කොවිඩ් දෙවැනි රැල්ලක් පිළිබඳ අනාවැකි තිබියදී පවා වසංගතය සාර්ථකව පාලනය කළ බවට මෙරට වගකිව යුතු පාර්ශ්වයන් සිදුකළ ප‍්‍රකාශ නිසා සෞඛ්‍ය ආරක්ෂණ විධි ක්‍රම නොතකා හරිමින් ක්‍රමයෙන් මුහුණු ආවරණ පැළඳීම්, දෑත් සේදීම්, සමාජ දුරස්තභාවය පවත්වා ගැනීම් පසෙකලා ජනතාව සිය සුපුරුදු ජීවන රටාවට හුරු වී සිටියහ. එහෙත් පසුගිය දා මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් කම්හලේ සේවකයන් අතර කොවිඩ් 19 වෛරසය පැතිර ඇතැයි සැලවීමත් සමඟ ජනතාව අතර නැවත භීතිය හා අවිනිශ්චිත බව මතුවන්නට විය. එසේම කර්මාන්ත ශාලාවට වෛරසය ඇතුළු වූ ආකාරය මෙතෙක් ගැටලුවක් වීමත් ලිපිය ලියන මෙහොත වන විට ආශ‍්‍රිතයින් මාර්ගයෙන් ආසාදිතයින් රටේ විවිධ ප‍්‍රදේශවලින් හමුවීමත් හේතු කොට ගෙන රෝගය පාලනය කිරීම සෞඛ්‍ය අංශයවලට අභියෝගාත්මක වී තිබේ.
ඇතුල්වීම
කොවිඩ් වසංගතය හුදු මහජන සෞඛ්‍ය අර්බුදයක සීමාව ඉක්මවා තිබීම ලෝකයේ කොවිඩ් සමඟ අරගලයක නියුතු සියලු රාජ්‍යයන්ට පොදු තත්ත්වයකි. ලොව පුරා රටවල ජනතාවගේ අදහස් ප‍්‍රකාශනයේ නිදහස, ආගමික නිදහස, මාධ්‍ය නිදහස මෙන්ම වෘත්තීය අයිතීන් කොවිඩ් නිසා තර්ජනයට ලක්විය. මේ සෞඛ්‍ය ප‍්‍රශ්නයේ මුල බොහෝ විට වෙනත් අයිතිවාසිකම් සමග ගැට ගැසී පැවතීම අද අප අත්දකිමින් සිටින සත්‍යකි.
මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හලෙහි සේවය කළ කාන්තාවක් පසුගියදා කොවිඩ් 19 ආසාදිතයෙකු බව හඳුනා ගැනීමත් ඒ සමඟ නිදහස් වෙළෙඳ කලාපය තුළින් ආසාදිතයින් හමුවීමත් එයින් පිටත හමුවූ ආසාදිතයින් බොහෝ දෙනෙකු ඇඟලුම් සේවයේ නියුතුවුන්ගේ ආශ‍්‍රිතයින් ලෙස හඳුනා ගැනීමත් සමඟ මේ මොහොත වන විට ඇඟලුම් කර්මාන්තයෙහි නිරත වූවන් මුහුණ දෙන තත්ත්වය, සෑම අතින්ම ඒ දක්වා ඇඟලුම් ක්ෂේත‍්‍රයේ පැවති අර්බුදයම ප‍්‍රකාශමාන වීමක් විය. ඇඟලුම් ක්ෂේත‍්‍රයේ නිරත සියලු කාන්තාවන් ඉලක්ක කර ගනිමින් කෙරෙන වෛරී, අපහසාත්මක ප‍්‍රකාශ, කර්මාන්ත ශාලා වසා දැමීම, ප්‍රබල සෞඛ්‍ය තර්ජනයක් මධ්‍යයේත් ඇතැම් කර්මාන්ත ශාලා සේවකයන්ගෙන් බලහත්කාරයෙන් වැඩ ගැනීම, වැටුප් සහ රැකියා කපා හැරීම, සුළු සේවක ප්‍රමාණයක් අසීමිත වැඩ ඉලක්ක සඳහා යෙදවීම, සේවකයන්ගේ පීසිආර් පරීක්ෂණ සඳහා කිසිදු මූල්‍යමය සහයක් ලබා නොදීම, නේවාසිකාගාරවල හිරවුන හෝ නේවාසිකාගාර අහිමි වූ සේවකයන් සම්බන්ධව කිසිදු වගකීමක් නොදැරීම පිළිබඳ බොහෝ සිදුවීම් මේ වන විට කලාපයෙන් නිරන්තරව අසන්නට ලැබේ.
