‘මගේ  ඉරණම ඉබේ ආවේ නෑ, මගේ ඉරණම මමම හදාගත්තා ‘ – මෙරිල් පීරිස්

0
360

වෘත්තියෙන් ඉංග්‍රීසි භාෂා  ගුරුවරයෙකු ලෙස ප්‍රකට මෙරිල් පීරිස් මහතා සිය උපන් ගම් පියස වන මීගමුව-පිටිපන ප්‍රදේශයේ එවකට පැවති කලාකාමී පසුබිම සහ දක්ෂ නළුවෙක් වු සිය පියාගේ ආභාෂයත් එලෙසම සහජයෙන් තමන්ට හිමි වු නිර්මාණාත්මක හැකියාවත් පෙරටු කර ගනිමින් වීදි නාට්‍ය නිර්මාණකරනයට පිවිසි කලාකරුවෙකි.
එමෙන්ම නාට්‍ය කලාව, රංග කලාව, ලේඛන කලාව සහ කවි කලාව ඇතුළු සකල විද කලා ඉසව් ගණනාවක නිරතවන ඔහු ප්‍රතිභාපූර්ණ කලා නිර්මාපකයෙක් ලෙසද හඳුන්වා දිය හැක. මේ වන විට සියනෑ ගුරු අභ්‍යාස විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂාව සහ සාහිත්‍යය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් වන මෙරිල් පිරිස් මහතා, කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ සහ තවත් පෞද්ගලික විශ්ව විද්‍යාල කිහිපයක ඉංග්‍රීසි භාෂාව සහ සාහිත්‍ය පිළිබඳ ආරාධිත කථිකාචාර්යවරයෙකු ලෙස ද කටයුතු කරයි. මෙරට පාස්කු නාට්‍ය සම්ප්‍රදායට අයත්,  පිටිපන පාස්කු නාට්‍යයේ වර්තමාන අධ්‍යක්ෂකවරයා වන්නේ ද මෙරිල් පීරිස් මහතායි. ඔහු සමඟ කළ පිළිසදර පහත පලවේ.

මෙරිල් පීරිස්

2018 වසරේ සිට ඔබ පිටිපන පාස්කු නාට්‍යයේ අධ්‍යක්ෂකවරයා බවට පත්වෙනවා. හැබැයි ඔබ මෙහි අධ්‍යක්ෂකවරයා බවට පත් වෙන්න  කලින් නාට්‍ය පිළිබඳව දිගු ඉතිහාසයක් ඔබට තියෙනවා. ඒ ඉතිහාසය ගැන කෙටියෙන් විස්තර කළොත්?

මගේ ගම තමයි,  මීගමුව – පිටිපන. මගේ පියා කේ.ඇලෝසියස් පීරිස්.මව මර්සි මේරි. මගේ පියා සුළුවට එළවළු ව්‍යාපාරයක් කරපු කෙනෙක්.මගේ ගම මීගමුව -පිටිපන කියලා මම මුලින්ම කිව්වනේ. පිටිපන කියලා කියන්නේ ම කලාකාමී ගම්මානයක්. මේකේ වැඩි වශයෙන් හිටියේ ධීවර රැකියාව කරන පිරිස.  මේ ගමේ ධීවර පිරිස ගත්තත් , වෙනත් රැකියාවන් කරපු පිරිස ගත්තත්  මේ සෑම කෙනෙක්ම කලාවට විශාල ලැදියාවක් තිබුණු සහ ඒ වගේම  කලාව තුළ විශාල දක්ෂතා තිබුණු සහ ඒව⁣ පෙන්නුම් කරපු අය. ඒ වගේම මේ අපේ  පිටිපන ගමේ තිබුණා නූර්ති නාඩගම් වගේ නාට්‍ය .ඒ වගේම තමයි හැම්ලට් ජුවනාදාස් වගේ නාඩගම්  රඟ දක්වලා තියෙනවා.  දැන් ඔය පිටිපන ඉස්කෝලේ තියෙන තැන තමයි ඕවා ඉස්සර රඟ දැක්වුයේ .මට  එතකොට වයස අවුරුදු දහයක් විතර වගේ ඇති.මගේ පියා අති දක්ෂ කලාකරුවෙක්.මේ ගමේ වේදිකාගත වුණු “ජුලියස් සීසර්” නාට්‍යයේ “කැස්කා”ගේ චරිතය රග පාන්නේ මගේ පියා. ඉතින් තාත්තාගේ ආභාෂය මට ගොඩක්ම ලොකුවට බලපෑවා කියලත්  වෙලාවකට හිතෙනවා.ඉතින් අර මම කිව්ව ජුවානාදාස් නාට්‍යයේ එහෙම නැත්නම් ඒ නාඩගම නරඹලා ඇවිත් මම ඒ ජවනිකා  ගෙදර රඟපානවා. එි්ක මට හොඳටම මතකයි.ඔය ‘ජුවනාදාස්’ කියන නාඩගම සාමාන්‍ය නාඩගම් නාට්‍යයක් වගේ නෙමෙයි පැය හයකටත් හතකටත් වඩා රඟ දැක්වෙන නාට්‍යයක්. ඉතින් ඒ කාලේ මට මතකයි ඕක බලන්න එන අය කිරිබත්, මුං කිරිබත්, තවත් කැවිලි පෙවිලි  හදාගෙන කෝපි එහෙම හදාගෙන තමයි ඕක බලන්න එන්නේ. මිනිස්සු හරිම උනන්දුවකින්, ආශාවකින් තමයි  ඉස්සර ඕවා බලන්න ආවේ. මම පාසල් ගියේ පිටිපන කනිෂ්ඨ විද්‍යාලයට. පස්වැනි ශ්‍රේණියේදී මම ශිෂ්‍යත්වය පාස් වුණා . මම ශිෂ්‍යත්ව විභාගෙ පාස් වෙලා තිබුණත් මම දැනන් හිටියේ නෑ මං ඒක පාස් වුණා කියලා. ඇත්තම කියනවා නමි මට ඒ ගැන එච්චර අවබෝධයක් තිබුණේ නෑ. එතකොට ඉස්කෝලේ විදුහල්පතිනිය වෙලා හිටියේ සිස්ටර් ජෝසේ කියලා කෙනෙක්. එයා තමයි අපේ ගෙදරට ඇවිල්ලා ඔය ගැන  කියලා  තිබුණේ.
ඒ මට මතක විදිහට 1976 අවුරුද්දේ වගේ. ඉන් පසු මම ගියේ මීගමුව, සෙන් මේරිස් විද්‍යාලයට.
ඉස්සර හොඳ කීර්ති නාමයක් තිබුණා ඔය ඉස්කෝලෙට. ඔය ඉස්කෝලෙදි හුඟක් මාව ප්‍රසිද්ධ වුනේ ක්‍රීඩා වලට.විශේෂයෙන්ම මීටර් 100, 200 සහ දුර පැනීම,  වාගේ ක්‍රීඩා ඉසව් වලට  මාව ගොඩක් ප්‍රසිද්ධ වුණා. එක වතාවක් මාව ඉස්කෝලේ නිවාසාන්තර ක්‍රීඩා වලදී 17 න් පහල චැම්පියන් වුනා.හුඟ දෙනෙක් මාව අඳුරන්නේ ක්‍රීඩා කරපු මෙරිල් විදිහට තමයි.මම කුඩා කාලේ ළදරු පාසල් යන කාලයේ රජතුන් කට්ටුව නාට්‍යයේ රජ කෙනෙකුට රඟපාලා තියෙනවා. ඒවගේම පිටිපන කනිෂ්ඨ විද්‍යාලයට පාසල් යන කාලෙත් නාට්‍යයක පුංචි චරිතයක් රඟපෑවා .ඉන් පස්සේ සෙන් මේරිස් එකේදි මගේ පන්තියේ හිටපු මගේ යාලුවා අරුණ ශාන්ත නෝනිස් අධ්‍යක්ෂණය කරපු නාට්‍යයක මම රඟපෑවා. මට පොඩි කාලේ ඉඳලම තිබුණා මේ නිර්මාණාත්මක හැකියාව කියන එක .මම ඒක කියන්නේ මේ අතිශයෝක්තියකින් නෙමෙයි.මට එහෙම හැකියාවක් ඇත්තටම තිබුණා.ඒක මම හඳුනගෙනයි තිබුණේ. මගේ ගමේ හිතවත් අය, මගේ යාලුවෝ එකතු කරගෙන විවිධාකාර කතන්දර හදනවා ,ඒවා බොහොමයක් බලපුවහම බොරු කතන්දර. නමුත් මට හැකියාවක් තිබුණ ඒවා කතන්දර විදිහට ගොඩ නගන්න. ඒ කාලේ ජනප්‍රිය ශ්‍රියන්ත මෙන්ඩිස් ජැක්සන් ඇන්තනි රඟපාන   ” ධවල භිෂණ ” ,  “මෝරා ” වගේ නාට්‍ය මම බලලා තියෙනවා. ඒක්කම සුගතපාල සිල්වා ශුරීන්ගේ   සියලුම නාට්‍ය මං බලලා තියෙනවා . ධර්මසිරි බණ්ඩාරනායකගේ “මකරක්ෂායා” වගේ ඒ කාලෙ තිබුනු ඔක්කොම නාට්‍ය මම බලලා තියෙනවා.ඔය නාට්‍ය බලලා මම ගෙදර ඇවිල්ලා ඒක මට ඕන විදිහට, මගේ ශෛලියකින් මම ඒක නැවත නිර්මාණය කරනවා ,  ඒ නාට්‍ය වලින් උකහා ගත් දේවල් වලින් මම වෙනමම වීදි නාට්‍ය නිර්මාණය කරනවා. ඉතින් ඔය නාට්‍ය වලින් අරගත්තු දේවල් වගින් තමයි මම ඒ වීදි නාට්‍ය නිර්මාණය කරන්නේ. දැන් මගේ වීදි නාට්‍යවල රඟපාපු අය තමයි දැන් ඔය පිටිපන පාස්කුවේ ජෙසු තුමන්ගේ  චරිතයට පණ පොවන , මරිස්ටෙලා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති අජිත් සර්, ඒවගේම ඩොක්ටර් රෆායල්. ඔය වගේ මගේ පිරිසක් හිටියා, ඒ පිරිසව යෙදාගෙන තමයි මම බොහෝ විට වීදිනාට්‍ය නිර්මාණය කරන්නේ. විශේෂයෙන්ම ඔය විදී නාට්‍යවලට දායක වෙන්නේ අර  මම  මීට කලිනුත් කිව්වා වගේ මගේ ගමේදී හමුවෙන පිරිස. එක දවසක් හත්තෙට්ටුවේගම සර් ඇවිල්ලා පිටිපන පල්ලිය ගාව වීදි නාට්‍යයක් පෙන්නුවා.ඒකට ආවා ඔය දීපානි සිල්වා එතකොට අර කෙට්ටු එක්කෙනා ලීලසේනගේ චරිතය කරන්නේ. ඒක මගේ හිතට මාර විදිහට වැදුනා.ඒ විදිනාට්‍ය දැකලා මට විශාල පන්නරයක් ලැබුණා , වීදි නාට්‍ය නිර්මාණය කරන්න.

තරුණ ක්‍රිස්තියානි ව්‍යාපාරය සංවිධානය ඉදිරිපත් කළ වේදිකා නාට්‍යයක රඟපාන අවස්ථාවක්

වීදි නාට්‍යකරණයට යොමුවීම ඔබේ ජීවිතයේ සන්දිස්ථානයක්ද ?

