‘
කුරිරු මරණයකට පාවා දෙනු ලැබීමට පෙර තමන්ගේ කණ්ඩායමත් එක්ක අවසාන වතාවට කෑම මේසයට ජේසුස් ගේ සහභාගීත්වය අද දවසේ කිතුනු අපි මෙනෙහි කරනවා.
කිතුනු දිව්‍ය පූජා අතර මම වඩාත් ම කැමති ම සහ මට ලස්සන ම පූජාව මහ බ්‍රහස්පතින්දාවයි; අතිවිශේෂයෙන් ම අද දවසේ මෙනෙහි කිරීම් අතර ජේසුස් විසින් මේ කණ්ඩායමේ පාදෝවනය ගැන අවස්ථාව මෙනෙහි කිරීම.
ජේසුස් සහ ප්‍රජාව ජීවත් වුණ කාන්තාරබඳ ප්‍රදේශවල එළියට ගිහින් එන කෙනෙක් ගෙට ඇතුල් වෙද්දී කකුල් හෝදලා පිළිගන්න සිරිතක් තිබුණා. ඉහළ පැලැන්තිවල ඇත්තන්ගේ කකුල් හෝදලා ගෙට ගන්න වහලුන් හෝ පහළ සේවකයන් යොදවා තිබුණා.
අන්තිම රාත්‍රි භෝජනය ගැනීමෙන් පස්සේ ජේසුස් විසින් තමන්ගේ ‘ගෝලයන්’ ගේ පා දෝවනය කරනු ලබනවා. “මට ඔබව පිරිසිදු කිරීමට ඉඩ නොදෙන්නේනම් ඔබට මාගේ අනුගාමිකයකු වීමට නොහැකියි” කියා ඒ ගැන විරුද්ධ වූ අයට කියනවා.
තම ‘උස් බව’ අතහැරීමෙන් පිරිස අතර සමානයකු නොවන කෙනෙකුට නායකයකු, මඟපෙන්වන්නකු, ගුරුවරයකු වන්නට නොහැකි බවඋන්වහන්සේ අවධාරණය කරනවා. මහ බ්‍රහස්පතින්දා පූජාවේ දී මේ සම්ප්‍රදාය අනූව යමින් පූජකයා විසින් සංකේතවත් අනුගාමිකයන් කණ්ඩායමක පා දෝවනය කරනු ලබනවා.
මට මේ පිරිස තෝරාගන්නට අවස්ථාවක් ලැබුණොත්…?
අපේ පල්ලියේ මීසමට අයිති මංසන්ධියක මැදිවයසේ ගැහැනියක් ඉන්නවා. ඇගේ නිවස අඩි 6X6 වගේ යන්තම් සිරුර දිගා කරගන්නට විතරක් ඉඩ ඇති තැනක්. ඒකත් කවුරුන් විසින් හෝ තනා ඇයට පාවිච්චියට දුන්නක්. මම මේ ගැහැනිය දිනපතා ම ඒ අවට පාරතොටේ දී දැක්කත් ඇය ගැන වැඩි විස්තරයක් දන්නේ නෑ. ඇතැම් අය කියන්නේ ඇය යොවුන් කල ගනිකාවක්ව සිටි බවයි. වීදියට වැටුනු අසරණ බල්ලන් අඩු ම ගානේ විස්සකටවත් ඇය සරණ වෙමින් ඉන්නවා. ඔවුන්ට කවා-පොවා, සෝදා පිරිසිදු කොට විතරක් නෙවෙයි සමහර විට ලෙඩදුකටත් ඇය බලනවා. ඇයත් වීදියේ අසරණියක්. ඒත් තමන්ටත් වඩා අසරණ මේ සතුන් රැකබලාගනිමින්, ඒ වෙනුවෙන් පෙරලා කිසිවෙකුගෙන් කිසිවක් ලැබීමේ කිසිඳු අපේක්ෂාවකින් තොරව ඇය ලබන ආත්මීය සතුට කුමක් විය හැකි ද ? සිය දුක්ඛිත ආත්මය, ඇයට මේ සතුන් තුළින් පුනරාවර්තනය වෙන්න පුළුවන්. එතැනදී ඇය ඊට යටත් වෙනු වෙනුවට ඊට එරෙහි ව කරන ආදරයේ අරගලය වෙන්න පුළුවන් මේ.
ඉතින් අනිවාර්යයෙන් ම මගේ එක තේරීමක් වෙනවා ඇත්තේ ඇය වැන්නියක්.
