පොලීසියෙන් ගුටි කෑ පසු ගමින් ලැබුණු බෙහෙත ’ගොනිකා’

0
2491

වර්තමානය හා සසඳන විට මීට අවුරුදු හතලිහකට, පනහකට පෙර පොලිස් පහරදීම් පිළිබඳව බහුලව අසන්නට ලැබිණ. විශේෂයෙන් එතරම් සවිමත් සමාජ, ආර්ථික වටපිටාවක් නොමැති ගැමියෝ විවිධ කරුණු මුල් කර ගනිමින් මෙලෙස අමානුෂික පොලිස් පහරකෑම් වලට ලක් වූහ. වර්තමානයට සාපේක්‍ෂව මූලික මිනිස් අයිතිවාසිකම්, මානව හිමිකම් ආදිය පිළිබඳ විවෘත සමාජ කතිකාවක් ඇති වී නොතිබීම, එසේ පහර කෑම් වලට ලක්වන්නවුන් ගේ ආර්ථික හා සමාජමය අසරණ බව, එකල පොලීසියේ ඇතැම් පිරිස් අධිකරණ බලය ද ඉක්මවමින් තම රාජකාරී බලය අවභාවිතා කිරීම ඒ සඳහා හේතු වන්නට ඇත. කෙසේ වුවද මෙලෙස පොලිස් පහරකෑම් වලට බඳුන්ව කායික තැළුම් පෙලුම් වලට ලක් වන පුද්ගලයන් සඳහා ඒ කාලයේ ප්‍රකට ශාකසාර ඖෂධයක් ද විය. එනම් ගොනිකා කොළ ය. එම ගොනිකා කොළ යුෂ වශයෙන් හෝ තම්බා හෝ ඒවායින් කැඳ සාදා බීමෙන් හා ගොනිකා කොළ මැල්ලුම් කෑමෙන් එලෙස කායිකව සිදු වී ඇති තැළුම් පෙලුම් ඉතා ඉක්මනින් සුවපත් වන බවට සමාජයේ පැතිර ගත් මතයක් විය.

ඒ අනුව කිනම් හෝ හේතුවක් මත පොලීසියේ අමානුෂික පහර කෑමකට ලක්ව නිවසේ ඔත්පලව හිඳින්නවුන් වෙනුවෙන් ගොනිකා කොළ සොයමින් ඇවිදින දෙමාපියන්, බිරියන් සහ පවුලේ සෙසු ඥාතීන් එවක සමාජයේ ජීවත් වුවන්ට අරුමයක් නොවී ය. මීට වසර හතලිහකට පමණ ඉහත අමානුෂික පොලිස් පහර කෑමකට ලක් වූ තම පුතුට කැඳ සාදා දීම පිණිස ගොනිකා කොළ සොයමින් ඇවිදින මාතර ප්‍රදේශයේ පිටිසර ගමක මවක පිළිබඳව අසන්නට ලැබීමෙන් මම අතිශය කම්පනයකට පත් වීමි.

මෙම ගොනිකා කොළ ආහාරයට ගැනීමෙන් මිනිස් ශරීරයේ කැඩුම් බිඳුම්, තැලුම් පෙළුම් ඉතා ඉක්මනින් සුවපත් වන බව තහවුරු කෙරෙන රසවත් ප්‍රවාදයක් තිබේ. එහෙත්, එය කුමන ප්‍රදේශයකින් මතු වූවක් දැයි මම නොදනිමි.

එක්තරා ගම්බද ප්‍රදේශයක තණ කමින් නිදැල්ලේ ඇවිද ගිය ගවයෙකු කළු ගල් ප්‍රපාතයකින් පහළට ඇද වැටී දරුණු කැඩුම් බිඳුම්, තැලුම් පෙළුම්වලට ලක්ව නැගිට ගත නොහැකිව එම ප්‍රපාතය පාමුලම වැතිර කල්ගත කරන්නට විය. ඒ කාලය තුළ කිසිදු ආහාරයක් සොයා ගත නොහැකි එම ගවයාට ආහාරයට ගත හැකි වූයේ ඒ ප්‍රපාතය පාමුල වැටී ඇති එක් වැල් විශේෂයක් පමණි. දින කිහිපයක් අන් කිසිදු ආහාරයක් නොගෙන එම වැල් විශේෂය පමණක් ආහාරයට ගත් ගවයා එලෙස ප්‍රපාතයෙන් ඇදවැටීම නිසා හටගත් සියලු කැඩුම් බිඳුම්, තැලුම් පෙලුම් ආදී කායික ආබාධ පිටු දැක දින හෝ සති කිහිපයක් තුළ නැඟී සිටි බවක් එම ප්‍රවාදයේ සඳහන් ය. එය මුල් කොට පළමුව ගොනු+කැ+වැල් යන්න පසුව ගොනිකා වැල් යනුවෙන් ව්‍යවහාර වූ බව කියනු ලැබේ.

