නැත්නම් ගැරෙජ් එකක්.ඒකේ මම ඉතින් වැඩ කරලා දීලා එහෙම ගියා, ආවා.ඉතින් පහුගිය කාලේ රටේ තිබුණු ආර්ථික කඩා වැටීමත් එක්ක, අපිට මේ රටේ ඉදිරියක් පේන්න තිබුනේ නෑනේ.ඒක නිසා මම ජපානයේ ගැරේජ් එකක් ආරම්භ කෙරුවා . ඒකත් මේ නමින්ම තමයි පටන් ගත්තේ. ඒ කියන්නේ බන්දුල මෝටර්ස් ගෲප් (B M GROUP) කියන නමින්. එතනත් ටින්කරින් පේන්ටින් සහ අනතුරුවලට ලක්වුණු වාහන ඇතුළුව සියලු වාහන අලුත් වැඩියා කටයුතු කරනවා.

ඔබ දැන් ජපානයට කීප විටක්ම ගිය නිසා ජපානය සහ අපේ රටේ මිනිස්සු අතර තියෙන වෙනස කොහොමද දකින්නේ?

ජපාන් රට ගත්තහම එහේ අලුත් තාක්ෂණය අලුත් යන්ත්‍ර සූත්‍ර උපකරණ වගේ දේවල් තිබුනට හැකියාව සහ දක්ෂතාවන් එක්ක බලපුවහම ජපන් රටේ මිනිස්සුන්ට වඩා අපේ රටේ මිනිස්සු ජාති භේද ආගම් භේද නැතුව අපේ ලංකාවේ ඉපදුණු මිනිස්සු ඉතාමත්ම දක්ෂයි. විවිධ හැකියාවන්ගෙන් පරිපූර්ණයි. එහෙම ගත්තහම අපේ රටේ මිනිස්සු ඉහලින්ම ඉන්නවා
ජපාන් මිනිස්සු 100 ගත්තොත් 25 ක් තමයි මොලේ තියෙන වැඩකාරයෝ ඉන්නේ. එතකොට ඒ 25 ම රජයෙන් ඒ අයගේ ඒ දැනුම අරගෙන ඒ අයට නියම සුදුසු තැන් දීලා ඒ 25න් තමයි මුළු ජපානයම දුවවවන්නේ දැන් අපේ රට ගත්තහම අපේ රටේ 100 ගත්තොත් ඒකෙන් 75 ක්ම ඉන්නේ හොඳට මොලේ තියෙන වැඩකාරයෝ. 25 ක් තමයි මෝඩයෝ ඉන්නේ. හැබැයි අපේ රට දුවන්නේ අර මෝඩයෝ 25න්. ඔන්න ඕකයි ජපානය සහ අපේ රටේ අතර තියෙන වෙනස. අපේ ළමයි පුදුමාකාර හැකියාවන් තියෙන ළමයි, ජපානේ හුඟක් අය ගත්තහම අර ගාමන්ට් වල වැඩ කරන කට්ටිය වගේ. එක වැඩයි හොඳටම කරන්න පුළුවන්. නමුත් අපේ රටේ අයට ඕනෙම දෙයක් එක පාරක් දෙපාරක් බලා ඉඳලා ඒක හොඳටම කරන්න පුළුවන් පුදුමාකාර හැකියාවක් දක්ෂතාවයක් තියෙන අය තමයි අපේ රටේ ඉන්නේ..

ජපානයේ බන්දුල මෝටර්ස් ගෲප් ආරම්භ කළ අවස්ථාව

ඔබේ පවුලේ විස්තර ටිකක් දැන ගන්න වගේම ඔබගේ අනාගත බලාපොරොත්තු ගැනත් දැන ගන්න කැමතියි ?

මගේ මේ ව්‍යාපාරයට යෝද ශක්තියක් වුනේ මගේ බිරිඳ. එයාට මේ ක්ෂේත්‍රය සම්බන්ධව හොඳ දැනුමක් සහ පළපුරුද්දක් මේ වෙද්දී තියෙනවා. එයා තමයි මේ අපේ ගරාජ් එකේ තියෙන කලර් කම්බිනේෂන් යන්ත්‍රයේ වැඩකටයුතු පවා එයා තමයි කරන්නේ. ඒවගේම ඒ වාහන වලට අවශ්‍ය වර්ණ පිළිබඳව එයාට හොඳ දැනුමක් සහ අවබෝධයක් තියෙනවා.ඒ වගේමයි රක්ෂන ආයතන සමග සම්බන්ධීකරණය පවත්වා ගනිමින් ඒ සියලුම ලියකියවිලි වල වැඩ කටයුතු කරන්නෙත් ඇයයි. ඒත් එක්කම මේ ගරාජ් එකේ සියලුම මෙහෙයුම් කටයුතු සහ පරිපාලන කටයුතු කරන්නෙත් ඇයයි.ඉතින් මම නැතත් ඇයට තනියම වුනත් මේ ව්‍යාපාරය දැන් කරගෙන යන්න පුළුවන් ශක්තියක් සහ දැනුමක් ඇයට තියෙනවා.

