මිරර් වෙබ් අඩවියට බාධා . වෙබ් මාධ්‍යකරුවෝ විරෝධය පළකරති…

0
81

pwjaඅන්තර්ජාල පුවත් වෙත පිවිසීමට ශ්‍රී ලංකාව තුළ පමුණුවා ඇති තෝරාගත් බාධා කිරීම් වල අළුත්ම ගොදුර බවට පත්ව ඇත්තේ ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවිය බව වෘත්තිමය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය පවසයි.

එම සංගමය විසින් එහි කැඳවුම්කරු ෆ්‍රෙඩී ගමගේ මහතාගේ අත්සනින් යුක්තව  නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක මේ බව දැක්වේ.

ශ්‍රී ලංකා මිරර් යනු ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශයේ ඉහත ඉල්ලීමට අවනත වූ මුල්ම අඩවි අතුරින් එකක් වුවද, සාපේක්ෂ වශයෙන් පවතින ඔවුන්ගේ ස්වාධීන පුවත් වාර්තාකරණ ස්ථාවරය හේතුවෙන් අපරාධ විමර්ශන අංශයේ වැටළීම් හා අධිචෝදනා වලට මුහුණදීමට ඔවුන්ට පසුගිය කාලයේදී සිදුවිය.

මේ වන විට ශ්‍රී ලංකා මිරර් වෙත පිවිසීමට සම්පූර්ණයෙන් බාධා පමුණුවා තිබේ, යැයි මෙම මාධ්‍ය නිවේදනය සඳහන් කරයි.

මාධ්‍ය නිදහස, සමාජ ජාල හා ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් පාලන රෙජීමය විසින් පසුගියදා පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේදී එකඟතාවය පළ කර ඇති බවත්, ඉදිරි දෙවසරක කාලයක පොදුරාජ්‍ය මණ්ඩලීය එකතුවේ සභාපති ලෙස කටයුතු කරන මෙරට රාජ්‍ය නායකයාගෙන් මෙලෙස එකඟ වූ ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිඥාවලට ගරු කරන මෙන් ඉල්ලා සිටීම, පොදුරාජ්‍ය මණ්ඩලීය රටක වැසියන් ලෙස ශ්‍රී ලංකාවේ වැසියන්ගේ අයිතිය හා වගකීම වන බවත් මෙම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

වෘත්තිමය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය විසින් නිකුත් කළ සම්පූර්ණ මාධ්‍ය නිවේදනය මෙසේය.

පුවත් වෙබ් අඩවිවලට බාධා පමුණුවීම මගින් ප්‍රකාශන හා සමාජීය සංවාදය සඳහා වූ මහජන අයිතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් සිදුකෙරෙන නිවේදනයයි.

මහජන අයිතියක් වන ප්‍රකාශන හා සමාජීය සංවාදය තහවුරු කෙරෙන එකම ක්‍රමය වන්නේ අන්තර්ජාලය ඔස්සේ වෙබ් අඩවි දක්වා පැතිරී ගිය නිදහස් හා ස්වාධීන මාධ්‍ය ක්‍රියාකාරිත්වයයි.

එම ක්‍රියාකාරිත්වයට මේ වන විට ප්‍රකාශන අයිතිය, මාධ්‍ය නිදහස හා ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටින්නේ යැයි පවසන රාජපක්ෂ රෙජීමය විසින් බරපතල ලෙස බාධා පමුණුවා තිබෙන බව මෙමගින් දැනුම් දෙමු.

ශ්‍රී ලංකාව පිළිබඳ පුවත් හා තොරතුරු වාර්තා කරන, මෙරට වැසියන් සංවාදශීලිවන වෙබ් අඩවි අතුරින්ටැමිල්නෙට්, ශ්‍රී ලංකා ගාඩියන්, ලංකාඊනිවුස් ඇතුළු වෙබ් අඩවි 6කට අධික සංඛ්‍යාවකට පිවිසීමට මේ වන විට මෙරට වෙසෙන ලක්වැසියන් ට බාධා පමුණුවා ඇත.

අන්තර්ජාල පුවත් වෙත පිවිසීමට පමුණුවා ඇති මෙම තෝරාගත් බාධා කිරීම් වල අළුත්ම ගොදුර බවට පත්ව ඇත්තේ ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවියයි.

ශ්‍රී ලංකාව තුළ පවත්වාගෙන යන හා මෙරට සම්බන්ධ පුවත් හා තොරතුරු වාර්තා කරන වෙබ් අඩවි මෙරට ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශයේ ලියාපදිංචි විය යුතු බව එම අමාත්‍යංශය ප්‍රකාශයට පත්කර තිබුණද, මුද්‍රිත හා ඉලෙක්ට්‍රොනික මාධ්‍ය වලට මෙන් නොව, වෙබ් පුවත් වලට එවැනි නීතිමය බැඳීමක් නොපවතියි.