           ඔව්, ඔබ වඩාත් නිවැරදියි. වීදි නාට්‍ය නිර්මාණයට පිවිසීම තමයි ඇත්තටම මගේ  ජීවිතයේ හැරුවුම් ලක්ෂයක් බවට පත්වුණේ. අපේ නිවසේ පසුබිම ,අපේ පවුල් පසුබිම ගත්තහම කියවීමට හුරු පරිසරයක් මට තිබුණෙ නෑහැ. ඒ සඳහා මට හොඳ අවස්ථාවක් ලැබුණා පිටිපන හිටිය ශිරාන්  අයියා කියලා කෙනෙක් .එයා රුසියන් පොත්පත් සඟරා නවකතා වගේ දේවල්  කියවනවා. ඉතින් ඒයා නිසා මටත් හොඳ අවස්ථාවක් උදාවුනා, විශේෂයෙන් ඒ රුසියන් කතා වල තියෙන  යම් යම් කරුණු කාරණා මගේ නාට්‍යකරණය සඳහා උපයෝගී කරගන්න .ඒත් එක්කම පිටිපන මගේ ගමින් ලැබුණු  කලාකාමී පරිසරය සහ මගේ පියාගෙන් ලැබුණු ආභාෂය,  ඒ වගේම ජැක්සන් ඇන්තනි ශ්‍රියාන්ත මෙන්ඩිස් වගේ අය රඟපාපු නාට්‍ය නරඹලා ලබා ගත්තු ඒ අත්දැකීම්, ඒ වගේම අර මං කලින් කිව්වා වගේ  හත්තෙට්ටුවගම  සර් ගේ වීදි නාට්‍ය බලලා ලබාගත්තු රසය සහ අත්දැකීම් ඒත් එක්ක මගේ තිබුණ නිර්මාණාත්මක හැකියාව මේ හැම දෙයක්ම උපයෝගී කරගෙන පසුව මම වීදි නාට්‍ය කරන්න පටන් ගත්තා අර මම මුලින් කිව්ව මගේ ගමේ හිතවතුන් පිරිසත් එක්ක.
ඔය අතරෙදි මම පොඩි  ජොබ් එකකුත් කරන්න පටන් ගත්තා, බසිවත්ත පැත්තෙ තියෙන  ඉස්සෝ පිටරට යවන කම්පැනියක. ඒකේ සහායකයෙක් එහෙම නැත්නම් මේ හෙල්පර් කෙනෙක් විදිහට තමයි මම වැඩ කරන්නේ. ඒකෙන් මට මාසික වැටුප හැටියට රුපියල් 1200 ක මුදලක් ලැබුණා. ඔය සල්ලිත් මම වියදම් කරේ බොහෝ විට වීදි නාට්‍ය වලට අවශ්‍ය දේවල් ගන්න.ඇඳුම් පැළඳුම්, ඒ එක්කම වේශ නිරූපණයට අවශ්‍ය දේවල් එහෙම ඒ මුදලින් මම අරගත්තා.
ඔහොම ඉන්නකොට මට හමුවෙනවා ඇන්ටන් මිහිදුකුලව. එයා ඇවිල්ලා පිටිපන ට කුලියට පදිංචියට එනවා. එයා හරහාත් විදි නාට්‍ය කණ්ඩායමක් හැදෙනවා. ඇන්ටන් මිහිඳුකුලගේ සම්බන්ධ වීමත් එක්ක අපේ වීදි නාට්‍ය කණ්ඩායමට යම් විධිමත්භාවයක් හැදෙනවා. අපි සෑහෙන කාලයක් ඔය විදිහට වීදි නාට්‍ය කරගෙන යනවා .පසුව ඇන්ටන් මිහිදුකුල අපෙන් ඉවත් වෙනවා.මම තනියම අපේ ගමේ කට්ටියත් එක්ක වීදි නාට්‍ය දිගටම කරගෙන යනවා. ඒ වෙද්දී සමාජයේ තිබුණු මිනිසුන්ට බලපාන පොදු ප්‍රශ්න ගැටලු ,ගමට බලපාන ප්‍රශ්න, නිර්ධන ප්‍රාන්තිකයින්ගේ පොදු ප්‍රශ්න, සමාජ අසාධාරණකම් වගේ මාතෘකා ඔස්සේ අපි වීදි නාට්‍ය කළා.  ඉතින් අපේ සිරිතක් තිබුණා හැම නත්තලකටම, ඒ නත්තල් රාත්‍රී පූජාවෙන් පස්සේ  අපේ පල්ලියේ වීදි නාට්‍යයක් පෙන්නන එක. ඔය වගේ එක නත්තලක රාත්‍රි පූජාවෙන් පස්සේ වීදි නාට්‍යයක් කලා. පසුව අපිට සිද්ධ වුණා ඒක පහුවෙනිදා උදේටත් පෙන්නන්න. ඉතින් එදා උදේ ත් පිටිපන පල්ලියේ අපි වීදි නාට්‍යය කරනකොට අපේ පිටිපස්සට වෙලා අත් දෙක බැඳගෙන සුද්දෙක් අපි දිහා හොඳට බලා හිටියා මම දැක්කා නාට්‍යය පෙන්නලා ඉවර වුණාට පස්සේ, මේ සුද්දා ගිහින් අපේ අයගෙන් අහල තිබුණා කවුද මේ නාට්‍ය ලිව්වේ, කවුද මේක අධ්‍යක්ෂණය කළේ කියලා. අපේ කට්ටිය කියලා තිබුණා, මෙරිල් අයියා තමයි මේක කෙරුවේ කියලා.ඊට පස්සේ මේ සුද්ද ඇවිල්ල මගෙන් ඇහුවා.ඔබද මේක ලිව්වේ සහ අධ්‍යක්ෂණය කළේ කියලා. ඔය කාලයේ මම ඕ-ලෙවල් පාස් වෙලා ඒ-ලෙවල් පාස් වෙලා ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරන්න පුළුවන් දැනුමක්  සහ හැකියාවක් තිබුණු කාලේ. ඉතින් එයා අහපු ප්‍රශ්න වලට මම ඉංග්‍රීසියෙන් උත්තර දුන්නා. මට ඉංග්‍රීසි භාෂාව කතා කරන්න පුළුවන් වීම ගැන දැනගත්තහම  එයාට හරි සතුටුයි. එයා මගෙන් ඇහුවා ඔයා මොකක්ද කරන ජොබ් එක කියලා.මම එයාට කිව්වා  බසියාවත්ත ප්‍රදේශයේ තියෙන ඉස්සෝ පිටරට යවන කම්පැනියක සාමාන්‍ය හෙල්පර් වගේ රැකියාවක් කරනවා කියලා. ඊට පස්සේ එයා ඇහැව්ව මගෙන්  ඔයා කැමති නැද්ද රැකියාවක් කරන්න මේ වගේ දේවල් කරන, මම ඔයාට රැකියාවක් දෙනවා එක ඔයා කරන්න ඕනේ කියලා,ඔහු මට කිව්වා. පස්සේ  මම ඇහැව්වා කවුද බොස් කියලා. එතකොට එයා  කියනවා, කැතලික් ⁣සොසයිට් කියලා.ඒ කියන්නේ කතෝලික සභාව.ඉන් පස්සේ මං ඇහැව්වා මොකක්ද ඒකේ තේරුම කියලා.  ඊට පස්සේ මේ සුද්දා මට කියනවා මං ඒවා සේරම ඔයාට තේරුම් කරවන්නම් ඔයා  පිටිපන පල්ලියට ඇවිත් ලබන සඳුදා උදේට මාව හම්බෙන්න කිව්වා. දැන් බලපුවහම  මෙයාව අපේ පල්ලියේ පියතුමා එහෙම දන්නවා. පල්ලියේ ඔෆිස් එකකුත් තියෙනවා. මේ ඔෆිස් එක අයි.ඩී.එෆ්.සී. (inter greated fishries  development center)  මේ සෙන්ටර් එකේ ගොඩනැගිලිත් අපේ පල්ලියේ තියෙනවා.මේකේ අධ්‍යක්ෂකවරයා තමයි අපේ දැන් ඉන්න මැල්කම් රංජිත් කාදිනල් තුමා. ඒ කාලේ එතුමා පියතුමා. මේකට සිංහලෙන් කියන්නේ “පිටිපන ධීවර කේන්ද්‍රය” කියලා.  ඉතින් මේ සුද්දා මගෙන් ඇහුවා මං දැන් කරන ජොබ් එකේ විස්තර. මගේ මාසික වැටුප රුපියල් 1200 කියලා, ඒ විස්තර කිව්වට පස්සේ ඔහු මගෙන් ඇහුවා ඔයාට අපි ජොබ් එකක් දුන්නොත්, ඔයාට මාසෙකට වැටුප කීයක් ඕනද කියලා. එතකොට මම එයාට කිව්වා ඉස්සෙල්ලම මට ජොබ් එක මොකක්ද කියලා කියන්න. එතකොට ඔහු කිව්වා ඔයා දිගටම මේ විදිහට වීදි නාට්‍ය කරගෙන යන එක තමයි ඔයාගේ ජොබ් එක කියලා. ඒත් එක්ක මම කලින් ඉඳලා ඔයා ගැන අහලා තියෙනවා ඔයාට හොඳට ලියන්න පුළුවන් හැකියාවක් තියෙනවා ,තව පත්තරයක් එහෙම කරන්න බලාපොරොත්තු වෙනවා,ඔයාට තියෙන හැකියාව තමයි ඔයාගේ ජොබ් එක වෙන්නේ කියලා.ඒ තනතුර තමයි” සමාජ තාක්ෂණ සහායක නිලධාරි” (social technical assistant officer).

පිටිපන පාස්කු නාට්‍යයේ,සෙන්පතිගේ චරිතය රඟපාන අවස්ථාවක්

මම ඒකට කැමති වුණා.  මාසික වැටුප කීයක් ඕනද කියලා  මගෙන් ඇහුවා. මම ඉතිං කිව්වා එහෙනම් මට රුපියල් 1500 ක් දෙන්න කියලා කිව්වා.සුද්දා එතකොට ඔළුවේ අත ගහගත්තා. එයා කිව්වා, නෑ නෑ  මම ඔයාට රුපියල් 2000 ක් දෙනවා.( no,no, I just give you a two thousand )
ඉතින් ඊට පස්සේ  කාදිනල් තුමාඑවකට මැල්කම් රංජිත් පියතුමා, ඒවගේ මේ අධ්‍යක්ෂක මණ්ඩලය, මාව පිළිඅරගෙන ඒ රැකියාවේ මම නිරත වුණා. මේ සෙන්ටර් එක බෙල්ජියම් අරමුදල් වලින් අනුග්‍රහකත්වය ලැබෙන ආයතනයක්. මේක පිටිපන තමයි මධ්‍යස්ථානය. එතැන් සිට බෝපිටිය, පමුණුගම වගේ ධීවර ජනතාව වෙසෙන ප්‍රදේශවල මෙය ආයතනයේ කටයුතු ක්‍රියාත්මක වුණා. ධීවර ජනතාව නඟා සිටුවන්නට මෙයාලා යම් යම් ආධාර උපකාර කළා. මට දුන්නේ එහි තරුණ නායකත්වය, නගා සිටුවීම, දැනුවත් කිරීමේ වැඩසටහන් කරන්න. ඒවා කරන්න ඕන නාට්‍යානුසාරයෙන්. ඉතින් මගේ කාර්යභාර වුණේ නාට්‍ය නිර්මාණය කරන එක , නාට්‍ය රඟ දැක්වීම තමයි මගේ රාජකාරිය වුණේ. ඉතින් මාත් එක්ක හිටියනේ අර පිටිපන වීදි නාට්‍ය කණ්ඩායම.ඉතින් ඒ අය  මා වටා එක්රොක් වෙන්න වුනා. එතනදි තවත් අය මේ කණ්ඩායමට එක් වුණා. 150 කට වැඩි පිරිසක් ඔය වගේ එකතු වුණා. මොකද කතෝලික සභාවේ මූලිකත්වයෙන් සහ ගමේ  පල්ලිය හරහානේ වැඩේ වෙන්නේ.  ඉතින් විශාල කණ්ඩායමක් මේ සඳහා එක්වුණා.

