බවභෝග වගාකරන්නෙත් විහාර ගෙය තනන්න ගඩොල් කපන්නෙත් උන්වහන්සේමයි
අතරින් පතර ඇදවැටුණු වැසි බිඳු කිහිපයකින් මද සැනසීමක් ලද ඇති බව පෙනුණත් මාස ගණනාවක් පුරා නියඟයේ රුදුරු හස්‌තයට ගොදුරු ඒ බිම වියපත් මැහැල්ලකගේ ගති සොබා මවන්නීය. නියං සායට හසු වී වේලී ගිය බණ්‌ඩක්‌කා කරල් කිහිපයක් බිමට නොවැටී සිටින්නට සුළං සමඟ පොරබැදුවේය. ඉන් එපිට මානයේ උසට වැඩුණු කොහොඹ ගසක්, සියඹලා ගස් කිහිපයක් සහ තවත් වෘක්‍ෂ කිහිපයක් වේ.
ඉදිවෙමින් පවතින කුඩා ගොඩනැඟිල්ලක් එහි වේ. කපරාරු කර නැත. ගඩොලින් ඉදිවී උළු සෙවිලි කර ඇත. කෝටු කිහිපයක ආධාරයෙන් ඉටි කොළ වලින් සෙවණ ලද පියස්‌සක් ද ඊට සම්බන්ධ කර ඇත. තවත් ළංවී බැලූ කල ඒ පියස්‌ස යට කපා පුළුස්‌සන ලද ගඩොල් පේළි කිහිපයක් උසට අඩුක්‌කර ඇත.
සමාවෙන්න· අප මෙතෙක් කියූ භූමිය පන්සල් බිමකි. ඒ ගොඩනැඟිල්ල පන්සලකි.
අනුරාධපුර හොරොව්පතාන, ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ රිටිගහවැව මොරකෑව ගම්මානයේ එම පන්සල පිහිටා ඇත. එහෙත් අප එහි යන විට එකම ස්‌වාමීන් වහන්සේ නමක්‌වත් දක්‌නට සිටියේ නැත.
ආපසු එන්නට සැරසුණු අපේ ගමන වළකාලූයේ අප පසුපසින් පැමිණි සුනඛයෙකි. කවුරුන් හෝ එන බවක් ඌ අපට ඉඟි කළේය. පසෙක බැලූ අපට කැලෑව අතරින් මිනිස් රූපයක් මතුවෙමින් තිබිණි. උඩුකය නිරාවරණය වී තිබිණි. වයස හතළිහක් පමණ කිව හැකිය. මහපොළොව සමඟ හරි හරියට ඔට්‌ටු වූ පෙනුමක් දිස් වේ. තළෙළුය. නළල් තලයේ සිට පහළට ගලා ආ දහඩිය බිඳු අත් පා වල තිබූ මඩ මතට වැටී ඒවා සෝදා හරින්නට වෙර දරයි.
සමාවෙන්න· අප මෙතෙක් කියූ මිනිස් රූපය බුද්ධ පුත්‍රයෙකි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මස්‌කන්ධය ලෝවාසී අප සැම වෙනුවෙන් අවබෝධ කර දී නිවන් මගට දොරටු විවර කර දීම වෙනුවෙන් සසුන්ගතව, දුක් මහන්සියෙන් උපයා ගන්නා දෙයකින් දානය පිළියෙළ කරගෙන ඉතිරි මුදලින් පන්සලද ඉදිකර ගැනීමට සසුන්ගත වූ අපේ කාලයේ ආදර්ශවත් භික්‍ෂූන් වහන්සේ නමකි.
“මම මේ පන්සල හදන්නේ අපේ තාත්තා සසුනට පූජා කරපු බිමක. තාත්තයි අම්මයි දෙන්නම දැන් වයසයි. ඒගොල්ලො ත්‍රිකුණාමලයේ ඉන්නේ. තාත්තාට අසනීප වෙලා දැන් ටිකක් හොඳයි. ඒ දෙන්නටත් මං පුළුවන් විදිහට උදව් කරනවා.
පූජ්‍ය රිටිගහවැවේ සුමනතිස්‌ස හිමියෝ තම කතාව එසේ ආරම්භ කළහ. සුමනතිස්‌ස හිමියන් උපාධිධාරියෙකි. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් බාහිර උපාධි විභාගය සමත් උන්වහන්සේ හැඳින්වෙන්නේ ජ්‍යෙdතිෂ ශාස්‌ත්‍රාචාර්ය රාජකීය පණ්‌ඩිත ධර්මාචාර්ය ශාස්‌ත්‍රවේදී පූජ්‍ය රිටිගහවැවේ සුමනතිස්‌ස හිමියන් ලෙසිනි. එම කලාපයේම සිටින්නේ එවැනි උපාධියක් හිමි තවත් එක් ස්‌වාමින් වහන්සේ නමක් පමණි.