ශ්‍රී ලංකා මිරර් යනු ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශයේ ඉහත ඉල්ලීමට අවනත වූ මුල්ම අඩවි අතුරින් එකක් වුවද, සාපේක්ෂ වශයෙන් පවතින ඔවුන්ගේ ස්වාධීන පුවත් වාර්තාකරණ ස්ථාවරය හේතුවෙන් අපරාධ විමර්ශන අංශයේ වැටළීම් හා අධිචෝදනා වලට මුහුණදීමට ඔවුන්ට පසුගිය කාලයේදී සිදුවිය. මේ වන විට ශ්‍රී ලංකා මිරර් වෙත පිවිසීමට සම්පූර්ණයෙන් බාධා පමුණුවා තිබේ.

සාම්ප්‍රදායික මාධ්‍ය නාලිකා හා මුද්‍රණකරුවන් විසින් මගහරින ලද පුවත් හා තොරතුරු දැනගැනීමට වෙබ්අඩවි කරා යාමට නාගරික මාධ්‍යම පාන්තිකයන් දක්වන ප්‍රවණතාවය වර්ධනය වීම මෙයට හේතුවක් විය හැක.

නායකයා අනුගමනය කිරීමට බලකෙරෙන මාධ්‍ය සංස්කෘතියක් තුළ,  ඇතැම් අවස්ථා වලදී හා ආචාර්ය ධර්මවලට අනුව රෙජීමය හා ගමන්කිරීමට ඇතැම් කර්තෘවරුන් හා මාධ්‍යවේදීන් එකඟ නොවන විටදී, අධික දූෂණ, වංචා, කළු සල්ලි සේදීම හා ඥාතිවාදය සමග සිදුවන පවතින පාලනයට මෙලෙස වර්ධනය වන අන්තර්ජාල සංස්කෘතිය නව තර්ජනයක් සේ දිස්වේ.

පාලන රෙජීමය විසින් පසුගියදා පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේදී එකඟතාවය පළ කළ හා ඊට සමගාමීව පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය මහජන සංසද සමුළුවේදී මාධ්‍ය නිදහස, සමාජ ජාල හා ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් සමාප්ති එකඟතාවයට එක් කළ දෑ ඔවුන් ගරු නොකරන ප්‍රතිඥාවන් ය. සමාජයට පිටස්තර අධිකාරවාදී රෙජීමයක් ලෙස ඔවුන්ට ගරුකිරීමට නොහැකි ප්‍රතිඥාවන් ය. කෙසේ වෙතත්, ඉදිරි දෙවසරක කාලයක පොදුරාජ්‍ය මණ්ඩලීය එකතුවේ සභාපති ලෙස කටයුතු කරන මෙරට රාජ්‍ය නායකයාගෙන් මෙලෙස එකඟ වූ ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිඥාවලට ගරු කරන මෙන් ඉල්ලා සිටීම, පොදුරාජ්‍ය මණ්ඩලීය රටක වැසියන් ලෙස ශ්‍රී ලංකාවේ වැසියන්ගේ අයිතිය හා වගකීම වේ.

සාමකාමී, විවෘත සංවාද හා නිදහස්, වගකිව යුතු මාධ්‍ය ඇතුළු නිදහස්ව තොරතුරු ගලායමටත්, ප්‍රජාතාන්ත්‍රික සංස්කෘතීන් හා ක්‍රියාවලීන් ශක්තිමති කිරීමටත් කටයුතු කරන බවට පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල රාජ්‍ය නායකයන් යළි ප්‍රතිඥා දී තිබේ.

සාමය හා සංවර්ධනය සඳහා දායකවීමට මාධ්‍ය හි භූමිකාවේ වැදගත්කම ඉස්මතු කර ඇති ගෞරවය හා අවබෝධය පිළිබඳ පොදුරාජ්‍ය මණ්ඩලීය කොමිසම විසින් ප්‍රජාතන්ත්‍රවාදය, සමාජීය එකමුතුව හා සමස්ථ සහභාගීත්වය ශක්තිමත් කිරීමේ ප්‍රධාන කරුණක් වන ජනතාව අතර සංවාද ඇති කිරීමෙ හි ලා මාධ්‍ය හි භූමිකාව ද හඳුනාගෙන තිබේ.

සමාජ ජාල මාධ්‍ය විසින් නව පරිමාණයක් හඳුන්වාදී ඇති බවට එකඟ වූ පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයන්, ප්‍රථිඵල ලෙස උදාවිය හැකි ඉඩප්‍රස්ථා හා අභියෝගවලට ප්‍රතිචාර දැක්වීමට පොදුරාජ්‍ය මණ්ඩලීය එකතුව තුළ ඇති සුදුසුම ප්‍රයෝග කරා යාමට එකඟ විය.

මේ අතර, අන්තර්ජාලයෙන් පිටත පවතින මහජන අයිතීන් අන්තර්ජාලය තුළද සුරැකිය යුතු බවත්, විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ  ප්‍රඥප්තියේ 19 වැනි වගන්තිය හා සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තියට අනුව ප්‍රකාශන අයිතීන්ට සම්බන්ධයෙන් අයිතීන් අන්තර්ජාලය තුළද සුරැකිය යුතු බවත් පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයන් එකඟතාවය පළකර තිබුණි.

Bookmark and Share