ජයලාල් රෝහණ කියන නාට්‍යවේදියා ඔබේ  නාට්‍ය ජීවිතයට රැකුලක් වුනේ කොහොමද ? 

ඔව්, මම ඔය  ධීවර කේන්ද්‍රය හරහා වීදි නාට්‍ය කරමින්  ඉන්නැද්දි මට අවශ්‍ය වුණා, මේ වීදි නාට්‍යකරණය යම් විධිමත්භාවයක් , වෘත්තීය මට්ටමකට  ගෙන එන්න. ඒත් එක්කම මට අවශ්‍ය වුණා, මේ නාට්‍යකරණය විධිමත්ව හදාරන්න. මොකද මම මේ වෙනකන්  වීදි නාට්‍ය කෙරුවේ  මගේ ගමේ කලාකාමි පරිසරය, මගේ පියාගේ කලාවට තිබුණු ආභාෂය, අර අපේ ගමේ හිටිය ශිරාන් අයියා දීපු රුසියන් කතා කියවලා ලබාගත්තු දැනුම සහ රසය, ඒත් එක්කම ජැක්සන් ඇන්තනී, ශ්‍රියන්ත මෙන්ඩිස්ලා වගේ අයගේ රඟපෑම් දැකලා ඒ ලබා ගත්තු අත්දැකීම්, ඒත් එක්කම මම අර මුලින් කිව්වා වගේ  හත්තෙට්ටුව ගම සර් පිටිපන අපේ ගමට ඇවිල්ලා කරපු වීදි නාට්‍ය වගේ දේවල් දැකලා ඒ ලබා ගත්තු අත්දැකීම්.

ආන්න ඒ වගේ අවස්ථාවක තමයි මට ජයලාල් රෝහණ කියන මේ නාට්‍යවේදියාම මුණ ගැහුනේ.ඔහුව මට සම්බන්ධවන්නේ ලංකාවට ආපු බෙල්ජියම් ජාතික රූඩි කොරන්ස්  කියන මහාචාර්යවරයා නිසා.ඔහු වේදිකා නාට්‍යකරණය සහ  පෆට් රූකඩ අනුසරෙයෙන් කරන්නාවු නාට්‍ය සම්බන්ධව විශාල දැනුම් සම්භාරයක් තිබුණු පරිණත නාට්‍යවේදීයෙක්.  ඔහු ලංකාවට ඇවිල්ලා , පිටිපන  ධීවර කේන්ද්‍රයට තමයි එන්නේ. ඔහු අපේ පාස්කු කලාව සහ ඉතිහාසය සම්බන්ධව විශේෂ ගවේෂණයක් කරනවා,මාවත් සම්බන්ධව කරගෙන.එතකොට මේ මහාචාර්ය රූඩි කොරන්ස් හරහා තමයි ජයලාල් රෝහණ අපට සම්බන්ධ වෙන්නේ .ඒ වගේම ජයලාල් රෝහණත් එක්ක මේකට සම්බන්ධ වෙනවා රොහාන් සමරදිවාකර කියලා කෙනෙක්. ඔහු වේදිකා නාට්‍යවල වේදිකා පරිපාලනය, ඇඳුම් ආයිත්තම් පිළිබඳව හසල දැනුමක් ඇති දක්ෂ කලාකරුවෙක්. පසු කාලයේදී ඔහු මගේ නාට්‍ය කණ්ඩායමේ හිටපු මේ පිටිපන ගමේම පොඩි මැනිකේ කියන තරුණියව තමයි කසාද බඳින්නේ. එතකොට මේ ජයලාල් රෝහණ සහ රොහාන් සමරදිවාකර හරහා අපේ නාට්‍ය කරන දැනුම නිර්මාණාත්මක හැකියාව වැඩිදියුණු වුණා. දැන් මගේ රැකියාව වෙන්නේ සමාජ තාක්ෂණ සහයක නිලධාරී. ඒකෙදි මේ නාට්‍ය කරන වැඩේ විතරක් නෙවෙයි , මට තියෙන්නේ.  පුංචි බැංකු පිළිබඳව වැඩකටයුතු සොයා බලන්න, ප්‍රජා සංවර්ධන වැඩසටහන් පැවැත්වීම, ඒ වගේ තැන්වල ගිහින් කතා පැවැත්වීම, මේ වගේ දේවලුත් මේ රැකියාව තුළ තිබුණා.ඉතින් ඔහොම කාලයක් යද්දී නාට්‍ය කණ්ඩායම ඊට පෙර 150ක් විතර වගේ  හිටිය පිරිසෙන් හොඳම ඉස්පිරිට් එක වගේ ඉන්න 25ක් විතර වගේ ඉතුරු වෙන්න අනිත් අය මගදී හැලුනා.

මාත් එක්ක හිටිය අය අතර හිටියා දැන් පිටුපන පාස්කු නාට්‍යයේ සහය අධ්‍යක්ෂක විදිහට කටයුතු කරන මංගල ඩයස්,  ඒ වගේම ජයන්ත ප්‍රනාන්දු, සුමිත් ප්‍රනාන්දු , පෆට් කරන ජූඩ් කියල ප්‍රසිද්ධ වුන ජූඩ් එයත් හිටියා මගේ කණ්ඩායමේ ඒත් එක්කම රැවුල් පෝල් කියලා ප්‍රසිද්ධ වුණු පොල් අයියා.මේ අයත් එක්ක තමයි පස්සේ මම වීදි නාට්‍ය නිර්මාණය  කරලා ඉදිරිපත් කෙරුවේ.

මෙහෙම වීදි නාට්‍ය නිර්මාණය කරමින් ඉන්නැද්දී තමයි, මට සම්මාන දහයකටත් වඩා වටින මගේ ජීවිතයේ වටිනාම කියන ගෞරවය පැසසුම මට ලැබුණේ.ඒක හරිම අහඹු සිදුවීමක්. දවසක් අපි ඉරිදා දවසක පිටිපන මෝරා වලේ වීදි නාට්‍යයක් රඟ දැක්වුවා.අද වගේ නෙමෙයි ඉස්සර  ඔය මෝරවලට සෑහෙන පිරිසක්  එනවා,  ඉරිදා දවස්වල නාලා විනෝද වෙලා යන්න. අපි ඉතින් නාට්‍ය පෙන්නලා ඉවර වෙද්දි , එතන හිටියා උස මහත හොඳට බඩ තියෙන පුද්ගලයෙක්   යටට අඳින පොඩි අණ්ඩවයාර් එකක් එහෙම දාගෙන, මොර වලට නාන්න ආපු පුද්ගලයෙක්. ඒ පුද්ගලයා අපේ කණ්ඩායමේ කට්ටියගෙන් අහලා තිබුණා, කවුද මේ නාට්‍යය අධ්‍යක්ෂණය කළේ කියලා.ඊට පස්සේ ඒ අය මාව පෙන්නලා තිබුණා. මේ පුද්ගලයා පසුව මට කියනවා, ඔයා හොඳට මේ නාට්‍ය කෙරුවා, මේකේ හොඳ නාට්‍යයක දකින නාට්‍යමය ලක්ෂණ  ගණනාවක් තිබුණා. ඉතින් මම එයාට කිව්වා මහත්තයා මම නම් එච්චර මේවා ගැන දන්නෑ. මමත් මේ නාට්‍ය නිර්මාණය කරන්නේ මේවා හදාරමින් යනකොට තමයි . එතකොට මෙයා කියනවා නෑ,නෑ එහෙම හිතන්න එපා ඔයාගේ නාට්‍යයේ් හොඳ උසස් මට්ටමක තියෙනවා. ඔයා නාට්‍ය හොඳට කරලා තියෙනවා . ඊට පස්සේ මම මෙයාගෙන් ඇහුවා  මහත්තයා කවුද? ඊට පස්සේ මෙයා කියනවා,   “මම ප්‍රේමසිරි කේමදාස” මොහොතකට මාව නිහඬ වුනා.මගේ ජීවිතයේ මට ලැබුණු සම්මාන ගණනාවකටත් එහා  ලොකුම සම්මානය තමයි මට ඒ ලැබුණේ. ඉතින් පස්සේ මම වැඳලා වගේ කිව්වා අනේ සර් සමාවෙන්න මම මීට කලින් සර්ව දැකල තිබුණේ නෑ. අද තමයි සර්ව දැක්කේ කියලා. ඊට පස්සේ මට කියනවා. හා හරි හරි පුතා ඔහොම හොඳට කරගෙන යන්න. ඉතින් ඕක තමයි මගේ ජීවිතේ මම ලබපු ලොකුම සම්මානය.

වෘත්තියට පිවිසුනු  ආකාරයත් ,  කලා කටයුතු   වලට ප්‍රවේශ වු ආකාරයත් දැනගන්න පුලුවන් ද?