“මේ පළාතේ මිනිස්‌සු හරිම දුප්පත් මහත්තයෝ. ඒ අයට අප වෙනුවෙන් පන්සල වෙනුවෙන් ලොකු දෙයක් කරන්න වත්කමක් නැහැ. ලයිට් නැති කාලයේ ලාම්පු තෙල් කාලක් පන්සලට අරන් දෙන්න තරම් වත්කමක් ඔවුන්ට තිබුණේ නැහැ. දානය ගෙනාවට ඊට එහා ගිය වුවමනා කරන ද්‍රව්‍ය කිසිදෙයක් පන්සලට ලැබෙන්නේ නැහැ. ඇත්තටම කිව්වොත් මහත්තයෝ, පන්සලට දානය ලැබෙන්නෙත් මාසයකට තුන් හතර දවසක් විතරයි.
එහෙම දායකයෝ පිරිසක්‌ගෙන් පන්සලක් හදන්න ආධාර ඉල්ලන්නේ මොන හිතකින්ද මහත්තයෝ? දානය ගේන කොට සබන් කෑල්ලක්, දත් බෙහෙත් ටිකක්, තේ කොළ ටිකක් ගේන්න කියලා ඉල්ලන්න පුළුවන්ද? ව්‍යංජන දෙක තුනක් එක්‌ක පුළුවන් විදිහට හදාගෙන එන දානයට තව රසමසවුළු එකතු කරන්න කියන්න පුළුවන්ද මහත්තයෝ?
ඊට පස්‌සේ මං තීරණයකට ආවා. වැඩි කොටසක් කැලෑව වැවිලා තිබුණු මේ ඉඩම මම වටාපත පැත්තකින් තියලා කැත්තයි උදැල්ලයි අතට අරගෙන එළි කළා. භෝග වගා කළා. වගා කරන දෙයක් දානයට ගත්ත. වැඩි කොටස කඩේට විකුණලා අනෙක් අඩුම කුඩුම සපුරා ගන්නව. ඊට අමතරව දානවලට පිරිත්වලට ආරාධනා ලැබෙනවනේ. ඒවායෙන් හම්බුවෙන පිරිකරද පන්සලෙයි මගෙයි පැවැත්මට ලොකු උපකාරයක්.”
වයස අවුරුදු 11 දී පැවිදි දිවියට ප්‍රවේශ වූ සුමනතිස්‌ස හිමියෝ දැන් 44 හැවිරිදි වියේ පසුවෙති. ගම්පහ පහළගම විද්‍යාරත්න පිරිවෙණින් අධ්‍යාපනය ලැබූ උන්වහන්සේට පන්සලක් හැදීමේ උතුම් අධිෂ්ඨානය පහළ වී ඇත්තේ වයස අවුරුදු 17 දීය.
temple1″ශත 50, රුපියල, දෙක එකතු කරන්න ගත්තා. ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ තැපැල් පොතක් හදලා ඒකෙන් රුපියල් 89000 ක් හදා ගත්තා. ඒ මුදලින් පන්සල හදන්න පටන් ගත්තා. අවුරුදු ගණනාවක් දැන් මං මේ පන්සල වෙනුවෙන් ගඩොල් කපනවා. ඒවා විකුණනවා. සමහර නැති බැරි අයට නිකනුත් ගඩොල් දෙනවා.
මගේ දැතේ හයියෙන් තනි මහන්සියෙන් ගඩොල් 35000 ක් 40000 ක් විතර දැන් මං කපල තිබෙනවා. ඒ වැඩවලට මං ට්‍රැක්‌ටරයකුත් අරගෙන තිබෙනවා. ගඩොල් කපා ලැබුණු ආදායමෙන් පන්සලේ බිත්තිය ටිකෙන් ටික ඉහළට ගන්න පුළුවන් වුණා. ගඩොල්වලට පස් කපලා අච්චුවට ගඩොල් හදලා දර හොයා ගෙන පුච්චලා ගඩොල් අඩුක් කරලා ලොකු වැඩ ගොඩක් මෙතන තියෙනවා මහත්තයෝ.
මේසන් හැන්ද, කියත, අඬුව, කැත්ත, උදැල්ල, පොරව මතු නොව තවත් ආයුධ උපකරණ හිමි ඒවායෙන් වැඩ කරන මේ ස්‌වාමින් වහන්සේගේ වාහනය ට්‍රැක්‌ටරයයි. ඒ ගමන් බිමන් යන්න නොවේ. වගා කටයුතුවලට ඇවැසි පරිදි තම ඉඩමේ බිම හදා ගැනීමටය. අවුරුදු 8 ක් පුරා පන්සල් ගෙයි බිම ඇතිරූ ලෑලි දෙකක් තම සයනය ලෙස උන්වහන්සේ යොදා ගත්හ. සුඛෝපභෝගී භාණ්‌ඩයක් ලෙස සිතිය හැකි දෙයකට උන්වහන්සේට අද තිබෙන්නේ එම පන්සලේ පැවිදිව සිට පන්සලෙන් නික්‌ම ගිය සාමණේර භික්‍ෂුවක් විසින් ගෙනෙන ලද මෙට්‌ටයක් පමණි.
