දැන් මහින්දට මොකද වෙන්නේ?

0
79

MAhinda_Rමහින්ද සමඟ නැගිටීමට ගොස් කට්ටියක් නැගිට්ට පරක්කුවෙන්ම හාන්සි විය. තව කට්ටියක් අතපය කඩාගෙන පැත්තකය. තව පිරිසක් තවම නිදි කිරමින් සිටිති. තවත් පිරිසක් හොර නින්දේ ද පසුවන බවක් පෙනේ.

මේ ආදී වශයෙන් තැන් තැන්වල රංචු ගැසී සිටින කණ්ඩායම් යළිත් නොයෙකුත් පරස්පර ප‍්‍රකාශ කරමින් මාධ්‍ය අවකාශයේ හිස්තැන් පුවරවමින් ද සිටී.

කෙසේ නමුත් මහින්ද රාජපක්ෂ මහතා මහ මැතිවරණයට ඉදිරිපත් වී බලාපොරොත්තු වූ ජයග‍්‍රහණය නොලැබී යාම සම්බන්ධයෙන් නොයෙක් විප‍්‍රකාර අදහස් සමාජගත වෙමින් තිබේ. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයේ දී ලැබුණු ලක්ෂ 58ක ප‍්‍රමාණය මාස හයකින් පසුව ලක්ෂ 47 දක්වා පල්ලම් බැසීම ගැන නරක සංවාදයක් සමාජ ජාල අවකාශයේ සිදු වෙමින් පවතී. රාජපක්ෂගේ පරාජය රාජපක්ෂවාදී කොටස්වලට පුදුමය දනවන කරුණක් වී ඇත. ඔවුන් කල්පනා කළේ ජනාධිපතිවරණ පරාජයෙන් පසුව රාජපක්ෂ මහතා තවත් ජනප‍්‍රිය වී ඇති බවය. ඇතැම්හු රාජපක්ෂ මහතා ලක්ෂ 8ක පමණ මනාප ප‍්‍රමාණයක් ගන්නා බවට ද ගණන් හිලව් පෙන්වීමට තරම් ස්වප්නයක ගිලී සිටියහ.

එහෙත් සාමාන්‍යයෙන් ජනාධිපතිවරණයක දී ඡුන්ද දායකයා හැසිරෙන ආකාරයත් මහ මැතිවරණයක දී ඡන්ද දායකයා හැසිරෙන ආකාරයත් අතර වෙනස්කම් මෙන්ම උනන්දුව පිළිබඳ වන ප‍්‍රශ්න නිසා භාවිත ඡන්ද ප‍්‍රමාණයෙහි අඩුවක් වෙයි. එහෙත් ජනාධිපතිවරණයේ දී මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහාය වූ පක්ෂ වෙන් වෙන්ව මහ මැතිවරණයට ඉදිරිපත් වුව ද එම ඡන්ද ප‍්‍රමාණය එකතු කළ විට ජනාධිපතිවරණයේ දී ලබාගත් ඡන්ද ප‍්‍රමාණය ඉක්මවා තිබිණ. මේ නිසා රාජපක්ෂවාදීහු තවත් අර්බුදයකට ලක්ව සිටිති. සමහරුන්ට අනුව මෙතැන බරපතළ ඡන්ද වංචාවක් සිදුව ඇත. මේ වංචාව සිදු කළේ මැතිවරණ කොමසාරිස්වරයා බවට චෝදනා කරන තරමට සමහරුන් දුර ගොස් ඇත. මේ පුහු තර්කවලට ඊට ගැළපෙන ආකාරයෙන් ඇතැම් කෙනකු අභියෝග කළේ ජනාධිපතිවරණයේ දී රාජපක්ෂවරු ඡන්ද ලක්ෂ 11 හොරෙන් දමාගෙන ඇති බවත් මෙවර ඒ නොහැකි වූ බව කියමිනි.