මට සාමාන්‍යයෙන් ඉංග්‍රීසි භාෂාව හැසිරවීම සඳහා යම් දැනුමක් තිබුනා.ඒත් මට අවශ්‍ය වුණා ඉංග්‍රීසි භාෂාව  වැඩිපුර ඉගෙන ගන්න.එහෙම හිතාගෙන තමයි මම කොළඹ හුණුපිටිය පාරේ ජිනරතන  ඇකඩමියට සම්බන්ධ වෙන්නේ. මේ ඉංග්‍රීසි භාෂා ඩිප්ලොමා පාඨමාලාව  සම්බන්ධීකරණය කරන්නේ එඩ්වින් ආරියදාස මහතා.එතනට ගියහම රඹුක්කන සිද්ධාර්ථ හාමුදුරුවන් එහෙම හම්බ වෙනවා.එඩිවින් සර්වයි, රඹුක්කන සිද්ධාර්ථ හාමුදුරුවන්වයි, හම්බවෙන්ඩ යන්ඩ මං හරි ආසයි. ඉංග්‍රීසි ඉගෙන  ගන්නටත් වඩා ආසයි ඒ දෙන්නව මුණගැහෙන්න.මම ඉතින් ගියහම මේ දෙන්නත් එක්ක මම කතාබහ කරනවා. ඔය අතරෙදි තමයි මට මගේ සමකාලීනයා ඩොක්ටර් රෆායල් ,මට ගෙනත් දුන්නා  අයදුම් පත්‍රයක්, රජයේ ඉංග්‍රීසි ගුරු විභාගයට. ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ තමයි  ඔය විභාග තිබුනේ. ඒ කාලේ මට තිබුනා නයින්ටි(90) මෝටර් සයිකලයක්.ඒකෙන් තමයි මම ගම්පහට ගියේ මට ගම්පහට යන පාරත් මාරු වෙලා ,විභාගේ පටන් අරගෙන පැය කාලක් විතර පහු වෙලා තමයි මම විභාග ශාලාවට ගියේ. එහෙම ගිහින් ලියලා තමයි මම ඔය විභාගෙ පාස් වුණේ. ඔය කාලෙදි අර ධීවර කේන්ද්‍රයේ කොනත්‍රාත් එකත්  අවසන් වී ගෙන යන කාලේ. ඉතින් මගේ හොඳ වෙලාවට තමයි, මට මේ ගුරුවරයෙක් විදිහට මේ රැකියාව ලැබුණේ. මට පළමු පත්වීම දෙන්න මාව ඉන්ටර්වවීව් කරපු  ඒ කණ්ඩායම මගෙන් ඇහුවා කොහාටද යන්න ඕනේ කියලා, මම කිව්වා ලංකාවේ ඕන තැනකට යන්න ලෑස්තියි කියලා. එහෙම කියපු මට එයාලා දුන්නේ, ලංකාවේ අති දුෂ්කරතම පාසලක් වන පුත්තලම මන්නාරම් පාරේ විල්පත්තුව වනාන්තරයට මායිම් වුනු වනාතවිල්ලුවට අයත් “මයිලන්කුලම කනිෂ්ට විද්‍යාලය” ට තමයි මගේ පළවෙනි පත්වීම මට ලැබුණේ .එතන මට ඉංග්‍රීසි උගන්වන්න හම්බවුනේ නැහැ. මොකද ඒ වෙද්දි ඒ පාසලේ ඉංග්‍රීසි ගුරුවරයෙක් හිටියා. ගණිත ගුරුවරයෙක් හිටියේ නෑ ඒ නිසා මම එහෙදි ඉගැන්නුවේ ගණිතය විෂය. .මම ඒ ලෙවල් වලට ගණිත විෂයන් කරපු නිසා,මට ගණිතය විෂය උගන්වන්න පුළුවන්කම තිබුණා..ඉතින් මං ඒ පාසලෙත් ළමයි  එකතු කරගෙන නාට්‍ය කණ්ඩායමක් හැදුවා. ඔය අතරෙදි පුත්තලම විමංසා කලා කවය කියලා එකක් තිබුණා. එයාලා නාට්‍ය තරග තියෙනවා.බොහෝ විට මේ නාට්‍ය තරඟ පොදු සහ පාසැල් කියලා වර්ග දෙකකට තමයි  පැවැත්වුනේ. මං මේකට ඉල්ලුම් කරනවා.ඒ පාසලේ ළමයි එක්ක මම  නාට්‍යයක් නිර්මාණය කලා. මට දැන් ඒ නාට්‍යයේ නම මතක නෑ .ඉතින්  මේ තරඟයට සහභාගී වෙන්න පුත්තලමට එන්න වාහන පහසුකම් තිබුණේ නෑ.ගමේ තියෙන පරණ ට්‍රැක්ටරයකින් තමයි අපි පුත්තලමට එන්නේ. එදා පුත්‍තලම ටවුන් එකේ මිනිස්සු අපිට හිනා වුනා.  විමංසා කලා කවය අනුග්‍රහයෙන් තිබුණු ඒ නාට්‍ය තරගාවලියට නාට්‍ය 15ක් 20ක් විතර තරගෙට ඉදිරිපත් කරලා තිබුණා .ඒ සියලු නාට්‍ය අභිබවමින් අපි ඉදිරිපත් කරපු නාට්‍යය ,ඒ නාට්‍ය තරඟයේ සියලුම සම්මාන ඒ කියන්නේ හොඳම නළුවා,හොඳම නිළිය හොඳම අධ්‍යක්ෂණය ආදී  සියලුම සම්මාන අපි දිනාගත්ත. මේ අරංචිය පුත්තලම ටවුන් එකෙත් පැතිරුණා.අධ්‍යාපන කලාපය තුලත් පැතිරුණා.ඒ තත්ත්වය මටයි මගේ නාට්‍ය කණ්ඩායමටයි විශාල ගෞරවයක් ලැබුණා. ඔය නාට්‍ය තරඟයෙන් පස්සේ තමයි පළවෙනි වතාවට බොහෝ දෙනෙක් දැනගත්තේ මයිලන්කුලම කනිෂ්ඨ විද්‍යාලය කියලා රජයේ පාසලක් තියෙනවා කියලා, පුත්තලම පැත්තේ. මේකෙන් මට හොඳ පන්නරයක් වගේම යම් පිටුවහලක් ලැබුණා මගේ නාට්‍ය නිර්මාණකරණය සඳහා. එ් නාට්‍ය කණ්ඩායමේ  හිටියා හොඳ දක්ෂ ළමයෙක් .එයා තමයි දැන් ඒ පාසලේ නියෝජ්‍ය විදුහල්පති.  එයා දැන් ඒ පාසලේ නාට්‍ය කරනවා.ඒ මගේ ආභාෂය.ඉතින් මට හරි සතුටුයි ඒ පිළිබඳව.ඊට පස්සේ ඒ වසර 5 ඉවරවෙලා මම වෙන්නප්පුව කනිෂ්ඨ විද්‍යාලයට එනවා.ඊටත් පසු මම එන්නේ තලාහේන කනිෂ්ට විද්‍යාලයට. ඒ පාසලත් මම ළමයි එකතු කරගෙන නාට්‍යයක් කරනවා.ඒ නාට්‍යයටත් ඒ අවුරුද්දේ මීගමු කලාපයෙන් ප්‍රථම ස්ථානය දිනාගන්න හැකි වුනා. ඊට පස්සේ මම මීගමු ශාන්ත පීතර විද්‍යාලයට පැමිණුනා.

ඔබ මීගමුව ශාන්ත පිතර විද්‍යාලයේදී  නාට්‍ය රඟදැක්වූවාද ?  

ඇත්තටම ඔව් , සෙන්ට් පීටර්ස් මගේ කඩඉමක් .ඔය පාසලේ ළමයි එකතු කරගෙන මම නාට්‍යයක්  හැදුවා” ඝට්ඨන” කියලා. ඕක අපි ඉදිරිපත් කළා ටවර් හෝල් රඟහල පදනම විසින් පවත්වපු නාට්‍ය තරගයකට. ඒ තරගාවලියේ තිබුණේ විවෘත තරගාවලියක් විදිහට.අපි ඒ නාට්‍ය  තරගාවලියේදී වෙනත් කණ්ඩායම් එක්ක තරග කරලා අපිට තුන්වෙනි ස්ථානය ලැබුණා. හැබැයි අපි ඉදිරිපත් වුණේ පාසලක් හැටියට.  ඒ පාසල් නාට්‍ය තුළින් හඳුන්වා දීපු ඒ ශිල්පියාව අද මුළු රටම දන්නවා.ඒ තමයි නලින් හුසේනා.  පාසල් නාට්‍යයක් හැටියට ඔය නාට්‍යයෙන් තමයි, නලින්,ජයම්පති, ස්ටෙපාන් තිරිමාන්න.වාගේ දක්ෂයෝ  කලා ක්ෂේත්‍රයට පැමිණුනේ. අද වෙද්දි මේ අය  ලංකාවේ හොඳ නළුවන් බවට පත්වෙලා තියෙනවා,ඉතින් ඔය තුන්දෙනාමගේම ප්‍රථම පාසල් නාට්‍ය මේක. ඔය අතරතුරදි යෞවන රාජ්‍ය නාට්‍යයට තරඟයට අයදුම් කරනවා.ඒක තිබුණේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ.. ඒ නාට්‍ය උළෙලේ සහායක නිළියට දෙන සම්මානය ඇරෙන්න, අනෙක් සියලුම සම්මාන සේරම අපි දිනාගත්තා. හොඳම නළුවා, නිළිය  හොදම වේදිකා පරිපාලනය, හොඳම පිටපත ,හොඳම අධ්‍යක්ෂණය මේ වගේ සියලුම සම්මාන අපි දිනා ගත්තා.

ඒ වගේම දැන් අපේ පිටිපන පාස්කුවේ සහයඅධක්ෂ විදිහට  ඉන්න මගේ හිතවතා මංගල ඩයස් තමයි ඒ නාට්‍යයේ රඟපෑම වෙනුවෙන් හොඳම නළුවා බවට පත්වුණේ. ඒ නාට්‍යයේ නම “දෘෂ්ඨි”. මේ නාට්‍ය කණ්ඩායමේ පසුබිමත් එක්ක තමයි 2018 වසරේ පිටිපන පාස්කුව නිසි පිළිවෙලක් නෑ කියලා කණ්ඩායමක් ඇවිල්ලා මගෙන් ඉල්ලීමක් කලේ, පිටිපන පාස්කු නාට්‍යයේ අධ්‍යක්ෂක ධුරය භාරගන්න කියලා.හැබැයි මම 1985 ඉඳලා ඔය පිටිපන පාස්කු නාට්‍යයේ රඟපානවා. ඒත් එක්කම 1985 පිටිපන පාස්කුවේ පළමුවන විධිමත් සඟරාව මුද්‍රණය කරනවා, ඒකේ සහාය කතෘ වෙන්නේ මම. පිටිපන මා. ජයවීර තමයි ඒකේ ප්‍රධාන කතෘ වෙන්නේ. ඒ අවුරුද්දේ ජෝසප් නිපදෙමුස්ගේ චරිතය කෙරුවේ මම. එතකොට ඊට පසු අවුරුද්දේ ප්‍රධාන සෙන්පතිගේ චරිතය කෙරුවෙත් මම. ඒ පිලීෂියන් ප්‍රනාන්දු  ගේ අධ්‍යක්ෂණය යටතේ. ඉතින් ඔය වගේ තත්වෙක තමයි මම හිටියේ. ඔය අතරෙදි තමයි මීසම් පාලක  හැටියට ආපු සිස්වාන් කෲස් පියතුමා එහෙම සම්බන්ධ වෙලා ඒ අය සාකච්ඡා කරලා, එහෙම ඇවිල්ල තමයි අර කණ්ඩායම මට මේ අධ්‍යක්ෂක ධූරය භාරගන්න කියලා යෝජනා කෙරුවේ. ඉතින් මං මේක 2018 භාරගත්තා. මාත් එක්ක හිටපු මංගල ඩයස් වගේ අයත් මාත් එක්කම මේ කණ්ඩායමට එකතුවෙලා, විධිමත්භාවයක් නොතිබුණු, සාම්ප්‍රදායිකව පමණක් ක්‍රියා කරපු, පාස්කු නාට්‍ය කණ්ඩායම දැන් යම් විධිමත්භාවයකට ලක් කරන්නට මට හැකිවුණා. එවැනි වෙනසක් සිදු කරන්න ඒ සඳහා මගේ පාස්කු නාට්‍ය කණ්ඩායමත් හොඳ සහයෝගයක් ලබා දුන්නා.

වර්ෂ 1764  සිට ක්‍රමිකව විකාශනය වුනු  පාස්කු නාට්‍යයේ  තිර නාටකය  තමයි පිටිපන පාස්කු නාට්‍ය හැටියට පැවුතුනේ  පාස්කුවේ වර්තමාන අධ්‍යක්ෂවරයා හැටියට ඔබට තිබුන අභියෝග කෙබදුද ?

