මීගමු මහනගර සභාවේ නිලධාරින්ගෙන් බහුතරයක් දුෂිතයි – කපිල කියයි !

0
114

මෙවර මහ මැතිවරණය සඳහා මීගමුව ආසනයෙන්  ගම්පහ දිස්ත්‍රික්කයට  ඇස් කන්නාඩිය ලකුණ යටතේ එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මනාප අංක 10 යටතේ තරඟ කරන්නේ කපිල නන්ද සුලෝචන මහතායි. ඔහු මීගමුව මහා නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරයෙකි. මීගමුව මහා නගර සභාව තුළ සිදුවන වංචා දූෂණ , මුදල් අක්‍රමිකතා හා ටෙන්ඩර් මගඩි ඇතුළු අනීතික ක්‍රියාවලින් සහ අයථා ගනුදෙනු පිළිබඳ ඔහු නගර සභාව තුළදීත් ඉන් පිටතදීත් විශාල හඬක් නැගූ  නාගරික මන්ත්‍රීවරයෙක් ලෙසද ප්‍රකටය. ඔහු සමගින් කළ කෙටි පිළිසඳරක් පහත පළවේ

ඔබේ පවුල් පසුබිම සහ, ඔ⁣බ දේශපාලනයට පැමිණීම පිළිබඳව විස්තර ටිකක් කෙටියෙන් දැනගන්න කැමතියි.?

මම ඉපදුනේ මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ. මගේ තාත්තා බී ආරියසේන පෙරේරා . ඔහු බ්‍රවුන්ස් බීච් හෝටලයේ සේවය කලේ. මගේ මව මුල් කාලයේ ලංකා පිඟන්  සංස්ථාවේ  රැකියාවක් කලා. පසු කාලේ ඇය රැකියාවට ගියේ නෑ. මගේ පවුලේ සහෝදර සහෝදරියෝ හත් දෙනයි. මම තමයි පවුලේ බාලයා. මට වැඩිමල් සහෝදරයෙක් සහ වැඩිමල් සහෝදරියෝ පස් දෙනෙක් ඉන්නවා.
මම පාසැල් ගියේ මීගමුව හරිස්චන්ද්‍ර විද්‍යාලයට.මම සාමාන්‍ය පෙළට ඉගෙන ගත්තේ පෞද්ගලික ආයතනයකින්. මම විභාගයට පෙනී සිටියෙත් පෞද්ගලික අයදුම්කරුවෙක් විදිහට. ඉන් පස්සේ ඒ  විභාගයෙන් සමත් වෙලා ඒ වෙලාවෙ තිබුණු ආර්ථික ප්‍රශ්නත්  මට එක දිගටම අධ්‍යාපන කටයුතු කරගන්න බැරුව ගියා

පස්සේ මම ම  මුදල් හොයාගෙන තමයි පෞද්ගලික ආයතන හරහා   උසස් අධ්‍යාපනය හැදෑරුවේ .
ඉන්පසු මම රැකියාවකට පිවිසෙනවා මීගමුව, ටෙක්නෝ ලයිට් ආයතනයේ සේවකයෙක් විදිහට රැකියාවට බැඳෙනවා.පසුව මම එහි සුපයිසර්වරයෙක් බවට පත්වුනා. මම පාසල් යන කාලේ ඉඳලම ගමේ තිබුණු විවිධ සමිති සංවිධාන වල සාමාජිකයකු බවට පත්වුණා. මංකුලිය ප්‍රදේශයේ තිබුණා සාන්ත අන්තෝනි යෞවන සමාජය කියලා එකක්. ඔය යෞවන සමාජය හරහා මම ජාතික තරුණ සේවා සභාවට යොමු වුණා. එහි සමාජිකයෙකුට යන්න පුළුවන්, ඉහලම තැනට යන්න මට හැකියාව ලැබුණා. ඒත් එක්කම මම මත්ද්‍රව්‍ය නිවාරණ සමිති සමාගම් වල ඉඳලා තියෙනවා. මීගමුව බදු ගෙවන්නන්ගේ සංගමයේ ඉඳලා තියෙනවා.විවිධ වූ ආගමික සමිති සංවිධාන වල සාමාජිකයෙකු වෙලා ඉඳලා තියෙනවා.ඒ වගේම නොයෙකුත් සමාජ සුභසාධන සේවා සංවිධාන ඇතුළු සමිති සංවිධාන 25 කට වැඩි ප්‍රමාණයකට සම්බන්ධ වෙලා ඉඳලා තියෙනවා. ඒත් එක්කම මට වයස අවුරුදු 14 ක් වගේ වෙද්දි තමයි මම දේශපාලනයට සම්බන්ධ වුනේ.

වයස අවුරුදු 14 කියලා කියන්නේ බොහොම පොඩි වයසක්. එතකොට ඔබ කියන්නේ ඒ වගේ පොඩි වයසකින් ඔබ දේශපාලනයට සම්බන්ධ වුණා කියලද ?

