මහලෙඩේ හැදී මරණය දකිමින් ඉන්නා අසරණයන් හූරා කන නරුමයෝ

0
521
3

ජීවිතේ ඉල්ලගෙන කන්නලව් කරගෙන පෝලිමේ යන වකුගඩු රෝගීන්ව මුලා කරලා කීයක්‌ හරි හොයාගෙන කන්න තරම් මේ මිනිස්‌සු තිරිසන්නු වෙලා. වෙළෙන්දොa කියන්නේ මිනිස්‌සුන්ගේ ඉහමොළ හූරගෙන කන ජීවත් වෙන පිරිසක්‌ තමයි. ඒත් මේ වගේ ජීවිතේ අන්ත අසරණ වුණු රෝගියෙක්‌ විකුණගෙන කන තමන්ගෙ බඩවියත රැකගන්න මේ වගේ තිරිසනුන්ට සමාව දෙන්නේ කවුද?

කැබිතිගොල්ලෑව ප්‍රදේශයේදී, වකුගඩු රෝගයෙන් මරණාසන්න වූ රෝගියෙකුගේ අවසන් මොහොත… පවුලේ සමීප ඥතීන් මරණාසන්න රෝගියා වෙනුවෙන් සෙත්පිරිත් සඡ්Cජායනා කරන අයුරු… (ඡායාරුපය ඒ.පී ප්‍රවෘත්ති සේවයේ එරංග ජයවර්ධන)

අපේ ජීවිතවල වටිනාකම අපිට තේරෙන්නේ අපිට අසනීපයක්‌ වුනාමයි. ඒත් කැස්‌ස, උණ, හෙම්බිරිස්‌සාව වගේ ලෙඩක්‌ හැදුනම එහෙම දැනෙන්නේ නෑ. දැන් කවුරුත් “මහලෙඩේ” කියලා හඳුන්වන වකුගඩු රෝගය හැදුණාම තමයි ජීවිතේ කියන්නේ මොකක්‌ද කියලා හරියටම වැටහෙන්නෙ.

“මහලෙඩේ” හැදුණු හැම කෙනෙක්‌ම බලන්නේ කොහොම හරි ආයෙත් ජීවිතේ ඉල්ල ගන්නයි. වකුගඩු රෝගයට බෙහෙත් කරන්නේ කවුද කියලා දැනගන්න ගමන් එතෙන්ට ගිහිං පෝලිමට එකතු වෙනවා.

වකුගඩු ලෙඩ හැදිලා පෝලිමේ ඉන්නේ ඉන්න පුළුවන් කමට නෙමෙයි. දැන් බිම ඇදගෙන වැටෙයි කියලා හිතෙනවා. තවත් වෙලාවකට ඇස්‌ නිලංකාර වෙනවා. මහා සයුරක වතුර බොන්න තරම් ලොකු තිබහක්‌ ඇතිවෙනවා. ඒත් බොනකොට බොන්න පුළුවන් වෙන්නේ වතුර උගුරක්‌ නැත්නම් දෙකක්‌ විතරයි. කොටින්ම කියනවානම් මේ ලෙඩේ මහම මහ කරුමක්‌කාර ලෙඩක්‌. වනේ ඉන්න සතා සිවුපාවෙකුටවත් වකුගඩු ලෙඩේ හැදෙන්න එපා කියලා තමයි පෝලිමේ ඉන්න ලෙඩ්ඩු කියන්නේ.

ඒත් මේ රටේ ඉන්න ගොඩාක්‌ මිනිස්‌සුන්ට හිතක්‌ පපුවක්‌ නැහැ කියලා අපිට තේරෙනවා. වකුගඩු රෝගෙට බෙහෙත් ගන්න පෝලිමේ ඉන්නකොට තවත් පිරිසක්‌ පෝලිමේ ආවෙ නැතත් ඉඳලා හිටලා මතුවෙනවා. එහෙම මතුවුණු කෙනෙක්‌ දවසක්‌ මෙහෙම කිව්වා.

“වකුගඩු රෝගය හැදෙන්න මූලිකවම බලපාන්නේ වතුරයි. අපිරිසිදු වතුර බිව්ව නිසා තමයි ඔයාලට මේ රෝගය හැදිලා තියෙන්නේ. දැන් කරන්න පුළුවන් එකම දේ තමයි ඉතුරු වෙලා තියෙන වකුගඩු ඔය තත්ත්වයෙන්ම රැක ගන්න එක.