ඔව්. මේක විශාල අභියෝගයක් තමයි.  මං මේක විශාල අභියෝගයක් කියලා කියන්නේම මේ  තිර නාටකය සොයා  බලද්දී, පෙනීයන කරුණු කාරණා කීපයක් තියෙනවා. දැන් මේ පාස්කු නාට්‍යය පුරාවට තියෙනවා ” පව්කාර ස්ත්‍රිය” කියලා චරිතයක්. හැබැයි ඒක නාට්‍ය පුරාවටම හරියට පැහැදිලි නෑ. මරිය මග්දලේනා ද, බිතානියේ මරියා කියලා තවත් චරිතයක් තියෙනවා.පව්කාර ස්ත්‍රිය වෙනමම ඉන්නවා.ආයේ පසුතැවිලි ස්ත්‍රිය වෙනම ඉන්නවා. ඉතින් මේ තත්ත්වය දිහා බලපුවාහම අපි ලොකුවට ඔය ගැන සාකච්ඡා නොකර මරිය මග්දලේනා කියන චරිතය ඔතනින් අයින් කරනවා.පව්කාර ස්ත්‍රිය කියන චරිතේ තමයි මං ඔතනදි මතු කරන්නේ. මරිය මග්දලේනා කියන නම මං ඔතනින් අයින් කරන්න විශේෂයෙන්ම හේතුව වුණේ පව්කාර ස්ත්‍රීය කියන්නේ එක්කෙනෙක්, මරිය මග්දලේනා කියන්නේ තව එක්කෙනෙක්. බොහෝ අය හිතේ තියන් ඉන්නේ ඔය දෙන්නම එක්කෙනෙක් කියලා. නමුත් ඔය දෙන්නා දෙන්නෙක්. තවත් මරිය කියන චරිතයක් තියෙනවා, ජේසුස් වහන්සේ පිපාස වෙලා ඉද්දි   ළිඳක් ළඟදී පිපාසයට ජලය බොන්න දෙන. ඒ තව මරියා කෙනෙක්. එහෙම ගත්තහම මේ මරිය කියන චරිතය ගොඩාක් තැන්වලදී අපට හමුවෙනවා.  නමුත් මරිය මග්දලේනාට නෙමෙයි පව්කාර ස්ත්‍රිය කියන්නේ. මම ඒක මතු කරනවා මේ පාස්කු නාට්‍ය වේදිකාවේ.ඒ වගේම ඔය කායින්, ආබෙල් කියන චරිත දෙක හරි මලානික චරිත දෙකක් මේ පාස්කු නාට්‍ය තුළ.. මේ චරිත දෙ⁣ක තමයි පාස්කු නාට්‍යයේ මුල් ජවනිකා, බවට පත්වෙන්නේ. මුල් මාපියන් වන ආදම් සහ ඒවගේ දරුවෝ දෙන්නගේ චරිත. ඔය චරිත දෙකට මම අත්හාදා බැලීමක් හැටියට ප්‍රථම වතාවට තරුණ ළමයි දෙන්නෙක් සම්බන්ධ කරගත්තා.එක්කෙනෙක් ඕ ලෙවල් ශිෂ්‍යයෙක්, අනික් කෙනා ඒ ලෙවල්  ශිෂ්‍යයෙක්. ඒක මම හිතාමතාම කරපු කාර්යයක් .මොකද ඊළඟ පරම්පරාවට මේ බැට්න් එක එහෙම නැත්නම් ඊළඟ පරම්පරාවට මේක ඉදිරියට ගෙන යන්න අවස්ථාව හදලා දෙන්න .මොකද මෙතෙක් කල් මේ කායින් සහ ආබෙල් කියන ඒ චරිත ඔහේ නිකන් වචන ටිකක් කටපාඩම් කරගෙන වේදිකාවට ඇවිල්ලා කිව්වට ඒකේ නාට්‍යයමය අවස්ථාවක් වෙන්නේ නෑ.පාස්කු නාට්‍යයක් කියලා කියන්නේ භක්ති අභ්‍යාසයක්  වුනාට ,ඒකේ නාට්‍යමය ගුණාංගත් තියෙන්න ඕන.  දැන් අපිට තියනවනේ සතර අභිනය . නාට්‍යයක් උනහම මේකේ ඒ අභිනය අංග  තියෙන්න ඕනේ. අපි මේ නාට්‍ය පෙන්වන්නේ මිනිස්සුන්ටනේ. ඒ නිසා අනිවාර්යයෙන්ම  නාට්‍ය ගුණාංග තියෙන්නම ඕනේ.හැබැයි මේක නාට්‍යයක් නෙමෙයි,මේක භක්තියක් අභ්‍යාසයක්. ආන්න ඒ නිසයි මේක දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක් වෙන්නේ. නාට්‍ය අංග තියෙන්නත් ඕනා. තිරනාටකය පළුදු කරන්නත් බැහැ.සුදූ බයිබලයට හානියක් වෙන්නත් බෑ.මේ පාර අපි ශුද්ධවු බයිබලය  යම් ආකාරයක අධ්‍යනයක් කෙරුවා.මහාචාර්ය ඇන්ටන් මීමන, එතකොට මේකේ  අපේඅධ්‍යක්ෂක ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා ,තව ඉන්නවා දේශනාවාදී පියතුමෙක් වන එමාර්ඩ් දල්පදාදු පියතුමා, ඒවගේම සාගර හෙට්ටිආරච්චි, එතකොට අපේ පාස්කු ජේසුට රඟපාන අජිත් කුසුම් සිරි සර් හිටියා, ඒත් එක්කම අපේ පාස්කු නාට්‍යයේ  සහාය අධ්‍යක්ෂණ කාර්යය කරන මංගල ඩයස් සිටියා මේ අයගේ තොරතුරු අරගෙන තමයි මම මේ පාර ස්ක්‍රිප්ට් එක ඒ කියන්නේ පිටපත සංශෝධනය කරලා සකස් කෙරුවේ. මොකද මේක ටීම් වර්ක් එකක් එහෙම නැත්නම් කණ්ඩායම් වැඩක් නේ. මම වැඩක් කරද්දිත් එහෙම තමයි . අපි  එක එක්කෙනාගේ අදහස් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි අවසානේ අපි සියලු දෙනාම එකඟ වෙච්ච පොදු මතයකට තමයි අපි වැඩ කළ යුත්තේ.  අවසානයේ පොදු අදහසකට එන්න ඒක තමයි සම්ප්‍රයුක්තය. මම අධ්‍යක්ෂක කියලා මම පොර කියලා හිතන්ඩ යන්න හොඳ නෑ.  නාට්‍යකරුවෙකුගේ තියෙන්නේ ඕනේ ඒ  නිහතමානීකම. පොඩි එක්කෙනෙකුගේ හරි පුංචි අදහසක් නුනත් ,ඒක හොද අදහසක් නම් ඒකට ඇහුම්කන් දෙන්න ඕන .ඇත්තටම ඒවෙනස හොඳයි නම් ඒක ක්‍රියාත්මක කරනවා.අධ්‍යක්ෂකවරයෙක් එහෙම ගවේෂණශීලී වෙන්න ඕන. සවන් දීලා නිර්මාණකරණය සාර්ථක කර ගන්න ඕනේ.ඕක තමයි අවසානයේ වෙන්න ඕන.

දැන් සමහර  අයගේ මතයක් තියෙනවා,අනාදිමත් කාලයක සිට පැවත එන මේ පාස්කු නාට්‍ය වගේ සාම්ප්‍රදායික නාට්‍ය  ,  ඒවා ඒ සාම්ප්‍රදායික ලෙසම  තිබිය යුතුයි  කියලා,  රඟ දැක්විය යුතුයි කියලා. ඒ සඳහා නව තාක්ෂණය, විශේෂයෙන් ශබ්ද වාහිනි යන්ත්‍ර, නව ආලෝක කරන රටාවන්, සහ වෙනත්  ශබ්ද තාක්ෂණික  උපක්‍රම උපයෝගී කර ගැනීම ,අර සාම්ප්‍රදායික බවට යම් හානියක් වෙනවා කියලා. මේ මතය පිළිබඳව ඔබේ අදහස මොකක්ද ?

මම නම් ඔය මතයට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. ඔය මතයට මම හරිම අකමැතියි. එහෙම බැලුවොත් අපිට කිසිම දෙයක් කරන්න බෑ ,මේ ලෝකේ. අපි තාමත් අත් අකුරින් තමයි හැමදේම ලියන්න වෙන්නේ. හැබැයි දැන් එහෙම වෙන්න ඕන නෑ දැන් මුද්‍රණ යන්ත්‍ර තියනවනේ.ඕක පුහු මතයක්. එහෙම මතයක් ඉන්න පිරිසක් තාමත් අපේ ගම්වල ඉන්නවා.හැබැයි එයාල දන්නේ ත්  එයාලගේ මතයට හේතු මොනවද කියලා. ඒ මතය ඔහේ ප්‍රකාශ කරනවා විතරයි. ඒක පුහු විචාරයක්. දැන් බලන්ඩ අපිට දැන් ලයිට් පාවිච්චි කරන්න වෙනවනේ. ඒ අය ඉතින් රෑඩිවෙනකල් අර තැඹිලි කෝම්බ වලට භූමිතල දාලා ඒවා තමයි පත්තු කරන් ඉන්න වෙන්නේ,සාම්ප්‍රදාය ආරක්ෂා කරනවා කියලා. එෆ් .එම්. මයික්‍රෆෝන් පාවිච්චි නොකර සුළං සාහෙට මිනිස්සු කෑ ගැහුවා. ගොඩනැගිලි අඩුයි, ගසුඟක් පල්ලෙහාට  තිබුණේ , ගස් කෙසේ වෙතත් ගොඩනැගිලි තිබුණේ නෑ,. හුළං සාහෙට හඬ ඇදිලා එනවා. කුඩා කාලේ මට ඇහෙනවා නිගමු නගරය  පැත්තෙන්, කෝච්චි යන එන ශබ්දය.මේ මෑතකත් උදේ පාන්දර 3.30 විතර මට ඇහෙනවා, පිටිපන ලෙල්ලමේ මාලෝ මාලෝ කියලා කෑ ගහනවා. හැබැයි කෙනෙකුට හිතෙන්න පුළුවන් ලෙල්ලමේ කෑගහන සද්දෙ කොහොමද මේ පල්ලිය දිහාට ඇහෙන්නේ  කියලා .හැබැයි ඒක ඇහෙන්නේ නිශ්ශබ්ද වෙලාවට. තාක්ෂණික මේ සමාජයේ මේ කාලේ දවල් 12 ට ඒක කරන්න බෑ .ජනතාවත් වැඩියි. ඒ නිසා අනිවාර්යෙන්ම තාක්ෂණය පාවිච්චි කරන්න ඕනේ. තාක්ෂණයෙන් තොරව සම්ප්‍රදායක් ඉදිරියට අරන් යන්න බෑ. එහෙම කරන්න පුළුවන් කියලා කියනවා නම් ඒක බොරුවක් .හැබැයි එහෙම යද්දි මට ශුද්ධවු බයිබලය වෙනස් කරන්න බෑහැ.ශුද්ධෝ බයිබලයට තමයි මම මුල් තැන දෙන්නේ. මොකද සාම්ප්‍රදාය මුඛ පරම්පරාගත වචනනේ.මුඛ පරම්පරාගතව එද්දි ඔය නාට්‍ය තිර පිටපතේ  වචනයක් තිබුණා. මට දැන් ඒ වචනය මතක නෑ. ඒක ජේසුතුමන්ගේ හරි ජුදාස්ගේ හරි, ඒකේ ජේසුතුමන් ඍණ චරිතයක් බවට පත් කරලා, ජුදාස ධන චරිතයක් බවට පත් කරනවා. මේක සිදුවෙන්නේ වචනය හරහා.ඒක මේ තිර පිටපතේ වරදක් නෙමෙයි. තිර පිටපතේ තියෙන වැරදි වචනයක්. අත් අකුරෙන් ලියද්දි වැරදිලා ලියවුණු වචනයක්, ඒක නාට්‍යයේදීත් ඒ විදිහටම කියාගෙන යනවා. ආන්න එහෙම ඒව මම තිර පිටපතෙන්  කපලා  දැම්මා. නැත්නම් වෙන්නේ අපි නාට්‍ය තුළ උලුප්පන්න හදන චරිතය සෘන වුනොත් වැඩක් නැහැනේ. අනිත් එක තමයි   ජවනිකා අතර සම්බන්ධයක් තිබුණේ නෑ. අවස්ථා සම්බන්ධයක් තිබුණේ නෑ. අනේ සම්බන්ධය මම ගොඩනැඟුවා. ඉතින් මම තාක්ෂණයක් යොදාගෙන සාම්ප්‍රදායත් ආරක්ෂා කරමින්, ශුද්ධ වූ බයිබලයත් ආරක්ෂා කරමින්, අර මම කලින් කීව්වා වගේ ශුද්ධවු  බයිබලය පිළිබඳව හොඳින් හදාරපු මහාචාර්ය ඇන්ටන් වීමන වාගේ අයගේ උපදෙස් හා අනුශාසනා මත කතෝලික නොවන කෙනෙකුට හරි මේ පාස්කු නාට්‍ය තේරුම් යන ආකාරයට මේක ප්‍රතිනිර්මාණයක් කෙරුවා කිව්වොත් නිවැරදියි.

