මහනගර සභා සම්ප්‍රදාය කඩා යෝජනාවක් බලෙන් සම්මත කරයි.?

0
70

මීගමුව මහා නගර සභාවේ මැයි මස මහා සභා රැස්වීම අද  (2013/05/09) පෙරවරුවේදී පැවැත්වු අතර එහිදී විපක්ෂයේ රොයිස් විජිත ප්‍රනාන්දු නාගරික මන්ත්‍රිවරයා විසින් මීගමුව, කුට්ටිදූව හා කොටුව පිටිටනිය අසල මුහුදු වෙරළ ප්‍රදේශයේ ඇති මාළු වෙළද සැල් ආශ්‍රිත වෙළද පොල සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කලේය.
එම යෝජනාවෙන් ප්‍රකාශ වුයේ ජපානයේ — trip  ව්‍යාපෘතිය යටතේ මහා නගර සභාවට ලැබුන මිලියන ගනනක අධාර මත මෙම මාළු වෙළද සැල ඉදිකල බවයි. එමෙන්ම ඒ ආශ්‍රිතව ඇති පාරවල් කාපට් කලේද නගර සභා මුදල් වලින් බවත් ඒ නිසා මාළු වෙළද සැල සහ එම මාර්ග වල පුර්ණ අයිතිය නගර සභාව සතු බවද එහිදී ප්‍රකාශ වුනි. ඒ නිසා එහි වෙළදාම් කරන්නන්ගෙන් හා එම මාර්ග වල නවත්වන වාහන සදහා මුදල් අයකර රැස්කිරීට සම්පුර්ණ අයිතිය මහා නගර සභාවට ඇති බවද එහි සදහන් වුණි.
එහෙත් එම අයිතිය පුද්ගලයෙකු විසින් හෝ යම් කන්ඩායමක් විසින් හෝ අනවසරයෙන් භුක්ති විදියි නම් එය මීගමුවේ නගර සභාවට අයත් වරිපනම් බදු ගෙවන ජනතාවගේ අයිතිය උල්ලංඝනය කර සොරා කෑමක් වැනි යැයි එහි සදහන් වී තිබිණි. එලෙසම මෙම මාළු වෙළද සැලෙන් සහ මාර්ග වලින් ආදායම් ලබා ගන්නා පුද්ගලයින් කිසිදු ආදායමක් මහා නගර සභාවට නොගෙවයි.
ඒ නිසා එහි නඩත්තු කටයුතු වෙනුවෙන් සහ එහි ඉදිකිරීම් කටයුතු සම්බන්ධයෙන් මහා නගර සභාවට ලැඛෙන ආධාර සහ මහා නගර සභාවේ මුදල් යෙදෙවන නිසා මෙම මාළු වෙළද සැලේ වෙළෙදුන්ගෙන් නිශ්චිත බදු මුදලක් මහා නගර සභාවට අය කර ගත යුතු බවත්, ඒ අවට මාර්ගවල නවත්වන වාහන වලින් සාධාරණ ක්‍රමයකට ගාස්තු අය කර ගැනීමට ත්  එලෙසම මෙහි වර්තමානයේ දී කප්පම් ගන්නා ක්‍රමය වහාම නවතා දැමීමට ත් කටයුතු කරන ලෙස මෙම යෝජනාව තුලින් මහා නගර සභාවට යෝජනා කර තිබිණි.
මෙම යෝජනාව ඉදිරිපත් කල රෝයිස් ප්‍රනාන්දු නාගරික මන්ත්‍රිවරයා සදහන් කලේ නගර සභාවට ලැඛෙන අධාර හෝ නගර සභාවට ජනතාවගෙන් අය වෙන බදු මුදල් වලින් හෝ මිලියන ගනනක් වැය කර ගොඩනගන මෙවැනි ස්ථාන වලින් නගර සභාවට කිසිදු ආදායමක් නොලැඛෙන්නේ  නම් ඒවා දෛනිකව පිරිසිදු කිරීමටත් නඩත්තු කටයුතු කිරීමටත් නගර සභාවේ මුදල් සහ සම්පත් යෙදවීම විශාල ආසාධාරණයක් බවයි.
