නිරෝෂා නොපැමිණි කිත්සිරිගේ මළගම….

0
88

niroshaසිත ඔබට මුවා වී ඉකිබිඳිනා
ඔබ ඇය හා සිනාසී සුව විඳිනා
ප්‍රේම ලොවේ දොර කවුළු වැසී
සිත ඉකි ගසමින් හඬන හැටී

දෙමළ හා හින්දි තනු අනුව සිංහල ගී ගයමින් සිටි නිරෝෂා විරාජිනීගේ ගමන් මගේ හැරවුමක් සලකුණු කළ ගීතය මෙයයි. සමන්ත පෙරේරා සංගීතවත් කළ මෙය රචනා කළේ අරුණ කිත්සිරි විසිනි. නිෂ්පාදන සම්බන්ධීකාරකයෙකු ලෙස ක්‍ෂේත්‍රයට පැමිණ ඉන් පසුව ගීත රැසක් ලියූ අරුණ කිත්සිරි පසුගියදා හදිසියේ මිය ගියේය. බියගම සාම මාවතේ පුංචි නිවසට පැමිණ ඔහුට අවසන් බුහුමන් පුදන්නට ඔහුගේ ගී පද රචනා ගැයූ බොහෝ ගායක ගායිකාවන් හෝ ශබ්දාගාරවලට වී ඔහු සමග යහමින් මධුවිත පානය කළ බොහෝ දෙනෙකු පැමිණ සිටියේ නැත. එය මේ කලා ලෝකයේ හෝ අද රටේ හැටි කියා සිත සනසා ගන්නැයි කිසිවෙකු මට කීවොත් එයට එකඟ වන්නට මට නම් නොහැකිය. ශක්තිමත් ආර්ථික පසුබිමක නොසිටි තම හිතමිතුරා වෙනුවෙන් උපරිම යුතුකම් ඉටු කළ කසුන් කල්හාර සහ ජීවිතයේ අවසන් කාලයේ රණවිරු රියල් ස්ටාර් වැඩසටහනේ නිෂ්පාදන අංශයට පවා අරුණව සම්බන්ධ කරගෙන ඔහුට යහපතක් කළ සමන්ත පෙරේරා අඳුරු අහසක තරු දෙකක් මෙන් මට පෙනේ. කසුන් මල් ශාලාවට පවා පැමිණ කළ යුතු සියල්ල කළේය. නොවැළැක්විය හැකි හේතුවක් මත මළගෙය තුළට පැමිණිය නොහැකි වුවත් සිය බිරිඳ සහ දරුවන් මළගම පැවති දෙදිනක සහභාගි කරවූ සමන්ත කළ යුතු යුතුකම්ද ඉටු කළේය. බොහෝ අය මේ අහිංසක ගීත රචකයාව අමතක කරද්දී එහි පැමිණි චාන්දනී හෙට්ටිආරච්චි ගායන ශිල්පිනියද අමතක කළ නොහැකිය. ධම්මික තෙවරප්පෙරුම නමැති නව ගායකයාද තමාට ගී ලියූ අරුණ කිත්සිරිව අමතක කළේ නැත.

එහෙත් සිය සංගීත ගමනේ හැරවුමක් සලකුණු කළ ගීතය ලියූ අරුණ කිත්සිරිගේ දේහයට අවසන් බුහුමන් පුදන්නට සිය සුඛෝපභෝගී වාහනය බියගම පැත්තට හරවන්නට නිරෝෂා විරාජිනීට නොහැකි වූයේ ඇයි. මසිත නළියන මසිත කලකිරවන පැනය එයයි.” ජෝතිලලාගේ විජයලාගේ නිහාල් නෙල්සන්ලාගේ මිනිස්කම් විරාජිනීලාගෙන් බලා‍පොරොත්තු විය නොහැකි වුවත් මේ යුතුකම ඇය පැහැර හැරීම ගැන ඇයට සමාව දෙන්නට මසිත සූදානම් නැත. අවමඟුලෙන් දෙදිනකට පසුව ඇගේ ගීත ප්‍රසංගය මියුසියස් ශාලාවේ පැවැති බව සැබෑය. එහෙත් පැය බාගයකට අරුණ කිත්සිරිගේ මළගමට එන්නට එය බාධාවක්ද? පැය විසි හතරම ප්‍රසංගයට පුහුණුවීම් සඳහා වෙන්කරනවාද? එම ප්‍රසංගයේද “සිත ඔබට මුවා වී” ගීතය ගයන්නට ඇතුවා නිසැකය. ප්‍රසංග සිය ගණනක එදා සිට එම ගීතය ගයා ඉපයූ මුදලින් සොච්චමක් හෝ අරුණ කිත්සිරිගේ තනි වූ බිරිඳගේ අතමිට මොළවා තනිවූ අවුරුදු දෙකහමාරේ දරුවාගේ හිස අතගා යන්නට නිරෝෂා විරාජිනී මොහොතකටවත් කල්පනා නොකිරීම ගුණමකුකම පිළිබඳ පැහැදිලි උදාහරණයකි. දින තුනකට කිට්ටු කාලයක් නිවසේ තිබූ අරුණ කිත්සිරිගේ නිසල දේහය ඉදිරිපිටට පැමිණ තුතිබර බුහුමනක් පුදන්නට විනාඩි කීපයක් වෙන් කරන්නට බැරි නම් ඇය මාධ්‍ය මගින් ලෝකයාට දෙසන බණවලින් ඇති පලය කුමක්ද? ගීත නිබන්ධකයා හෝ සංගීත නිර්මාණ ශිල්පියාට ගීත පටිගත කිරීමකදී ගෙවීමක් හිමි වන්නේ බොහෝ විට එක් වරකි. එහෙත් ගායකයා/ගායිකාව එදින සිට එතෙර මතෛර ප්‍රසංගවලද වෙනත් අවස්ථාවලද එම ගීය ගයමින් උපයන මුද‍ලේ සීමාවක් නැත. ඒ පිළිබඳව නිබන්ධකයා හා සංගීතවේදියාගේ වෛරයක් නැත. ගීතය හඳුන්වන්නේද ගායකයා/ගායිකාවගේ නමින්. සියලු ප්‍රතිලාභ ගායකයා/ගායිකාවටය.

එහෙත් බුද්ධිමය දේපළ පනත අනුව නිබන්ධකයාට හා සංගීතවේදියාට ගීතයක වැඩි අයිතිය හිමිව තිබේ. ඊට එරෙහිව දැන් ගායක ගායිකාවෝ නැගී සිටිති. එහෙත් ගායක ගායිකාවන්ට ගීතයක් සම්බන්ධ අයිතිවාසිකම් නැතිව තිබියදී තත්ත්වය මෙසේ නම් සියලුම අයිතීන්ද හිමිකර දුනහොත් තත්ත්වය කෙබඳු වේදැයි නිරෝෂා විරාජිනී අරුණ කිත්සිරිගේ මළ ගෙදර නොයාම කිසියම් නිහඬ පණිවුඩයක් ලබා දෙනවා නොවේද?

ආනන්ද පද්මසිරි
උපුටා ගැනිම Facebook අඩවියකිනි