මාධ්‍යවේදියාට වධදී වෛද්‍ය වාර්තා බොරු කිරීමේ පොලිස් ගේම උසාවියේදී කෝට් !

0
87

අත්අඩංගුවේදී සිදුකළ වධහිංසා පැමිණවීමක් වසන් කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය විසින් දරන ලද උත්සාහයක් පීඩාවට පත් මාධ්‍යවේදියා විසින් අධිකරණය හමුවේ හෙළිදරව් කර තිබේ. නිදහස් ඡායාරූප ශිල්පී සහ දේශපාලන ක්‍රියාධාරී මලික අබේකෝන් අධිකරණය හමුවේ කියා සිටියේ, රාත්‍රියක් පුරාවට අමානුෂික වධහිංසා පැමිණවීමෙන් පසුව, පොලිසිය විසින් තමන් අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේදී බොරු වෛද්‍ය සාක්ෂි සකස් කරන ලද බවයි.

  ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධ විමර්ශනවලට උපකාර කිරීම හා වැඩි දුරට සාක්ෂි රැස් කිරීමට සදහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය යෝජනා සම්මත කර දින කිහිපයක් ගතවත්ම  දෙමළ මාධ්‍යවේදීන්ට එරෙහිව බිය ගැන්වීම් වල නැගීමක් දක්නට ලැබුන අතර එය දැන් දකුණට ද පැමිණ තිබේ.   අගනගරයේ පැවැති සෞඛ්‍ය සේවකයන්ගේ විරෝධතාවක් වාර්තා කරමින් සිටියදී  අප්‍රේල් 7  බදාදා මලික අබේකෝන් පොලිස්  අත්අඩංගුවට ගෙන තිබුනි.  
නිදහස් මාධ්‍යවේදියා අත්අඩංගුවට ගැනීම ජාත්‍යන්තරවශයෙන් ද  හෙලා දකිනු ලැබූ අතර, මාධ්‍ය අයිතිවාසිකම් කණ්ඩායමක් වන වන දේශසීමා රහිත වාර්තාකරුවන් (RSF) ඉල්ලා තිබුනේ ඔහු වහාම නිදහස් කරන ලෙසයි.

maradana police cruelty protest

maradana swc protestමාධ්‍යවේදී මලික අබේකෝන් පැහැරගැනීම හා පොලිස් පහරදීමට විරෝධය.     මලික අබේකෝන් වහාම නිදහස් කරන ලෙස ඉල්ලා ක්‍රියාකාරීන් කිහිප දෙනෙක් මරදාන පොලිසිය ඉදිරිපිට දී ද  විරෝධතා දැක්වූහ.   මෙම සිදුවීම සම්බන්ධයෙන් “විධිමත් හා අපක්ෂපාති පරීක්ෂණයක් පවත්වා වගකයුතු නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස” පොලිස්පතිවරයාට අවධාරණය කරමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කර තිබුණි.     
  සිහිසන් නැතිව ඇද වැටෙයි :      
වධ හිංසාවට ලක් වු මාධ්‍යවේදියා අප්‍රේල් 08 බ්‍රහස්පතින්දා මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරන විට, ඔහුට කිසිදු තුවාලයක් නොමැති බව පවසමින් පොලිසිය අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු (JMO) විසින් අත්සන් කරන ලද වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කර තිබුනි.   වේදනාවෙන් සිටි මාධ්‍යවේදියා JMO විසින් ව්‍යාජ වාර්තාවක් ලබා දී ඇති බවට කෑ ගසා කියමින්, විනිසුරුවරයාට පෙර රාත්‍රියේ මරදාන පොලිස් ස්ථානයේදී ඔහුට සිදුවූ පහර දීම් මඟින් ඇතිවූ තුවාල හා කැළැල් දැකගත හැකි වන සේ ඔහුගේ කමිසය ගලවා ඇත.  

ඔහු මහේස්ත්‍රාත්වරයාට දැනුම් දී ඇත්තේ පොලිස් පහරදීම හේතුවෙන් තමාට වාඩි වීමට පවා නොහැකි බවයි.   අත්අඩංගුවේ සිටියදී ඔහුට  කිසිදු වෛද්‍ය ප්‍රතිකාරයක් ලබා දී නොමැත.      
වධ හිංසාවට ලක්ව සිටි මාධ්‍යවේදියා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබා බන්ධනාගාර රෝහලෙන් නව වෛද්‍ය වාර්තාවක් ලබා දෙන ලෙස විනිසුරුවරයා නියෝග කළ අතර, අබේකෝන් උසාවිය තුළදී සිහිසුන්ව බිම ඇද වැටුණි.    

නඩු විභාගයට සහභාගී වූ සෞඛ්‍ය සේවක සංගමයේ සාමාජිකයන් කඩිනමින් මාධ්‍යවේදියාට ප්‍රථමාධාර ලබා දී තිබු අතර පසුව ඔහු රෝහල් ගත කරන ලදී.   ඔහු අප්‍රේල් 12  සඳුදා යළි විනිසුරුවරයා ඉදිරියේ පෙනී සිටීමට නියමිතය.    
    පොලිස් ස්ථානවල වධහිංසා 13 ක් !      
පොලිස් ප්‍රහාරයට ලක්වී මලික අබේකෝන් උසාවි ගෙන ආ දිනයේම අගනුවර උද්ඝෝෂණයක් පවත්වමින්  සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව කියා සිටියේ පොලිස් විශේෂ කාර්ය බලකායේ භටයන් විසින් බුස්ස බන්ධනාගාරයේ සිරකරුවන්  දිගින් දිගටම විශාල වධ හිංසනයකට ලක් කරන බවයි.      

  මේ වසරේ ගෙවීගිය පළමු මාස දෙක තුලදී පමණක් දකුණුදිග පළාත් කිහිපයක පොලිස් වධහිංසන සම්බන්ධ පැමිණිලි දහතුනක් සිය සංවිධානය වෙත ලැබී ඇති බව වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුව පසුගියදා නිවේදනය කර තිබුනි.      

වධහිංසාවෙන් වැළකී සිටීමට ඇති අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මූලික අයිතියක් පමණක් නොව 1994 අංක 22 දරණ පනත අනුව පුද්ගලයකු වධහිංසාවට ලක් කිරීම තරාතිරම නොබලා අපරාධ වගකීමකට යටත් කළ හැකි වරදක් බවත් වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුව රජයට අවධාරණය කර සිටී.   ගාල්ල දිස්ත්‍රික්කයේ පිටිගල පොලීසිය, මාතර දිස්ත්‍රික්කයේ  හක්මන පොලීසිය, හම්බන්තොට දිස්ත්‍රික්කයේ  වලස්මුල්ල හා තංගල්ල පොලීසිය, කුරුණැගල දිස්ත්‍රික්කයේ පොතුහැර හා වැල්ලව පොලීසිය, කළුතර දිස්ත්‍රික්කයේ අලුත්ගම, කොස්ගොඩ හා පයාගල පොලීසිය, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අරලගන්විල ආදී පොලිස්ථාන වල සිද්ධීන් එක බැගින්ද ගම්පහ දිස්ත්‍රික්කයේ පෑලියගොඩ පොලීස්ථානය තුලදී සිදුවු පොලිස් වධ හිංසන තුනක්ද වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුවට වාර්තා වී තිබේ.    
theleader.lk