මේ වතුර පිල්ටරේ හදලා තියෙන්නේ දොස්‌තර මහත්තුරු ගොඩක්‌ පර්යේෂණ කරලා. මේ පිල්ටරේට වතුර දාලා බිව්වම එදායින් පස්‌සේ වකුගඩුවලට හානියක්‌ වෙන්නේ නෑ. මේ පිල්ටරයක්‌ කඩෙන් ගන්නව නම් දොළොස්‌දහස්‌ පන්සීයක්‌ වෙනවා. ඒත් අපි ප්‍රජා සත්කාරයක්‌ විදිහට මේ පිල්ටරේ ඔයාලට දෙන්නේ රුපියල් පන්දහසකටයි. ගමේ ග්‍රාමසේවක මහත්තයගෙන් ලියුමක්‌ ගේනවානම් හැඳුනුම්පතේ කොපියක්‌ දෙනවනම් මාස පහකින් මේ පිල්ටරේ ගෙවන්නත් දෙන්න පුළුවන්. හැබැයි එතකොට එක මාසෙකට රුපියල් එක්‌දාස්‌ දෙසීයක්‌ දෙන්න වෙනවා. එකවර මුදල් දෙනවානම් තමයි පන්දාහකට දෙන්නේ.

ඒ වගේම තමයි මේ වතුර පිල්ටරේට දාන්න විශේෂ බෙහෙතක්‌ තියෙනවා. එක සැරේකට මේ පොඩි පැකට්‌ එකක්‌ දැම්මාම ඇති. ඒ පැකට්‌ එකක්‌ රුපියල් සීයක්‌ වෙනවා. ග්‍රෑම් අසූපහක බෙහෙත් මෙතන තියෙනවා. පිට කඩේකින් මේ බෙහෙත ගන්නවා නම් රුපියල් දෙසිය පනහක්‌ වෙනවා. ඒත් සමහරවිට මේ බෙහෙතම නැහැ.

වකුගඩු රෝගීන්ගේ පෝලිමට ටිකක්‌ එහා ඉඳගෙන තඩි ටයිපටියක්‌ බැන්ද මහත්තයා එක දිගටම කියාගෙන කියාගෙන යනවා. ඒ කතාව ඇහුණු වයසක අම්මලා තාත්තලා තමන්ගේ මුදල් පසුම්බිය දිග ඇරලා බලනවා. ඒත් ඒ මුදල් පසුම්බිවල උරුණ්‌ඩු කරලා දැම්ම රුපියල් පනහෙ කොළත්, ගුලි කරලා දැමීම රුපියල් විස්‌සෙ කොළත් ඇරුනම මොන දාහෙ කොළවල්ද? ඒ රුපියල් පනහ විස්‌ස තියෙන්නෙත් වකුගඩු සායනේ ඉවර වුණාම ගෙදරට යන්න බස්‌ ගාස්‌තුව විදිහටයි. වාර ගාණකින් ගෙවලා පිල්ටරේ ගන්න උත්සාහ කළත් ඒ රුපියල් කොළ ටික දුන්නොත් ගෙදර යන්න වෙන්න පයින් බස්‌ එකේ පිහිටෙන් තමයි.

ජීවිතේට තියන ආශාව හින්දම වෙන්න ඕනේ පෝලිමේ හිටිය තුන් දෙනෙක්‌ ඒ වතුර පිල්ටර් සල්ලිදීලා ගත්තා. යමක්‌ කමක්‌ තියෙන පුතෙක්‌ තමන්ගෙ තාත්තට එකවරම මුදල් ගෙවලා ඒ පිල්ටරයක්‌ රුපියල් පන්දාහකට අරන් දුන්නා. ඉතුරු දෙන්නම ඒ පිල්ටර් දෙක ගත්තේ මාස පහකින් ගෙවලා හමාර කරන්නම් කියන පොරොන්දුව මතයි. දෙන්නම් කාසිවලට ඒ අය වතුර පිල්ටරේ දුන්නා වගේම ග්‍රාමසේවක මහත්තයගෙ ලියුමයි ජාතික හැඳුනුම්පතේ කොපියයි ඊළඟ මාසෙදී ගෙනත් දෙන පොරොන්දුවටත් එකඟ වුණා.