 ඔබ මට කලින් කිව්වා, ඔබ නාට්‍යවේදී රූඩි කොරන්ස් මහාචාර්යවරයා එක්ක පිටිපන පාස්කු නාට්‍ය සම්ප්‍රදාය ගැන ඉතා පුළුල් ගවේෂණයක් කෙරුවා කියලා. එහෙමනම් ඇත්තටම මේ සාම්ප්‍රදායික පිටිපන පාස්කු නාට්‍යයේ ස්ක්‍රිප්ට් එක එහෙම නැත්නම් මෙහි තිර නාටකය ලිව්වේ කවුද ?

ඒකට කෙනෙක් ඉන්න බෑනේ,ඒක ඇනොනිමස් නේ. දැන් ඒක කෙනෙක් ලියන්න බෑනේ.දැන් තිරනාටකය මුලින්ම ආපු කෙනා ගරු ගොන්සාල්වේස් පියතුමාගේ දේශනා 09 යේ  පසන් පොතෙන්නේ එන්න ඕනේ.උන්වහන්සේ තමයි මුලින්ම පටන් ගත්තේ. උන්වහන්සේගේ භාෂාව ‘කොන්තන් ‘ භාෂාව. එතකොට උන්වහන්සේ බ්‍රාහ්මණ කොන්තන් ජාතිකයෙක්. උන්වහන්සේ දකුණු ඉන්දියාවේ ගෝව ප්‍රදේශයේ. එතකොට ‘කොන්තන් භාෂාව’ , ගෝව පමණක් නෙවෙයි, මේ භාෂාව කෙරලය, මහාරාෂ්ටය, වගේ ප්‍රදේශ වලට ආවේණික භාෂාවක්. කොන්තන්   භාෂාව හින්දු යුරෝපීය පවුලේ, හින්දු ආර්ය භාෂාවක්. ඔය භාෂාව සිංහල භාෂාවට සමානයි. නිදසුනක් ලෙස මාලදිවයිනේ භාවිතා වෙන දිවැකි භාෂාව තියෙන්නේ, ඒක අපෙන් ආපු භාෂාවක් කියලනෙ කියන්නේ. එතකොට මාලදිවයිනේ භාවිතා වෙන දිවැකි භාෂාවයි, අපේ සිංහල භාෂාවයි සමානයි.දැන් මාලදිවයිනේ ජාතික ගීය නිර්මාණය කරන්නෙත් අපේ රටේ පණ්ඩිත් අමරදේව ශූරීන් නේ.  දැන් ඔය කුල දුරාවලියේ උපරිම කුලය තමයි ,බ්‍රාහ්මණ කුලය. ගරු ගොන්සල්වේස් පියතුමා , කොන්තන් බ්‍රාහ්මණ කුලයේ.දැන් එහෙම තිබිලා උන්වහන්සේට කතෝලික සභාවෙන් කථිකාචාර්ය ධුරයක් ලැබුනා. ඒවා ඔක්කොම පැත්තකට දාලා තමයි උන්වහන්සේ ලංකාවට අවේ. ගරු ජුසේවාස් පියතුමා ලංකාවට ඇවිල්ලා අවුරුදු 25 කට පසුව තමයි උන්වහන්සේ ලංකාවට ආවේ.දැන් මම කියන්න හදන්නේ උන්වහන්සේ ලංකාවට ඇවිල්ලා, අපිට හරියන ශෛලයක් උන්වහන්සේ ළඟ තියෙන්න ඇති.උන්වහන්සේ කියන දෙය සිංහල අපිට හැඟෙන්න ඇති.භාෂාව දන්නේ නැතුව ඇති.නමුත් උන්වහන්සේ කියන දේ අපිට හැඟෙන්න ඇති. උන්වහන්සේ පසුව සිංහල භාෂාව හොඳටම ඉගෙන ගත්තා.  සමහර වචන තාමත් අපිට හොයාගන්න බැහැ. අනිත් එක තමයි මෙරට කතෝලික කලා සංස්කෘතියක් බිහිවෙන්න පුරෝගාමියා වුනෙත් උන්වහන්සේ තමයි. එතකොට උන්වහන්සේගේ  ලියවෙන්න ඇත්තේ මුල් කාලේ. දැන් ඔතනදි පිටිපන ප්‍රදේශය තෝරගන්න විශේෂ හේතුවක් වෙන්න ඇත්තේ ඒ කාලේ වෙද්දිත් ස්තාවුස් කතාව, ජොහනදාස් කතාව මේ පිටිපන ප්‍රදේශයේ තිබුණා .එතකොට ඒ කාලේ ඕවා ලිව්වේ සිංහල විද්වතුන්. නිදසුනක් විදිහට ගත්තොත් ඔය ‘ජොහානාදාස්’   කතාවේ හරි ‘ස්තාවුස්’ කතාවේ හරි තියෙනවා මෙන්න මෙහෙම,

අඹර කුස තුල සරණ, අඹර මිනි පිරි වර්ණ,සොමි තරිඳු සහ සොභන, සකල සතෙව් දෙරන,සද්දියනි මව්විනා…  දැන් මේ භාවිතා වෙලා තියෙන සිංහල ඒ කාලෙත් මේ පිටිපන කියන මේ නාඩගම් පොළොව තිබිලා තියෙනවා.එහෙනම් මේ නාඩගම් පොළොවේ මේ ශෛලයයි, අර කොන්තන් භාෂාව දන්න පඬිවර ජාකොමේ ගොන්සාල්වේස් පියතුමාගේ කතාවයි එකට පෑහුනා. එතකොට අපේ අයට මේක අල්ලගන්න පුළුවන් වුණා.
එ්  නිසා පිටිපන පාස්කු නාට්‍යයට අයිතිකාරයෙක් නැහැ. අයිතිකාරයෙක් සිටිය යුතුත් නැහැ.අධ්‍යක්ෂවරු ඉන්නවා .ජෝන් ප්‍රනාන්දු,තොමස් ප්‍රනාන්දු, සල්මන් ප්‍රනාන්දු,  වගේ අය. ඒ අයට අපි ගෞරව කළ යුතුයි.  මේ සම්ප්‍රදාය මේ විදිහට හරි ඉදිරියට ආවේ ඒ නිසයි. තව මේකේ බොහෝ දේ වෙනස් විය යුතුයි. දැන් මේ ගමේ ඉන්නවා ඔය පාස්කු නාට්‍යයේ චරිත වලට ඒ අංග ලක්ෂණ, හැඩි දැඩි පෙනුම තියෙන අය හැකියාව තියෙන අය, හැබැයි සමහර අයට එන්න වෙලාවක් නෑ , එයාලගේ රැකියා කටයුතුත් එක්ක, සමහර අය ලැජ්ජයි අනේ අපිට ඕවා කරන්න බෑ කියලා. එතකොට නාට්‍ය රඟපාන අයට සමහර වෙලාවට හැකියාව නෑ පෙනුම නෑ. ඉතින් මම පිළිගන්නේ අර පළවෙනි අයට වඩා දෙවැනි අය. මොනවා උනත් එයාලා ඉදිරිපත් වෙනවනේ. ඉතින් ඉදිරිපත් වෙන අයගෙන් තමයි මේ වැඩේ අපිට කරගන්න වෙන්නේ. ඉතින් කොහොම වුනත් මගෙත් යම් අදහසක් තියෙනවා , මේකෙ රඟපාන බොහෝ අයට න්‍යායාත්මක ප්‍රායෝගික දැනුමක් එතරම් ලැබිලා නෑ . ඉතින් ප්‍රවීනයෙක් ගෙනල්ලා වැඩමුලුවක් වගේ තියන්න බලාපොරොත්තු තියෙනවා. ඒකම දැන් මේ පාස්කු නාට්‍යයේ අංගරචක ශිල්පියා හැටියට සහභාගි වන වසන්ත විට්ටච්චි කලාකරුවා මගේ පෞද්ගලික හිතවතෙක්. ඔහු අංගරචක ශිල්පියෙකුටත් එහා ගිය රංගනවේදියෙක් නිසා ඔහු සමහර අවස්ථාවලදී මේ රඟපෑම් ගැන, නාට්‍ය වෙනත් කරුණු කාරණා ගැන වේදිකා පරිපාලනය ගැන වගේ දේවල් ගැන මට උපදෙස් දීල තියෙනවා. වගේම නාට්‍ය රඟපාන අයටත් යම් යම් උපදේශන දීල තියෙනවා. ඒවගේ ප්‍රවීණයන්ගෙන් අපේ නාට්‍ය කණ්ඩායමට යම් පුළුල් අත්දැකීමක් ලබාදීමට යම් බලාපොරොත්තුවක් තියෙනවා.

සාම්ප්‍රදායික පාස්කු නාට්‍යවල බොහෝවිට කෙරෙන්නේ, ජේසුස් වහන්සේට වධ දීලා , කුරුසේ යන ගහලා මරා දැමුවේ අපේ පව් හින්දයි, ඒ නිසා අපි පව් වලින් වැළකෙන්න ඕනා කියන  පණිවිඩය ජනතාවට දෙන එකයි. නමුත් සමහර අයගේ මතයක් තියෙනවා මේ සාම්ප්‍රදායික පාස්කු නාට්‍යවලින් ජේසු මරා දමන්න  මුලික වුන හේතුන් පිළිබඳව මිනිස්සුන්ට බුද්ධියෙන් හිතන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ කියලා. ඒ පිළිබඳ ඔබේ අදහස මොකක්ද ?

ඇත්තට මිනිස්සුන්ට අවශ්‍ය ජේසු මැරුවේ කොහොමද කියන එක බලන්නයි.නාට්‍යකරුවා හැටියට මගේ යටි හිතේ තියෙන්නේ ජේසුව මැරුවෙ ඇයි කියලා පෙන්වන්නයි.ඇත්තටම කියනවනම් සාම්ප්‍රදායික පාස්කු නාට්‍යය තියෙන්නේ ජේසු මැරුණේ කොහොමද කියන එක පෙන්නන එක තමයි. ඕක පෙන්නද්දී මිනිස්සු අඬ අඬා බලන්නේ.ඒ තියෙන සංවේදිකම අපි ගන්නම ඕන.ඒකේ තර්කයක් නෑ.හැබැයි අපිට ඒ ගමන්ම පුළුවන්නම්, ජේසුව මැරුවෙ ඇයි කියන එක කාන්දු කරන්න පුළුවන් නම් හදවතටම, ඒක මං පිටිපන පාස්කු නාට්‍යයේ කරනවා, ‘ජෝසප් නිකදෙමුස්’ කියන චරිතය හරහා . මේ තිර නාටකය ඒක තියෙනවා.මේ චරිතය නිසා පාස්කු  තිර නාටකයට යම් ප්‍රමාණයකට මම අලුතින් එකතු කරපුවත් තියෙනවා.මේක ඇතුලේ පොඩි වචන හරඹයක් මම කරනවා.මම  අර කලින් කිව්වේ මේ තිරනාටකය යම් පිළිවෙලකට තිබුණේ නෑ කියලා. මම මේ තිර නාටකයට අලුතින් එකතු කෙරුව මෙන්න මේ වගේ පොඩි වචන කිහිපයක්.