එලෙස නගර සභාවට කිසිදු ආදායමක් නොලැඛෙන මෙම මාඵ වෙළද සැලට පසුගිය කාලයේ ආර්ථීක සංවර්ධන අමාත්‍යාංශයෙන් මහා නගර සභාවට ලබා දුන් තවත් රුපියල් මිලියන 03 ක මුදලින් අප ජලය බැස යන ටැංකි සකස් කිරීමට යාමද තවත් එවැනි වු අසාධාරණ ක්‍රියාවක් බවද ඔහු පෙන්වා දෙයි. මෙය මේ නගර සභාවේ සිදුවන තවත් ප්‍රධානතම දූෂිතම සිදුවීමක් බව පවසන මන්ත්‍රිවරයා පෙන්වා දෙන්නේ  මෙම ක්‍රියාවලිය මහා නගර සභාවෙන් ක්‍රියාත්මක වන දන්සැලක් හා සමාන බවයි.
එලෙසම ඔහු එහිදී පැවසුවේ මේ සිදුවීම සම්බන්ධයෙන් රාජකාරී කරන නගර සභාවේ රාජ්‍ය නිලධාරීන්ද වගකීමට බැදී සිටින බවයි.
එලෙසම ඔහු පෙන්වා දෙන පරිදි නගරාධිපතිවරයාද මේ සම්බන්ධයෙන් අද වන විට විශාල ගැටළු රාශියකට මුහුණ දී ඇත. යම් දිනෙක නීතියේ ඇසට මේ දුෂිත සිදුවීම ඉදිරිපත් වූ විට එදිනට මේ මුළු නගර සභාවම මේ සදහා වගකිව යුතු වන බවද ඔහු අවසානයේ වැඩි දුරටත් අවධාරණය කලේය.
ඉන් පසුව කතා කල විපක්ෂයේ වෛද්‍ය හෙන්රි රොසාරියෝ නාගරික මන්ත්‍රිවරයා සදහන් කලේ ඉතිහාසයේ සිට මෙම ස්ථානයේ මාළු විකුණන වෙළෙදුන්ගෙන් මුදල් අය කර ගැණිමට  සම්ප්‍රදායිකව වැල්ලවීදිය දේවස්ථානය විසින් සිදු කල බවයි.
ඒ අනුව අද දවසේද එලෙස මාළු වෙළෙදුන්ගෙන් මුදල් එකතු කීරිම වැල්ලවීදිය දේවස්ථානයෙන් ටෙන්ඩර් කර වෙනත් පුද්ගලයෙකුට ලබා දී ඇති බවද ඔහු සදහන් කලේය.  එසේ වුවත් මෙහි සිටින එලවළු සහ ඇදුම් ඇතුළු මාළු විකුණන වෙළෙදුන්ගෙන් හැර වෙනත් කිසිදු වෙළෙන්දෙකුගෙන් මුදල් අයකර ගැනීමට වැල්ලවීදිය දේවස්ථානය සම්බන්ධ නැති බවද ඔහු සදහන් කලේය.
එලෙසම මේ ආශ්‍රිතව ඇති මාර්ග වල නවත්වන වාහන වලින් මුදල් ගැනීමේ කටයුතු වලටද දේවස්ථානයට වගකීමක් නැති බව ඔහු විසින් මෙහිදී අවධාරනය කලේය.  එලෙසම ඔහු අවසානයේ ප්‍රකාශ කලේ එදා සිට අද දක්වාම මේ ස්ථානයේ මාළු වෙළෙදුන්ගෙන් දේවස්ථානයට මුදල් අය කර ගැනීමට ඉඩ ලබා දිය යුතු බවයි.
ඉන් පසුව අදහස් දැක් වූ විපක්ෂයේ රවී ජිවානන්ද  නාගරික මන්ත්‍රිවරයා පැවසුවේ තමන් මේ සම්බන්ධයෙන් කල සොයා බැලීමකදී හෙලි වුයේ මෙය පසුගිය එක්සත් ජාතික පක්ෂ ආන්ඩු කාලයේ සිටි සරත්චන්ද්‍ර ගුණරත්න නගරාධිපතිවරයාගේ කාලයේදී මෙම ස්ථානය වැල්ලවීදිය දේවස්ථානයට භාර දී ඇති බවයි.
