මාධ්‍යවේදී මලික අබේකෝන් පැහැරගැනීම හා පොලිස් පහරදීමට විරෝධය!

0
127

කම්කරු විරෝධතාවයක් අතරතුරදී පොලිසිය විසින් ඊයේ (අප්‍රේල් 7) අත්අඩංගුවට ගනු ලැබූ නිදහස් මාධ්‍යවේදියකුට අමානුෂික ලෙස පහරදීම හා වෛද්‍ය ප්‍රතිකාර ලබා නොදීම සම්බන්ධව විරෝධය දක්වමින් මරදාන පොලිසිය ඉදිරිපිට මේවනවිට විරෝධතාවක් පැවැත්වේ.   නිදහස් මාධ්‍යවේදී මලික අබේකෝන් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ,  සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඊයේ (අප්‍රේල් 7) කොළඹ ජාතික රෝහල ඉදිරිපිටින් ආරම්භ කළ විරෝධතා පාගමන වාර්තා කරමින් සිටියදිය.    ඉල්ලීම් 11ක් මුල් කරගනිමින් ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබිණ.   මේ වනවිට මරදාන පොලිසියේ රඳවා සිටින  මලික අබේකෝන් පහරදීමට ලක්ව ඇති අතර වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමද සිදුව නොමැත.   ඊයේ රාත්‍රියේ වෘත්තිය සමිති ක්‍රියාකාරින් හා නීතිඥවරයකු මරදාන පොලිසිය වෙත ගියද පොලිසිය විසින් මලික හමුවීමට අවස්ථාවක් ද ලබා දී නැත.   

maradana police cruelty protest
maradana swc protest

    මේ ආකාරයට, පොලිස් භාරයේ සිටින පුද්ගලයකුගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයකුට ඊට අවස්ථාව ලබාදීම ද මරදාන පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේපකර ඇත.   වත්මන් ගෝඨාභය රාජපක්ෂ පාලනය කම්කරු අයිතිවාසිකම් යටපත් කරමින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතින් නොතකා මර්දනකාරී පාලනයක් කරා යමින් සිටින බව විරෝධතාවයට එක්ව සිටින පිරිස් පවසති.   පොලිසිය නීතිය සියතට ගෙන විවිධ අවස්ථා ගණනාවකදී ජනතාව තලා පෙළමින් මිනිමරු ක්‍රියාකරිත්වයකට මාරු වෙමින් සිටින අතර මෙම තත්වය වහාම අනාවරණය කරමින් ඊට එරෙහිව ජනතා බලයක් ගොඩනැගීමේ අවශ්‍යතාව පැන නැගී ඇතැයි ද ඔවුන් අවධාරණය කර සිටිති.