මාළුන්ට සැත්කම් කරන අපූරු දොස්තර

0
677

FB_IMG_1564250632237FB_IMG_1564250637745FB_IMG_1564250641720

මෙරට වෛද්‍ය­වරු නම් බොහෝය. මිනිස් සිරුරේ විවිධ රෝග සම්බ­න්ධ­යෙන් විවිධ විශේ­ෂඥ වෛද්‍ය­වරු සිටිති. සතුන් සදහා ද විශේෂ ප්‍රති­කාර ක්‍රම අනු­ග­ම­නය කරන සත්ත්ව වෛද්‍ය­වරු සිටිති. මේ සත්ත්ව වෛද්‍ය­වරුන් අතර මාළුන්ට වෙද­කම් කරන වෛද්‍ය­ව­ර­යකු අපේ රටේ සිටින බව ඔබ මීට පෙර අසා සිටි­නවා ද? මේ කතාව එවන් මාළුන්ට විවිධ අන්ද­මින් ප්‍රති­කාර කරන අපූරු දොස්තර කෙනෙකු ගැනය.

* සැත්කම කරන්නේ මාළුවා ගොඩට අරන් වතුර ඉසි­මින්
* ඔක්සි­ජන් දෙමින් පළමු සැත්කම සෙන්ටි මීටර් 2.5ක් දිග ගප්පි­යෙ­කුට
* වැඩි­යෙන්ම බෙහෙත් කර තියෙන්නේ අර­වානා ට

“ජලයේ වෙසෙන අස­නී­ප­යෙන් සිටින මාළු­වකු ගොඩට ගෙන අවශ්‍ය නම් සැත්කම් ආදිය සිදු කර ජීවි­තය ලබා දෙන වෛද්‍ය­ව­ර­යකු සිටි­නවා.” මා ඔබට එසේ කීවොත් ඔබ පුදුම වන බව මට ස්ථිරයි. මන්ද මේ කතාව ඇසී­මෙන් අප ද පුදුම වූ බැවිනි. එහෙත් මසුන්ට වෙද හෙද­කම් කරන තරු­ණ­යෙක් පසු­ගිය දා අප කාර්යා­ල­යට ගොඩ වැදු­ණේය.

බුද්ධ­දාස රජ­තුමා නාග­යෙ­කුගේ උද­රය පළා ගෙඩි­යක් ඉවත් කළ බව අප අසා තිබෙන ප්‍රකට කතා­වකි. සත්ත්ව අහිං­සාව අග­යන අපේ රටේ සතුන්ට වෙද­කම් කිරීම අමුතු දෙයක් නොවේ. බල්ලන් බළ­ලුන්, අලි ඇත්තුන් ආදි සතුන්ට වෙද­කම් කිරීම ගැන කොතෙ­කුත් කතා අප අසා තිබුණ ද මත්ස්‍ය­යන්ට වෙද හෙද­කම් කිරීම ගැන නම් අප ජාතක කතා­ව­ක­වත් අසා නැත. කොහොම වුණත් මාළුන්ට වෙද­කම් කිරීම පිළි­බඳ මෙතෙක් අසා නොති­බුණු නිසා ඔහු කියූ කතා අපට අරු­ම­යක් විය. ඔහු වාරි­ය‍පොළ ඉරෝෂ් අක­ලංක බණ්ඩාර ය.

“ලංකාවේ මත්ස්‍ය වගාව (Aqua culture) විත­රයි තියෙන්නේ. මත්ස්‍ය­යන්ට ප්‍රති­කාර කිරීම (Aqua tic vetinary) නැහැ. මම පුංචි කාලේ ඉඳලා සුර­තල් මසුන් ඇති කළා. ඒ නිසාම මාළුන්ගේ ලෙඩ රෝග ගැන, මාළුන්ට ප්‍රති­කාර කිරීම ගැන සොයා බලන්න මගේ විශේෂ කැමැ­ත්තක් තිබුණා. ඒත් ලංකාවේ මේ සම්බ­න්ධ­යෙන් ඉගෙන ගන්න ගුරු­වරු නැහැ. ඒ සම්බ­න්ධ­යෙන් ලියැ­වුණු පොත්පත් නැහැ. ඒ නිසා මම මේ විෂය ගැන දැනුම ලබා­ගත්තේ අන්ත­ර්ජා­ල­යෙන්. මාළුන්ගේ ලෙඩ රෝග ගැන, මාළුන්ගේ ශරීර අභ්‍ය­න්තර ඉන්ද්‍රි­යන් ගැන, මාළුන්ට ප්‍රති­කාර කරන ආකා­රය ගැන මම පිය­ව­රෙන් පිය­වර ක්‍රමා­නු­කූ­ලව අධ්‍ය­ය­නය කළා. මේ විෂය සම්බ­න්ධ­යෙන් ලියැ­වුණු පොත්පත් අන්ත­ර්ජා­ලය මඟින් ගෙන්වා ගත්තා. යනු­වෙන් සාක­ච්ඡා­වට පිවි­සි ඉරෝෂ් පැවැසීය.

