පොලීසිය යන පාර කුමක්ද?

0
266

මිගාර ගුණරත්න සිසුවාට සිදු වූ ම්ලේච්ඡ පොලිස් පහර දීම පිළිබද යම් කිසිවක් අප විසින් සිදු කල යුත්තේ, මිගාර නීති සිසුවෙකු වීම නිසා හෝ ඔහුගේ පියා ජනාධිපති නීතිඥවරයෙකු වීම නිසා හෝ ඔහුගේ පියා හිටපු ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න වීම නිසා හෝ නොවේ. යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටි නී්‍තිඥවරු බොහෝ පිරිසක් මැද නීති සිසුවෙකුට වෘත්තීය කටයුතු කිරීමට ඇති අයිතිය පිළිබද ප්‍රශ්න කල පණ්ඩිතයින් කීපදෙනෙකුගේ ද මත ඊයේ දිනයේ දී මුහුණු පොතේ දුටුවෙමි.

පළමු කාරණාව මිගාර පොලිසියට යන්නේ කිසිදු නීති සේවාවක් සැපයීමට නොවන බව ය. ඔහුගේ සහෝදරයා වූ චරිත ගුණරත්න පැවසු පරිදි ඔහු යන්නේ සැකකරුට කෑම පාර්සලයක් ලබා දීමට ය. නිසි අවසරය ඇති ව පොලිස් ස්ථානයක සිටින සැකකරුවකු පිළිබද සොයා බැලීම මේ රටේ ඕනෑම පුරවැසියෙකු සතු අයිතිවාසිකමකි.

මෙහි ඉතාම බරපතලම කාරණයක් වන්නේ මිගාරට පහර දෙන්නේ, මිගාර ඔහුගේ නීතිඥ සහෝදරයා බවට ඇති කරගන්නා වැරදි අවබෝධයක් මත වීම ය. පොලීසියට ඇත්තට ම පහර දීමට අවශ්‍ය වූයේ සිය සේවාදායකයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාට වීම ය.

තුන්වෙනි සහ පොලිස් ප්‍රචන්ඩත්වයේ උච්ඡතම අවස්ථාව වන්නේ මේ සිද්ධිය තුල හා ඉන් පසු පොලීසිය හැසිරෙන ආකාරය යි. මිගාර ව අධිකරණයට ඉදිරිපත් කරන්නේ පොලීසියේ ක්‍රියාකලාපය ප්‍රශ්න කරන ඕනෑම පුද්ගලයකුට එල්ල වන රාජකාරියට බාධා කිරීමේ චෝදනාව යටතේ ය. පොලීසියේ විසුලු සහගත ස්ථාවරයට අනුව මිගාර සැකකරුට ජංගම දුරකථනයක් ලබා දීමට යෑමේ දී පොලිස් නිලධාරියකු එයට අවසර නොදුන් අවස්ථාවේ මිගාර හා නිලධාරීයා අතර බහින් බස් වීමක් ඇති වී පොලිස් කූඩුව අසල සිදු වන ලිස්සා වැටීමක දී මිගාරට තුවාල සිදුවී ඇත. මේ රටේ පාරක් තොටක් ගානේ, කඩපිලක් ගානේ, ඕනෑම අගුපිලක ඣඣඔඪ ඇතිනමුත් පොලිස් ස්ථානයක් හතර මායිමේ ඣඣඔඪ කැමරාවක් හොයා ගැනීම උගහටය. පොලිස් විමර්ෂනයක දී සැකකරු වෙනුවෙන් නීතිඥ නියෝජනයක් සුරක්ෂණය කර ඇති රටවල සැකකරුවෙකු විසින් සිදු කරන ප්‍රකාශයක් ඔහුට විරුද්ධ ව නඩුවක දී සාක්ෂියක් වශයෙන් භාවිතා කල හැක. ලංකාවේ ප්‍රකාශයේ ලියෙවෙන්නේ පොලීසියට උවමනා දේ ය. ලියන දේ වෙනකෙකුට තබා ප්‍රකාශ කරන්නාටවත් කියවා තේරුම් ගත නොහැක්කේ ඒවා කියවීමට පරණවිතාන වලෙන් නැගිට ඒම උවමනා වන බැවිනි.

බාලවයස්කාර දැරියක දෙකලවා අතර සංසර්ගය සිදු කිරීම මගින් කරන ලද බරපතල ලිංගික අපයෝජන නඩුවක අභියාචනය සදහා වරෙක මා පෙනී සිටියෙමි. පොලිීසිය ලබාගෙන තිබූ දැරියගේ ප්‍රකාශයන්, කාලයක් ලංකාවේ ජනප්‍රිය ව තිබූ ‘වල් පත්තරයක’ උපුටා ගැනීම් මෙන් විය. චූදිතගේ ලිංගේන්ද්‍රිය දැරියගේ යෝනි මාර්ගයට ඇතුලු වීම ද දැරියට වේදනාවක් දැනීම ද යෝනි මාර්ගය තුල උනුසුම් දියරයක් පහවීම ද ප්‍රකාශ වල සවිස්තරාත්මක ව ලියා තිබුණි. අධිකරණ වෛද්‍ය වාර්තාවට අනුව යෝනිය ආශ්‍රිත ව කිසිදු තුවාලයක් නිරීක්ෂණය නොවූ අතරයට කන්‍යා පටලයට හානියක් සිදු වී නොතිබුනි.