පැතිරීම
මේ තත්ත්වය හමුවේ පසුගිය දා සාධාරණය උදෙසා පොදු කම්කරු හඬ එකතුව විසින් නිවේදනයක් නිකුත් කර තිබුණි. රජය විසින් නියම කර ඇති ආරක්ෂණ මාර්ගෝපදේශ අපනයන ක්ෂේත‍්‍රයේ කර්මාන්ත ශාලා පිළිපිදින්නේ ද නැද්ද යන්න ක්‍රමානුකූලව නිරීක්ෂණය කිරීම, නිදහස් වෙළෙඳ කලාපයේ සිටින සියලුම සේවකයන් සඳහා පීසීආර් පරීක්ෂණ සිදුකිරීම, සියලු සේවකයන්ට නිසි ප‍්‍රතිකාර ලබා දීමට රජය සහ සේවා යෝජකයන් කටයුතු කිරීම, සේවා කප්පාදුවකින් තොරව වැටුප් ගෙවීම, සේවකයන් ගම්බිම්වලට පිටත් නොකර ප‍්‍රදේශය තුළම නිරෝධානයනයට ලක්කිරීම සහ බ‍්‍රැන්ඩික්ස් ආයතනය තුළ මෙම වෛරසය ආසාදනය වීම හා පැතිරීම පිළිබඳ පුළුල් විමසීමක්, පරීක්ෂණයක් කිරීම ඒ ඉල්ලීම් අතර විය.
විශේෂයෙන්ම මෙම වසංගතය බ‍්‍රැන්ඩික්ස් ආයතනයෙන් පැතිරී යාම පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් කළ යුතු බවත් අදාළ කර්මාන්ත ශාලාව ඉන්දීයාවේ විසාකාපට්නම්හි සිට සේවකයන් සහ රෙදි ගෙන්වා තිබීම මෙයට හේතු වී ඇද්දැයි යන්න සම්බන්ධයෙන් විමර්ශනය කළ යුතු බවටත් පසුගිය 11 වැනිදා නිදහස් වෙළෙඳ කලාප පොදු සේවක සංගමයේ සමලේකම් ඇන්ටන් මාකස් විසින් ජනාධිපතිවරයා, කම්කරු ඇමතිවරයා ඇතුළු පාර්ශ්ව ගණනාවකගේ අවධානය යොමු කරමින් ලිපියක් යොමු කර තිබුණි. කෙසේවුවත් පසුගිය දා කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප‍්‍රකාශ කර සිටියේ, අදාළ කර්මාන්ත ශාලාවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී තිබේ නම් එය විභාග කර වාර්තාවක් ලබා දෙන ලෙස කම්කරු කොමසාරිස්වරයාට තමා නියෝග කර ඇති බවයි.
කඹ ඇඳීම
කෙසේ වෙතත් පසුගිය සතියේ ඔක්තෝබර් 07 නිවේදනයක් නිකුත් කරමින් බ‍්‍රැන්ඩික්ස් ආයතනය මෙම චෝදනා ප‍්‍රතික්ෂේප කරමින් අවධාරණය කර ඇත්තේ, ඉන්දියාවෙන් හෝ වෙනත් රටකින් පැමිණි කිසිදු පාර්ශ්වයක් මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවට පිවිස නැති බවත්, විශේෂ ගුවන් යානා මගින් මෙරටට ගෙන්වා ගත් සියලු ශ‍්‍රී ලාංකික කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සියලු දෙනා රජය විසින් නිර්දේශ කර ඇති පරිදි දින 28ක කාලයක් නිරෝධානයනට ලක්කර ඇති බවත්ය. එහෙත් මහජන සොඛ්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය 10 වනදා fඬ්ලී මිරර් පුවත්පවතට පවසා තිබුනේ බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් ගෙන්වූ කිසිවෙකු තමන් යටතේ නිරෝධායනය නොවූ බවයි.