ඒ කෙසේ නමුත් මේ චෝදනාව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කිසිදු පක්ෂ නායකයකු සිදුකර නොමැති අතර එම ප‍්‍රතිඵලය කාටත් කලින් පිළිගනු ලැබුවේ ද රාජපක්ෂ මහතා විසින්මය.

මෙහි පැහැදිලි සත්‍යය නම් ශ‍්‍රීලනිපයේ පාක්ෂිකයා විසින් රාජපක්ෂ මහතාව ප‍්‍රතික්ෂේප කරන ලද බවය. මෙහි දී සන්ධාන පාක්ෂිකයා යන්න සඳහන් නොකළේ ශ‍්‍රීලනිප නොවන සන්ධාන පාක්ෂිකයන් යැයි සැලකිය යුතු කොටසක් නොමැති බැවිනි. විමල් වීරවංශලා ද උදය ගම්මන්පිලලා ද දිනේෂ් ගුණවර්ධනලා ද පාර්ලිමේන්තු අසුන් දිනාගන්නේ ශ‍්‍රීලනිප ඡන්දදායකයා ලබා දෙන මනාපයකින් මිසක් එම පක්ෂ සාමාජිකයන් කිහිප දෙනාගේ ඡන්දවලින් නොවේ. එපමණක් නොවේ, ශ‍්‍රීලනිප පාක්ෂිකයාට, රාජපක්ෂ මහතා පමණක් නොව අනෙක් ශ‍්‍රීලනිප මන්ත‍්‍රීධුරාපේක්ෂකයන් ද එපා වී ඇති බව ද පෙනෙන්නට තිබේ. හොඳම උදාහරණය කොළඹ ප‍්‍රතිඵලයයි.

කොළඹ දිස්ත‍්‍රික්කයෙන් තෝරා පත් වුණු සන්ධාන අපේක්ෂකයන් අතරින් ඔරිජිනල් ශ‍්‍රී ලංකාකාරයකු ලෙස සැලකිය හැක්කේ සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා පමණි.

පාක්ෂිකයාට හෝ එහි හිතවත් ඡන්දදායකයාට මහින්ද රාජපක්ෂ එපා වූයේ ඇයිද යන්න නොවිමසා සන්ධානයට ඡන්ද 11 ලක්ෂයක් අඩුවීම තේරුම් ගත නොහැකිය. වඩා පුළුල්ව මේ ගැන සාකච්ජා කරන්නේ නම් රාජපක්ෂ එපා වීමේ ප‍්‍රමාණය 11 ලක්ෂයක් නොව ඊටත් වැඩි බව පෙන්වා දිය හැකිය. මන්ද, ජනාධිපතිවරණයේ දී සිරිසේන මහතා දිනවීම වෙනුවෙන් කටයුතු කළ ශ‍්‍රීලනිප මැති ඇමැතිවරුන් ගණනාවක්ම මහ මැතිවරණයේ දී ඉදිරිපත් වූයේ සන්ධානයෙන් බැවිනි. ඔවුන්ගේ ඡන්ද ජනාධිපතිවරණයේ දී සන්ධානයට ලැබුණේ නැත. එහෙත් ඒවා මෙවර ලැබුණේ සන්ධානයටය. එමෙන්ම මහ මැතිවරණයේ දී ජනාධිපතිවරයාගේ සහාය ද හිමි වූයේ සන්ධානයටය. ඔහුගේ විරෝධය පළ වූයේ මහින්ද රාජපක්ෂට මිස සන්ධානයට නොවේ. ඔහු ඒ බව පැහැදිලිව ප‍්‍රකාශ කළ අතර ඒ වෙනුවෙන් ප‍්‍රචාරක කටයුත්තක ද නියැළුණේය. එමෙන්ම ඔහුගේ මහින්ද විරෝධය ද සන්ධානයේ වාසියට හිටියේය. ඔහුගේ මහින්ද විරෝධය නිසා මහින්දවාදීන් වඩා උනන්දුවෙන් ද කටයුතු කළේ සන්ධානය දිනවා කෙසේ හෝ මහින්ද අගමැති කිරීමටය. මේ නිසා සන්ධානයට ලැබුණු ලක්ෂ 47 හෝ මහින්ද නිසා ලැබුණා යැයි කිසිසේත්ම කිව නොහැකිය.