ඔව්, අපේ ප්‍රදේශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වුනු දේශපාලන පවුලකින් පැවත එන පුද්ගලයෙකු වෙනුවෙන් ඔහුගේ ජයග්‍රහණය සඳහා ගෙයින් ගෙට ගිහින් කරන කැන්වසින් ව්‍යාපාරයට මමත් වයස අවුරුදු 14 දී  සම්බන්ධ වෙනවා. ඒ පුද්ගලයා තවමත් ඉනනවා .මම ඔහුගේ නම කියන්න අකමැතියි. ඔහුගේ දේශපාලන කටයුතුවලදී  කුඩා වයසේදී වුනත්  මම ලොකු සහයක් ලබා දුන්නා. අපේ ප්‍රදේශයේ අපේ පවුල ගත්තොත් ක්‍රියාකාරී ලෙස දේශපාලනයට සම්බන්ධ වන පවුලක්.එම පක්ෂයට දැඩි ලෙස සහය දක්වපු පවුලක්. මගේ මවට ඒ කාලේ ගමේ කිව්වේ “පොඩි සිරිමා”  කියලා. ඔන්න ඔය වගේ වාතාවරණයකින් තමයි මමත් මේ ක්‍රියාකාරි දේශපාලනයට පිවිසුනේ.    

දැන් එතකොට එවැනි වාතාවරණයක් හරහා තමයි ඔබ මීගමුව තුල ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන්නේ ?

ඇත්තෙන්ම ඔව්, ඔය වගේ සිදුවීම් එක්ක තමයි මම දේශපාලනය තුළ ක්‍රියාකාරී වෙන්න පටන් ගත්තේ .ඒ අනුව මම 1991පෙබරවාරි 11 දා  පළාත් පාලන මැතිවරණයේදී මීගමුව නගර සභාවට තරඟ කලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමයි අපි නියෝජනය කරන්නේ.  නමුත් ඒ කාලේ අපට ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදුවුණා මොකද   මීගමු ජනතාවගෙන් සීයට අනූඅටක් වගේ ප්‍රමාණයක් ඡන්දෙ දුන්නේ අලියා ලකුණට.ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂයට. විශේෂයෙන්ම ඔය මුහුදුබඩ හිටපු ජනතාව. ඉතින් අත ලකුණට ඡන්දෙ වැටෙන්නැති නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි වෙනම ලකුණක් යටතේ ,ඒ කියන්නේ මාළුවා ලකුණ යටතේ තරග කළා.මට ඡන්ද 900ක් වගේ ප්‍රමාණයක් ලැබුණා.  පත්වුණේ 06 දෙනයි. මට හම්බවුනේ 12 වෙනි තැන වගේ තමයි මට මතක.ඉතින් ඒක තමයි මගේ පළමුවෙනි ඉදිරිපත් වීම. ඊට පස්සේ අපේ චන්ද්‍රිකා මැතිනියගේ ආණ්ඩුව පත්වුණාට පස්සේ 1997 මම පළාත් පාලන මැතිවරණයට මීගමුව නගර සභාවට තරග කලා. ඒ වගේම 2002 වසරෙත් මම තරග කළා. මෙවර පළාත් පාලන මැතිවරණයට අයදුම් පත් භාර දීලා තිබුනට තවම පැවැත්තුවේ නෑහැනේ.
ඒ වතාවේ මම ඉදිරිපත් වුණේ කෙසෙල් ඇවරිය ලකුණ යටතේ අද මගේ පක්ෂය වන එක්සත් ජනතා නිදහස් පෙරමුණේ ඒ ලකුණ  වෙනස් වෙලා තමයි මේ වර මහා මැතිවරණයට කන්නඩි කුට්ටම   ලකුණ විදිහට  අලුත් ලකුණක් ලැබිලා තියෙන්නේ. කොහොම හරි මේ වෙද්දි මම  07 ත් වතාවක් පළාත් පාලන මැතිවරණ ජයග්‍රහණය කරලා වසර 25 ක් තිස්සේ මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක් විදිහට කටයුතු කරනවා. අවසාන අවුරුදු කිහිපය හැරෙන්නට මම අවුරුදු ගණනාවක්ම මීගමුව මහ නගර සභාව නියෝජනය කෙරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ, පොදු ජන පෙරමුණ සන්ධානය යටතේ.

ඔබ නාගරික මන්ත්‍රීවරයෙක් විදිහට ,මීගමුව මහ නගර සභාව තුළ ඔබේම පක්ෂයේ (පොදු ජන පෙරමුණ) අයගේ  දූෂණ සහ අනීතක  ක්‍රියා පිළිබඳවත්  ඒ වගේම මූදල් වංචා සහ මුදල් ගසා කෑම් පිළිබඳවත්  දිගින් දිගටම හඬ නැගූ පුද්ගලයෙකු බවට පත් වුයේ ඇයි?

ඔව් ඒක ඇත්ත. අපේ පක්ෂයේ හිටපු අය තමයි අදටත් ඉන්නේ. ප්‍රසිද්ධ මංකොල්ලකාරයෝ. ඒ කියන්නේ ලිඛිත මංකොල්ලකාරයෝ.  ඒ කියන්නේ පයිල් හදලා මංකොල්ල කන්නේ. ඔය නත්තල් පොළවල්, නයිට් බසාර්, බීච් පාර්ක්, වාගේ දේවල්, ඒ වගේම සමහර නගර සභාවට අයිති දේපොළ තියෙනවා, නගර සභාවට අයිතිය නොදී, තවමත් ඒවා එයාලගේ අතේ තියාගෙන ඉන්නේ.
ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ අනුස්මරණ ඉන්ඩෝ ස්ටේඩියම් එකක් තියෙනවා මීගමුවේ. නගර සභාවෙන් කෝටි 07ක් දීලා ඒක හැදුවේ. අදටත් ඒකෙ යතුර නගර සභාවට තාම ඇවිල්ලා නෑ. අයථා විදියට ඒකෙන් හම්බ කරනවා. ඒකේ බාර් තියෙනවා, ජිම්  තියෙනවා, සමිතියකට දුන්නා කියලා මේකෙන් හම්බ කරනවා. 2007 වසරේ ඕක හදපු වෙලාවේ, හරි නම් ටෙන්ඩර්කරු ඕකේ යතුර දෙන්න ඕන නගර සභාවට. හැබැයි එකේ යතුර නගර සභාවට භාර නොදී සමිතියක් කියාගෙන එක්තරා දේශපාලනඥයෙකු තමයි ඔය වැඩේ කරන්නේ. ඒකට මීගමුව මහා නගර සභාවේ ඉන්න ඉහළ නිලධාරීනුත් සම්බන්ධයි, කොමසාරිස්ගේ ඉදලා ඊට පල්ලෙහා වෙනකල් නිලධාරින් මේ වැඩ වලට සම්බන්ධයි.මම කියන කාරනා නැහැයි කියලා කවුරුහරි කියනවා නම් මම ඕනම තැනක ඒ කියන්නේ පොලිසියක උසාවියක වාගේ ඕනෑම තැනක වුනත් මේක ඔප්පු කරන්න සූදානම්.