රැකියා සුරක්ෂිතභාවය
රට තුළට විදේශ විනිමය ගෙන එමින් ආර්ථීකයේ විශාලම පංගුව දරන්නන් අතර ඇඟලුම් ක්ෂේත‍්‍රයට හිමි වන්නේ දෙවැනි තැනය. මෙරට දළ දේශිය නිෂ්පාදිතයට 7%ක් එක් කරන ඇඟලුම් කර්මාන්තයෙන් ලැබෙන අපනයන ආදායම, රටේ සමස්ත අපනයන ආදායමෙන් 44% කි. අපනයන ආදායමට, ඇගලුම් ක්ෂේත‍්‍රය හරහා වාර්ෂිකව එක්වන ආදායම ඩොලර් බිලියන 5 කි. එහෙත් කොවිඩ් වසංගතය පැතිර යාමත් සමග මෙරට ප‍්‍රධාන අපනයන ආදායම් මාර්ග සියල්ල අවහිර වී ඇත. උද්ගත වූ මෙම තත්ත්වය හමුවේ මෙරට ඇඟලුම් කර්මාන්තය ඇතුළු අපනයන සඳහා පවතින ඉල්ලුම අවම වූ අතර අත්‍යවශ්‍ය භාණ්ඩ හැර ඇඟලුම් වැනි දේ මිලට ගැනීමට පෙළඹීමේ පැහැදිලි අඩුවක් විය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් නිදහස් වෙළෙඳ කලාපයේ කර්මාන්ත ශාලා ගණනාවක් පසුගිය කොවිඩ් සමයේ වැසි ගියේය. කර්මාන්ත හිමියන් බොහෝ දෙනෙකු සේවකයන්ගේ වැටුප් සහ රැකියා කප්පාදු කිරීමට පියවර ගත්තේය. නමුත් ඇඟලුම් ක්ෂේත‍්‍රයේ 74,000ක පමණ ඇබෑර්තු පවතින බව කලාපයේ සේවක ගැටලු වෙනුවෙන් දීර්ඝ කාලයක් තිස්සේ පෙනී සිටි සිවිල් ක්‍රියාකාරීන්ගේ අදහසයි.
රැකියාවේ ගෞරවය
පසුගිය 07 වැනිදාට යෙදුණ ලෝක ගෞරවනීය රැකියා දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් කියා සිටින්නේ, ගෞරවනීය රැකියා ආරම්භ වන්නේ රැකියාවක් සඳහා ඇති මූලික අයිතිය සමඟින් බවයි. “සේවා නියුක්තිකයාගේ හා පවුලේ සාමාන්‍ය පැවැත්මට අවශ්‍ය ජීවත් විය හැකි වැටුපක් ලබා දිය යුතුය. රැකියා ස්ථානයේ කිසිදු විෂමතාවක් නොමැති පාරිසරික සහ සේවා සුරක්ෂාවක්ද තිබිය යුතුය. එසේම සංවිධානයවීමේ අයිතිය එනම් වෘත්තීය සමිති ලෙස සංවිධානය වීමේ හා එහි සාමාජිකත්වය දැරීමේ සේවක අයිතිය පිළිගත යුතුය.”
ඔහු එහි වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, කොවිඩ් 19 ගෝලීය වසංගතයක් ලෙස සමස්ත අපනයන නිෂ්පාදන ක්ෂේත‍්‍රයම දරුණු අර්බුදයකට තල්ලු කර ඇති අතර ඇඟලුම් කර්මාන්ත, සේවකයින් අමානුෂික ලෙස සුරා කන අංශයක් ලෙසද හෙළිදරව් කර ඇති බවයි. ‘කොරෝනාව පැතිරීම පාලනය කිරීම සඳහා ආණ්ඩුව අඛණ්ඩව ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් කර්මාන්තශාලා වැසීමට සිදුවූයෙන් හාම්පුතුන් එම අවස්ථාව තම සේවක සංඛ්‍යාව කප්පාදු කිරීමට පමණක් නොව, වෘත්තීය සමිති ක්‍රියාකාරීන්ගෙන් තොර සේවා ස්ථාන බවට කර්මාන්ත ශාලා පත් කර ගැනීමට ද උනන්දු වූයේ’ යැයි එහි සඳහන් වේ.