ශ්‍රී ලංකාවේ දී ගොනිකා නමින් හඳුන්වනු ලබන මෙම ශාකය ශ්‍රී ලංකාවට ආවේණික වූවක් නොවේ. එය ශ්‍රී ලංකාව, ඉන්දියාව, මියන්මාරය, තායිලන්තය, මැලේසියාව, සිංගප්පූරුව,  ජාවා සහ බෝර්නියෝ යන රටවල ද දක්නට ලැබෙන්නකි. ශ්‍රී ලංකාවේ දකුණු සහ නිරිත දිග වෙරළ බඩ තීරයන් ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයක මුහුදු මට්ටමින් අඩි හත්සියයට වඩා උසින් අඩු බිම්වල මෙම වැල් විශේෂය දක්නට ලැබේ.

Psychotria Sarmentosa යන උද්භිද විද්‍යාත්මක නමින් හඳුන්වන ගොනිකා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක දක්නට ලැබෙන මුත් ඒ සඳහා ශ්‍රී ලංකාවේ දී හිමිව ඇති වැදගත් කම අන් කිසිදු රටකදී හිමි නොවීම ද විශේෂත්වයකි. ශ්‍රී ලංකාව තුළ ඖෂධීය ශාකයක් වශයෙන් සැලකෙන මෙයට ඉන්දියාවේ ආයුර්වේදයේවත් විශේෂ තැනක් ලැබී නැත. ඒ අනුව අපට හැඟී යනුයේ මෙම ගොනිකා අප රටේ ‘ජන වෙදකම’  (Folk Medicine) සඳහා වන කදිම නිදසුනක් බව ය. ජන වෙදකම යනු විධිමත් සෛද්ධාන්තික පදනමකින් තොරව දීර්ඝ කාලයක් තිස්සේ ජන විඥානය මත පදනම් වූ සේම පිරික්සුම් හා වැරදීම් න්‍යාය  (trial and error method) ඔස්සේ භාවිතයෙන් ස්ථාපිත වූ වෛද්‍ය ක්‍රමයකි. වෛද්‍ය විද්‍යාවක් හෝ වෛද්‍ය ශාස්ත්‍රයක් ලෙස හැඳින්වීමට අවශ්‍ය මූලික අංග නැතත් නිශ්චිත ජන සමාජයක් තුළ දීර්ඝ කාලීනව භාවිතා වන බැවින් මෙම ජන වෙදකමේ සාධනීය අංග ඇතැයි පැවසීමට අප පසුබට විය යුතු නැත.

ඉංගිරිසි බෙහෙත් යනුවෙන් ශ්‍රී ලාංකීය ගැමියන් විසින් හඳුන්වනු ලැබූ ඇලෝපති වෛද්‍ය ක්‍රමය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වූ මුල් යුගයේ එම ඖෂධවල ඇති අතුරු සහ පශ්චාත් ඵල කෙරෙහි අනිසි බියක් ඇති කර ගත් අප රටේ ගැමියෝ ඒවාට ‘සැර’ ‘උෂ්ණ’ ආදී වශයෙන් විවිධ අර්ථ කථන දුන්හ. එම යුගයේ ඉංග්‍රීසි බෙහෙත් බිව් පසු ශරීරය තුළ හටගන්නා උෂ්ණාධික බව දුරුකර ගැනීම පිණිස යැයි කියමින් බොහෝ දෙනෙකු මෙම ගොනිකා කොළ යුෂ හා කැඳ වශයෙන් භාවිතයට ගත් බවට සාධක තිබේ. එමෙන්ම ඒ සම්බන්ධ එක්තරා අතකින් විස්මයට තුඩු දෙන කරුණක් ද ඇත. එනම් මෙම ශාකය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ මෙතෙක් සිදුකරන ලද පර්යේෂණ දෙකකින්ම එහි පවත්නා නිර්වේදනික (analgesic) ප්‍රදාහ විරෝධී (Anti inflammatory) ස්වභාවයක් පිළිබඳව නීරීක්ෂණය වීම ය.