ඔබ පසුගිය කාලයේ විශේෂ හඬක් නැගුවා, මේ නගරයේ , ජනතාවගේ බදු මුදල් අවභාවිතා කරලා, නිස්කාරණේ නාස්ති කරල වැඩක් නැති  ව්‍යාපෘතීන් ගණනාවක් හදලා තියෙනවා කියලා. ඒ ගැන යමක් දැනගන්න කැමතියි ?.

මීගමුව මහා නගර සභාවට අයිති ඉඩමක් තියෙනවා තැබෑරුම් වත්ත කියලා. ඒකේ රුපියල් ලක්ෂ කෝටි ගානක් වියදම් කරලා අත්තිවාරම්  දාලා තියෙනවා දැනට අවුරුදු 15කට වැඩියි. ඕකේ මාර්කට් එකක් හදනවා කියලා තමයි, ඔය විදිහට අත්තිවාරම් දාලා කනු නග්ගලා තියෙන්නේ. හැබැයි ඔතෙන්ට මාර්කට් එකක් සුදුසු වෙන්නෙ නෑ. මොකද ඔතන මිනිස්සුන්ට පේන්නේ නෑ. ඔතන යෝජනා වෙලා තිබුණේ රථවාහන ගාල් කරන්න පුළුවන් , රථ වාහන පාර්කින් ප්ලේස්  එකක් හදන්ඩ. නමුත් එතන මාර්කට් එක හදනවා කියලා නිර පරාදේ මේ විදිහට අත්තිවාරම් දාලා කණු ගහලා කෝටි ගානක මහජන මුදල් මේ විදිහට කාබාසිනියා  කරලා තියෙනවා.
ඔය ඉඩම මහ නගර සභාවට මිලදී ගනිද්දී කිසිම අරමුණක් තිබුණේ නෑ. එවකට හිටපු නගරාධිපතිවරයෙකුට ආපු කොමිස් එහෙකට කරපු වැඩක්. නමුත් දැන් ඒක මහ නගර සභාවට ඉඩමක් විදිහට වටිනාකමකට තියෙනවා. ඉතින් ඕකේ නිස්කාරණේ මුදල් වියදම් කරලා අත්තිවාරම් ගහලා නිකන් තියන් ඉන්නවා.එක එක කාලෙට ඕක එක එක්කෙනාට බදු දෙනවා පොඩි පොඩි ගණන්වලට. අපිට තියෙන්නේ ඕක හොඳ මිලකට විකුණලා දාන එක.

        දැන් හිටපු නගරාධිපතිවරයා ඕක විකුණන්න හදද්දී ඔබතුමාලා ඒකට විරුද්ධව නැගි හිටියා නේද ?

ඔව් අපි විරුද්ධ වුනා. මොකද ඒ විකුණන්න හැදුවේ යහපත් අරමුණකින් නෙවෙයි.ඒ විකුණන්න හැදුවේ එන කොමිස් එක ගන්න.විකිණීමේදී සහ ගන්න මිනිහගෙන් දෙකෙන්ම කොමිස් එක ගන්නයි හැදුවේ. අපි හිතමුකෝ  පර්චස් එකක් ලක්ෂ 05 ක් නම් ලක්ෂ 03කට විතර විකුණලා, ඉඩම ගන්න කෙනාගෙනුත් ගානක් ගන්නවා, අනිත් එක පර්චස් එක ලක්ෂ 03  නම් ඒ ගානට 03% ක සභාවෙන් කොමිස් එකකුත් ගන්නවා. ඒ ඇවිල්ලා කොමිස් ගේම්. ඒවාට අපි විරුද්ධයි. මහ නගර සභාවට යහපතක් හැටියට විකුණනවා නම් ඒකට අපි කැමතියි.           මීගමුව බස් පර්යන්ත ගොඩනැගිල්ල සහ නගර සභාව භූමියේ ඉදිකර තියෙන නව පුස්තකාල ගොඩනැගිල්ල සම්බන්ධයෙන් ද  ඔබ පහුගිය කාලේ  ප්‍රසිද්ධියේ ප්‍රකාශ කලා මේ දේවල්  අසාර්ථකයි  කියලා.ඒවා කොහොමද අසාර්ථක බවට පත්වන්නේ ?