එම නිසා මෙම ප්‍රශ්ණය විසදා ගැනීමේදී මුලිකවම එම දේවස්ථානය සමග සකච්ඡා කල යුතු බවද ඔහු පැවසීය. ඊළගට අදහස් දැක් වූ විපක්ෂයේම ගිහාන් ප්‍රනාන්දු නාගරික මන්ත්‍රිවරයා සදහන් කලේ පෙර කාලයේ දේවස්ථානය වෙතින් හෝ යම් වරදක් සිදු වී ඇත්නම් වර්තමානයේදී හෝ එම වරද නිවැරදි කර ගැනීම කල යුතු බවයි.
එම නිසා මීගමුව නගර සභාව සතු දේපලක් මෙලෙස දේවස්ථානය භූක්ති විදියි නම් එය නිවැරදි කර ගැනීම දැන් හෝ කල යුතු බවද ඔහු අවධාරනය කලේය.
පසුව ඇන්ටනී ජයවීර නගරාධිපතිවරයා අදහස් දක්වමින් පැවසුවේ තමන් මීට පෙර මේ මාළු වෙළද සැල පිලිබදව නොඇසු කථාවක් මෙහිදී විපක්ෂයේ වෛද්‍ය හෙන්රි රොසාරියෝ නාගරික මන්ත්‍රිවරයාගෙන් අසා දැනගත් බවයි.
එහිදී ඔහු පෙන්වා දුන්නේ 2007 දි සංචාරක සම්පත් වැඩි දියුණු කිරිමේ වැඩසටහනක් මත මෙම මාළු වෙළද සැල එතෙක් කර ගෙන ආ වැල්ලවීදිය දේවස්ථානයට අනුබද්ධ ඒකාබද්ධ ධීවර සංවිධානයට අළුතින්ම සදා දුන් අතර එය ඉදිකිරිමේ සහ නඩත්තු කටයුතු මීගමුව මහා නගර සභාවට පවරා  ගිවිසුම් ගතවීමක් සිදු කල බවයි. මේ නිසා නගර සභාව මෙම ගැටඵව තුල සිර වී ඇති බවත් මේ තත්වයෙන් මිදීමට නගරාධිපතිවරයා ලෙස ඉදිරියේදී තමන් කටයුතු කරන බවයි. අනතුරුව අවසාන වශයෙන් නැවත රොයිස් ප්‍රනාන්දු නාගරික මන්ත්‍රිවරයා කතා කරමින් පැවසුවේ මාළු වෙළද පොල ආශ්‍රිතව එළවළු හා වෙනත් දේද විකුණන වෙළද සැලක්ද එලෙසම රථගාල් 02 ක් ද මෙහි ඇති අතර මෙහි පසුගිය වසර 06 තිස්සේම මෙම දුෂනය සිදු බව බවද ඔහු අවධාරණය කලේය.
ඉන් පසුව නගරාධිපතිවරයා විසින් ඊළග යෝජනාව ඉදිරිපත් කිරිමට නියෝජ්‍ය නගරාධිපති සකාවුල්ලා නාගරික මන්ත්‍රිවරයාට ආරාධනා කලේය. මෙහිදි දක්නට ලැබුන එක් විශේෂත්වයක් වුයේ මේ යෝජනාව සම්බන්ධයෙන් නගරාධිපති හැරුණු විට කිසිදු ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරයෙක් අදහස් නොදැක්විමයි.
පසුව නියෝජ්‍ය නගරාධිපතිවරයා විසින් එම යෝජනාව සභාව වෙත ඉදිරිපත් කරන ලදී. එය ඉදිරිපත් කර අවසන්වු පසු ටික වේලාවකින්  ආන්ඩු පක්ෂයේ සේපාල මොරවක නාගරික මන්ත්‍රිවරයා ප්‍රකාශ කලේ පෙර යෝජනාව එනම් මාළු වෙළද සැල සම්බන්ධයෙන් වූ යෝජනාවට පක්ෂ විපක්ෂ භාවය වෙනුවෙන් සභාවේ ඡන්ද විමසීමක් සිදු නොකල බවයි.