1999 වසරේ එවක කොළඹ විශ්ව විද්‍යාලයීය සත්ව විද්‍යා අංශයේ සේවය කළ කීර්තිමත් සත්ව විද්‍යා මහාචාර්ය ඩබ්ලියු. ඩී. රත්නසූරිය මහතා මීයන් යොදා ගනිමින් සිදුකරන ලද විද්‍යාත්මක පර්යේෂණයක දී මෙම ශාකය සම්බන්ධ නිර්වේදනික තත්වයන් නිරීක්ෂණය කොට ඇත. වියපත් වීමත් සමඟ කතුන් තුළ බහුලව ඇති වන හන්දිපත් වේදනා ඇතුළු ආතරයිටිස් රෝග තත්ත්වයන් සේම රිදුම්, තැලීම් ආදී කායික වේදනා සම්බන්ධ ‘සමනකාරක’ ගුණයක් මෙම ශාකය තුළ පවතින බව මහාචාර්ය වරයාගේ පර්යේෂණ වාර්තාවේ දැක්වෙයි.  මෙහි පැරසිටමෝල්වලට සමාන වේදනා නාශක හා සමනකාරක ගුණයක් ඇති බව ද එමඟින් තහවුරු වී තිබේ.ඊට අමතරව ඕ.ඩබ්ලිව්.එම්.කේ.එම් රත්නායක, ටී. එස්. සුරේෂ්, ඒ. එම්. අබයසේකර, නසීරා සලීම්, යූ.ජී. චන්ද්‍රිකා යන විද්වත් මණ්ඩලයක් විසින් 2017 වසරේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය මගින් කරන ලද මෙම ශාකය සම්බන්ධ පර්යේෂණයකින් ද  ගොනිකා ශාකයේ    ප්‍රදාහ විරෝධී  (Anti inflammatory)  රසායනික සංඝටක ඇති බව තහවුරු වී ඇත. ඒ ද මීයන් යොදා ගනිමින් සිදුකරන ලද විද්‍යාත්මක පර්යේෂණ මඟිනි නමුදු ගොනිකා ශාකයේ අඩංගු රසායනික සංඝටක වෙන්ව හඳුනා ගැනෙන විද්‍යාත්මක පර්යේෂණයක් මෙතෙක් සිදු වී නැත.

එමෙන්ම මෙම ශාකය මුල්කොට නිපද වූ ඖෂධයක් සම්බන්ධ සායනික පෙරහුරු  (Clinical trial) ලොව කිසිදු ආයතනයක් මඟින් සිදු කොට ඇති බවක් දැන ගන්නට ද නැත. මේ සියලු කරුණු කියැවීමෙන් පසු මෙම ශාකය සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු විසින් විමසිය හැකි ප්‍රශ්නයක් ද තිබේ. එනම් මෙය ඖෂධයක් වශයෙන් භාවිතා කළ නොහැකිද? යන්නය. ජන වෙදකමේ, දේශීය වෙදකමේ හෝ ආයුර්වේදයේ ඖෂධ සම්බන්ධ අර්ථ නිරූපණවලට වඩා ඉංග්‍රීසි හෝ බටහිර වෙදකම නමින් හඳුන්වන ඇලෝපති වෛද්‍ය ක්‍රමයේ ඖෂධ පිළිබඳ අර්ථ නිරූපණය වෙනස් ය. අප ගන්නා ආහාරයක ඖෂධීය ගුණ සහිත රසායනික සංඝටක තිබූ පමණින් එය ඖෂධයක් ලෙස නොසැලකේ. ඇලෝපති වෛද්‍ය ක්‍රමයට අනුව ඖෂධය යනු ප්‍රතිනිෂ්පාදනයක් වන සේම අතිශය දීර්ඝ, විද්‍යාත්මක සේම ආචාර විද්‍යාත්මක ක්‍රියාවලියකින් පසු භාවිතයට ගනු ලබන්නකි. ඒ කෙසේ හෝ කිසියම් ජන සමාජයක් විසින් ආහාරමය වශයෙන් භාවිතා කරන දෙයක් හෝ ජන වෙදකමේ ඖෂධීය ගුණයක් ඇතැයි පැවසෙන දෙයක් ආහාරයට ගැනීම සම්බන්ධයෙන් එරෙහි වීමට අපට කිසිදු අයිතියක් නැත. එමෙන්ම අප ජන සමාජයේ දීර්ඝ කාලීනව භාවිතයට ගනු ලබන ගොනිකා කොළ කැඳ, මැල්ලුමක හෝ සලාදයක රස විඳ එහි ඇති යම් සමනකාරක ගුණයක් අත්විඳීමේ හැකියාවක් ඔබට සේම මා සතුව ද තිබිය යුතුය. මෙම ගොනිකා ශාක සම්බන්ධයෙන් මා වෛද්‍ය සිසුන් පිරිසකගෙන් විමසූ අවස්ථාවක ඔවුන් ප්‍රකාශ කොට සිටියේ තමන් කිසිදා එබඳු ශාකයක් පිළිබඳව අසා නොමැති බවකි. අතීතයට සාපේක්‍ෂව පොලිස් පහර දීම් අඩුවීම ද ඊට හේතු වන්නට ඇතැයි මට සිතේ. එහෙත්, වර්තමානයේ ගොනිකා කොළ පිළිබඳව අසන්නට නොමැති තරමටම පොලිස් පහරදීම් ද අඩු ව තිබේ දැයි යන්නට මම කිසිදු පිළිතුරක් නොදෙමි. මක් නිසාද එය ඔබ විසින් ඔබගේ සමාජමය අවබෝධය මඟින් පිළිතුරු සොයා ගත යුතු පැනයක් බැවිනි.

හෘදවේද විශේෂඥ

මහාචාර්ය නාමල් විජයසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here