ඔහු න්‍යායා­ත්මක ව උකහා ගත් දැනුම ප්‍රායෝ­ගි­කව අත්හදා බැලීම ඊළඟ පිය­වර විය. ඒ සඳහා සුර­තල් මසුන් ඇති කරන ස්ථාන­වල ඉවත් කරන මිය ගිය මාළුන් මෙන් වෙළෙ­ඳ­පොළේ අලෙවි කිරී­මට තිබෙන මාළුන් රැගෙන නි‌ෙව­සට ගොස් කපා පරීක්ෂා කර­මින් මාළුන්ගේ ශරීර අභ්‍ය­න්ත­රය ගැන හැදෑ­රුවේ වෛද්‍ය සිසුන් ද මළ­සි­රුරු කපා මිනිස් සිරුර ගැන ඉගෙන ගන්නා බැවිනි. ඉන් අන­තු­රුව මසුන්ගේ කර­මල්, හම රුධි­රය පරීක්ෂා කිරී­මෙන් ලෙඩ­රෝග හඳුනා ගැනී­මට ඔහු ඉගෙන ගත්තේය. මේ ආකා­ර­යට මාළුන්ගේ ලෙඩ­රෝග හඳුනා ගැනී­මත් ශල්‍ය­කර්ම සිදු කරන ආකා­රය පිළි­බ­ඳත් ස්වයං අධ්‍ය­ය­න­යට ලක් කළ ඉරෝෂ් අක­ලං­කට වැර­දුණු අවස්ථා ගණ­නා­වකි.

“මම පරී­ක්ෂණ කරන්න තෝරා ගත්තේ සුර­තල් මසුන් හදන තැන්වල සිටි ලෙඩ හැදුණු මාළු, ඒ විදි­හට මම පරී­ක්ෂණ කරද්දී මාළු 100ක් 200ක් විතර මැරුණා. ඒකට හේතුව වුණේ පොතේ තිබෙන ක්‍රමය ප්‍රායෝ­ගි­කව 100%කින් යොදා­ගැ­නී­මට බැරි වීම. උදා­හ­ර­ණ­යක් හැටි­යට මාළුන් නිර්වි­න්ද­නය අව­ස්ථාව ගනි­මුකො. සම­හර වේලා­වට පොතේ තිබෙන මාත්‍රාව දුන්නාම මාළුවා මැරෙ­නවා. ඒ නිසා මාළු­වාගේ යෝග්‍ය­තාව අනු­වයි නිර්වි­න්දන ඖෂධ මාත්‍රාව දිය යුතු වෙන්නේ. එය මම අත්දැ­කී­මෙන් සොයා­ගත් දෙයක්. අනෙක වතුරෙ ඉන්න මාළුවා ගොඩට අරන් සැත්කම් කරන විට මාළු­වාට වතුර දම­මින්, තෙම­මින් නඩත්තු කළ යුතුයි. නැති නම් ඌ මිය යනවා. ඒ අත­ර­වා­ර­යේදී ඔක්සි­ජන් දෙන්න ඕනෑ. මම ප්‍රායෝ­ගි­කව පරී­ක්ෂණ කට­යුතු කරන විට නිර්වි­න්ද­නය කිරීමේ ගැටලු මතු වුණා. රුධිර වහ­නය නව­ත්වන්න බැරි වුණා. ශල්‍ය­කර්ම කරන මොහො­තේදී අභ්‍ය­න්තර අව­ය­ව­ව­ලට හානි වුණා. මේ වගේ වැරදි හේතු­වෙන් මම පරී­ක්ෂ­ණ­ව­ලට ගෙනාපු ලෙඩ මාළු 100ක් 200 ක් විතර මැරුණා. මම මගේ වැරදි අඩු­පාඩු හදා­ගෙන තමයි මේ තැනට ඇවිත් ඉන්නේ. ඒ හැම අත්දැ­කී­මක්ම මට ලොකු පාඩ­මක් ඉගැ­න්වුවා.” යනු­වෙන් ඉරෝෂ් අක­ලංක බණ්ඩාර සිය ගමන් මඟ විස්තර කළේය.