බස් පර්යන්ත ගොඩනැගිල්ල අසාර්ථකයි. ගිහින් බලන්න උඩ තට්ටුවේ කාක්කෝ  කපුටෝ ඉන්නේ රෑට ජරා වැඩ කරන කුඩුකාරයෝ ඉන්නේ. බස් නැවතුම්පොළ යට තිබුණත්. උඩට ගිහින් බලන්න. මොනවද වෙලා තියෙන්නෙ කියලා.උඩ කඩ කරන්න බැහැ.යට කඩ ටික දේශපාලනඥයන්ගේ හිතවතුන් නිත්‍යානුකූල නොවන විදිහට අල්ලගෙන. ඔය තියෙන ලියකියවිලි නගර සභාවේ දේවල් නෙමෙයි..
ඒත් එක්කම අපිට පුස්තකාලයක් අවශ්‍යයි.  පුස්තකාලය හදලා තියෙන ඉඩම් ,අපි ඒවා සභාවට පවරගද්දී අපි කිව්වේ මෙතන පුස්තකාලයක් හදනවා කියලා. දැන් මේ වෙද්දි පුස්තකාලේ හදලා තියෙනවා. ඕක යට වාණිජ ගොඩනැගිල්ලකුත් තියෙනවා. පුස්තකාලේ යට ව්‍යාපාරික ගොඩනැගිල්ලක් තියෙන එක යහපත් කාර්යයක් නෙවෙයි. පුස්තකාලයක් වුනහම නිශ්ශබ්දතාවය තියෙන්න ඕන. යට කඩ සාප්පු බැංකුව වාගේ  ඔතන ආරම්භ කරනවා.ඒක පුස්තකාලයකට හරියන්නේ නෑ. එහෙම බලපුවාහම ඔය විදිහට ඔතන පුස්තකාලයක් පවත්වාගෙන යන්න බැහැ. අනික තමයි ඔය ටෙන්ඩරය පටන් ගද්දිම  ටෙන්ඩර් කරුට කොමිස් දීම, සෑම ව්‍යාපෘතියකටම වැඩිපුර මුදල් ගෙවලා ඒ මුදල් වලන් සියයට ගණනක් ලබා ගැනීම.එක පාරක් පුස්තකාලේ සම්බන්ධයෙන් වාර්තාවක් දෙනවා ඉංජිනියර්  පුස්තකාලේ පුපුරලා කියලා.
පුස්තකාලේ පුපුරලා මේකට ගෙවීම් කරන්න බැහැ කියලා. මා ගාව තියෙනවා ඒ රිපෝට්. එහෙම වාර්තා දාපු ඉංජිනියර් ඊළඟට දානවා පුස්තකාලය සම්බන්ධය රැඳවුම් මුදල් නිදහස් කරන්න කියලා වෙනමම වාර්තාවක්. මේක එක්තරා නාගරික මන්ත්‍රීවරයෙක් සහ එක්තරා නගරාධිපතිවරයක් තමයි මේකට සම්බන්ධ. එතකොට එක පාරකට මන්ත්‍රී වරයා  ඇවිල්ලා සභාවට කියනවා, ඉංජි⁣නියර්ගේ රිපෝට් එක අනුව මේ පුස්තකාලේ පුපුරලා තියෙනවා කියලා කරුණු කාරණා ඉදිරිපත් කරනවා.එතකොට ඊට පස්සේ ටෙන්ඩර්කරු ගිහින් එයාලා හම්බවෙලා එයාලට ගාන දුන්නට පස්සේ  ඊළඟ සභාවට මුදල්  ගෙවන්න දාපුවහම, මම ප්‍රශ්න කරනවා, මේ ඉංජිනියර්ම, මේ මන්ත්‍රීවරුන්ම නේද කිව්වේ මේක කන්ඩම් කියලා, දැන් කොහොමද සල්ලි ගෙවන්න කියලා, සක්සස් වාර්තාවක් දීලා තියෙන්නේ කියලා. ඒ වගේ මහා නගර සභාවක් මේක.
අනිත් එක තමයි, අපේ මාළු මාර්කට් එක ගන්නකෝ.  2007 තමයි ඔය ව්‍යාපෘති ආරම්භ වෙන්නේ. හිටපු ඇමති අනුර බණ්ඩාරනායක මහත්තයාගේ තිබුණා මීගමුව රම්‍ය නගරයක් කරන්න කියන සංකල්පය. එතකොට සරත් ගුණරත්න  මහත්තයා තමයි මීගමුවේ දේශපාලන සංවිධායකයා විදිහට හිටියේ. එතකොට ඔය ව්‍යාපෘතිය කරන්නේ ජපන් ජයිකා එකෙන් කෝටි තුනක විතර වගේ ආධාරයක් දුන්නා,ඕක හදලා ඕකේ ආදායම ගන්න.ඒක පිරිසිදු මාර්කට් එකක් බවට පත් කරන්න.නැත්නම් ඔතන මාළු වික්කේ වැල්ලනේ. දැන් මෙතනදි හිටපු නගරාධිපතිවරයා  මොකද කරන්නේ මෙතුවක් කල් මෙතන මාළු විකුනපු අයව එතනින් ඉවත් කරනවා, මෙතන කඩ හදපුවහම දෙන්නම් කියන පොරොන්දුවට අපි හිතමුකො මෙතන 25ක් හිටියා කියලා. හැබැයි ලිස්ට් එකට තවත් 75ක් ඇතුලත් කරනවා මෙතන මාළු වික්කා කියලා.
ඒක කරන්නේ නගර සභාවේ නිලධාරීන් නෙමෙයි. එයාලා විසින් සභාවට රැකියාව සඳහා පත්වීම් දීල බඳවාගත්තු නිලධාරීන් පිරිසක්. එතකොට ඉස්සෙල්ලාම මෙතන කඩ ලබාදීමේදී එයාලගේ දේශපාලන හිතවතුන්ට කඩ දීලා ඉතුරු ටික අත යට ගණන් වලට පිට අයට මේ තැන් විකුණුවා. එහෙම කරලා මේවා අහුනොවෙන්න ප්‍රදේශයේ පල්ලියට මේකේ යතුර භාර දෙනවා. නගර සභාවට අයිති ඉඩම ,නගර සභාවෙන් හදපු මාර්කට්  එක පාලනය කරන්න ප්‍රදේශයේ පල්ලියට භාර දෙනවා. එතකොට පල්ලිය අයිතිවාසිකම් කියනවා. මොකද එහෙම දෙන්නේ අර හොරකම එළි නොවෙන්න. දේශපාලනයට පූජකවරුන්ව සම්බන්ධ කරගන්නවා.