මෙම වාතාවරණය සම්බන්ධයෙන් සිය ෆෙස්බුක් පිටුවේ සටහනක් තබමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රිනි ආචාර්ය හරිනි අමසූරිය කියා සිටින්නේ, “කොවිඩ්-19 වෛරසය නැවත වරක් ඉස්මතු වීමෙන් මෙම රෝගය පැතිරීම හා සම්බන්ධ සමාජ අසමානතා මෙන්ම සෞඛ්‍ය සම්බන්ධ අසමානතාවයන් යළිත් වරක් පෙන්නුම් කර ඇත. අපගේ අවධානය යොමු වියයුතු මුලිකම කරුණක් වන්නේ තම සෞඛ්‍ය තත්ත්වය මෙන්ම තම සගයන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ දැන දැනම මෙම කාන්තාවන්ට වැඩ කිරීමට බල කළ කොන්දේසිය; අප සෞඛ්‍ය හා ආරක්ෂණ ප‍්‍රමිතීන් පිළිබඳව සේවා ස්ථාන හා කර්මාන්තශාලාවල හිමිකරුවන් සහ කලමනාකාරීත්වය ප‍්‍රශ්න කළ යුතුය. ශ‍්‍රමය සූරාකෑම පිළිබඳ නම් දරා සිටින ක්ෂේත‍්‍රයක සිදුවූ මෙම සිදුවීම අහඹුවක් නොවන” බවයි.
මෑන් පවර් සේවය
පවත්නා වාතාවරණය හමුවේ වඩාත් අර්බුදයට පත්ව ඇත්තේ අවිධිමත් සේවයේ නියුතු සේවකයන්ය. උද්ගත වූ තත්ත්වය හමුවේ මේ වන විට කිසිදු මෑන් පවර් සේවකයෙකුට ආයතන තුළ කටයුතු කිරීමේ ඉඩකඩ ලබා දී නැත. එසේම කිසිදු ආයතනයක ස්ථිර සේවකයන් නොවීම නිසා සේවක අර්ථ සාධක, රක්ෂණ, වන්දි, දීමනා වැනි අමතර කිසිදු වරප‍්‍රදාසයක් ආයතනික හිමිකමක් ඔවුන්ට නැත. දෛනික වැටුපකින් ජීවත් වන නිසාම නවාතැන් සඳහා කුලිය ගෙවීමට නොහැකි වීමෙන් මෑන් පවර් සේවකයන්ට නවාතැන් පහසුකම් දීම ද මේ වන විට ප‍්‍රතික්ෂේප වන බව කලාපයෙන් දැනගන්නට ලැබේ.
ඇඟලුම් කර්මාන්තය ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායෙන් 15%කට රැකියා සපයන අංශයයි. එහි ශ්‍රමිකයන්ගෙන් 80%ක් පමණ කාන්තාවන් වීම සුවිශේෂිය. මෙම තරුණ ශ්‍රම බලකායේ අතිබහුතරයක් ග්‍රාමීය ප‍්‍රදේශවලින් සංක්‍රමණය වූවන් වන අතර ඔවුන් වසර ගණනාවක් කලාපය ආශ‍්‍රිතව ජීවත් වී තිබුනද එහි ස්ථිර ලියාපදිංචියක් නැත. එනිසාම රජය විසින් පසුගිය වර ලබා දුන් රුපියල් 5000 දීමනාව මෙම ඇඟලුම් සේවක සේවිකාවන්ට අහිමි විය. රැකියා අහිමිව තිබුණද ඔවුන් නැවත ගම්බිම් බලා යාමටද කැමැත්තක් නැත. ඒ නැවත ගමට ගොස් කරන්නට රැකියා නොමැති නිසාය. ශ්‍රමයට සරිලන වැටුපක් නොමැති මෙම තරුණ කාන්තාවන්ට පෝෂදායී සහ ශරීරයේ ප්‍රතිශක්තීකරණය වඩවන ආහාර වේලක් යනු සිහිනයකි. කොවිඩ් මර්දනය නිසා රට ලොක්ඩවුන් තත්ත්වයේ පැවතියදි රැකියා සහ වැටුප් අහිමිව නේවාසිකාගාරවල සිරවූ ඇඟලුම් සේවික සේවිකාවන් නිරහාරව පසු වූ බව ඩාබිඳු සාමූහිකයේ චමිලා තුෂාරී පවසයි.