ඉරෝෂ් අක­ලංක මසුන්ට ප්‍රති­කාර කිරීම ආරම්භ කළේ 2018 වසරේ මුල් භාග­යේ­දීය. ඒ සෙන්ටි මීටර් 2.5ක දිගින් යුතු ගප්පි මාළු­ව­කුගේ උද­රයේ තිබූ ගෙඩි­යක් සැත්ක­ම­කින් ඉවත් කිරී­මෙනි. ඒ සඳහා ඔහුට විනාඩි 10ක් 15ක් පමණ ගත විය. ඔහු එම ශල්‍ය­ක­ර්මය සිදු කරන ආකා­රය වීඩියෝ කර සිය මුහු­ණු­පො­තට එක් කළේ ය. එය ඔහුගේ ජීවි­තයේ හැර­වුම් ලක්ෂ්‍ය­යක් බඳුවිය.

මුහු­ණු­පොතේ තිබෙන මත්ස්‍ය ශල්‍ය­ක­ර්මය දුටු බොහෝ දෙනකු ඉරෝෂ් අමතා ප්‍රති­කාර කරන ලෙස ඉල්ලීම් කළේ කිසිම පශු වෛද්‍ය­ව­ර­යකු මසුන්ට ප්‍රති­කාර නොක­රන බැවිනි. ටැංකිවල සිටින මසුන් රෝගි වූ විට සිදු කෙරෙන්නේ ඌ සෙසු මාළු­න්ගෙන් වෙන් කර ජල­යට බෙහෙත් එකතු කිරී­මය. ඒ හැර මාළුන්ට සැත්කම් කිරීම් නම් සිදු කෙරෙන්නේ නැති තරම් ය.

සිය නි‍ෙවසේ කොට­සක විද්‍යා­ගා­ර­යත් ශල්‍යා­ගා­ර­යත් සකස් කර ගෙන මසුන්ට ප්‍රති­කාර කිරීම ඇරඹූ ඉරෝෂ් අද රාජ­ගි­රියේ ෆිෂ් ෆික්ස් ශ්‍රී ලංකා (Fish Fix Sri Lanka) යනු­වෙන් සාය­න­යක් පව­ත්වා­ගෙන යන්නේ ඔහුට ලැබෙන ඉල්ලුම සපු­රා­ලීම සඳහා ය.

“මම මාසෙ­කට මාළු­වන්ගේ සැත්කම් 10ක් 15ක් විතර කර­නවා. මාතර, අම්පාර, අනු­රා­ධ­පුර, හලා­වත වගේ බොහෝ දුර පළා­ත්ව­ලින් මට කතා කර­නවා. මම ජංගම සේවා­වක් සප­යන්නේ. සැත්ක­ම්ව­ලට අවශ්‍ය උප­ක­රණ, ඖෂධ වර්ග සිය­ල්ලම බෑග් එකේ දාගෙන මම බස් එකේ යනවා. ඉස්සන් කොටු­වල රෝග පැති­රු­ණාම මට එන්න කියලා උප­දෙස් ගන්නවා. එක පාරක් විසි­තුරු මසුන් ව්‍යාපා­ර­යක් කරන කෙ‍නකුගේ ලක්ෂ ගණන් වටිනා මාළුන්ට රෝග­යක් වැල­ඳිලා. මාළු මැරි මැරී ගිහින්. මාළු සම්බන්ධ විශේෂ දැනු­මක් තියෙන පිරි­ස­ක­ගෙන් ඒ ගැන අහ­පු­වාම උප­දෙස් දීලා තිබෙන්නේ ක්ලෝරින් දාලා මරන්න කියලා. ඒ පාර ඒ අය මාව හොයා­ගෙන ආවා. මම ගිහින් බලලා මාළුන්ට බෙහෙත් දැම්මා. මගේ බෙහෙ­තින් මාළු ටික සනීප වුණා. මැරුවා නම් අප‍රාදේ. ලක්ෂ ගණන් වටිනා මාළු.”