ඊට පස්සේ ඒක අද වෙද්දි මහ නගර සභාවට අහිමි වෙලා තියෙනවා. විඩෙන් විඩ ජයිකා එකෙන් ලියුම් එවලා තියනවා ඕකෙන් ආදායම් ලැබෙනවාද ,මොකද කරන්නේ කියලා අහලා. අද වෙද්දී අපිට බිමත් නෑ ,මාළු මාර්කට් එකක් නෑ, ආදායමත් නෑ, මහ නගර සභාවේන් ඕක ශුද්ධ කරනවා  නමුත් ඕකේ ආදායම් ගන්නේ වෙන අය. දේශපාලකයෙකුගේ තාත්තා කෙනෙක්  ඔතන පොළවල් දාගෙන, සයිකල් ෂෙඩ් දාගෙන සල්ලි හම්බ කරා.පස්සේ, පස්සේ ඔතන එකේ කතන්දර ගියා මම හිතන්නේ දැන් ඒකත්  පල්ලියට ගියා වෙන්නැති. මම කියන්නේ ඒකේ ආදයමක් නගර සභාවට එන්නේ නෑහැ. හැබැයි නගරයක් තුල ඕනෑම පොලක් ,  වෙළඳ පොළක්, මාර්කට් එකක්, කරන්න පුළුවන් නගර සභාට විතරයි. ඒක වෙන කාටවත් කරන්න බෑ. ඒකට පූජකවරු වගකිවයුතු නෑ. දේශපාලකයෝ හොරකම් කරලා, තමන් බේරෙන්න කරන වැඩ. ඒ වගේම එකක් තමයි බීච් පාර්ක් එක කියන්නේත්

බීච් පාර්ක් එක සම්බන්ධයෙන් මොන වගේ අක්‍රමිකතා ද තියෙන්නේ ?.

බීච් පාර්ක් එක කියලා කියන්නේ අක්කර පහමාරක ,හයාමාරක වපසරියක් සහිත  තැනක්. 2000 ගණන්වල ආසියානු සංවර්ධන බැංකුව හරහා අපිට ආවා, අරමුදල් වාගයක් එක එක ව්‍යාපෘති කරන්න. එතකොට නගරාධිපතිවරයා ආනන්ද මුණසිංහ. උප නගරාධිපති ජෝන් ප්‍රනාන්දු. එතකොට එයාලා තෝරා ගන්නවා, මිනිස්සුන්ට සැඳෑ සුවය විඳින්න පුළුවන් වෙරළ උද්‍යානයක් හදන්න. ඒක මේ  මුදල් අයකරගන්න බලාගෙන කරපු දෙයක් නෙවෙයි.ඔය සැලැස්මේ   තිබුනේ කඩ 10 ක් විතරයි ඔය කඩ 10 ගන්න තමයි දේශපාලඥයෝ ඒ කියන්නේ ආනන්ද මුණසිංහ නෙමේ ඔය කියන දේශපාලඥයෝ කටයුතු කළේ. ඊට පස්සේ ආපු ආණ්ඩුව ප්‍රබල ආණ්ඩුවක් බවට පත්වුණා. ඊට පස්සේ ඕක බීච් පාර්ක් එකක් විදිහට පත් කෙරුවා. දැන් ඕක ඇතුලේ තියෙනවා අනවසර ගොඩනැගිලි 10 කට වැඩිය. දැන් අපිට නීතියක් තියෙනවා වෙරල සංරක්ෂණ නීතියක් වෙරලේ ඉඳලා කොච්චර දුරකටද බිල්ඩින් එකක් හදන්න ඕනේ කියලා. ඒවා මුකුත් ඕකේ නෑ. ඔය බීච් පාක් එකේ ඒ/සී කාමර 20 ක් විතර වගේ තියෙනවා. නාන තටාක අනම්මනම් ඔක්කොම වගේ මේ රජයේන් නගර සභාවට ලැබුණු මුදල් සහ නගර සභාවේ මුදල් වලින් හැදුවේ.