දවස්‌ කීපෙකට පස්‌සේ නගරයේ එක්‌ වෙළෙඳ සැලක එදා දැකපු වතුර පිල්ටරේ තියෙනවා දැක්‌කා. නිකමට වගේ මම ඒකේ ගණන් හිලව් විමසලා බැලුවා. එක වතුර පිල්ටරයක්‌ රුපියල් දෙදහස්‌ හත්සිය පනහ ගානේ දෙන්න වෙළෙඳසැල් හිමියා කැමති වුණා. පිල්ටර් තුනකට වැඩිය ගන්නවානම් එකක්‌ දෙදහස්‌ පන්සීයකට දෙන්නන් ඒ වෙළෙන්දා කැමතියි.

ඊට පස්‌සේ මගෙ ගැටලුව වුණේ පිල්ටරේට දානවයි කිව්ව අරුම පුදුම බෙහෙත් පැකට්‌ එකයි.

නෑ මහත්තයා ඒක පිල්ටරෙත් එක්‌ක නිකං දෙන්නේ. පැකට්‌ හතරක්‌ තියෙනවා ඒ හතර දානකොට මේ පිල්ටරේ කාලෙත් ඉවර වෙනවා. පිල්ටරේ සම්පූර්ණයෙන්ම සුද්ද කරන්න වෙනවා. ඒකට යන වියදමට වඩා හොඳයි අලුතෙන් එකක්‌ ගන්න එක. ඒ මොකද කියනවා නම් මෙහෙ තියන වතුර වල කිවුල පිල්ටර් ඇතුලෙ තියන පෙරණ වල බැඳුණට ඒවා අයින් කරන්න බැහැ. අයින් කරන කොට දැල් කැඩෙනවා. දැල් වර්ග කීපයක්‌ තියනවා. ඒ වර්ග ඔක්‌කොම අලුතෙන් දානවට වඩා තව කීයක්‌ හරි දාලා අලුතෙන් පිල්ටර් එකක්‌ ගන්න එක තමයි ලාබම දේ වෙන්නේ.

කඩෙන් එළියට එනකොට තමයි මට හිතුණේ වකුගඩු රෝගී පෝලිමේ හිටිය අර මහත්තයා කියලා කටපුරාම කිව්වෙ අරවගේ අසමඡ්ජාතියෙකුටද කියලා. ජීවිතේ ඉල්ලගෙන කන්නලව් කරගෙන පෝලිමේ යන වකුගඩු රෝගීන්ව මුලා කරලා කීයක්‌ හරි හොයාගෙන කන්න තරම් මේ මිනිස්‌සු තිරිසන්නු වෙලා. වෙළෙන්දොa කියන්නේ මිනිස්‌සුන්ගේ ඉහමොළ හූරගෙන කන ජීවත් වෙන පිරිසක්‌ තමයි. ඒත් මේ වගේ ජීවිතේ අන්ත අසරණ වුණු රෝගියෙක්‌ විකුණගෙන කන තමන්ගෙ බඩවියත රැකගන්න මේ වගේ තිරිසනුන්ට සමාව දෙන්නේ කවුද?

මෙහෙම දවස්‌ දෙකතුනක්‌ ගියාම ආයෙත් මේ පිල්ටර් කතාව තවත් තැනකින් එළියට ආවා හැබැයි ඒ තැන ලංකාවෙවත් ලෝකෙවත් එසේ මෙසේ තැනක්‌ නොමෙයි. ලෝකෙටම උදව් කරන සිංහයොත් එක්‌ක ගෑවුණු පිරිසක්‌ තමයි මේ පිල්ටර් බෙදාදීමත් එක්‌ක ඉන්නේ. හැබැයි ඒ අය වකුගඩු රෝගීන්ගෙන් සතයක්‌වත් ගන්නේ නැහැ. මේ පෝලිම්වල ඉන්න රෝගීන් පොටෝ ගහලා යුරෝපය පුරා විකුණලා තමයි ඒ අය පිල්ටර් දෙන්න සල්ලි හොයන්නෙ. මේ පිල්ටරයක්‌ පරිත්‍යාග කරණ පරිත්‍යාගසීලියෙක්‌ යුරෝපයේ සල්ලිවලින් දෙනවානම් පවුම් තිහක්‌ දෙන්න ඕනේ. ඒ කියන්නේ රුපියල් හයදාහකටත් වඩා ටිකක්‌ වැඩියෙන්. මේ පිල්ටර් ජාවාරම ගැන තව ටිකක්‌ හොයලා බලලා පිල්ටරේකට ඒ තරම් ගානක්‌ යන්නේ නෑනෙ කිව්වම ඒකේ එක සංවිධායකවරියක්‌ කිව්වෙ මෙහෙමයි.