මේ මීසම් බලප්‍රදේශයේ ම පුංචි බුලත්විට කඩයක් පවත්වා ගෙන ගිය දිළිඳු මහලු මනුස්සයෙක් හිටියා.දවසක් පාරේ වේගයෙන් ගිය ලොරියක් පාලනයෙන් ගිලිහිලා, මේ බුලත්විට කඩයට කඩා වැදිලා ඔහු ඊට යට වුණා. ඔහු බෞද්ධයෙක්. බෞද්ධයන් කර්මඵලය කියා දෙයක් විශ්වාස කරනවා. මේ මනුෂ්‍යයා මියයන්නට පෙර කියා හිටියේ මේ අනතුර ඔහු ගේ කර්මඵලය අනූව වූවක් නිසා මේ අනතුරේ වගකීම තමන්ගේ ම බවත්, නීතියෙන් ඒ චූදිතයාට සමාවක් ලැබීම තම ඉල්ලීම බවත්. ඔහු සැබැවින් ම සිය විශ්වාසය මත සිය ජීවිතය සම්පූර්ණ කළ අයෙක්. එකක් හිතා, තවෙකක් කියන, වෙනත් එකක් කරන ආගමික-නිර්ආගමික අතිබහුතරයට වෙනස් අයෙක්.
මේ දිළිඳු විශ්වාසික මහළු මනුෂ්‍යයා වගේ කෙනෙක් මගේ තවත් තෝරාගැනීමක් වේවි.
දවසක් මට හමු වුණා පොඩි එකෙක්. වයස දහයක්-දොළහක් වගේ ඇති. එයාට පැන්සල් පෙට්ටියක් ගන්න ඕන වෙලා තිබුණා. එතැන වටිණා පැන්සල් පෙට්ටි සමහර විට සාමාන්‍ය මිලටත් වඩා අඩුවෙන් ගන්න පුළුවන්කම තියෙද්දී එයා තේරුවේ තවත් අඩුවට තිබුණ තරමක් අබලන් වුණ පරණ එකක්. “මට ඕන කීවොත් මගේ තාත්තා ඒ ඕන ම එකක් කොහොම හරි මට හොයලා දෙනවා. ඒත් එයාල ඒක කරන්නේ ගොඩක් දුක්විඳලා; මහන්සි වෙලා. ඒගොල්ල පව්. එයාලට පුළුවන් තරම් බර අඩු කරන්නයි මට ඕන” පොඩි එකා කීවා. තවත් තාත්තල දෙන්නෙක් මට මුණගැහුනා, තමන්ගේ දරුවට පොත්පත් අරන් දෙන කොට ඒකට ගිය වියදම දැකලා, “මේක දරාගන්න බැරි, මගේ දරුව වගේ තවත් දරුවන්ට මොකද වෙන්නේ” කියල අහල, ඒ අනිත් දරුවන්ටත් පොත්පත් ගන්න දායකත්වයක් දීපු.
මගේ තෝරාගැනීම් අතර මේ වගේ පොඩි උන්, අම්මල-තාත්තලා ඉඳීවි.
මීසමෙන් පිට වුණත් මට පුළුවන්නම් මේ පිරිස අතරට අදේවවාදී වික්‍රමබාහු කරුණාරත්න වැනි අයත්, ශර්මි කුමාරි සහ භූමි හරේන්ද්‍රන් වගේ අයත් තෝරාගනීවි. ඔවුන්ගේ මුළු ජීවිතයෙන්මත්, ශරීරයෙන්මත් ඔවුන් සිය විශ්වාසයන් වෙනුවෙන් කරන ලද පෙනී සිටීමටත්, මේ සමාජය යහපත් තැනක් බවට පත් කිරීම සඳහා ඒ මගින් දරන ලද පුරෝගාමීත්වයටත් ස්තූතියි කියන්නට ඒ තෝරාගැනීම් උදව් වේවි.
මේ විදියට එකොළොස් දෙනෙක් නොව දොළොස්දෙනෙක් ම තෝරාගන්නට මම කැමතියි. (පාදෝවනයට පෙර ජේසුස් විසින් තමන් ව පාවා දෙන්නට ගිවිස ගෙන සිටි ජුදාස් වේලාසනින් පිටත් කරනු ලබන්නේ “ඔබ බාර ගත් කාර්යය දැන් ගිහින් ඉටු කරන්න” යයි කියමින්. මම හිතන්නේ මේ කාර්යය සම්පූර්ණ වෙන්න ඔහුත් මෙතැනට සංකේතවත් විය යුතුයි)
ඒත් මට දොළහක් තියා තුන්හතරදෙනෙකුට වඩා සොයාගන්නට පුළුවන් වේවි ද කියල මට සහතිකයක් නෑ.
එහෙම වුණත් දැන් අපේ පල්ලිවල අවුරුද්දක් පාසා මේ කාර්යය සංකේතවත් කරන්නට තෝරාගනිමින් ඉන්නා, සුදු ඇඳ ගත්, මහළු පුරුෂ සෙට් එකේ එක් අයෙකුවත් සමහරවිට එතැන ඉන්න එකක් නෑ කියලනම් මට සහතිකයි.
(දර්ශණ කාහිංගලගේ ෆේස් බුක් පිටුවෙනි)