එනම් ශ‍්‍රීලනිප පාක්ෂිකයාට මහින්ද එපා වීම ඊට වඩා බරපතළ බව සැලකිය යුතුය. එසේම මහින්ද තරග කළ කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙන් ජනාධිපතිවරණයේ දී ලැබූ වැඩි ඡන්ද ලක්ෂයක පමණ ප‍්‍රමාණය මහ මැතිවරණයේ දී තිස් දහසටත් වඩා අඩුවීමෙන් ශ‍්‍රීලනිපයට මහින්ද එපා වීම ගැන තහවුරු කරන්නට ප‍්‍රබල උදාහරණයකි.

අනෙක් දිස්ත‍්‍රික්කයන් හි ශ‍්‍රීලනිප පක්ෂිකයාගේ ඡන්දය ප‍්‍රකාශ වීම ඒ ඒ දිස්ත‍්‍රික්කවල අපේක්ෂකයාගේ ජනප‍්‍රියතාව අනුව සිදුවීම මිස, මහින්ද නිසා දුන්නා වූ හෝ නොදුන්නා කියා බරපතළ ලෙස සැලකිය නොහැකිය. තවමත් ශ‍්‍රීලනිපය අත්හැරීමට බලාපොරොත්තුවක් නැති ඡන්ද දායකයන් ඡන්දය පාවිච්චි කළේ අනෙක් පක්ෂයකට හෝ අපේක්ෂකයකු ජයග‍්‍රහණය කිරීමේ නොකැමැත්ත නිසාය.

එසේ නොමැතිව පැහැදිලි දේශපාලනික හේතුවක් එම ඡන්ද දායකයාට තිබුණේ නැත. සන්ධාන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය පවා සුරංගනා කතාවකට වඩා වැඩි දෙයක් නොවන බව ඔවුන් තේරුම් ගෙන තිබිණි. ඒ අනුව රාජපක්ෂලාගේ බොරුවලින් ඇති තරම් හෙම්බත්ව සිටි ඡන්දදායකයෝ මෙවර උදාසීන වීම බරපතළ ලෙස ගණන් ගත යුතු දෙයක් නොවේ.

එමෙන්ම මෙවර මහ මැතිවරණයේ දී රාජපක්ෂවාදී යැයි කියන ශ‍්‍රීලනිප පාක්ෂිකයකු, දූෂණ අපරාධ චෝදනා ලැබූවන් දිස්ත‍්‍රික්ක කිහිපයක ඉහළම මනාපය ලබා දී ජයග‍්‍රහණය කරවා තිබේ. ඒ හැරෙන්නට අනෙකුත් සන්ධාන අපේක්ෂකයන්ගේ මනාප පවතින්නේ සාමාන්‍ය තත්ත්වයකය. එමෙන්ම මහින්ද විරෝධී පිලේ යැයි නම් කෙරුණු දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර, දුමින්ද දිසානායකට ද ශ‍්‍රීලනිප පාක්ෂිකයා විසින් වැඩි මනාප ප‍්‍රමාණයක් ලබා දී පාර්ලිමේන්තුවට තෝරා පත්කර තිබේ. එහි දී එය රාජපක්ෂවරුන්ගේ බලපෑම වැඩියෙන්ම සිදු වූ කුරුණෑගල, හම්බන්තොට හා අනුරාධපුර දිස්ත‍්‍රික්කවල දී වීම විශේෂ තත්ත්වයකි. එමඟින් ඡන්දය පාවිච්චි කළ ශ‍්‍රීලනිප ඡන්ද දායකයා මහින්ද ද මෛත‍්‍රී ද යන්න ගැන කල්පනා කර නොමැති බව පැහැදිලිය. එමඟින් ද අදහස් වන්නේ ලැබුණු ලක්ෂ 47 මහින්දගේ නොව ශ‍්‍රීලනිපයේ බවය. සමස්තයක් ලෙස ඡන්ද අඩුවීමේ තේරුම, රාජපක්ෂට ආකර්ෂණය වූ ශ‍්‍රීලනිප පාක්ෂිකයාට තම පක්ෂය ද එපා වීමය.