“අපි නිකම්ම පිල්ටරේ විතරක්‌ දෙන්නේ නෑ. වකුගඩු රෝගීන්ට පෝෂණ ආහාර මල්ලකුත් දෙනවා. ඒක නිසා තමයි රුපියල් හයදාහක්‌ එකතු කරන්නේ.

අනික මේ වකුගඩු රෝගීන් ඉන්නේ කොළඹ නොවෙයි. පදවිය, කැබිතිගොල්ලෑව, වවුනියාව, මහදිවුල්වැව, පූනෑව වගේ පළාත්වලයි. කොළඹ ඉඳලා අපේ කට්‌ටිය එහෙ යවන්න ඕනේ. කෑම බීම ඉඳුම් හිටුම් වියදම් වෙන කවුරුවත් දෙන්නෙ නැහැ. ඒක නිසා මේ ව්‍යාපෘතියෙන්ම තමයි ඒ සේරම දේවල් කවර් කරගන්න ඕනේ. ඒක නිසා අපි එක දානපතියෙක්‌ගෙන් රුපියල් 6000 ක්‌ අරගන්නවා. ඇඟට පතට කිසිම හිරිකිතයක්‌ නැතුව ඒ අම්මන්ඩි එහෙම කිව්ව. ඒත් නියම විදිහටම කියනවානම් මෙතන ඉන්නෙ ජීවිතයක්‌ ඉල්ලගෙන එන කෙනෙක්‌ව උකසට තියලා ඔවුන් තමන්ගෙ බඩ වියත පුරව ගන්නවා.

මේ අය තමයි කොළඹ ඉඳලා දුර ගෙවාගෙන ඇවිත් වකුගඩු රෝගීන්ට ආධාර දෙන්නේ. ආධාර දෙන හැටිත් ආධාර දෙන්න මුදල් ගසාකන කතන්දරෙත් ඇහුවොත් කිසිම වකුගඩු රෝගියෙක්‌ මේ ආධාර ගන්නේ නෑ. කොළඹ ජනමාධ්‍ය මේ මොනවත් දන්නෙ නෑ. රුපියල් ලක්‍ෂ ගණනින් වකුගඩු රෝගීන්ට ආධාර කළා කියලා තමයි ඒ අය ප්‍රවෘත්ති දුන්නේ.

අනුන් දෙන සල්ලි සේරම රෝගීන් අතට පත්වෙනවා නම් ඒකෙන් යම් සාධාරණයක්‌ තියෙනවා. එහෙමත් නෑ. රුපියල් හයදාහෙන් පිල්ටරේට රු. 2500 යි. පෝෂණ මල්ලට රුපියල් 500 යි. මුළු ඔක්‌කොම රුපියල් තුන්දාහකින් ෂේප් වෙනවා. ගෙඩිය පිටින්ම රුපියල් තුන්දාහක්‌ අතඋඩ ලාබයි. මේක තමයි දැන් හැමෝගෙම බිස්‌නස්‌ එක වෙලා තියෙන්නේ.

මේ එක සංවිධානෙකින් දුන්න පෝෂණ මල්ලක්‌ අපේ අල්ලපු වකුගඩු සායනේක අම්මා කෙනෙකුට ලැබිලා තිබුණා. ඒක තිබුණේ හීනටි හාල් කිලෝග්‍රෑම් 01 ක්‌, පොල් ගෙඩි දෙකක්‌, එක්‌ක තවත් රුපියල් දෙසීයක විතර සබන්, මදුරු කොයිල් වගේ දේවල්. සුපර් මාර්කට්‌ එකෙන්ම මේ දවස්‌වල රුපියල් දෙසිය හැටකට හීනටි හාල් කිලෝ එකක්‌ ගන්න පුළුවන්. මේකට තමයි කපටි රැල පෝෂණ මල්ල කියලා කියන්නේ.