“පන්සල හදන්න කියලා මිනිස්‌සුන්ගෙන් සල්ලි ඉල්ලන්න මට හිතෙන්නේ නැහැ. රුපියල් දාහක් නොවේ ශත දහයක් වත් දෙන්න කියලා මං කාගෙන්වත් ඉල්ලලා නැහැ. ඉල්ලන්නෙත් නැහැ. කැමති කවුරු හරි ඉන්නවා නම් බුදු මැදුරයි, මේ ඉස්‌සරහ කොටසයි හදලා දෙන්න කියලා විතරක් මං ඉල්ලා සිටිනවා. ඒ සඳහා කැමති අයකුට මගේ පන්සලේ දොරටු විවෘතයි. ඇවිත් හමුවෙලා කතා කර ගන්න පුළුවන්. ඊට අමතරව ඕන නම් ඔවුන්ගේ පහසුවට මගේ දුරකථන අංකය වන 077.. ත් සඳහන් කරන්න මහත්තයෝ.
මගේ අම්මත් හැමදාම මට ආශිර්වාද කරනවා පොඩි හාමුදුරුවනේ දුක් විඳලා මේ පන්සල හදනවා නේද කියල. සිවුරෙන් අයින් වෙලා මට ගෙදර යන්න පුළුවන්. ඒ ගියත් මේ විදිහට මහන්සි වෙලා එදා වේල හොයා ගන්න එකනෙ කරන්න තිබෙන්නේ. එතකොට මට කුලියකට හරි යන්න පුළුවන්. ඒත් මට එහෙම හිතෙන්නේ නැහැ. මගේ දෙමව්පියෝ ජීවතුන් අතර ඉන්නවා. ඔවුන් මා බුද්ධ පුත්‍රයකු ලෙස පිළිගන්නවා. තාත්තා මිය යන්න කලින් මට මේ පන්සල හදලා මිනිස්‌සුන්ට හොඳින් වැඳුම් පිදුම් කරන්න පුළුවන් තැනක් සකසනවා. මම මගේ දැතේ ශක්‌තියෙන්, හිතේ අධිෂ්ඨානයෙන් මේ පන්සල ගොඩනගනවා. ඊට ප්‍රසාදයක් ඇති අයකුට මගේ මේ වීර පාරමිතාවට උදව් කරන්න පුළුවන්.”
සුමනතිස්‌ස ස්‌වාමින් වහන්සේගේ මේ උතුම් කාර්යය සඳහා උන්වහන්සේට උදව් උපකාර පිණිස දැනට සිටින්නේ එකම එක් අයෙකි. ඒ අප පෙර කී සුනඛයා පමණි. ඔබ අප දන්නා ඇතැම් පන්සල්වල තිබෙන උඩට උඩු වියන් පයට පවාඩ උන්වහන්සේට නැත. උඩට මතුවුණු කටු පඳුරු, ගල් බොරළු මිශ්‍ර රළු පොළොව මත පා තබමින් පන්සලත්, දෙමව්පියනුත් රැක ගන්නට වෙර දරන උන්වහන්සේ සතුව සෙරෙප්පු කුට්‌ටමක්‌වත් තිබුණේ නැත. ජගුවර්, ප්‍රාඩෝ, බෙන්ස් වලින් පිංකමට වඩින ස්‌වාමීන් වහන්සේලා සිටින රටක උන්වහන්සේට තිබුණේ ට්‍රැක්‌ටරයකි. අල්මාරි පිරෙන්න සිවුරු පිරිකර තිබෙන ඇතැම් භික්‍ෂූන් වැඩවාසය කරන රටක උන්වහන්සේ සන්තකයේ ඇත්තේ සිවුරු තුනකි. එහෙත් ඇතැම් භික්‍ෂූන් වහන්සේලාට නොමැති බුදු බණේ ඇති බොහෝ ගුණාංග උන්වහන්සේට ඇති බව කිව හැක. අවසානයේ උන්වහන්සේ කියූ දෙය අපි මෙසේ සටහන් තැබුවෙමු.
“මට ඉන්න තැනක් නොවේ මහත්තයෝ මම මේ හදන්නේ මිනිස්‌සුන්ට වඳින්න තැනක්.”
කුෂාන් සුබසිංහ