රාජපක්ෂගේ ජනප‍්‍රියත්වය ශ‍්‍රීලනිපය තුළ ශීඝ‍්‍රයෙන් පිරිහෙමින් පවතින බව පැහැදිලිය. එය ඡන්ද කොල්ලකෑමක් හෝ කොම්පියුටර් ජිල්මාර්ට් එකක් නොවන බව ද පැහැදිලියි.

ශ‍්‍රීලනිප පාක්ෂිකයාට රාජපක්ෂත්, ශ‍්‍රීලනිපයත් එපා වී තිබීමට හේතු ගණනාවකි. බොරුව හා රැවටිල්ල ඉන් ප‍්‍රමුඛය. බොරුවෙන් හා රැවටිල්ලෙන් අනාගතයට සහතික ලියන්න සූදානම් වූ රාජපක්ෂලාගේ දේශපාලන අනාගතය කුමක් වනු ඇතිද? එහෙත්, ඒ සම්බන්ධයෙන් ගැඹුරු සාකච්ජාවක් අවශ්‍ය වන්නේ නැත. රාජපක්ෂගේ අනාගතය කෙසේ කෙළවර වනු ඇතිද යන්න ගැන විචිකිච්ජාවක් ද තබා ගත යුතු නැත. ඒ පරිච්ජේදය මේ වන විට තීරණාත්මක ලෙස අවසන් වෙමින් තිබේ.

රාජපක්ෂට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස තබා විපක්ෂයේ මන්ත‍්‍රීවරයකු ලෙසවත් කිරීමට කාර්යභාරයක් ඉතුරුව නොමැත. ඔහුට ඒ කිසිවක් කළ නොහැකිය. ආණ්ඩුවට ඔහු ඇඟිල්ලක් දිගු කරන විට ඔහු දෙසට තව ඇඟිලි සියයක් දිගු වනු ඇත. ඔහුට නීතිය සාධාරණය වෙනුවෙන් පෙනී සිටිය නොහැකිය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටිය නොහැකිය. දූෂණ වංචාවලට එරෙහිව පෙනී සිටිය නොහැකිය. අඩුම තරමින් ජනතාවගේ ජීවන වියදම වැඩි වීම සම්බන්ධයෙන් හෝ ඔහුට පෙනී සිටිය නොහැකිය. මේවා ගැන මැතිවරණ වේදිකාවල මොර දුන්නා සේ ප‍්‍රකාශ පාර්ලිමේන්තුව තුළ දෙසා බෑම කළ නොහැකිය.

අවසන් වශයෙන් ‘ජාතික ආරක්ෂාව’ යන වචනය පාවිච්චි කිරීමට ද ඔහුට අවස්ථාවක් නොලැබෙනු ඇත. ඔහු ජාතික ආරක්ෂාව අනතුරේ හෙළා ඇති ප‍්‍රමාණය රාඩා ගනුදෙනුවෙන් දැන් පැහැදිලි වෙමින් තිබේ. ‘එල්ටීටීඊය පරාජය කෙරුම’ ඔහුගේ දේශපාලන පැවැත්මේ අත්‍යවශ්‍ය හේතුවක් වූවා මිස රට හෝ ජාතිය හෝ ඔහුගේ මුඛ්‍ය අරමුණ වූයේ නැත. යුද්ධය යොදා ගත්තේ ද එහි ප‍්‍රතිඵලය යොදා ගත්තේ ද තමන්ගේ හා තම පවුලේ හුදු පැවැත්ම වෙනුවෙන් පමණක් බව පැහැදිලිය. යුද ජයග‍්‍රහණය නිසා අමුතු ප‍්‍රතිලාභයක් මෙරටට දිනා දීමට ඔහු සමත් වූයේ නැත. තැන තැන පිපුරුණු බෝම්බ නැවතුණ ද සුදු වෑන් නැවතුණේ නැත. උතුරෙන් දකුණට ආ මිනී පෙට්ටි නැවතුණ ද කුඩු කන්ටේනර් පිටින් ආවේය. නිදහසේ පාරේ බැස යාමට හැකි වුණ ද පුරවැසියා පසුපස මිලිටරි ඔත්තුකරුවන් එවීම නැවැතුණේ නැත…..

