නිවසේ කාමරවල රැඳී සිටිමින් තමන්ගේ නිවසේදීම නිරෝධායන කටයුත්තට සහයෝගය දෙන්න- සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි

0
74

කොරෝනා රෝගය සීඝ්‍රයෙන් පැතිරෙන රටක සිට පැමිණියේ නම් විනයක් ඇතිව සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් සහිතව උපදෙස් අනුව තමන්ගේ නිවසේ කාමරවල රැඳී සිටිමින් තමන්ගේ නිවසේදීම නිරෝධායන කටයුත්තට සහයෝගය දෙන සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

කොරෝනා රෝගය මර්දනය කිරීම සඳහා ජනාධිපතිතුමාගේ මඟපෙන්වීම යටතේ නව ගොඩනැගිල්ලක වෙනමම පරිශ්‍රයක් ඇති කිරීමට කටයුතු යොදා ඇති බවත් ඉදිරියේදී කොරෝනා රෝගයට ප්‍රතිකාර කරද්දී ඒ සදහා අදාළ ගොඩනැගිල්ල යොදාගන්නා බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

කොවිඩ් – 19 සම්බන්ධයෙන් රාජගිරියේ පිහිටි කොරෝනා මර්දනය සඳහා වූ මධ්‍යස්ථානයේ (17) පැවති මාධ්‍ය හමුුවේදී අමාත්‍යවරිය මේ බව පැවසුවාය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම රෝගය සම්බන්ධයෙන් දිගින් දිගටම විශ්ලේෂණය කරමින් සිටින බවත්, වත්මන් රජය විවිධ තීන්දු ගන්නේ කොරෝනා වෛරසය මර්දනය කිරීම සඳහා අවස්ථානුකූලව බවත්, මේ මොහොතේ රෝගය යම් පිම්මක් පැන ඇති බවක් පෙනී යන බවත් අමාත්‍යවරිය පැවසුවාය.

අද වන විට ජාතික මධ්‍යස්ථානයක් ආරම්භ කරනු ලැබුවේ මෙවැනි අවස්ථාවක බවද අමාත්‍යවරියවැඩිදුරටත් පැවසුවාය. බොහෝමයක් රෝගීන් වාර්තා වන්නේ නිරෝධායන මධයස්ථානවලින් බවත්, නිරෝධායන මධ්‍යස්ථානවල සිටින රෝගීන් කොළඹට ගෙන ඒමේදී ඇති දුෂ්කරතා සළකා බලා පොළොන්නරුව වැලිකන්ද මූලික රෝහල කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ රෝහලක් බවට පරිවර්ථනය කළ බවත් වන්නිආරච්චි මහත්මිය වැඩිදුරටත් පැවසීය.

ඒ පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යතුමිය “ අපේ රජයට මේ සම්බන්ධයෙන් පූර්ව සූදානමක් තිබුනා. ඒ නිසා අපි මෙම රෝගයට මුහුණ දීමට වෙන්වූ කාමර සහිතව රෝහල් 18ක්, අවශ්‍ය උපකරණ සහිතව, අවශ්‍ය පහසුකම් සහිතව සමස්ත දිවයිනේම ස්ථාපිත කළා. අපට ජනතාවගෙන් විශේෂයෙන් ඉල්ලන්න තිබෙන්නේ ඔබ මෙම කොරෝනා රෝගය සීඝ්‍රයෙන් පැතිරෙන රටක සිට පැමිණියේ නම් විනයක් ඇතිව සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් සහිතව උපදෙස් අනුව තමන්ගේ නිවසේ කාමරවල රැඳී සිටිමින් තමන්ගේ නිවසේදීම නිරෝධායන කටයුත්තට සහයෝගය දෙන ලෙසයි. ඔබේ අසල්වැසියාට සමාජයට මේ රෝගය බෝ කිරීමෙන් වැළකී සිටින්න.

අද උදෑසන ජනාධිපතිතුමත් සදහන් කළේ සමහර රෝගීන් බුද්ධි අංශ යම් දෙයක් පැවසුවත් සැළකිල්ලට ගන්නේ නෑ. සෞඛ්‍ය අමාත්‍යංශයෙන් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් යම් කෙනෙකු උපදෙස් දුන්නත් ඒවා අහන්නෙත් නෑ. ඔවුන් රෝගය පතුරවමින් එක් එක් තැන්වලට යනවා.

අපේ රටේ ජනතාවගේ විනය සම්බන්ධයෙන් අපට ප්‍රශ්ණයක් තිබෙනවා. රෝගීන්ගේ හැසිරීම තුළයි ගැටලු ගොඩක් සිදුවී තිබෙන්නේ. ඉතාලියෙන් පැමිණ පිරිස නිසා ගුවන් තොටුපොලේ සිදුවූ  සිදුවීම සම්බන්ධයෙන් අප බොහෝසේ වේදනාවට පත්වෙනවා.

මේ සිදුවීමේදී යුද හමුදාවට මැදිහත් වෙන්න සිදුවුණා. ඒ අවස්ථාවේදී තමයි යුද හමුදාවේ කෙනෙක් මේ රෝගයට බිලි වුණේ. රටක් විදහට තමන්ගේ පුද්ගල වගකීම් හරියට ඉෂ්ට කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා.” යැයිද පැවසුවාය.

රටෙහි ක්‍රියාකාරීත්වය සති දෙකකට සීමා පැනවීමක් සිදුවන්නේද යන්න සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් රටෙහි විශාල පිරිසක් එදිනෙදා උපයාගන්නා මුදලින් ජීවිකාව ගෙනයන බවත්, මේ ආකාරයට සීමාවීමේදී ඔවුන්ගේ ජීවිතයට දැඩිලෙස හානි සිදුවන බවත්,එම නිසා ඒ සම්බන්ධයෙන් තවදුරටත් කල්පනා කළ යුතු බවත්, කෙසේ වුවද ඉතාලියෙන් පැමිණි පිරිස වැඩි වශයෙන් ජීවත් වන පුත්තලම වැනි ප්‍රදේශ මේ ආකාරයට සීමා කිරීමක් සිදු කිරීමට ඉදිරියේදී අපේක්ෂා කරන බවත් සෞඛ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.
news.lk

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here