ඔතනට සියලුම සේවා කටයුතු කරන්නේ නගර සභා සේවකයෝ .උදේ ඉඳලා නගර සභා සේවකයෝ ගිහින් එතන වැඩ කරනවා ලක්ෂ ගානක සර්විස් එකක්. ඒත් ඕකේ ටෙන්ඩර් එක යන්නේ රථගාල හා වැසිකිලි පද්ධතිය කියලා විතරයි.රථ ගාලත් තියෙනවා බයිසිකල් කාර් , වාහන වගේ ඒවා නතර කරනවා.වැසිකිලි පද්ධතියකුත් තියෙනවා.ඉතින් රථ ගාල හා වැසිකිලි පද්ධතිය කියලා ටෙන්ඩර් එක අරගෙන, අර රෙස්ටුරන්ට් එකක් අරව මේවා නාන තටාක, කඩ සාප්පු, මුළු ඒරියා එකම තියාගෙන බැලුම්කාරයාගේ ඉඳලා, කාපට් කාරයා වගේ හැම එකාම මරණ පෝනියෝ දක්කනවා ඔක්කොම කරනවා. මුහුදේ  නාන අයට නාන්න ෂවර් ඇති කරලා බාර් එකක් වගේ හැම දෙයක්ම තියෙනවා.ඒ ඔක්කොම කරලත් ඒ නගර සභාවට ලැබෙන්නේ  අර වැසිකිලි පද්ධතියට සහ රථ ගාලට ලැබෙන ටෙන්ඩර් සල්ලි විතරයි. නිලධාරීන්ට කොච්චර කිව්වත් ,නිලධාරීන් අහන්නේ නැහැ. සමහර වෙලාවට පොලිසිය පවා අපට ලබා දෙන සේවාවට වඩා එතනට හොඳ සේවයක් දෙනවා.ගමට වඩා එතැනට ආරක්ෂාවක් දෙනවා. ඒක පෝයකට, එක ඉදාවකට, ඕකේ තියෙන ආදායම දැක්කොත් ..දැන් ඔතන කානිවල් තියෙනවනේ. ඔතන කානිවල් එකක් කරනවා නම් භූමිය අයිතිකරුගෙන් ලිපියක් ගන්න අවශ්‍යයි නේ. භූමියේ අයිතිකරු හැටියට වෙන මනුස්සයෙක් ලියුම දෙන්නේ.   මේ ගැන ගිහින් අහපුවාහම  නගර සභාවේ  අය සද්ද නැතුව ඉන්නවා..
මේක හරිහමන් විදිහට ටෙන්ඩර් වෙන්නෙත් හැහැ. මේක කෙරුවේ එකම එක්කෙනාට අවුරුද්දකට 05% ගානේ වැඩි කර කර යන එක. දැන් මෙදා පාරත් ඕක ටෙන්ඩර් කරලා නෑ .බලහත්කාරකමින් තමයි ඕක කරගෙන යන්නේ. ඒවට අපි ගාව ලියකියවිලි තියෙනවා. මෙදා පාර මෙයාලා ටෙන්ඩර් නොකර ඉන්න උත්සාහ කෙරුවා. මම ඒ බව ඉහළට දැන්නුවා.එහෙන් නියෝගයක් ආවා මේක ටෙන්ඩර් කරන්න කියලා. මේක නිලධාරීන්ගේ පූර්ණ සහයෝගයෙන් තමයි මේ අනීතකව මේ කටයුතු සිදුවන්නේ.  නිලධාරී යැපුනෙම මේ වාගේ දේවල් වලින් තමයි . පහුගිය කාලේම. ටෙන්ඩර් කරන්න කියපුවහම මේ හිටපු කොමසාරිස් මේක ටෙන්ඩර් කෙරුවේ නෑ.
පස්සේ මම ප්‍රශ්න කරලා කෑගහලා කිව්වා මේ ටෙන්ඩර් කරන්න ඉහලන් දන්වලා තියෙන එකක්, කොහොමද ඔයාලා ටෙන්ඩර් නොකර ඉන්නේ කියලා.ඊට පස්සේ ටෙන්ඩර් පෝම්  නිකුත් කරන්න පටන් ගත්තා. මෙයාලා අවධානය යොමු කරන්නේ පොළවල් 03 කටයි බීච් පාර්ක් එකටයි විතරයි.. මොකද මේවා හිටපු නගරාධිපතිවරයාට දෙන්ඩ තමයි මෙයාලා බැලුවේ. එයාගේ කැමැත්ත අනුව සිද්ධ කරන්ඩ. අන්තිමේදී ටෙන්ඩර් ෆෝම් දාන්ඩ ආපුවහම ,කොමසාරිස් කියනවා මේකට ටෙන්ඩර් දන්ඩ එපා. අපි මේක  නාගරික සංවර්ධන අධිකාරියට පැවරුවා කියලා. නමුත් ඒක එතන එහෙම නෙමෙයි සිද්ධ වුණේ. හිටපු නගරාධිපතිගේ කාලේ ඇන්ටනී ජයවිර කියන නාගරික මන්ත්‍රීවරයා සභාවට යෝජනාවක් ගෙනවා  , මේක නාගරික සංවර්ධන අධිකාරියට පවරලා දෙන්න කියලා. මම එතනදි ප්‍රශ්න කරනවා සභාවට ලක්ෂ 26 ක විතර වාගේ ටෙන්ඩර් ආදායමක් තියෙන තැන ඇයි මෙහෙම පවරලා දෙන්නේ කියලා.
ඊට පස්සේ එතනදි කියනවා නෑ ,මේ පවරලා දෙන්නේ එතන නෙමෙයි ආදායමක් ලැබෙන තැන නෙමේ. වෙන හරියක් කියලා. ඊට පස්සේ මේ යෝජනාව සම්මත වෙනවා. දවස් කීපයකින් සභාව විසුරුවනවා. ඊට පස්සේ මේක ප්‍රාදේශීය ලේකම්ට පැවරෙනවා. ඔහු මේ සම්බන්ධව පයිල් එකක් හදාගෙන එද්දි ,ඒ ප්‍රාදේශීය ලේකම් එල්ලිලා මැරෙනවා. මේ වගේ තත්ත්වයක් තියෙද්දි ප්‍රධාන ටෙන්ඩර්කරුවෝ මේ අය මේ ටෙන්ඩර් පෝම් ගත්තේ නෑ මොකද මෙතන ප්‍රශ්නයක් වෙලා තියෙන හින්දා.
ඊට පස්සේ තමයි කොමසාරිස් අන්තිම මොහොතේ කියන්නේ මේ ටෙන්ඩර් ෆෝම් දාන්න එපා කියලා, මොකද අපි මේක නාගරික සංවර්ධන අධිකාරියට දෙනවා කියලා..ඊට පස්සේ කවුරුත් ටෙන්ඩර් දාන්නේ නෑ. අන්තිමට කොමසාරිස් කියනවා මේ ටෙන්ඩරයට කවුරුවත් ඉදිරිපත් වෙලා නෑ කියලා.කොහොමද වැඩේ.
අනිත් එක තමයි ටෙන්ඩරේ ගන්ඩ බැරුව යන්න කියනවා, ටෙන්ඩරේ වගේ මුදල් දහගුණයක් තැන්පත් කරන්න කියලා .ඒ කියන්නේ ඒක වෙන කෙනෙකුට ගන්ඩ බෑ. එක පාරක් ගෙනාවා වගන්තියක් ටෙන්ඩරේ ගන්නවා නම් අවුරුදු 05 කට වඩා ඒක කරලා පලපුරුද්දක් තියෙන්න ඕන කියලා. ඉතින් කවදද එහෙම වෙන කෙනෙකුට මේක ගන්ඩ අවස්ථාවක් දීලා නැහැනේ. ඒ වගේ මංකොල්ලකෑමක්  ඇත්තටම කියනවා නම් මිනියට පවා හෙන ගහන විදියට වැඩ කරන නගර සභාවක් මේක .දේශපාලනඥයෝ හම්බකර ගන්ඩ මේක කරාට බාගයක් නිලධාරීන්ටත් දෙනවා. මේකේ ඉන්න නිලධාරී හොරු.මේ රට කෑවේ දේශපාලඥයෝ විතරක් නෙවෙයි.  කෑල්ලක් කෑවේ නිලධාරි. මීගමුව නගර සභාවේ හිටපු නිලධාරීන්ගේ සීයට අනූපහක්ම (95%) හොරු.
රන්මුතු කියලා  ඉන්නවා පට්ට හොරෙක්නේ. ෂොපින් බෑග් එකක් අරන්  ආවේ. අද බලන්න වත්කම කොහොමද කියලා.ඔහු කා ළඟද වැඩ කරන්නේ කියන්න.
දැන් මීගමුව තුල ක්‍රියාත්මක වන කොමසාරිස් පාලනය ගැන මොකක්ද හිතෙන්නේ?