මා කලින් සදහන් කර පරිදි පොලිස් ප්‍රචන්ඩත්වයේ උත්සන්න ම අවස්ථාව වන්නේ චෝදනා නිර්මාණයටත් සාක්ෂි අලුතින් සෑදීමටත් ලංකාවේ පොලීසියට ඇති හැකියාව ය. වරෙක ලංකාවේ ප්‍රධාන හෝටලයක් අසල දී 20 හැවරදී පමණ තරුණයෙකු මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනී. නිලධාරීන්ගේ සටහන් අනුව තමන්ගේ වාහනයෙන් බසින තරුණයාගේ අතේ තිබූ කලු පැහැති ටියුලිප් වර්ගයේ බෑගයක් තුල තිබී හෙරෝයින් කිලෝ කීපයක් (මතකයේ හැටියට) අත් අඩංගුවට ගන්නේ වැල්ලවත්ත මෙරයින් ඩ්‍රයිව් හී මුහුද දෙසට වන්නට නවතා තිබු වාහනය අසල දී ය. තරුණයාගේ වාසනාවට හෝටලයේ වාහන අංගනයේ සටහන් වල තරුණයාගේ වාහනය හෝටලය තුලට ඇතුලු කල හා පිටවූ වේලාව සටහන් වී තිබුණි. තරුණයා අත්අඩංගුවට ගෙන තිබුණේ හෝටලය තුල දී ය. චරිත ගුණරත්න මහතාගේ ප්‍රකාශය අනුව අදාල ස්ථානාධිපතිවරයාට උවමනා නම් සැකකරුව මත්ද්‍රව්‍ය චෝදනා ඉදිරිපත් කර අධිකරණයට ඉදිරිපත් කරන බවට ස්ථානාධිපතිවරයා විසින් තර්ජනය කොට තිබේ. වරක් අත්අඩංගුවට ගත් සේවාදායකයකු වෙනුවෙන් බොරලැස්ගමුව පොලිස් ස්ථානයට ගිය අවස්ථාවේ දී ඊලග අවස්ථාවේ දී බෝම්බයක් දමා ඔහුව අත්අඩංගුවට ගන්නා බවට ස්ථානාධිපතිවරයා හයිරමක් දැම්මේ කිසිදු හිරිකිතයක් නොමැතිව ය. මෙවන් අවස්ථාවන් බොහොමයක් නීතිඥවරුන් විසින් තම සේවාදායකයන් වෙනුවෙන් විදදරා ඇති බවට සැකයක් නැත.

ප්‍රශ්නය වන්නේ පොලීසියට මේ කුඩු, ආයුධ, බෝම්බ ලැබෙන්නේ කොහින් ද යන්නයි. කුඩු හෝ බෝම්බ චෝදනා ඉදිරිපත් කොට පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නම් පළමුව පොලීසිය සතුව බෝම්බ හෝ කුඩු තිබිය යුතුය. මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගන්නා හෙරෝයින් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් තවමත් රැදවුම් භාරයේය. කුඩු, ආයුධ, බෝම්බ සන්නද්ධ ව සිටින පොලීසියට කුඩු ජාවාරම් කිරීම, කුලියට මිනීමැරීම වැනි ලයිසන් සහිත පාතාලයක කටයුතු ඉටු කිරීම කජු කනවා වැනි වැඩකි. කොන්ත්‍රාත් මත මිනීමැරූ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් තාම බන්ධනාගාරයේ බව අප අමතක නොකල යුතුය.

ලංකාවේ අධිකරණ පද්ධතිය හා නීතිය ක්‍රියාත්මක වීමේ ක්‍රමවේදය ගැන ජනතා විශ්වාසය බිදවැටීමට ප්‍රධානතම හේතුව මේ දූෂිත පොලිසියයි. මිගාර ගුණරත්න සිද්ධියේ දී නීතිඥ සංගමය මේ සියලු කාරණා වෙනුවෙන් පෙනී සිටිය යුත්තේ එබැවිනි. හුදු වැඩ තහනම් කිරීමකින් සැනසුම් සුසුම් හෙළීම අපට කල නොහැක්කේ එබැවිනි. වැඩ තහනම් වූ නිලධාරීන් සිද්ධිය අමතක වී ගිය සැනින් සේවයේ පුනස්ථාපනය වනු ඇත. අප අවම වශයෙන් දැන්වත් ක්‍රියාත්මක විය යුත්තේ ස්වාධීන අධිකරණයක පළමු අවශ්‍යතාවය ස්වාධීන හා වෘත්තීය පොලිස් සේවයක් වන බැවිනි.

චරිත් ගල්හේන විසිනි