මේ අතින් බලනකොට කොළඹ ඉඳලා දුර ගෙවාගෙන කැබිතිගොල්ලෑවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට මාසෙකට සැරයක්‌ ඇවිත් බෙහෙත් දෙන වෛද්‍ය නිශාන්ත කුමාරසිංහ මහත්තයා ඇතුළු කණ්‌ඩායම රටක්‌ වටිනවා. රුපියලක්‌වත් ගන්නේ නැතුව රෝගීන්ට මාසෙකට බෙහෙත් නොමිලේ දෙනවා. “දිවයින ඉරිදා සංග්‍රහය” මේක ගැන ලිව්වට පස්‌සේ දැන් රටපුරාම වකුගඩු රෝගීන් කැබිතිගොල්ලෑවට යනවා. ඒ වගේම උතුරුමැද පළාත් සභාවේ නන්දසේන ඇමැති තුමා මේ තැන බලන්න ගිහින් හැකි දෙයක්‌ ආණ්‌ඩුව ගාණෙ කරලා දෙන්න පොරොන්දු වෙලා.

මැදවච්චියේ ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාවෙත් මේ වගේම වකුගඩු සායනයක්‌ සෑම බ්‍රහස්‌පතින්දාවකයි සිකුරාදාවකයි පැවැත්වෙනවා. මෙතනට එන්නෙත් කුරුණෑගලයි කොළඹයි ඉඳලා සිංහල ආයුර්වේද වෛද්‍යවරුන්. සේරම දේවල් නොමිලේම කරලා දීලා බෙහෙත් ටිකක්‌ දෙනවා.

මේ තැන්වලට අමතරව මැදවච්චිය, පදවිය, වවුනියාව, අනුරාධපුර කියන රෝහල් වලත් වකුගඩු රෝගය වෙනුවෙන් සායන පැවැත්වෙනවා. මේ සායනවලට මුදල් අය නොකළත් සතිපතා දෙසතියකට වරක්‌ මාසෙකට වරක්‌ යම් යම් උපකරණ අරන් යන්න මුදලක්‌ වැය වෙනවා. ජීවිතය ඉල්ලන “මහලෙඩේ” හැදුණු රෝගීන් බැංකු ණයක්‌ හරි අරගෙන මේ මුදල් හොයා ගන්නවා.

පසුගිය සතියක මැදවච්චිය වකුගඩු සායනයන්ට ඇවිල්ල හිටිය මගෙ ළඟ උන්නු රෝගියා මහවැලියෙන් විශ්‍රාම අරන් එතකොට රුපියල් ලක්‍ෂ 11 1/2 ක්‌ අරන් ඇවිත් තිබුණා. වකුගඩු රෝගය හොඳ කරගන්න තමයි මේ මුලු මුදලම වියදම් කරමින් ඉන්නේ. සායනයට යන්න එන්න ත්‍රිරෝද රථයක්‌ රුපියල් ලක්‍ෂ තුනකට අරන් තියනවා. ඉතුරු මුදල වියදම් කරන්නේ මේ ලෙඩෙන් බේරෙන්න. ඒත් මේ ලෙඩේ හැදුණට පස්‌සෙ ආයෙ හොඳ කරන්න බෑ කියලා දැනෙන්නේ ටිකක්‌ ඥනයත් මොළයත් එක්‌ක ජීවත් වෙන අයට විතරයි. ඉතුරු සේරම දෙනා එක එක අයට අත්දෙක එකතු කරලා වැඳලා කියන්නේ කොහොම හරි සනීප කරලා දෙන්න කියලයි. ඒ වගේ අවාසනාවන්ත තත්ත්වයට වැටිලා ඉන්න අසරණ රෝගීන් උකස්‌ කරලා ඔවුන්ව විකුණලා තමන්ගෙ මඩිය තරකරගන්න සංවිධාන දැන් උතුරුමැදට උතුරට ඇවිල්ලා. එක එක නම් වලින් මේ අය පෙනී සිටිනවා. සල්ලි එකතු කරනවා. ලෙටර් හෙඩ්වල තියෙන්නේ රටේ ලොකු ලොකු අයගෙ නම් ගම්. මිනිස්‌සු රටට්‌ටලා සල්ලි එකතු කරනවා.