පුරවැසියා පරාජය කරනු ලැබුවේ මේ රාජපක්ෂ යුගය යි.

සැබැවින්ම රාජපක්ෂගේ මහා භූමිකාව දැන් අවසන්ය. එය ජනවාරී 08 වන දින අවසන් විය. අගෝස්තු 17 වන දින දක්වා ඔහු රඟපෑවේ වියරු පරාජිතයකුගේ අවසන් රංගයයි. එය විසුළුකාරී ඛේදාන්තයකින් ම අවසන් විය.

තවදුරටත් මේ දේශපාලන රඟ මඬලේ ඔහුට රඟන්නට අවශ්‍ය නම් ඉතිරිව ඇත්තේ තුට්ටු දෙකේ විහිළුකාරයකුගේ චරිතයක් පමණි.

එහෙත් ඔහුට ඒ වෙනුවෙන් වෙළෙඳපොළක් තිබේදැයි සැක සහිතය. මන්ද සීරියස් විහිළුකාරයකු දැන් අලූත් රංගනයක් පටන් ගෙන තිබෙන නිසාය. ඒ විමල් වීරවංශය. සමහර විට ඉදිරියේ දී වීරවංශට තමන්ගේ ආවතේව වැඩ කර ගැනීමට මහින්ද අවශ්‍ය වනු ඇත.

සිරිසේන ජනාධිපතිවරයාගේ සහායෙන් ඉතා ගෞරවාන්විත ලෙස දේශපාලනයෙන් සමුගෙන ඉතිහාසයේ වීරයකු ලෙස නම ලියවා ගන්නට තිබූ වාසනාව අහිමි කරගෙන විසුළුකාරයකු ලෙස තම නම ලියවා ගැනීමට මහින්ද රාජපක්ෂට සිදුවීම ලෝක ඉතිහාසයේ කවර ඒකාධිපතියකුටවත් නොවූ තරමේ අභාග්‍යයක් ලෙස ද අවසන් වශයෙන් සඳහන් කරමි. හිට්ලර්ලා, මුසොලනීලා පොල්පොට්, ඉඩි අමීන්, සදාම්, ගඩාෆි, පිනොචෙ, මාකෝස් මරා දැමුවා හෝ මරණයට පත්වූවා හෝ ඔවුන් ජීවිතය අවසන් කළේ මෙවැනි විහිළුකාරයකු ලෙස නොවේ. ඒකාධිපතියකු, නරුමයකු, ඝාතකයකු ලෙස හෝ ඒ තත්ත්වය තබාගෙනම ඔවුහූ දේශපාලන භූමියෙහි වැළලී ගියහ. මෙහි දී අනාගතයේ දී රාජපක්ෂවරුන්ගෙන් තොර ශ‍්‍රීලනිපය ගැන ද වචන කිහිපයක් සටහන් කළ යුතුය.