පෞද්ගලිකත්වය කෙළෙසන මාධ්‍ය
වසංගතය වඩාත් අර්බුදකාරී වී ඇත්තේ රටේ විවිධ ප‍්‍රදේශවලින් හමුවන ආසාදිතයින් ප‍්‍රමාණය වැඩිවීම නිසාම නොව, මෙවන් වාතාවරණයක වඩාත් වගකීම් සහගත විය යුතු පාර්ශ්වයන්ගේ වගකීම් විරහිත හැසිරීම් නිසාය. මේ මොහොතේ වෛරසයෙන් මෙන්ම ආර්ථීක ගැටලු වලින් ද පීඩාවට පත්ව සිටින ඇඟලුම් සේවක සේවිකාවන් ඉලක්ක කර ගනිමින් සමාජ මාධ්‍ය මෙන්ම ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය බොහෝමයක්ද වෛරී මෙන්ම අපහාසාත්මක ප‍්‍රකාශ සිදුකරමින් තිබේ. “දිවුලපිටියේ අම්මගෙයි දුවගෙයි කොරොනාව නිසා 2000කට පීසීආර්…” යන ශීර්ෂයෙන් යුතුව රාජ්‍ය මාධ්‍ය නාලිකා පවා පුවත් පළ කළේය. ජනප‍්‍රිය ගුවන් විදුලි නාලිකාවක එක්තරා වැඩසටහනක “ඇඟලුම් කර්මාන්ත සේවිකාවන් ඉස්සරත් දැනුත් බයෙන් ඉන්නේ පොසිටිව් වීමට” යැයි කියා ඔවුන්ගේ ලිංගික ජීවිතය උපහාසයට ලක්කළේය.
රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය වගකීම් නොතකා ආශ‍්‍රිතයින් මත වරද පැටවෙන අයුරින් වාර්තා කිරීම හේතුවෙන් ඇඟලුම් සේවක සේවිකාවන් වෛරසය පැතිරවීමේ වාහකයින් යැයි සමාජය හමුවේ දෝෂ දර්ශනයට ලක්ව තිබේ. විශේෂයෙන්ම මෙවැනි චෝදනා සමඟ ඔවුන්ට නවාතැන්ගැනීම්, ගමනාගමනය, කඩ සාප්පුවලට යෑම අවහිර කෙරෙන තත්ත්වයක් උද්ගතව තිබේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව පසුගිය 11 වනදා නිවේදනයක් නිකුත් කරමින් කොවිඩ් 19 ට අදාළ පුවත් වාර්තාකරණයේදී වඩා වගකීම් සහගත මාධ්‍ය භාවිතාවක අවශ්‍යතාවය මතුකර තිබුණි.
කම්කරු නීතිය
වැඩපොළේ සුරක්ෂිතතාව සහ සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ 1981 අංක 155 දරන ප‍්‍රඥප්තිය (Occupational Safety and Health Convention, 1981 (No. 155)) ප‍්‍රකාර, සේවකයන්ට වැඩපොළේ දී වසංගතය බෝවීමේ හැකියාව අවම කිරීම සඳහා සහ සේවකයන් වසංගතයෙන් ආරක්ෂා කිරීම පිණිස ප‍්‍රායෝගිකව ගත හැකි හැකි සියලූ පියවර ගැනීම සහතික කිරීමේ සම්පූර්ණ වගකීම සේව්‍යයන්ට (හාම්පුතුන්ට) පැවරෙන බව ලෝක කම්කරු සංවිධානය පවසයි. ප‍්‍රායෝගිකව ඉටු කළ හැකි සහ අත්‍යවශ්‍ය සෑම අවස්ථාවකම සුදුසු ආරක්‍ෂිත ඇඳුම් කට්ටල නොමිලේ සේවක සේවිකාවන්ට ලබාදීම ද හාම්පුතුන්ගේ වගකීමක් බවත් කොවිඩ් 19 වසංගතය සමයේ හාම්පුතුන්ගේ වගකීම් සම්බන්ධයෙන් එම සංවිධානය නිකුත් කළ මාර්ගෝපදේශවල දැක්වේ.
එමෙන්ම වසංගතයක් සමයක ඒ සම්බන්ධයෙන් සිය සේවකයන් නිසි පරිදි දැනුවත් කිරීමත් වැඩපොළේ සුරක්ෂිතතාව සහ සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ ඔවුන්ට නිසි පුහුණුවක් ලබාදීමත් සේවකයන්ගේ වගකීමකි. සිය සේවකයන්ගේ සුරක්ෂිතතාව සහ සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ ඔවුන් සමඟ අදහස් හුවමාරු කරගැනීමට සහ හදිසි අවස්ථාවක කටයුතු කළ යුත්තේ කෙලෙස ද යන්න පිළිබඳව සේවකයන් දැනුවත් කිරීම මෙන්ම වැඩපොළේ දී කම්කරුවෙකු අසනීප වූයේ නම් කම්කරු බලධාරීන් දැනුවත් කිරීමට ද ඔවුහු බැඳී සිටිති.