 

මට ඉන්නේ පුතාලා දෙන්නෙක්. දෙන්නම මාරස්ට්ල්ලා විද්‍යාලයේ . මගේ බාල පුතා සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වෙනවා. මගේ ලොකු පුතා මේ වෙද්දි පාසල් අධ්‍යාපනය අවසන් කරලා ජපානයේ ඉන්නේ. එයා නිශාන් කොම්පැනියට අනුබද්ධ අධ්‍යාපන ආයතනයක ඔටෝ මොබයිල් සම්බන්ධව උපාධි පාඨමාලාවක් හදාරනවා, ටින්කර් පේන්ටින් වලට අමතරව, මිකෑනිකල් සහ ඉලෙක්ට්‍රොනික් ආදී තාක්ෂණයන් පිළිබඳව එහිදී ඔහු වැඩිදුරටත් හදාරනවා. ඔහු තමයි මගේ ජපානයේ ව්‍යාපාර කටයුතු මං නැතිවෙලාවට බලාගන්නේ. ඉතින් තව වසර දෙකකින් විතර මගේ බාල පුතාවත් වැඩිදුර අධ්‍යාපනය සඳහා ජපානයට අරගෙන යන්න මම බලාපොරොත්තු වෙනවා.මට ඇත්තටම අවශ්‍ය වෙන්නේ මේ ගැරේජ් එක මීගමුවේ තියෙන හොඳම ගැරේජ් එක බවට පත් කරන්න.එහෙම කරලා මට අවශ්‍ය නෑ මීගමුවේ තියෙන හැම වාහනේම මේ ගැරේජ් එකෙන්ම හදන්න . මට අවශ්‍ය වෙනනේ විශේෂයෙන්ම ටින්කර් පේන්ටින් සම්බන්ධව මීගමුවේ තියෙන හොඳම ගැරේජ් බවට, අපේ ගැරේජ් එක පත් කරන්න.

ඔබ දැන් වසර 20 කට වැඩි කාලයක් මේ ක්ෂේත්‍රය තුළ කටයුතු කරනවා. මේ කාලය තුළ ඔබට සිදුවුණු අමතක නොවෙන සිදුවීම් එහෙම තියෙනවද ?

 

 

එහෙම විශේෂ සිදුවීමක් කියලා නම් නෑ. අපි ඉතින් හොඳට වැඩ කරපුවහම කස්ටමර්ස්ලා ඇවිල්ලා අපි අර එස්ටිමෙට් කරපු මුදලට වඩා වැඩිපුර මුදලක් දීලා ගිය අවස්ථාවන් ඕ⁣න තරම් තියෙනවා. ඒ වගේමයි ඔය වටිනා කියන මත්පැන් බෝතල් වගේ දේවල් සන්තෝෂ ගානේ දීලා යන අවස්ථාත් තියෙනවා. හැබැයි මේ ලඟදි කටුනායක පැත්තේ ඉන්න එක මහත්තයෙක් ඇවිල්ලා, එයාගේ කාර් එක ලස්සනට අපි පේන්ට් කරලා දීලා ඒ වැඩ ටික එයාට සැටිස් විදිහට කරලා දුන්නා කියලා අපිට කේක් එකක් එහෙම දීල ගියා.ඒකේ තියෙන විශේෂය තමයි කේක් එක බොහෝම රසට හදලා, අයිසින් වලින් අපේ ගැ⁣රේජ් එකේ නම ගහලා, මට විතරක් නෙමයි වැඩ කරන අනෙක් අයටත් ඒකේ ස්තුතිය ප්‍රකාශ කරලා ඒ කේක් එක අපිට තෑගි කරලා ගියා. ඇත්තටම මුදල් වලට වඩා වෙනත් වටිනා කියන තෑගි බෝග වලට වඩා අපිට ඒක ගොඩක් වටිනවා. අපිට ඒ දෙයින් ලැබෙන තෘප්තිය සතුට ඒක වචනයෙන් විස්තර කරන්න බැහැ .ඒ වගේ දෙයක් මගේ ජීවිතේ සිදු වුණාමයි. ඒ සිදුවීම කවදාක්වත් මට අමතක වෙන්නේ නෑ.මට විතරක් නෙමේ අපේ වැඩ කරන අයටත් ඒක අමතක වෙන එකක් නෑ.

අවසාන වශයෙන්, ගැරේජ් එකක් ආරම්භ කරමින් හෝ කුමන හෝ ක්ෂේත්‍රයකින් හරි ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට ඔබ ලබාදෙන උපදේශනය මොකක්ද ?

තමන් කරන වැඩේ අධිෂ්ඨානශීලීව හරියට අවංකව කරන්න.ඒ සඳහා ඇප කැප වෙන්න .මුදල් ඉස්සර කරගන්න යන්න එපා.තමන්ගේන් සේවාව ලබන කෙනාගේ තෘප්තිය ගැන පමණක් හිතන්න.තමන් කරන වැඩේ හරියට කරන්න . හොරයක් බොරුවක් කරන්න යන්න එපා. ඒක තමයි ඕනෑම දෙයකින් සාර්ථක වෙන්න කරන්න පුළුවන් හොඳම දේ. සෑම විටම චේතනාව සහ තමන් කරන ක්‍රියාව පිරිසිදු විය යුතු බව තරයේ සිත් තබාගන්න. මෙහෙම කළොත් ඕනෑම දෙයකින් සාර්ථකත්වය ඔබ පසුපසම ඒවි
මේක තමයි මට දෙන්න තියෙන හොඳම උපදේශනය.