මේ අස්‌සේ වකුගඩු රෝගය වැළඳුණු අයත් එක එක වර්ගයේ ටිකට්‌ ගහලා ආධාර ඉල්ලනවා. පිල්ටර් ගන්න කියයි. වකුගඩු බද්ධ කරන්න කියයි. එහෙමත් නැත්නම් වකුගඩු පරික්‍ෂා කරන්න ඉන්දියාවට යන්න ඕනෙ කරපු මුදල හොයනවා කියලා තමයි ඒ ටිකට්‌ පත්වල සඳහන් වෙන්නේ. අපේ රටේ ඇත්තට වඩා බොරුව රජකරන හින්ද මේ ටිකට්‌ එකේ කියන ඔක්‌කොම ඇත්තද කියලා හිතෙනවා. සමහර වාහන ඇතුලේ වකුගඩු රෝගියෙක්‌ කියන කෙනෙක්‌ නිදිකරවගෙන ලවුස්‌පීකර් බැඳගෙන ආධාර ඉල්ලනවා.

ආණ්‌ඩුව සංඛ්‍යා ලේඛනවලට අනුව අවුරුද්දකට මේ රටට අලුතෙන් එකතු වෙන වකුගඩු රෝගීන් සංඛ්‍යාව 5000 ක්‌ 6000 ත් අතර වෙනවා. ඉන්න සංඛ්‍යාව 45000 කට වැඩියි. මේ අය වෙනුවෙන් බොරුවට සල්ලි එකතු කරලා ජීවත් වෙන අයත් 15000 ක්‌ විතර ඉන්නවා. මේ තත්ත්වය නවත්වන්න රජය වහාම පියවරක්‌ ගත යුතු වෙනවා.

මේකට කරන්න තියන හොඳම වැඩේ ලංකාවෙ ඉන්න සේරම වකුගඩු රෝගීන් එක තැනක ලියාපදිංචි කරන්න ඕනේ. වකුගඩු රෝගය වැළඳෙන ප්‍රධාන අවස්‌ථා හතරට අනුව වර්ග කරන මේ රෝගීන් ගැන ඕනෑම අයෙකුට බලාගන්න ක්‍රමයකුත් ඇති වෙන්න ඕනේ. එහෙම වකුගඩු රෝගය හැදිලා ජීවිතයක්‌ ඉල්ලන පිරිසට වෛද්‍ය ආධාරත් සෙසු ආධාරත් උපකාරත්, සහයෝගයත් එක තැනකින් එක ආයතනයකින් ලැබෙන්න ඕනෙ. අනිවාර්යෙන්ම ඒක රජයේ ආයතනයක්‌ වෙන්න අවශ්‍යයි. වකුගඩු රෝග වෙනුවෙන් ආධාරදීම අනෙකුත් දේ සපයාදීම පිළිබඳව රටේ ස්‌ථීර ප්‍රතිපත්තියක්‌ හා කොන්දේසි මාලාවක්‌ පැන වෙන්න ඕනේ. අනිවාර්යයෙන් රජයේ අධීක්‍ෂණයක්‌ මේ වැඩපිළිවෙළට තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ වකුගඩු රෝගීන් උකසට තියලා ඔවුන්ට විකුණලා ගසාකන හොර ව්‍යාපාරිකයෝ වගේම හොඳට ඉන්න මිනිස්‌සුන්ගෙ වකුගඩු දෙක ගලවලා විකුණන ජාවාරම්කාරයෝ පිරිසකුත් බිහිවෙන්න පුළුවන්. එහෙම පුළුවන් විතරක්‌ නෙවෙයි ඉන්දියාවේ දොස්‌තරලත් එක්‌ක එකතු වෙලා කන්ඩායමක්‌ එහෙමත් කරලා තිබුණා. දැනටමත් එහෙම වුණා කියන්නේ ඉදිරියට හරිම අවදානම්. මේ නිසා වකුගඩු හොරකම කරපු පිරිසත්, වකුගඩු රෝගීන් උකසට තියලා ඔවුන්ව විකුණාගෙන කන පිරිසක්‌ මට්‌ටු කරන්න ආණ්‌ඩුව නිසි පියවර ගත යුතුයි. මේ මාµsයාවන් වකුගඩු රෝගයට වඩා බරපතළ බව හැමෝම වටහා ගත යුතුයි.

3 n3-1

දිනසේන රතුමගේ

Logo

About freddy

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here