දැන් කොමසාරිස් පාලනයක් තිබුනට මේ හිටපු කොමසාරිස්ව ගේන්නේ මේ අයියයි මල්ලිනේ. මේ අයියයි මල්ලි කියපුවහම තමයි ඉඳගත්තෙත් නැගිට්ටෙත්. මේ කොමසාරිස් නගර සභාවේ නොහිට ඒ මිනිස්සු මේ නගර සභාවේ හිටියා නම් හොඳයි.මෙයා විතරක් නෙමෙයි .

තවත් පැන්ෂන් ගියදේශපාලනඥයෙක් ගාව එයාගේ බිරිඳ වැඩ කරන්නේ. එතකොට මෙයාව මෙතනට ගෙනත් දාලා. එතකොට ඒ රැකියා දෙක දීලා වාහන දීලා මේ හිටපු මනුස්සයා කෙරුවෙම අයථා වැඩ. ඔබ දන්නවද මේ පහුගිය ජනාධිපතිවරණයට කලින් අලුත් ලයිට් සෙට් 400ක් ගෙන්නලා එක්තරා තැනකට බානවා. බාල එතනින් තමයි ලයිට් හදන්නේ.වැල්ලවීදියට බාලා  වැල්ලවිදියේ ඉඳලා තමයි ඒ වැඩේ කරන්නේ. සභාවේ වාහන අරිනවා තමන්ගේ හිතවතුන්ට බෙහෙත් ගන්න , සවාරිවලට. වාහනේ නෑ කියලා මම කියපුවම අහවල් තැන ඒ වාහනේ තියෙන්නේ කියලා කියාපුවහම , කොමසාරිස් කියනවා මම බලන්නම් කියලා.පස්සේ වාහනේ ගරාජ් දැම්මා කියලා නෝට් දානවා. ඒවගේම සේවකයන්ටත් කියනවා වාහනේ ගරාජ් දැම්මා කියලා කියන්න කියලා. ඒ කියන්නේ නගර සභාවේ වාහන හිටපු නගරාධිපතිවරයාගේ උවමනාවට ලබා දෙනවා. වාහනේ විතරක් නෙවෙයි නගර සභාවේ සේවකයෝ එයාලාගේ ගෙවල්වල එයාගේ ඔෆිස් එකේ වැඩ කරනවා.ගිහිල්ලා කොමසාරිස් ට කියාපුවහම හරි බලන්නම් කියනවා.ඇත්තෙන්ම කියනවා හිටපු කොමසාරිස්වරයා  පට්ට හොරෙක්. සීයට සීයයක් අන්ත දූෂිතයෙක්. මම එක දවසක් මූනටම කිව්වා ,තමන්ගේ ත් ,තමන්ගේ බිරිඳගේ ත් ,පඩිය නිසා මේ නගරය පාවා දෙන්න එපා කියලා.