ඔහු මසුන්ට සැත්කම් කරන විට මැහුම් දමන්නේ ශරීර අභ්‍ය­න්තර ඉන්ද්‍රී­ය­න්වල කැපුම් තුවා­ල­ව­ලට පමණි. ශරී­රයේ බාහිර කැපු­ම්ව­ලට මැහුම් දමන්නේ නැත. ඊට ‍යොදන්නේ බෙහෙත් පමණි. ඉරෝෂ්ට ඔහුගේ ප්‍රති­කාර කට­යු­තු­ව­ලට සහාය වීමට කෙනෙක් නැත. කතුරු, පෝසෙප් අඬු අතට දීමට කෙනෙකු නැත. වෙදාත් ඔහුය. සහා­ය­ක­යාත් ඔහුය. ඔහුගේ ප්‍රති­කාර කට­යුතු සිදු වන්නේ “වන් මෑන් ෂෝ” එකක් මෙනි.

මෙතෙක් ඔහු කළ සැත්කම් අත­රින් වැඩි­පු­රම සැත්කම් කිරී­මට සිදු වී තිබෙන්නේ අර­වානා මාළු­න්ටය. එයින් මාළුන්ගේ ඇස පාත් වීම (drop eye), කර­මල වක්‍ර වීම (gill curl) සහ මාළුන්ගේ වරල් විශාල කිරීම (cosmetic) යන රෝග සඳහා ශල්‍ය­කර්ම සිදු කර තිබේ. ඒ හැර මාළුන්ගේ පණු අමා­රු­ව­ලට බෙහෙත් දීම, ගෙඩි සහ තුවා­ල­ව­ලට ප්‍රති­කාර කිරීම පර­පෝ­ෂි­ත­යන් ඉවත් කිරීම, බැක්ටී­රියා – දිලීර – ක්ෂුද්‍ර ජීවී­න්ගෙන් ඇති වන ආසා­දන සඳහා ප්‍රති­කාර කිරීම වැනි සාය­නික කට­යුතු ඔහු අතින් සිදු වේ. ඊට අම­ත­රව මාළුන් වාසය කරන ජලය පරීක්ෂා කිරී­මත් ඔහු­ගෙන් සිදු වන තවත් එක් සේවා­වකි. එම සේවා­වන් සැප­යීම සඳහා අවශ්‍ය උප­ක­රණ මිල දී ගැනී­මට ඔහු මුදල් උප­යා­ගෙන තිබෙන්නේ වායු­ස­මන යන්ත්‍ර කාර්මි­ක­යකු වශ­යෙන් විදෙස් රටක සේවය කිරී­මෙනි.

“මම වාය­රි­ය­පොළ ශ්‍රී සුමං­ගල ජාතික පාසලේ ඉගෙන ගත්තේ. අ.පො.ස. උසස් පෙළට ජීව විද්‍යාව හැදෑ­රුවේ ඒ අංශ­යෙන් ඉදි­රි­යට යන්න හිතා­ගෙන. ඒත් මට විශ්ව­වි­ද්‍යා­ලයෙ යන්න ලකුණු මදි වුණා. මම දෙවෙනි පාර අ.පො.ස. උසස් පෙළ නොකළේ මට විය­දම් කරන්න අපේ අම්මාට අමාරු වුණ නිසා. ඊට පස්සේ මම කටු­බැද්ද තාක්ෂ­ණික ආය­ත­නයේ වායු සම­නය කරන යන්ත්‍ර කාර්මික පාඨ­මා­ලාව හදා­රලා පුහු­ණුව ලබලා රට ගියා. මාළුන්ට ආස වුණාට මාළු ගැන ඉගෙ­න­ග­න්නත් පරී­ක්ෂණ කර­න්නත් සල්ලි ඕනෑ නේ. මම හම්බ කරපු සල්ලි වලින් තමයි මට අවශ්‍ය පොත්පත් ගත්තේ. සැත්ක­ම්ව­ලට අවශ්‍ය උප­ක­රණ, බේත්හේත් ගත්තේ. මම අද යම්තාක් දුර­කට මගේ ශල්‍යා­ගා­රය සහ විද්‍යා­ගා­රය හදා­ගෙන තිබෙ­නවා. ඒත් මෙහි ලොකු පහ­සු­කම් නැහැ. මම තනි­යම මේ ගමන ආවේ. මට කවු­රු­හරි උදව් කර­නවා නම් විද්‍යා­ගාර පහ­සු­කම් පුළුල් කර­ගෙන තව ඉස්ස­ර­හට යන්න පුළු­වන්. මම දන්න තර­මින් මාළුන්ට සැත්කම් කරන, ප්‍රති­කාර කරන අය ලංකා‍වේ කොහේ­වත් නැහැ. මම මාළුන්ට කරන සැත්ක­ම්වල වීඩියෝ ‍ෆේස්බුක් දානවා. ඒ කිසිම වෙලා­වක මෙවැනි ප්‍රති­කාර කරන තව කෙනෙකු ගැන සඳ­හ­න­ක්වත් නැහැ.

