දුනිත් වෙල්ලාලගේ..

0
181

තර්කයකින් තොරව සුදු පන්දු ක්‍රිකට් ක්‍රීඩාවේ ලොව දක්ෂතම කණ්ඩායම ඉන්දියාවයි.

ඔවුන් අසලට හෝ පැමිණීමට සමත් කණ්ඩායමක් මේ මොහොතේ ක්‍රිකට් ක්‍රීඩාව තුල නොමැත.

2023 ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී, ඕස්ට්‍රේලියානු ක්‍රිකට් සංස්කෘතියටම අයත් පීඩනය හැසිරවීමේ ‘ක්ලච්’ ගුණයෙන් ඔවුන් අවසන් මහා තරගය ජය ගත්තත්, ලෝක කුසලානයේත් දක්ෂතම කණ්ඩායම වූයේ ඉන්දියාවයි.

තරගාවලියේ ඔවුන් පරාජය වූයේ අවසන් මහා තරගය පමණි.

නිමා වූ T20 ලෝක කුසලානය ඔවුන් ජය ගත්තේ අපරාජිතවයි.

සෙසු සෑම කණ්ඩායමකටම වඩා පියවර කිහිපයක් ඉදිරියෙන් සිටිනා රටකට තරගයක් ලබා දීම හෝ පහසු නැත.

එවැනි පසුබිමක පළමු එක්දින තරගයේ ශ්‍රී ලංකා විසින් ප්‍රදර්ශනය කළ ක්‍රීඩාශීලිත්වය අගය කළ යුතුය.

මේ ඉන්දීය කණ්ඩායම රෝහිත් ෂර්මා සහ විරාත් කෝලී ක්‍රීඩා කරන කණ්ඩායමකි.

ඉන්දියාව ජය ගැනීමට තිබූ තරගයක පරාජයෙන් වැළකී, ලකුණු සම තත්ත්වයෙන් අවසන් කිරීම ද ජයග්‍රහණයකි.

අතීත ශ්‍රී විභූතිය කුමක් වූවත් වර්තමානයේ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාව සහ ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව අතර පවතින වෙනස පිළිගැනීමට තරම් මෙරට ක්‍රිකට් රසිකයා සබුද්ධිකය.

මා පෙර සඳහන් කළ පරිදිම ඔවුන් මස් රාත්තලම ඉල්ලා සිටින්නේ නැත.

වෘත්තීය කණ්ඩායමකට නොගැලපෙන නින්දා සහගත සහ කිසිඳු ක්‍රීඩාශිලීත්වයක් නොමැතිව අත්හරින තරග හැරුණුකොට, අවසන් මොහොත දක්වා සටන් කර ලබනා පරාජයක් වුව පිළිගැනීමට තරම් ඔවුන් පරිනතය.

මෙය පැහැදිලිවම දුනිත් වෙල්ලාලගේ ට අයත්, ඔහු විසින් මෙහෙය වූ තරගයකි.o

යොවුන් ලෝක කුසලානයේ දස්කම් දැක්වූ ඔහු කල් ඇතිවම ජාතික කණ්ඩායමට කැඳවීම ඉතා නිවැරදි තීරණයක් බව ආරම්භයේදීම ඔප්පු කිරීමට දුනිත් සමත් විය.

ප්‍රේමදාස තණතීරුව පළුදු සහිත වූ, දඟ කැවෙන එකකි.

ඇතැම් ශ්‍රී ලංකා ජ්‍යේෂ්ඨ පිතිකරුවන්ට පවා එය කියවීමට අපහසු විය.

දුනිත් පිටියට පැමිණෙන මොහොතේ පන්දු යවමින් සිටියේ ද ඉන්දීය දඟ පන්දු යවන්නන් ය.

කඩුලු පහක් දැවී ගොස් තිබූ එම මොහොතේ පීඩනය ද සමග ඉනිම ගොඩනැගීම පහසු නැත.

නමුත් ඔහු පළමු පන්දුවේ සිටම දඟ කැවීම නිවැරදිව කියවා ගැනීමට සමත් විය.

වැඩි වශයෙන් හරස් පහරවල් හෝ ස්වීප් පහරවල් උත්සාහ කිරීම එහි ප්‍රතිඵලයකි.

තරගයෙන් පසු මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළ පරිදි ඔහු පිටියට පැමිණීමට පෙර විවේකාගාරයේ සිට පැතුම් නිස්සංක ගේ පිතිකරණය ද අධ්‍යනය කර තිබුණි.

සැබැවින්ම නූතන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ තරුණ ක්‍රීඩකයන්ගේ රික්තකය වූයේ මේ කියවීමයි, මේ විශ්ලේෂණයයි.

ක්‍රිකට් යනු කුසලතාවයම නොවේ.

ක්‍රිකට් යනු කුඩා දත්ත සහ තොරතුරු විශ්ලේෂණය කිරීමේ හැකියාව සහ ඒ අනුව අනුගත වීමේ හැකියාවයි.

විසි එක් හැවිරිදි දුනිත් වෙල්ලාලගේ සතුව ක්‍රිකට් කුසලතාවයන් මෙන්ම එම විරල හැකියාව ද පිහිටා තිබේ.

ඔහු ඉතාම ප්‍රවේශමෙන් කළමනාකරණය කළ යුතු සහ රැකබලාගත යුතු ක්‍රීඩකයෙක් වන්නේ එබැවිනි.

ඔහු මාධ්‍ය හැසිරවීමේදීත් පරිනතය.

පැහැදිලිවම මේ අනාගත ශ්‍රී ලංකා නායකත්වය දැරීමට මූලික සුදුසුකම් ද සපුරා තිබෙන යෞවනයෙකි.

යොවුන් ලෝක කුසලානයේ සිට ඔහුට අවස්ථාවක් ලැබෙන සෑම විටකම ඒ බව ඔහු ඔප්පු කර තිබේ.

අනවශ්‍ය පීඩනයක් දෙවුර මත නොතබා, ඔහුගේ ස්වාභාවික ක්‍රීඩාව වෙනස් නොකර, ඒ සඳහා ඔහු සුදානම් කිරීම මෙරට ක්‍රිකට් බලධාරීන් සතු වගකීමකි.

  • Ireshan Siriwardhana –
    1. 03