පෙරියමුල්ල ජනතාවගේ ඔල්වරසන් හා හරසර  මැද  ෂහ්මි ශහීත්  මීගමුවට පැමිණේ

0
254

බේරුවල ප්‍රදේශයේ  ජීවත්වන ” ෂහ්මි ශහීත් ”  25 වැනි වියේ පසුවන මුස්ලිම් ජාතික තරුණයකි. එමෙන්ම ඔහු ස්වේච්ඡා ගුරුවරයෙකු ලෙසද එලෙසම සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙසද කටයුතු කරයි. ඔහු මේ දිනවල  ලංකාව වටා පා ගමනින් ගමන් කරයි. මේ විශේෂිත පා ගමනේ අරමුණ වන්නේ ශ්‍රී ලංකාව යනු සුවිශේෂී සංචාරක ආකර්ෂණයක් සහිත රටක් මෙන්ම සංචාරකයන්ට හට ආරක්ෂිත රටක් සහ එහි වෙසෙන සියළු  ජාතීන්  අතර  සුහදව ගොඩනැගුණු සංහිඳියාවක් සහ  දැඩි සහෝදරත්වයක් ඇති බව ලොවට නිරූපණය කිරීමටයි. එම  පණිවිඩය   ලොව පුරා සිටින විදෙස් සංචාරකයන් ට සන්නිවේදනය කිරීම  තුලින්  ඉදිරි කාලයේදී විදෙස් සංචාරකයන් වැඩි ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ගැනීම මෙම පා ගමනේ තවත් එක් ප්‍රධානතම  අරමුණකි. එමගින් මෙරට  සංචාරක කර්මාන්තය දියුණු කළ හැකි බවත් එ තුලින්  රටේ ආර්ථික තත්ත්වය වැඩි වර්ධනය කිරීමට හැකි බවත්  ඔහුගේ අදහසයි.

අද මෙම පා ගමනේ 42 වැනි දිනයයි. මෙම පා ගමන දින 50 කින් නිම කිරීමට සැලසුම් කර තිබූනත් එය දින 45 කින් නිම කිරීමට හැකිවන බව ෂහ්මි ශහීත් ඇතුළු එම පා ගමන සංවිධානය කරන පිරිසගේ අදහසයි

මෙම පා ගමන බේරුවලින් ආරම්භ වුයේ පසුගිය ජූලි මස 13 වැනි (13/07/2024) දිනයි. බේරුවලින් පටන් ගෙන  පේදුරුතුඩුවට ගොස්  නැවත එතැන් සිට බේරුවල බලා ආපසු යන ගමනේදී  අද  (23/08/2024) දහවල් ආහාරය සඳහා ෂහ්මි ශහීත්  ඇතුළු පිරිස මීගමුව ,පෙරියමුල්ල ප්‍රදේශයට පැමිණියේය. එහිදී ඔහුට පෙරියමුල්ල ජනතාවගෙන් ලැබුනේ ඉහළ පිළිගැනීමකි.
විශේෂයෙන්ම මීගමුව සහ පෙරියමුල්ල ප්‍රදේශයේ වෙසෙන මුස්ලිම් ජනතාව ඔහුව පිළිගනු ලැබුවේ මහත් හරසරයෙනි. රතිඤ්ඤා සහ ගිණිකෙලි දල්වමින්  ජනතාව ඔහුට සිය සතුට ප්‍රකාශ කළහ. මේ හේතුවෙන් හෝරා දෙකක් පමණ කාලයක් මීගමුව හලාවත ප්‍රධාන මාර්ගයේ පෙරියමුල්ල ප්‍රදේශයේ විශාල වාහන තදබදයක් ද ඇති විය.තරුණයන් ඇතුළු අති විශාල පිරිසක් ඔහුව පිළිගැනීම සඳහා පෙරියමුල්ල ” අම්රා ලීෆ් ” හෝටල්  පරිශ්‍රයට පැමිණ සිටිනු දක්නට ලැබිණි.

මෙම පාගමන පිළිබඳව අප වෙත අදහස් දැක්වූ ෂහ්මි ශහීත් පැවසුවේ දුප්පත් පවුලක උපන් තමා වැනි තරුණයෙකුට මෙම පා ගමනේදී කිසිදු භේදයකින් තොරව සිංහල ,දමිල සහ මුස්ලිම් ජනතාව ඉතා ආදරයෙන් හා ඉතා හොඳින් සැලකූ බවයි. විශේෂයෙන්ම සිංහල හා දමිළ ජනතාව ⁣වෙසෙන ප්‍රදේශවලින් ගමන් කිරීමේදී ඔවුන් තමන්  වෙත ලබා දුන් සහයෝගය සහ උපකාරද  විශේෂයෙන්ම අද දිනයේ මීගමුව ජනතාව   තමන් වෙත ලබා දුන් ඉහළ ගෞරවය සහ සංග්‍රහශීලී ආගන්තුක සත්කාර පිළිබඳවද ඔහු සිය ස්තූතිය පල කිරීමට ද මෙහිදී අමතක නොකළේය.
එමෙන්ම ඔහු වැඩිදුරටත් පැවසුවේ  කිසිදු බියක් සැකක් නොමැතිව ලොවේ සතර දෙසින් ශ්‍රී ලංකාවට පැමින  සංචාරය කරන ලෙසට විදෙස් සංචාරකයන්ට තමන් පෞද්ගලිකවම මෙම පා ගමන තුළින්  ආරාධනා කරන බවයි.