“ගොඩාක් දෙනා මාළුන්ගේ ලෙඩ­රෝ­ග­ව­ලට බේත් කරන්න පුළු­වන් ද කියලා තමයි අහන්නේ. ඒ නිසා මම හිත­නවා මාළුන්ට ප්‍රති­කාර කරන කෙන­කුට ලංකාවේ ඉන්නේ මං විත­රයි කියලා. ඒ නිසා කවු­රු­හරි මට උදව් කර­නවා නම් මගෙන් සැල­සෙන සේවය තවත් පුළුල් විදි­හට සප­යන්න පුළු­වන්.” යනු­වෙන් ඉරෝෂ් අක­ලංක බණ්ඩාර දීර්ඝ වශ­යෙන් විස්තර කළේ සිත තුළ තෙර­පෙන අනා­ගත අපේක්ෂා පිළි­බඳ දැස් දල්වා ගනි­මිනි.

එහෙත් ඔහු පව­සන ආකා­ර­යට ඔහුට බොහෝ ආය­ත­න­ව­ලින් උදව් උප­කාර කිරී­මට පැකි­ළෙන්නේ ඔහු අධ්‍යා­පන සුදු­සු­කම් සපුරා නොති­බීම නිසාය. එනම් විශ්ව විද්‍යා­ල­ය­කින් පිළි­ගත් උපා­ධි­යක් ඔහුට නැත. ඇත්ත වශ­යෙන්ම ඔහු පශු වෛද්‍ය­ව­ර­යෙක් ද නොවේ. ගැමි ව‍හරෙන් පව­සන්නේ නම් ඔහු ගොඩ­වෙ­දෙකි. එහෙත් ඔහු මත්ස්‍ය­යන්ට ප්‍රති­කාර කිරී­මෙන් ගෘහා­ශ්‍රිත සහ ව්‍යාපා­රික වශ­යෙන් මසුන් ඇති කර­න්නන් හට අප­මණ සේව­යක් සල­සයි. ඔහුගේ සේවය කිසිසේත් සුළුකොට තැකිය නොහැ­කිය.

ඉරෝෂ් මේ වන විට තරුණ සත්ත්ව­වේදි සංග­මයේ සාමා­ජි­ක­යෙකි. ඔහුගේ එකම බලා­පො­රො­ත්තුව ඒක දේශික මත්ස්‍ය­යන් පිළි­බඳ පර්යේ­ෂණ කිරී­මය. එවැනි පර්යේ­ෂණ කට­යුතු සඳහා ඔහු‍ට විශ්ව විද්‍යා­ල­වල සහාය අනි­වා­ර්ය­යෙන් ලබා­ගත යුතුය.

“මගේ දැනුම රටට දීලා සේව­යක් කරන්න මම බලා­පො­රොත්තු වෙනවා.” යන්න ඉරෝෂ්ගේ සිහි­නය එයයි. ඔහුගේ සිහි­නය බොඳ නොවේවා’ යි අපි ප්‍රාර්ථනා කරමු.

හර්ෂා සුගතදාස
-Silumina-