ලෝක කම්කරු සංවිධානය සිය මාර්ගෝපදේශවල දක්වා තිබුණේ, කොවිඩ් 19 වසංගතයෙන් පසුව යළි රැකියාවට පැමිණෙන සේවක සේවිකාවන් සම්බන්ධයෙන් මිනිස් අයිතිවාසිකම්වලට මුල් තැන දෙන, මානව හිතවාදී ප‍්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු බවයි. එසේ කම්කරුවන් යළි සේවයට වාර්තා කිරීම සම්බන්ධ ප‍්‍රතිපත්ති සකස් කිරීමේ දී සහ ඒ සඳහා කම්කරුවන්ගේ විශ්වාසය දිනා ගැනීම උදෙසා ආණ්ඩු, කම්කරුවන් සහ සේවායොජකයන් සමග එක්ව සංවාදයක් දියත් කිරීම තීරණාත්මක වනු ඇති බවද එහි දැක්වේ.
සිය සෞඛ්‍යයට හෝ ජීවිතයට හදිසි තර්ජනයක් විය හැකි තත්ත්වයක් මතු වී තිබෙන්නේ යැයි විශ්වාස කරන අවස්ථාවක වැඩපොළෙන් ඉවත්ව යාමට සේවකයන්ට හිමිකමක් තිබෙන බව ලෝක කම්කරු සංවිධානය පෙන්වා දෙයි. සේවකයෙකු එසේ ඉවත්ව ගියහොත් ඒ හේතුව නිසා ඔහු/ඇය සේවයෙන් පහකිරීම හෝ සේවකයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම වැනි තත්ත්වයකට මුහුණ නොදිය යුතු බව ද එම නිර්දේශවල දැක්වේ.
ජීඑස්පී ප්ලස්
කොරෝනා වෛරස ගෝලීය වසංගතය ලෝකයේ සියලු රටවල් මුහුණදෙන හදිසි මහජන සෞඛ්‍ය ආපදා තත්ත්වයක් පමණක් නොව ආර්ථික අර්බුදයක් මෙන්ම සමාජයීය අර්බුදයක්ද බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. එනිසාම වසංගතය නිමා වුවද ගෝලීයව ඉස්මතු වන ආර්ථීක අර්බුදයෙන් ගැලවීම පහසු වන්නේ නැත.
2020-2021 වර්ෂයන් සඳහා වන රටවල්වල ආදායම් මට්ටම වර්ගීකරණයන්ට අනුව ශ‍්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක සිට පහළ මධ්‍යම ආදායම් ලබන රටක් දක්වා පහත හෙලීමට ලෝක බැංකුව පසුගිය දා ක්‍රියාකළේය. පසුගිය වසරේ දී ඩොලර් 4060 ක් වූ ශ‍්‍රී ලංකාවේ දළ ජාතික ආදායම කොරෝනා වෛරස වසංගතයත් සමග ඇමරිකානු ඩොලර් 4020 ක් දක්වා පහත වැටීම මත ලෝක බැංකුව සිය නවතම ශේණිගත කිරීම සිදු කර තිබේ. මෙම පහත වැටීම සමඟ ජී.එස්.පී+ සහනය තවදුරටත් ලංකාවට හිමිවේදැයි fඬ්ලී මිරර් පුවත්පත හා සාකච්ඡාවකට එක් වූ යුරෝපා සංගම් තානාපති ඩෙනිස් චායිබී ගෙන් කළ විමසීමකදි ඔහු කියා සිටියේ, අවම වශයෙන් තවත් අවුරුදු තුනක් යුරෝපා සංගමයට අයත් රටවල වෙළෙඳපොළට තීරු බදු රහිතව ඇතුල් වීමේ ඉඩකඩ ලංකාවට තිබුනද ජාත්‍යන්තර සම්මූතීන් හා සියලු කොන්දේසි පිළිපැදිය යුතු බවයි. 2021 වන විටත් ශ‍්‍රී ලංකාව පහළ මධ්‍ය ආදායම් ලබන රටක් නම් සහ අනෙකුත් සියලු කොන්දේසි සපුරා ඇත්නම් 2024 දක්වා ජී.එස්.පී+ සහනය ලබා ගත හැකි බවත් ඔහු පවසා තිබුණි.