එහෙත් විපක්ෂයේ නාගරික මන්ත්‍රිවරු පැවසුවේ ඒ සදහා දැන් අවස්ථාවක් නොමැති අතර ඒ සදහා තිබු අවස්ථාව ගිලිහී ගිය බවයි. එහිදී විපක්ෂ මන්ත්‍රිවරු පෙන්වා දුන්නේ නගර සභාවේ සම්ප්‍රදායන් අනුව යෝජනාවක් ඉදිරිපත් කර එය විවාද කර අවසන් වු පසු නගරාධිපතිවරයා විසින් ඡන්ද වීමසීමක් සිදු නොකර ඉන් පසු වෙනත් මන්ත්‍රිවරයෙකුට ඊළග යෝජනාව ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දී ඉන්පසු එම මන්ත්‍රිවරයා විසින් ද එම යෝජනාව සභාව වෙත ඉදිරිපත් කර එය ස්ථීරවූ බවට තවත් මන්ත්‍රිවරයෙක් ප්‍රකාශ කර තිබියදී නැවත පෙර යෝජනාව සදහා ඡන්ද විමසීමක් කැදවීමට නොහැකි බවයි.
එසේ හෙයින් මේ යෝජනාවද ඡන්ද විමසීමක් නොමැතිව සභා සම්මත වූ බව විපක්ෂ මන්ත්‍රිවරු අවධාරණය කලහ. එහිදී ආන්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මත ගැටුම වඩාත් ආවේගශීලී වු අතර නගරාධිපතිවරයා සභාව විනාඩි 10 කට කල් තබන ලදී.
විනාඩි 10 කට පසු නැවත සභාවේ කටයුතු ආරම්භ වූ අතර එහිදී සියළු නාගරික මන්ත්‍රිවරුන් නිහඩ කරමින් නගරාධිපතිවරයා  තමාට ඇති බලය අනුව පෙර යෝජනාවට ඡන්ද විමසීමක් කලේය. ඒ අනුව මුලින්ම එම යෝජනාවට පක්ෂව ඡන්දය විමසු අතර ආන්ඩු පක්ෂයේ හෝ විපක්ෂයේ (යෝජනාව ඉදිරිපත් කල පාර්ශවයේ) කිසිදු මන්ත්‍රිවරයෙකු එහිදී ඡන්දය ලබා දුන්නේ නැති අතර පසුව යෝජනාවට විපක්ෂව ඡන්දය විමසුහ. එහිදී ආන්ඩු පක්ෂයේ සියළු මන්ත්‍රිවරුන් අත් ඔසවා ඡන්දය ප්‍රකාශ කලහ. ඉන්පසු  මෙම යෝජනාව සභාව වෙත ඉදිරිපත් කල විපක්ෂයේ රොයිස් ප්‍රනාන්දු මන්ත්‍රිවරයා නැගී සිටිමින් පැවසුවේ මෙතෙක් පැවති මහා සභා සම්ප්‍රදායන් බිද නිතී විරෝධීව සභා සම්මත වු යෝජනාවක් නැවත ඡන්ද විමසීමක් කර එම තත්වය නීතිවිරෝධීව මෙහිදී වෙනස් කල බවයි. එම නිසා එම නිතී විරෝධී ආසාධාරණ සිදු වීමට විරුද්ධව තමා ඇතුළු විපක්ෂය මෙම ඡන්ද විමසීමට සභභාගී නොවු එසේ වුයේ මෙම යෝජනාව සම්බන්ධයෙන් අදෘෂමාන හස්තයක් නිසා බවත් ද ඔහු පැවසීය.
ඒවාගේම ඔහු එහිදී පෙන්වා දුන්නේ යෝජනාව සභාවේදී විවාදයට ගැනුනු අවස්ථාවේදී ඒ පිලිබදව කිසිදු අදහසක් ප්‍රකාශ නොකල මන්ත්‍රිවරුන් මෙලෙස සභා සම්ප්‍රදායන් මත සම්මත වු යෝජනාවට නැවත ඡන්ද විමසීමක් කැදවන ලෙස ඉල්ලා සිටි බවයි.  ඒ නිසා මෙම සභාවේදී සිදු කල එම නීතිවිරෝදී ක්‍රියාවට විරුද්ධත්වය ප්‍රකාශ කරමින් තමන් ඇතුළු විපක්ෂයේ නාගරික මන්ත්‍රිවරුන් මෙම සභා ගැබින් පිටව යන බවද පැවසීය. ඒ අනුව සියළුම විපක්ෂ නාගරික මන්ත්‍රිවරුන් සභාගැබින් නික්ම ගියහ.