නෑ බෑ කියූ විදුහල්පතිවරයෙක් බස් රථයකින් ගොඩගත් ගුරුගොඩ කනිෂ්ඨ විද්‍යාලය

0
233

ගුරුගොඩ බස්1කලකට ඉහත වැසී යාමේ අවදානමට ලක්වී තිබූ ‘ගුරුගොඩ කනිෂ්ඨ විද්‍යාලය’ මේ වන විට හොරණ අධ්‍යාපන කොට්ඨාසයේ කීර්තිය දිනාගත් ග්‍රාමීය පාසලකි.

අජිත් ප්‍රේමකුමාර විදුහල්පතිවරයෙකු ලෙස තම පළමු පත්වීම ලබාගෙන පැමිණි 2010 වසරේදී, ගුරුගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ පළමු ශ්‍රේණියට කිසිදු දරුවෙක් ඇතුළත් වී නොසිටියේය.

“මම මේ පාසලට එනකොට ගුරුවරු 9 ක් සහ ළමයි 51 ක් පමණයි සිටියේ,” බීබීසී සිංහල සේවය සමග සාකච්ඡාවකට එක්වෙමින් ගුරුගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති අජිත් ප්‍රේමකුමාර පැවසීය.

“ඒ අවුරුද්දේ පළමු වසරට එක ම ළමයෙක් වත් හිටියේ නැහැ, පහසුකම් ගොඩක් අඩුවෙන් තිබුණේ, මුක්කු ගහපු ගොඩනැගිලි තිබුණේ, ළමයින්ට නියමිත පරිදි පන්ති කාමරවත් තිබුණේ නැහැ,” විදුහල්පතිවරයා තමන් ගුරුගොඩ කනිෂ්ඨ විද්‍යාලය භාරගත් අවස්ථාවේ එහි පැවති තත්ත්වය විස්තර කළේය.

‘බස් රථයේ පන්ති කාමරය’

“මම මුලින් ම කළේ ගොඩනැගිලි අලුත්වැඩියා කරලා ළමයින්ට ගුරුවරුන්ට අලුත් බලාපොරොත්තුවක් දෙන එක.”

සියලු පංති කාමර එක ම ශාලාවක පැවැත්වීම බොහෝ ගැටලුකාරී විය. ඔහු ඊට නිර්මාණාත්මක විසඳුමක් ගෙන ආවේය.

“වෙනත් රටවල දුම්රිය මැදිරි තුළ පන්ති තියෙන බව මම කියවල තිබුණා,” විදුහල්තිවරයා අනෙක් පාසල්වලින් ගුරුගොඩ කනිෂ්ඨ විද්‍යාලය සුවිශේෂී වීමට හේතු වූ ‘බස් රථයේ පන්ති කාමරය’ ආරම්භ වූ ආකාරය කියා සිටියේය.

නවීන ගොඩනැගිල්ලක් ඉදිකරන තෙක් පාසලේ පන්ති පැවැත්වීමට ධාවනයෙන් ඉවත් කරන ලද බස් රථයක් යොදාගත හැකි බව විදුහල්ති අජිත් ප්‍රේමකුමාරට කල්පනා විය.

ඉන්පසු එවකට ප්‍රවාහන අමාත්‍යවරයා වූ කුමාර වෙල්ගම මාර්ගයෙන් හොරණ ඩිපෝවේ අත්හැර දමා තිබූ බස් රථයක් තම පාසලට ලබා ගැනීමට ඔහු කටයුතු කළේය.

“එහෙම ගෙනාපු බස් රථය අපිට ඕන විදිහට වෙනස් කරලා, පන්ති කාමරයක් බවට පත්කර ගත්තා.”

පන්තියේ බුද්ධ ධර්මය සහ දෙමළ විෂයන් උගැන්වීම පිණිස ඒ බස් රථය භාවිත කර තිබේ.

“ළමයි හරි කැමැත්තෙන් බස් පන්ති කාමරයට ආවා,” තම විකල්ප ක්‍රියා මාර්ගය සාර්ථක වීම පිළිබඳව සතුට අජිත් ප්‍රේමකුමාර බීබීසී සිංහල සේවයට පළ කළේය.

මෙම බස් රථයේ ඉදිරිපස සහ පිටුපස පුවරුවල නිර්මානාත්මක වැකි යෙදීමට ද ඔහු ගුරු මණ්ඩලය සමග එක්ව කටයුතු කළේය.

“මෙම බස් රථය නවත්වනු ලබන්නේ විශ්ව විද්‍යාල, අධ්‍යාපන විද්‍යා පීඨ, නීති විද්‍යාල, කාර්මික විද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන අසල පමණි,” යනුවෙන් බස් රථයේ වීදුරුවේ අලවා ඇති නිවේදනයක සඳහන් වේ.

“බසයට ගොඩවන කිසි ම කෙනෙකුට අතරමගදී බැස යාමට කිසිදු අවකාශයක් නොමැත. උපතේ සිට ජීවිතය ජයගන්නා තුරු සෑම දිනක ම මෙය ධාවනය වේ,” යනුවෙන් ද එහි සටහන්ව ඇත.

මේ වන විට ගුරුගොඩ කනිෂ්ඨ විද්‍යාලය මෙම බස් රථය කියවීම් ශාලාවක් ලෙස පවත්වාගෙන යයි.

“ඇත්තට ම ඒ බස් පන්ති කාමරය නිසා මේ පාසලට ගොඩක් අයගේ උදව් ලැබුණා, ඒක නිසා අපිට තවත් ගොඩනැගිලි පහසුකම් හිමි වුණා,” විදුහල්පති අජිත් ප්‍රේමකුමාර පැවසුවේය.