මෙම සහනය හිමිවන ක්ෂේත‍්‍ර අතර ඇඟලුම් ප‍්‍රමුඛ වේ. මෙරට නිෂ්පාදනය කෙරෙන ඇඟලුම් ප‍්‍රමාණයෙන් 60%කට වැඩි ප‍්‍රතිශතයක් අපනයනය කෙරෙන්නේ යුරෝපා සංගමයේ රටවලටය. එම අවස්ථාව අපට හිමිව ඇත්තේ මෙම සහනය හේතුවෙනි. එහෙත් ඒවායේ ප‍්‍රතිලාභ ඇඟලුම් සේවක ප‍්‍රජාව වෙත ගලා යන්නේ නැති බව උද්ගතව ඇති මෙම තත්ත්වය හමුවේද ප‍්‍රත්‍යක්ෂ වේ. යුරෝපා සංගම් තානාපතිවරයා පැවසු පරිදිම තවදුරටත් ජී.එස්.පී+ සහනය පවත්වා ගැනීමට නම් මානව හිමිකම්, කම්කරු අයිතිවාසිකම්, පාරිසරික ආරක්ෂාව හා යහපාලනය පිළිබඳව ගිවිසුම් 27ක් අඛණ්ඩව හා ඵලදායීව ක්‍රියාත්මක කළ යුතුය. ඒවා ක්‍රියාත්මක වන්නේදැයි යුරෝපා සංගමය වඩාත් සමීපව අධීක්ෂණය කරනු ඇත.
මෙම ජාත්‍යන්තර ප්‍රමිතීන් වෙනුවෙන් පෙනී සිටිමින් වෙළෙඳ කලාපය ආශ්‍රිතව කටයුතු කරන වෘත්තීය සමිති මෙන්ම සිවිල් සංවිධාන පසුගිය කාලයේදී දිගින් දිගටම පෙන්වා දුන්නේ මේ සේවක සේවිකාවන්ගේ ජීවන සහ රැකියා තත්ත්වය වෙනස් කළහොත් එය මෙම ක්ෂේත්‍රයේ දියුණුවට මෙන්ම ආර්ථීකයට විශාල පිටුවහලක් වන බවයි. නමුත් ඒ කෙරෙහි ප්‍රමාණවත් අවධානයක් යොමු නොවීය. එසේ වී තිබුනා නම් මේ දෙවැනි රැල්ල ඇති නොවීමට පවා ඉඩ තිබුණි. දැන් රජයට, කර්මාන්ත ශාලා හිමිකාරීත්වයට හෝ පවතින ආර්ථීක ක්‍රමයට චෝදනා එල්ල කිරීමෙන් පළක් නැත. කොරෝනා පළමු පහර එල්ල කරන්නේ සමාජයේ තිබෙන දුර්වල, අව වරප්‍රසාදිත, සහ තර්ජනයට ලක්ව ඇති කලාපයන් වෙතයි. වෙළෙඳ කලාපය යනු එවන් තැනකි. ඒ නිසා දෙවන රැල්ල වෙළෙඳ කලාපයෙන් ආරම්භ වීම හුදු අහඹුවක් නොවේ. වෙළෙඳ කලාපයේ කටයුතු කරන බහුතරයක් සිවිල් සංවිධාන කාලයක් තිස්සේ පෙන්වා දෙමින් තිබෙන්නේ සමාජයේ මේ දුර්වල ස්ථානයන් පිළිබඳවයි. කොරෝනාවලට මුහුණ දිය හැක්කේ තනි පුද්ගලයෙකුගේ ප්‍රතිශක්තීකරණය වර්ධනය කිරීමෙන් නොව සමාජ ප්‍රතිශක්තීකරණය වර්ධනය කිරීමෙන්ය. සමාජ ප්‍රතිශක්තීකරණය දුර්වල කරන්නේ මේ සමහර අයිතිවාසිකම් අහිමි ජන කණ්ඩායම්ය. ඒ නිසා කොරෝනා සමග කෙරෙන සටන, මේ දුබල ස්ථානයන් ඉවත් කිරීමේ සටනක් දක්වා ව්‍යාප්ත විය යුතුය. එය අයිතිවාසිකම් පිළිබඳ සටනකි.
ජයනි අබේසේකර විසින් සමබිම ඉරිදා අතිරේකයට ලියන ලද ලිපියකි