රාජපක්ෂ යුගයේ දී ශ‍්‍රීලනිපය නමින් පක්ෂ සංවිධානයක් තිබුණේ නැත. පක්ෂය වෙනුවෙන් සියලූ තීන්දු ගනු ලැබුවේ රාජපක්ෂලා විසින්ය. ඒ වෙනුවෙන් පක්ෂ ව්‍යවස්ථාව පවා ඔහු සකස් කරගෙන තිබිණි. අද එම ව්‍යවස්ථාවම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ප‍්‍රයෝජනයට ගෙන තිබෙන්නේ රාජපක්ෂව ශ‍්‍රීලනිපයෙන් ඉවත් කිරීමටය.

රාජපක්ෂ, චන්ද්‍රිකාව ඉවත් කර තැබුවා සේ රාජපක්ෂට ද යළි ශ‍්‍රීලනිපයේ නවාතැන් ලැබෙන්නේ නැත. එම තත්ත්වය මත රාජපක්ෂවාදී කල්ලියක් ශ‍්‍රීලනිපයේ තවදුරටත් පවතින්නේ නැත. රාජපක්ෂවාදීන් ලෙස සිටි කණ්ඩායම යනු ශ‍්‍රීලනිපයේ චන්ද්‍රිකාවාදීන් ලෙස සිටි කණ්ඩායම හා සමාන කණ්ඩායමක් නොවේ.

රාජපක්ෂවාදීන්ට මහින්ද සමඟ තිබූ සම්බන්ධය දූෂණ, වංචා, ජාවාරම් හා බැඳී තිබුණකි. බලය අහිමි වීමෙන් පසුව පවා රාජපක්ෂ බලයට ගෙන ඒම වෙනුවෙන් වෙහෙස වූයේ එම දූෂණ, වංචා, චෝදනා යටපත් කරගෙන සිටිය හැකි බැවිනි. එහෙත් චන්ද්‍රිකා පිල යනු දේශපාලනික ඓන්ද්‍රීය සම්බන්ධයකි. එය අදටත් සුරැකිව පවතින්නේ එබැවිනි.

මේ නිසා හෙට දිනයේ දී මේ දූෂිත රාජපක්ෂවාදීන්ට සිරිසේන මහතාට පක්ෂපාත වීමකින් හැර ශ‍්‍රීලනිපය තුළ හෝ ඉන් පිටතට ගොස් පවතින්නට ක‍්‍රමයක් නැත. දේශපාලනයෙන් සමුගැනීමක්, අක‍්‍රියව සිටීම හෝ හිර ගෙදරට යෑමක් ඔවුන්ට තෝරාගත හැකිය.

එමෙන්ම සිරිසේන මහතා හා චන්ද්‍රිකා මහත්මිය යළි ශ‍්‍රීලනිපය ප‍්‍රතිසංවිධානයකට ලක් කෙරුම සිදු විය හැකිව තිබෙන අතර එහි දී රාජපක්ෂවාදීන් සියලූ දෙනා පහසුවෙන් අතුගා දමනු ඇත. ඔවුන්ට විමල් වීරවංශගේ දැලි වළං සෝදන්නට ද සිදු වුවහොත් පුදුම විය නොහැකිය.

එසේම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය යළි ප‍්‍රතිසංවිධානය කිරීම යනු ලෙහෙසි පහසු කටයුත්තක් ද නොවනු ඇත. එය මුළුමනින්ම දූෂ්‍ය වී, එය පාදඩකරණයට ලක්ව තිබේ. බණ්ඩාරනායක මහතා එජාපයෙන් පිටතට ආවේ කවර හේතුවක් මත වුවද ඔහු පැවසුවේ සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු පංච මහා බලවේගය සමඟ ප‍්‍රගතිශීලී සමාජ ව්‍යාපාරයක් ගොඩනගන බවය. එහෙත් ඔහු නොදැන ඔහු පසුපසින් ඞී. ඒ. රාජපක්ෂ මහතා ද පැමිණ තිබිණි. දැන් ශ‍්‍රීලනිපය වඩා වේදනාකාරීව විඳිමින් සිටින්නේ එහි ආදීනව යි.

– සුභාෂ් ජයවර්ධන
www.sathhanda.lk