ම්ලේච්ඡ පාස්කු ප්‍රහාරයක දෙවසර සැමරීම: යුක්තිය නොදුටු කදුළු

0
106



සර දෙකකට ඉහතදී අද වැනි දිනක දී ලංකාවේ දේවස්ථාන කිහිපයක මෙන්ම පුද්ගලික හෝටල් ඉලක්ක කොට ගෙන සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර වලින් නිරායුධ අහිංසක ජනතාවක් ජීවිතයෙන් වන්දි ගෙවන ලදී.
කොළඹ කොච්චිකඩේ, කටුවපිටිය , මඩකලපුව ප්‍රදේශ‍ ගම්පිටින් මළගමක් බවට පත්විය.

කුඩා දරුවන් ඇතුළු පුද්ගලයන් දෙසීයකට පමණ ජීවිත අහිමි කරමින් තවත් පුද්ගලයන් ඇවිදින මළමිණී බවට පත්කළ මෙම බෝම්බ ප්‍රහාරය කටුවපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී පුපුරා ගියේ 2019 වසරේ අප්‍රෙල් 21 පාස්කු ඉරිදාය.

එදින උදෑසන 8.45ට පමණය. නිවසක් , නිවසක් ගානේ මළමිනී එසවුණු, සෑම ගෙදරකම ශෝක බැනර් එසවූ මෙවැනි ඛේදවාචයකට වසර 30 ක් පුරා මුහුණ දුන්නේ උතුරු නැගෙනහිර දෙමළ ජනයා පමණකි. එවැනි පිපිරුමක කම්පනය, වේදනාව දැනසිටියේ ඒ දමිළ ජනතාව පමණකි. ඒ වේදනාව කිසිදාක අමතක කළ නොහැකි බව දැන සිටියේ ද ඔවුන් පමණකි.

එබැවින් ඔවුන් සිය ආදරණියයන් අහිමිවීම කිසිදිනක අමතක කලේ නැත. ඒ සැමරුම් ඒ ඥාතීන් අමතක කළේ නැත.
නමුත් ශ්‍රී ලාංකීය දේශපාලනයේ අවසන් නොවන මිනිස් ඝාතන සංස්කෘතියේ පාපකාරී හෙවනැල්ල තමන් වෙත පැමිණෙනු ඇතැයි කිසිදිනක නොසිතූ කටුවපිටියේ කතෝලික ,ශ්‍රද්ධාවන්තයින් පිරිසකටද ඒ පාපයට ජිවිත වලින් වන්දි ගෙවන්නට සිදුවිය.
ඒ දුක් කදුළු ඔවුන්ගේ ඥාතීන්ද කිසිදා අමතක නොකරනු ඇත.

එබැවින් සියල්ලෝ එක්ව අදත් මෙම පාස්කු ප්‍රහාරය සහ ඉන් ජිවිත අහිමිවූවවන් කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී සිහිකරන ලදී. දේවස්ථානයේ පැවති සිහිකිරීමේ පුජාවට කතෝලික බැතිමතුන් සහභාගී වූ අතර මියගියවුන් වෙනුවෙන් තැනූ සිහිවටන වෙත මල් පහන් පූජාකිරීමේ පිළවෙත්ද සිදුකෙරුණි.

ඡායාරූප – ප්‍රියප්‍රේම මාණික්කරත්න