පොලිස් ඇඳුමේ ගරුත්වය ඉහළට එසවූ වුට්ලර් මහතා නිලයෙන් ඉහළට….

0
198


මීගමුවපොලීසියේ ස්ථානාධිපති උදය කුමාර වුට්ලර් මහතා A S P තනතුර දක්වා උසස් කර ඇත . මෙකී ආරංචිය ලැබුණු විගස යම් සටහනක් තැබීමට අදහස් කළේ ඔහු තුළ තිබුණු මහත්මා ගති ලක්ෂණ පෙරදැරි කරගෙනය.
රාජකාරි කටයුතු සඳහා පොලිස් ස්ථානයට පැමිණෙන ඕනෑම අයෙකු පිළිබඳව ඔහු තුළ කිසිදු භේදයක් නොවීය. එසේම අදාල කාරණය විමසා එය ඉක්මනින් විසඳාලීමට මැදිහත් වෙමින් ජනතා විශ්වාසය දිනා ගත් නිලධාරියෙකි. දක්ෂ කථිකයෙකුවූ වුට්ලර් මහතා එය ජනතාව අතර කරන කටයුතු වලදී නිසි ලෙස යොදාගනිමින් ජනතා ආකර්ෂණය දිනා ගැනීමට සමත්විය.

නමේ අරුතින්ම කුමාරයෙකු බඳු පෙනුමත් , යහපත් පෞරුෂයකින් කටයුතු කිරීමට හැකිවීමත් ඔහු ජන්මයෙන්ම ලද භාග්‍යයකි. එසේම මීගමුව නගරයේ සිදුවන අපරාධ පිළිබඳව අදාල තොරතුරු මගින් ජනතා අවබෝධය ගොඩ නැගීම උදෙසා ඉමහත් කැපවීමක් කළ ඉහළ නිලධාරියෙකු විය.

වුට්ලර් මහතාගේ සේවය , ලැබූ අධ්‍යාපනය සහ අත්දැකීම් රාශියකි. ඉන් කිහිපයක් පමණක් පහත සඳහන් පරිදි සටහන් කරමු.

ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ මානව හිමිකම් පිළිබඳව ශාස්ත්‍රපති උපාධි ධාරියෙකු මෙන්ම මානව සම්පත් කලමණාකරණය පිළිබඳව ඩිප්ලෝමාධාරියෙකු වශයෙන් උසස් අධ්‍යාපනය ලැබූ අයෙකි .එසේම මීගමුව පොලීසියේ පමණක් නොව යාපනයේ මූලස්ථාන පොලිස් පරීක්ෂක ලෙසද, වැල්ලවත්ත, එරාවුර්, ගුවන්තොටුපොල , දොම්පේ යන පොලිස් ස්ථාන වල ස්ථානාධිපතිවරයා ලෙසද කටයුතු කළ පරිනත පොලිස් නිලධාරියෙකු විය.

එසේම එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි උපදේශකයෙකු ලෙස වසර 05ක පමණ කාලයක් නැ. ටිමෝරයේ හා දකුණු සුඩානයේ රාජකාරියේ නිරතව සිට ඇති අතර සිංහල, දෙමල, ඉංග්‍රීසි භාෂාවන් හොඳින් හැසිරවිය හැකි දක්ෂ නිලධාරියෙකි .

2015 වසරේදී මීගමුව පොලිස් වසමේ මත්කුඩු පාලනයට දැක්වූ දායකත්වය සහ කැපවීම හේතුවෙන් ජනාධිපති ප්‍රශංසා ලාභියෙකු විය. එසේම පොලිස් පැසිපන්දු කණ්ඩායමේ වර්ණ ලාභියෙකු වන ඔහු පොලිස් ටෙනිස් කණ්ඩායමේද නිත්‍ය සාමාජිකයෙකි.

මීට අමතරව …

  • දොම්පෙ පොලිස් ස්ථානය සිවිල් වැසියන් විසින් ගිනි තබද්දී ( 2011 ) එම පොලිස් ස්ථානය භාර ගැනීම .
  • විද්‍යා දැරිය ඝාතනයෙන් පසු යාපනයේ අධිකරණයට සහ පොලිස් ස්ථානයට පහර දී තිබියදී එම පොලිස් ස්ථානය භාර ගැනීම .
  • අත් අඩංගුවෙන් මිදී දින 11ක් සැඟව සිටි මීගමුව බන්ධනාගාර කොමසාරිස් වන සම්පායෝ අත්අඩංගුවට ගැනීම . ආදී වශයෙන් වුට්ලර් මහතා විසින් සිදුකළ සමාජ මෙහෙවර සහ දායකත්වය පිලිබඳ ලියැවිල්ල ඉතා දිගු එකකි.
    කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලයේ ආදි සිසුවෙකු වන වුට්ලර් මහතා දියණියන් දෙදෙනෙකුගේ ආදරණීය පියෙකු බවද අවසාන වශයෙන් මෙහි සඳහන් කරනු කැමත්තෙමු…

එබැවින් වුට්ලර් මහතාණෙනි!
ඉදිරියටද පොලිස් සේවයේ අවංකව කටයුතු කරගෙන යාම සඳහා අප ඔබට ශක්තිය සහ ධෛර්යය පතමු!

සැම්සන් ඥානසිරි