“” උන්වහන්සේ කතා කරන්නේ පොඩි ජුදයාව වෙනුවෙන්. උන්වහන්සේ කතා කරන්නේ ගලීලය වෙනුවෙන්.උන්වහන්සේ කතා කරන්නේ මිනිස්සු වෙනුවෙන් .කොටින්ම කියනවනම් පොඩි මිනිස්සු වෙනුවෙන්. තැලෙන පොඩි වෙන පොඩි මිනිස්සු වෙනුවෙන්. ”

මම ඔහොම එකක් තිර නාටකයට ඇතුල් කෙරුවේ ඒක හැම මිනිහටම ගැලපෙන නිසා.ඒක මම තමයි තිර පිටපතට  දැම්මේ, ඒක මම පිළිගන්නවා.ඒක මම දැම්මේ සාම්ප්‍රදායික වෙන තීරණාටකය වෙනස් කරන්න. දැන් සාම්ප්‍රදායික  තිරනාටකය වෙනස් කරන්න හොඳ නැද්ද. හොඳ නැත්නම්, නමුත් සාම්ප්‍රදායිකව තියෙන බොරු තිරනාටකයක් දිගටම ගෙනියන්න ඕනද. එහෙම අවශ්‍ය නෑ. මගේ තර්කය ඒකයි. බොහෝ අය කියන්නේ ඕකනේ තිරනාටකයට අත ගහන්න හොඳ නැහැ, තිරනාටකය පෞරාණිකයි.  එතකොට මම කරන්න හදන්නේ ජෝසප් නිකදෙමුස් කියන චරිතය හරහා පොඩි වචන හරඹයකින් මිනිසුන්ගේ බුද්ධියට, හිතන්න අවස්ථාවක් ඇති කරවන එකයි. මං ඔය කෙරුවේ තාම සීයට දහයක් විතර වගේ ප්‍රමාණයක්. ඒ සියයට දහය වුණත් ඒ වචන හරඹය හරි ප්‍රබලයි කියලා මම විශ්වාස කරනවා.බරබාස් කියන චරිතය හරහාත් මම ඔය දේ කරනවා.

ඔබේ ගුරු ජීවිතය තුළ , මුහුණදීමට සිදුවු දුෂ්කර අත්දැකිම්  මොනවද ?

ඒක මෙහෙමයි මම දැන් ගුරුවරයෙක් විදිහට කනිෂ්ඨ විදුහල්වල සේවය කෙරුවනේ. මගේ අවසාන කනිෂ්ඨ විද්‍යාලය වුණේ තලාහෙන  විදුහලේ. ඔය අතරෙදි මම මගේ ඉංග්‍රීසි විෂය සම්බන්ධ උපාධිය  ලබා ගන්නවා කැලණිය විශ්ව විද්‍යාලයෙන්. ඉතින් තලාහේන විද්‍යාලයේ වසර පහ ඉවර වෙලා ලොකු පාසලක සේවයට යන්න හිතාගෙන  අර විදිහට ලොකු සුදුසුකම් එහෙම තියාගෙන මම පොරක් වගේ එනවා මම ඉගෙන ගත්තු සෙන් මේරිස් විද්‍යාලයට.මම ඉතින් විදුහල්පතිතුමා හමුවෙලා කිව්වා මම ඉංග්‍රීසි ගුරුවරයෙක් උපාධියක් තියෙනවා, මට ඉංග්‍රීසි උගන්වන්න අවස්ථාවක් දෙන්න කියලා.එතකොට විදුහල්පතිතුමා කියනවා මෙහේ ඒවට වේකන්සි නැහැ. මම ඉතින් පණ්ඩිතකමටත් එක්ක කිව්වා  මම ඉංග්‍රීසි විෂය උපාධියක් හැටියට කරලා තියෙන්නේ, එහෙම අය අඩුයි ලංකාවේ, මට මේ පාසලේ, අවස්ථාවක් දෙන්න කියලා.. ඊට පස්සේ විදුහල්පතිතුමා කිව්වා මෙහේ ඕන තරම් ඉන්නවා උපාධිකාරයෝ කියලා. ඊට පස්සේ මට තරහ ගිහින් කිව්වා, කවුරුහරි ඉන්නවා නම් කියන්න බලන්න කියලා.එයා එතකොට නමක් කිව්වා.මම කිව්වා එයාට උපාධියක් තිබුනට ඒක ඉංග්‍රීසි උපාධියක් නෙමෙයි කියලා. එතකොට එයා කියනවා නෑ  නෑ කමක් නෑහැ ඔයා යන්න මෙහේ වේකන්සි නෑ. දැන් මම කිව්වනේ මට වැඩ වැඩියි කියලා, එහෙම කියලා මාව ගේට්ටුවෙන් එළියට දැම්මා.

ඊට පස්සේ මම ආවේ සෙන්ට් පීටර්ස් එකට. ඒකෙ විදුහල්පති වෙලා හිටියේ බණ්ඩාර සර්, එයා මට කිව්වා පුතා. මෙහේ ඉංග්‍රීසි ගුරු වේකන්සි නෑ කියලා. ඉතිං මං  කිව්වා මට මොකක් හරි එකක් දෙන්න සර් මට  ආයේ  වෙන තැන්වලට යන්න බෑ කියලා. මම පස්සේ බණ්ඩාර සර්ට කිව්වා සර් මම ඕන දෙයක් උගන්වන්නම්, මට අවස්ථාවක් දෙන්න කියලා.එහෙනම් හෙට ඉඳලා වැඩ පටන් ගමු කිව්වා. පහුවදා උදේ මම පාසලට ආවා. හය -සී පන්තියේ කොල්ලෙක් ඇවිල්ලා , මට කිව්වා කවුද මැරිල් සර් කියන්නේ කියලා. එි මමයි කියලා කිව්වහම .ඒ කොල්ලා මට කිව්වා , සර් මේ පීරියඩ් එක දැන් අපේ පන්තියට තමයි එන්න තියෙන්නේ කියලා.පස්සේ මම මේ කොල්ලත් එක්ක පන්තියට ගිහිල්ලා, බොහොම උද්යෝගයෙන් ගුඩ් මෝර්නින්ග් එව්රිබඩි  ( Good Morning Everybody ) කියපු ගමන්ම මේ ළමයි සියල්ලෝම වනක්කම් සර් කියල දෙමලෙන් මාව පිළිගත්තා. බලපුවාම ඒ පීරියඩ් එකේ ළමයින්ට තිබිලා තියෙන්නේ දෙමළ භාෂාව. මාව එවල තියෙන්නේ දෙමළ භාෂාව උගන්වන්න. මට එදා තියා අදටත් දෙමළ බෑ. මම ඒක යම්තම් හරිගස්ස ගත්තා දෙමළ භාෂාව කතා කරන අර වැල්ලවීදියේ,   කුඩාපාඩුවේ පැත්තේ  ළමයිව ඉස්සරහට අරගෙන,ඒ ළමයින්ගේ උදව්වෙන් තමයි මම ඒ වැඩේ කරගත්තේ.  ඊට පස්සේ ජීවන කුසලතා.ප්‍රායෝගික කුසලතා රෝමානු කතෝලික වාගේ විෂයන් ඉගැන්නුවා.ඊට පස්සේ පුස්තකාලෙට ගියා.ඊටත් පස්සේ නොයෙල් මාස්ටර් විශ්‍රාම ගියාට පස්සේ තමයි මම ඉංග්‍රීසි උගන්වන්න පටන් ගත්තේ. එතකම් මම ඉගැනුවේ මට නොගැලපෙන විෂයන්.මට ඒකටත් වඩා මෙතන කියන්න තවත් දෙයක් තියෙනවා. ඊට ටික කාලෙකට පස්සේ මම විදුහල්පති විභාගය සමත් වෙලා මම සෙන්ට් පීටර්ස් එකේ වයිස් ප්‍රින්සිපල් එහෙම නැත්නම් නියෝජ්‍ය විදුහල්පති වෙනවා. සෙන්ට් මේරිස් එකේ, මාව ප්‍රතික්ෂේප කරලා ගේට්ටුවෙන් එළියට දාපු පාසලේ මම ප්‍රින්සිපල් එහෙම නැත්නම් විදුහල්පති වුනා . ඒ වගේම මම හරිම ආසාවෙන් හිටියා උපාධියක් හදාරන්න කොළඹ විශ්ව විද්‍යාලයට  ඇතුල් වෙන්න නමුත් මට ඒක බැරිවුණා. එතකොට මම තාමත් කොළඹ විශ්ව විද්‍යාලයේ සයන්ස් පැකල්ටි එකේ ඉංග්‍රීසි විෂය සම්බන්ධ විසිටින් ලෙක්චර් කෙනෙක් විදිහට වැඩ කරනවා. සාමාන්‍යයෙන් ඒ ලෙවල් වලට ගණිත විෂයන් කරලා තමයි සයන්ස්  පැකල්ටි එකට යන්න පුළුවන් වෙන්නේ. හැබැයි මම ශිෂ්‍යයෙක් විදිහට නෙමෙයි මම එතනට යන්නේ ලෙක්චර් කෙනෙක් විදිහට. එතකොට අර පාසල් දෙකට මම යන්න ඕනේ සාමාන්‍ය ඉංග්‍රීසි ගුරුවරයෙක් විදියට.නමුත් මම ඒ පාසල් වලට ගියේ ලොකුම පාසලේ ලොකුම තනතුරුවලට. ඉතින් අපිව ගත්තහම අර ඉරණම ඉරපු මිනිස්සු අපි. මගේ  ඉරණම ඉබේ ආවේ නෑ මගේ ඉරණම මමම හදාගත්තා.

 කලාකරුවෙක් විදිහට ඔබ දේශපාලනය ගැන මොකද හිතන්නේ ?

දේශපාලනය කියන්නේ ඉතාමත් අගනා උත්තරීතර දෙයක්. දේශපාලනයෙන් තොරව අපට මෙතන කතා කරන්නත් බෑ. දැන්  ඇඳිරි නීතිය දැම්මොත් අපිට මෙහෙම මේ වෙලාවේ කතා කරන්න පුලුවන්ද. අඳිරි නීතිය කියන්නේත් දේශපාලන නීතියක්.දේශපාලනයෙන් තොරව බත් කටක් කන්නවත්, හුස්ම ගන්නවත් අවස්ථාවක් නැහැ. දේශපාලනය  කියන එක ඒ තරම් උත්තරීතරයි. සෑම මිනිසෙකුම දේශපාලන සත්වයෙක්.දේශපාලනයෙන් තොරව අපිට එළියට යන්නවත් බැහැ. දේශපාලනය තමයි අංක එක. දේශපාලනය නම් කිසිම ප්‍රශ්නයක් නෑ. හැබැයි ප්‍රශ්නයක් වෙන්නේ පක්ෂ දේශපාලනය.දැන් මමත් දේශපාලනය කරනවා. හැබැයි මං කිසිම පක්ෂයකට නතු වෙලා නෑ.දැන් ජේසුස් වහන්සේව ගන්නකෝ උන්වහන්සේ කෙරුවෙත් හරි විදිහට බැලුවොත් දේශපාලනයක් තමයි. උන්වහන්සේගේ දේවත්වය පොඩ්ඩක් පැත්තකින් තියලා උන්වහන්සේ කරපු කියපු දේවල් දිහා බලපුවහම අපට මේ බව වැටහී යනවා. වැරදි දේට වැරදියි කියන, ඒ වැරදි දේ පෙන්වන චරිතයක්. ඒ දෙය මට මගේ ලේඛන කලා මෙන් පුළුවන්නම්, මගේ නාට්‍ය නිර්මාණයෙන් පුළුවන්නම්,  මට කවියකින් පුළුවන්නම්, අදහස් සමූහයක් ප්‍රකාශ කරන්න පුළුවන්නම්, දේශන වලදි මට කතා කරන්න පුලුවන්නම්, මමත් එක්තරා විදිහක දේශපාලනයක් තමයි ඒ කරන්නේ.  නමුත් පක්ෂ දේශපාලනය කියලා කියන්නේ පඬුරු , පාක්කුඩම්, වරදාන වරප්‍රසාද වෙනුවෙන් මම ගැතිකම් කරනවා නම් ආන්න ඒක මම වැඩි අගය කරන කෙනෙක් නෙමෙයි. මොනවා හෝ ලැබෙයි කියලා කරන ඒ දේශපාලනය ,පක්ෂ දේශපාලනය. අන්න ඒ දෙය කලාකාරුවෙකුට විතරක් නෙමෙයි, කිසිම මනුස්සයෙකුටත් එපා.  දේශපාලකයෝ දේශපාලන පක්ෂවලට ගිහින් වැඩ කලාට කමක් නෑ. මොකද ඔවුන් දේශපාලකයෝනේ. නමුත් විශේෂයෙන්ම කලාකරුවන්ට දේශපාලනයට එහා ගිය  කාර්යභාරයක් කරන්න තියෙනවා . දැන් ලෝකයේ දාර්ශනිකයෝ විදිහට පිළිගන්න ඇරිස්ටෝටල් ගැලිලියෝ ගැලිලි වගේ අයත් දේශපාලනය තුළින් තමයි ඔවුන් ආවේ. නමුත් ඔවුන්ව ලෝකෙම පිළිගන්නේ  ගෞරව කරන්නේ දේශපාලකයෝ හැටියට නෙමෙයිනේ. ලෝකයට යහපතක් කරපු දාර්ශනිකයෝ හැටියට.  ඒ නිසා දේශපාලනය කෙනෙකුට නරක දෙයක් නෙමෙයි.