වර්තමානයේ ගුරුගොඩ කනිෂ්ඨ විද්‍යාලය නවීන ගොඩනැගිලිවලින් සමන්විත ළමුන් 250 ට වැඩි සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබන පාසලක් බවට පත්වී තිබෙන අතර එහි පළමු වසරේ පමණක් ළමුන් 38 දෙනෙකු ඉගෙනුම ලබයි.

බස් රථ පන්ති කමාරයට අමතරව විදුහල්පති අජිත් ප්‍රේමකුමාර පාසලට හඳුන්වා දුන් නිර්මාණාත්මක අංග නිසා ද මෙම පාසලට කලාපයේ අනිකුත් පාසල්වලට වඩා වැඩි අවධානයක් යොමුවී තිබේ.

“පාසලක් කියන්නේ ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානයක්, පන්ති කාමරයෙන් ළමයෙක් එළියට බැස්සොත් පාසල් භූමියේ හැම තැන ම ඉගෙනුම් සිද්ධියක් ඇති කරන්නයි මම බලාපොරොත්තු වුණේ.”

“රැඟුම් කමත, වැඩ බංකුව, ගුරුගොඩ රූපවාහිනිය, ඔරලෝසුව, සෙල්ලම් මිදුල, ජාතික උරුමයන් කියල විවිධ ප්‍රදේශ වෙන් කරගෙන සෑම තැනකට ම සම්පතක් එකතු කළා,” ඔහු කියා සිටියේය.

 

“නෑ – බෑ කියල බැහැ”

පාසලේ ළමුන්ට කියවීම සඳහා එළිමහන් කියවීමේ කලාපයක් ද මෙම පාසලේ ස්ථාපනය කර තිබෙන අතර එහි පොත් කූඩවලට බහා ශ්‍රේණි අනුව වර්ග කර තිබේ.

“හැම පාසලකට ම අපේ රටේ හැටියට පුස්තකාල දෙන්න බැහැ, බැහැ කියලා ළමයින්ගේ කියවීම් ශක්තිය අහිමි කරන්න අපිට බැහැ, කබඩ් නැහැ කියලා අපි අත්හැරියේ නැහැ.”

“වහිනකොට ළමයි දුවල ඇවිල්ල පොත් ටික අරගෙන යනවා,” විදුහල්පතිවරයා කියා සිටියේය.

මීට අමතරව, ගුරුගොඩ විද්‍යාලය නැරඹීමට පැමිණෙන පිරිසගේ ඇස ගැටෙන තවත් නිර්මාණයක් වන්නේ, කොන්ක්‍රීට් මගින් ඉදිකර ඇති දැවැන්ත රූපවාහිනී තිරයයි. දරුවන් රූපවාහිනිය තුළට පිවිස තම ඉදිරිපත් කිරීම් කරන අතර, එමගින් ළමුන්ගේ නිර්මාණාත්මක හැකියාවන් දියුණු කිරීම අරමුණ වී තිබේ.

පාසලේ විවිධ කාර්යයන්හිදී ඉදිරිපත් වී කටයුතු කරන්නා වූ සිසුන් දිරිමත් කිරීමට ‘කප්රුක දොරටුව’ යනුවෙන් තෑගි ප්‍රදානය කරන ක්‍රමයක් ද ගුරුගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ ක්‍රියාත්මක වේ.

“නගරයේ නැති සමහර පහසුකම් අපේ පාසලේ තියෙනවා, මේ වන විට ලංකාවේ ප්‍රාථමික පන්තිවලට හඳුන්වා දෙමින් තිබෙන අලුත් මාදිලියේ ඩෙස්ක් සහ පුටු අපේ පාසලේ ළමුන්ට ලබා දීලා තියෙනවා. සාම්ප්‍රදායික පන්ති වගේ ම අලුත් ම පන්නයේ පන්තිත් අපේ පාසලේ තිබෙනවා.”

මේ වන ශ්‍රී ලංකාවේ පාසල් 1194 ක නියෝජිතයන් ගුරුගොඩ කනිෂ්ඨ විද්‍යාලය නැරඹීම සඳහා පැමිණ තිබෙන බව එම පාසලේ වාර්තාවල සඳහන් වී තිබේ.

මෙලෙස වසර 8 කට ආසන්න කාලයක් ගුරුගොඩ කනිෂ්ඨ විද්‍යාලය දියුණු කිරීම සඳහා කැපවුණු විදුහල්පති අජිත් ප්‍රේමකුමාර දැන් එම පාසලෙන් ස්ථාන මාරුවක් ලබා ප්‍රදේශයේ වෙනත් පාසලක විදුහල්පතිවරයෙකු ලෙස සේවය කරයි.

“පහසුකම් නැහැ කියලා පසුතැවිලා වැඩක් නැහැ, අපිට තියෙන පහසුකමක් එක්ක නව තාලයකින් හිතුවොත් අපිට ඕන දෙයක් වෙනස් කරන්න පුළුවන්.”

“තිබුණු තත්ත්වය අනුව පාසල ලොකු වෙනසකට භාජනය කරලා. අනෙකුත් පාසල්වලට ආදර්ශයක් ගන්න පුළුවන් විදිහට ගොඩනගල තියෙනවා,” විදුහල්පති අජිත් ප්‍රේමකුමාර කතාබහ අවසන් කරමින් කියා සිටියේය.

 FB_IMG_1543214609343
උපුටාගැනී – https://www.bbc.com