අමාශගත රෝගයකට ප්‍රතිකාර ලබාගැනීම සදහා මීගමුව රෝහලට ඇතුල් වු රෝගියෙකුට තම අතේ ඇඟිලි දෙකක් අහිමි කරගෙන ගෙදර එන්නට සිදු වු පුවතක් දංකොටුව, ගෝනවිල ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
මෙම අවසනාවන්ත සිදුවීමට මුහුණ දි ඇත්තේ දංකොටුව, ගෝනවිල , මනත්තුරේ මාවතේ පදිංචි ජයකොඩිඅරච්චිගේ ජයවික්‍රම නැමති 56 දෙදරු පියෙකි.
ජයවික්‍රම මහතා තමාට මුහුණ දෙන්නට වූ අවසනාවන්ත සිදුවීම පිළිබදව මෙසේ පැවසීය.
“මම රියදුරෙක් විදියට තමා වැඩ කරමින් හිටියේ. මට පාසැල් යන වයසේ දරුවෝ දෙන්නෙක් ඉන්නවා. පහුගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ දවසක මට උහුලගන්න බැරි බඩේ අමාරුවක් හැදුණා. මම දංකොටුව රෝහලට ඇතුල් වුනාම එතනින් මාව මීගමුව රෝහලට මාරු කළා. එහෙන් කීවා මට තියෙන්නේ බඩේ ගෑස් අමාරුවක් ,ඒ නිසා ශල්‍ය කර්මයක් කරන්න ඔනේ කියලා. ඒ අය ඒක ඉක්මනින් කරලා මාව ගෙදර එවුවා. මට මලපහ කරන්න පිටතින් බෑග් එකක් හයි කරලා තිබුණා. ඒක ගලවන්න එන්න කීවේ මේ අවුරුද්දේ ජුනි මාසේ 13 වැනිදා.
එදා ඒක අයින් කරලා මට කැක්කුම නිසා තුවාලේ වෙලෙන්න කියලා නර්ස් නෝනා කෙනෙක් ඇවිත් මගේ අතේ මැනික් කටුව ළඟට බේත් එකක් විද්දා . ඒක විදපු ගමන්ම මගේ අත පන නැතුව වගේ ගියා. ලොකු කැක්කුමක් අවා මට ඒක උහුල ගන්න්න බැරි වුනා මම නර්නෝනාට කතා කරලා කීවා මගේ අතට ගොඩක් අමාරුයි මේ විදපු බේත් එක හරිද කියලා බලන්න කියලා. එත් ඒ වෙලාවේ එයලා ඒක ගණන් ගත්තේ නැහැ. හවස මගේ නෝනා බලන්න ආපු වෙලාවේ මම එයාට කීවා අයෙත් ගිහින් නර්ස්ලට කියන්න කියලා. මගේ නෝනා එහෙම කියද්දිත් 6 වාට්ටුවේ හිටපු නර්ස් නෝනලා ඒක ගණන් අරගෙන නෑ.
පහුවෙනිදා වාට්ටුවේ දොස්තර මහත්තයා ඇවිත් බලලා කීවා විදපු බේත් එක වැරදිලා, මාව ඉක්මනින් කොළඹ ජාතික රෝහලට යවනවා කියලා . ජාතික රෝහලේ දොස්තර මහත්වරු බලලා කීවේ ධමනියකට විදින්න ඔනේ බේත් එකක් ශිරාවකට විදපු නිසා මගේ අතේ ඇඟිලි බේත් එකෙ සැරට පිච්චිලා කියලා. මාව එහෙ මාසයක් එහේ තියාගෙන හිටියා. ඒත් එයලාට මීගමුව රෝහලේ නර්ස් නෝනලාගෙන් වුන වැරැද්ද හදන්න බැරුව ගියා . පසුගිය සැප්තැම්බර් මාසේ 24 වෙනිදා ඔපරේෂන් එක්ක කරලා මගේ අතේ ඇඟිලි දෙකක් කපලා දැම්මා .
මහත්තයෝ මම පවුලක් රකින තාත්තා කෙනෙක් . මම රස්සාව කලේ රියදුරෙක් විදියට මම කොහොමද ඇඟිලි නැතුව රස්සාව කරන්නේ. මගේ දරුවෝ ඉගෙන ගන්නවා. මම දැන් ගොඩාක් අසරණ වෙලා ඉන්නේ බඩේ ඔපරේෂන් එක නිසා මට මහන්සි වෙලා වැඩක් කරන්ත් බෑ. ඇඟිලි දෙකකුත් නැතුව මම තවත් අසරණ වුනා. අපි රෝහලකට යන්නේ ඒ අයව විශ්වාස කරලා ඒත් බඩේ අමාරුවකට බේත් ගන්න ගිය මට ගෙදර එන්න වුනේ අතේ ඇඟිලි දෙකකුත් නැතුව.
මම මේ ගැන මීගමුව දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරි තුමාට පැමිණිලි කළා. මීගමුව රෝහල් අධ්‍යක්ෂතුමාටත් මේ ගැන දැනුම් දුන්නා. මීගමුව පොලිසියේ පැමිණිල්ලක් දැම්මා. මම ඉල්ලා සිටින්නේ අපේ නර්ස් නෝනලා රෝහල්වලට එන රෝගීන් ගැන මීට වඩා සැලකිල්ලක් දක්වන්න කියලයි. ඒ ජීවිතවලට මොනවාහරි දෙයක් වුනොක් වග කියන්න කවුරුත් නෑ. මට මේ වෙච්ච චෙද් වෙනුවෙන් සාධාරණයක් කරන්න.අපේ ජිවිත දැන් ගොඩාක් අසරණ වෙලා. ” යැයි පැවසීය.
මේ සම්බන්ධයෙන් විමසීමේදි මීගමුව මහ රෝහල් අධ්යක්ෂ වෛද්‍ය හේමන්ත රණසිංහ මහතා මෙසේ පැවසීය. “මම මෙහෙ වැඩ බාර අරන් තවම මාසයයි . තවම නම් මට ඔය වගේ පැමිණිල්ලක් ලැබිලා නැහැ. කොහොම වුනත් එම රෝගියාට පුලුවන් තමන්ට යම් අසාධාරණයක් වෙලා තියෙනවා නම් ඒ ගැන පරික්ෂණයක් ඉල්ලන්න. ඒ වෙලාවට අපේ රෝහල පැත්තෙන් වුණු දේ ගැන කරුණු කියන්න අපිට පුලුවන්.” යැයි පැවසීය.
ගවේෂණය,සටහන සහ ඡායාරූප
නයිනමඩම චන්දන ප්‍රනාන්දු
ජයවික්‍රම මහතාගේ රෝග නිශ්චය කාඩ්පත
ජයවික්‍රම මහතා දැනට පදිංචි නිවස
ජයවික්‍රම මහතාගේ දකුණු අතෙහි ඇගිලි දෙකක් කපා දමා ඇති අයුරු