ඔබ කැමති නැද්ද ඔබේ දැනුම මේ කලාවට පිවිසීමට සිටින ආධුනිකයන්ට හෝ කලාව තුළ දැනටත් නිරත එහෙත් නිසි දැනුමක්, අත්දැකීම් නොමැති ආධුනික කලාකරුවන්ට ලබාදෙන්න?

ඒකට අවස්ථාවක් නැහැ. ඒකට වේදිකාවක් හැදිලා නෑ, විශේෂයෙන්ම අපි වගේ අයට. මීගමුවේ කලාකාරයෝ කියපු ගමන්ම ඔයාගේ ඔලුවට එනවනේ යම් චරිත ටිකක් සහ නම් ටිකක්.ඒ ලැයිස්තුවේ අපි වගේ අයගේ නම් නෑ.අපි මේ ගැන සරලව හිතමු. මීගමුවේ කලාකාරයෝ කියලා කිව්වාහම, ඒකට කාඩ් ගහගත්තු අය කීපදෙනෙක් ඉන්නවා, එක දෙක තුන හතර කියලා.ඒ ඇරෙන්න වෙනත් අය ඒ ලිස්ට් එකේ  නෑ. ඒ කුලකයට මගේ නම නැහැ. අපි ඇත්තම කතා කරමුකෝ. දැන්  කෙනෙකුට කියන්න පුළුවන් මාගේ  වෘත්තිය  කලාව නොවෙන නිසා මේ ලිස්ට් එකට මගේ නම ඇතුල් වෙලා නෑ කියලා.නමුත් මේ සමාජයේ මං වගේ අයත් ඉන්නවා. කලාකාරයා වෘත්තීමයද නැද්ද කියන එක නෙමෙයි ප්‍රශ්නේ.ඔහු කලාව තුළ  මොනවද කරන්නේ කියන එකයි වැදගත් වෙන්නේ.වෘත්තිමය කියලා කාඩ් ගහගන්න ඕන නෑ.එහෙම මොඩල් එකක් අවශ්‍ය නෑ. වෘත්තිමය කලාකරුවා. මොන බොරුවක්ද  .ඒක විහිළුවක්. ඔය වෘත්තිමය කියන කලාකරුවන්ට හැරෙන්නවත් බෑ ,මාත් එක්ක නෙමෙයි.මම වගේ ඉන්න සමහර කලාකරුවෝත් එක්ක.දැන් මීගමුව කලාකරුවෝ කියලා පොතක් තියෙනවා, ඒකෙ මම නෑ. දැන් අද ලංකාවේ ප්‍රසිද්ධ කලාකරුවෙක් තමයි නලින් හුසේනා කියන්නේ. එයාව  කලාකරුවෙක් විදිහට කවුරුත් පිළිගන්නවා.එයාට පාර කපන්නේ මම .හැබැයි මම කලාකරුවෙක් නෙමෙයි.ඉතින් මේක ඇවිල්ලා විහිළුවක්නේ. ඉතින් ඇත්තටම ඕවා හරි රසවත් සිදුවීම්.අපි ඇත්තටම කැමති අපේ මේ දැනුම ලබා දෙන්න ඕනම කෙනෙකුට. ඒ වුනාට ඒකට අපිට අවස්ථාවක්, වේදිකාවක් නැහැ. ඒක තමයි ගැටලුව. මම අර පුංචි නිදසුනක් කියන්නම්. මේ ළඟදි තිබුණා ,පොල්ගොල්ලේ ලෙච්චරස්ලගේ සම්මන්ත්‍රණයක්. ඒකට ඇවිල්ලා හිටියේ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ උපකුලපතිතුමා.එතුමා තමයි දේශනය කළේ. ඒ දේශනය යන අතරතුරේදී  එකපාරටම ඉස්සරහා තිබුණු තිරයේ ලංකාවේ ක්‍රිකට් නායකයා දසුන් ශානකගේ ඡායාරූපය දැම්මා.ඒක දාලා , උපකලපතිතුමා කිව්වා ඔයාලා හැමෝම දසුන් ශානකගෙන් ඉගෙන ගන්න සහ ඔබ සැම ඔහුව ඔබේ ගුරුවරයා  කරගන්න කිව්වා.ඒකට හේතුව ලෙස ඔහු කිව්වේ, ලංකාවේ ක්‍රිකට් තරඟ පරාද උනහම දසුන් ශානක  තමයි කතා කරන්න ඉස්සරහට ගිහිල්ලා. හැබැයි ලංකාවේ ක්‍රිකට් තරග දිනන හැම අවස්ථාවකම දසුන් ශානක යන්නේ නැහැ, වෙන කෙනෙකු යවනවා ඉස්සරහට. ඒක හොඳ ලක්ෂණයක්, කථිකාචාර්යවරු හැටියට ඔයාලා හැමෝම ඔහුව ගුරුවරයා කර කරගන්න.ඔහුගේ තියෙන ගුරු ලක්ෂණ අනුගමනය කරන්න කියලා. මම විවේක වෙලාවේ ගිහිල්ලා උපකුලපතිතුමත් එක්ක කතා කලා. ඔයා කොහෙද කියලා මගෙන් ඇහුවා. මම කිව්වා මීගමුව කියලා.
මොකක්ද පුතා ඔයාගේ ප්‍රශ්න කියලා ඇහුවා.මම එයාට කිව්වා සර් දසුන් ශානක  ගැන සර් කතා කෙරුවේ. එතකොට එයා කියනවා , එයත් ඔයාලගේ පැත්තෙනේ. එයා හොඳ ගුරුවරයෙක්, කියල මෙයා ආයෙත් ඒකම කිව්වා. ඊට පස්සේ මම උපකුලපතිතුමාගෙන් ඇහුවා, සර්, දසුන් ශානකගේ ගුරුවරයාව දන්නවද කියලා. ඊට පසු එයා මගෙන් අහනවා කවුද ඒ ගුරුවරයා කියලා.මම කිව්වා සර් ගේ මේ ඉස්සරහ ඉන්නේ ඒ ගුරුවරයා තමයි කියලා . ඇත්තටම දසුන් ශානකට ඕලෙවල් වෙනකල් ඉංග්‍රීසි භාෂාව ඉගැන්වුවේ මම.ඒ වගේ හරි වටිනා සිදුවීමුත් මගේ ජීවිතයේ තියෙනවා.

ඔබේ පවුලේ විස්තර සහ ඔබේ අනාගත බලාපොරොත්තු  ගැනත් දැනගන්න කැමතියි ?

මගේ පවුලේ මම දෙවෙනියා. මට වැඩිමල් අයියා කෙනෙක් ඉන්නේ. අයියා සමෘද්ධි බැංකුවේ කළමනාකරුවෙක්. මට බාල නංගි කෙනෙක් ඉන්නවා. නංගියි එයාගේ සැමියයි තමයි ” මියැසිය” කියන සංගීත භාණ්ඩ වෙළෙඳ ව්‍යාපාරය කරගෙන යන්නේ.  මගේ බිරිඳ මාලි. එයා මගේ අල්ලපු ගමේ බසියවත්ත ප්‍රදේශයේ. අපි ආදර සම්බන්ධතාවයකින් තමයි විවාහ වුණේ.දැන් අපිට දරුවන් තිදෙනෙක් ඉන්නවා.මගේ ලොකු දුව  , එයා රජයේ රැකියාවක් කරන්නේ, රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ.ඊළඟට මගේ පුතා , එයා ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ , ජල ජීවී සම්පත් කළමනාකරණය පිළිබඳ උපාධිය හදාරනවා.  මගේ පවුලේ බාල දියණිය, එයා කැලණි විශ්වවිද්‍යාලයේ දෙවන වසර මනෝවිද්‍යාව පිළිබඳ විශේෂ උපාධිය හදාරනවා. මගේ දරුවන්ට මම කිසිම දවසක මම බලපෑම් කරලා නෑ  මං කරපු දේම කරන්න ඕන කියලා. එයාලගේ කැමැත්තෙන්ම තමයි එයාලා ඔය මාර්ගය තෝරගත්තේ. එයාලට තීන්දු තීරණ ගන්න මම නිදහස දීලා තියෙනවා.

මගේ අනාගත බලාපොරොත්තු කියලා තියෙන්නේ මම දැන් අධ්‍යක්ෂකධුරය බාරගත්තු මේ පිටිපන පාස්කු නාට්‍ය සම්ප්‍රදාය අපෙන් පසු ඉදිරි අනාගතයට, ඉදිරි පරම්පරාවලට රැගෙන යෑම සඳහා ඊට සුදුසු පිරිසක් නිර්මාණය කිරීම සහ ඊට අවශ්‍ය පසුබිම වාතාවරණය අපේ කාලය තුළ මගේ මූලිකත්වයෙන්, කරන්න මම බලාපොරොත්තු වෙනවා. තව ඉතින් කලාව පැත්තෙන් ගත්තහම , බලාපොරොත්තුවක් තියෙනවා,   විශ්ව සාහිත්‍යයේ එන කෘතින් පරිවර්තනයට ලක් කරලා නාට්‍ය නිර්මාණ  කරන්න. ඒත් එක්කම තව බලාපොරොත්තුවක් තියෙනවා සුවතන්ත්‍ර නාට්‍ය නිර්මාණයක් කරන්නත්. ඒ වගේම මගේ ලේඛන කලාව සහ කවි කලාවත් උපයෝගී කරගෙන යම් නිර්මාණ ටිකක් කරන්නත් බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් දැන් මම මේ වෙද්දි  ඉංග්‍රීසි භාෂාව සහ සාහිත්‍යය සම්බන්ධව පී.එච්.ඩී  එකත් කරලා,මාස්ටර්  එකත් කරලා ඉන්නේ. ඉංග්‍රීසි භාෂාව සහ සාහිත්‍ය පිළිබඳ මම දැනටත් රජයේ ඇතුළු පෞද්ගලික විශ්ව විද්‍යාල කිහිපයකම කථිකාචාර්යවරයෙක් හැටියට සේවය කරනවා. ඒ එක්කම ඉංග්‍රීසි දැනුම බෙදා දෙන උපකාරක සේවා පන්ති ගුරුවරයෙක් හැටියටත් කටයුතු කරනවා. ඉතින් අනාගතයේදීත් මම බලාපොරොත්තු වෙන්නේ දැන් වගේ පොළොවේ පය ගහලා ,සාමාන්‍ය මිනිස්සුත් එක්ක ඉන්න සරල මිනිසෙක් විදිහට ජීවත් වෙන්න. මේව තමයි මගේ බලාපොරොත්තු.

 

තුෂාර රොහාන්