මම අහන්න කැමති ඇත්තටම ඔබ  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට ඇවිල්ලා මොනවගේ දෙයක්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ නගරෙට ?.

දේශපාලකයන්  එන්න ඕනේ ජනතාවට වැඩ කරන්න. ඒ වැඩ කරන මුලාවෙන් මංකොල්ල කන්න හොඳ නැහැ.අනෙක තමයි ලක්ෂ දහයක් යන පාරකට තමන්ගේ ටෙන්ඩර්කරුවෝ දාලා ලක්ෂ හතරෙන් ඉවර කරලා පයිල් එක හදලා සල්ලි ගන්න එක සාධාරණද. එකපාරක් ටෙන්ඩර් දුන්නා සමිති වලට දාලා දාලා තමන්ගේ හිතවත් අයටම දුන්න මිසක්. මේ හැමදේකදීම එයාලගේ හිතවතුන් ලාවා පයිල් හදලා විශේෂයෙන්ම තාක්ෂණ නිලධාරීන්, පී.එච්.අයි. ලා දැන් ඔය නගර සභාවේ පී.එච්.අයි කෙනෙක් ඉන්නවා මංජුල කියලා, එයා කරන්නේ ඒ ජොබ් එක නෙමෙයි. ඔහු කරන්නේ ප්ලෑන් අඳින එක. ඔයාලා බලන්න පහුගිය ජනාධිපතිවරණය වෙලාවෙදි අපේ සභාවේ ලේකම්ලා , තාක්ෂණික නිලධාරීන්ලා ඉන්නේ කොහෙද සිලින්ඩරේ රැස්වීම් වල. රාජ්‍ය නිලධාරීන්ට දේශපාලන රැස්වීම්වල ඉන්න තහනම්.කවුරුවත් නෑ කියලා කියනවා නම් මං ඒවා ෆොටෝත් එක්ක ඔප්පු කරලා පෙන්නනවා.ඉංජිනියර් පවා හිටියා.ඔඩිට් එකේ නිලධාරි පවා. මේකෙ ජාලයක් හදාගෙන ඉන්නේ.මෙයාලට මීගමුවේ මිනිස්සු ගැන තැකීමක් නෑ.ජාලයක් හදාගෙන හාම්පුතාට සල්ලි හම්බ කරලා දීලා, උනුත් සල්ලි හම්බ කර ගන්නවා.

මම ජේ.වී.පී .හෝ එන්.පී.පී හෝ කෙනෙක් නෙවෙයි. නමුත් මේ වෙද්දි එන්.පී.පී.නායකයා සහ රජයක් ගැන රටේ ජනතාව ලොකු විශ්වාසයක් බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා. ඔවුන් දූෂිත නොවේ කියලා ජනතාව තුළ ලොකු විශ්වාසයක් තියෙනවා.ඒවගේම මේ ජනාධිපතිතුමාගේ පත්වීම සම්බන්ධව මගෙත් යම්  සතුටක් තියෙනවා.

එතකොට මේ පත්වෙන මන්ත්‍රීවරුත් දූෂණයට එරෙහිව කටයුතු කිරීමට අනිවාර්යෙන්ම සිදුවෙනවා. ඉතිං අපි පාර්ලිමේන්තු ගියහම ආණ්ඩු පෙරලන්න මංකොල්ල කන්න අපි යන්නේ නෑ. යන ආණ්ඩුවත් එක්ක හරි දේ කරන්න සහ ආණ්ඩුව වැරදි පාරක යනවානම් ඒ දේ  පෙන්නන්න තමයි අපි පාර්ලිමේන්තුවට යන්නේ. ඒක තමයි මගේ බලාපොරොත්තුව.
මම නගර සභාවෙ ඉන්න කාලයේදීත් මම මේක තිස්සෙම කියන දෙයක්. මගේ පක්ෂයේ අයත් හොරකම් කරද්දී මං ඒකත් බය නැතුව කිව්වා මෙහෙම හොරකම් කරන එක වැරදියි.මෙහෙම හොරකම්  වෙන්න දෙන්ඩ බෑ කියලා. පස්සේ මාව මරන්නත් ආවා. පස්සෙදි මං එලියට ඇවිල්ලත් ඒ ගැන හඬ නැගුවා. ඉතින් මේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි, හොරකම. ඒක නැතිකරගන්න තමයි මේ අලුත් රජය නායකයෙකු ජනතාව පත් කර ගත්තේ. ඒ නිසා දූෂණයට හොරකමට විරුද්ධව වැඩ කරන ජනාධිපතිවරයෙක් එක්ක අලුත් දේශපාලන සංස්කෘතියක් විශේෂයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ගරු කරන තත්ත්වයක් අපි අලුතින් නිර්මාණය කළ යුතුයි.
අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් උත්සවයකට ආවොත් ජනතාව ගහන්න බලාගෙන ඉන්නේ. ආරක්ෂකයෝ ඉද්දිත් ගහනවා. අද මිනිස්සුන්ට ඕනේ මිනිස්සුන්ට කැමති ආණ්ඩුවක් පිහිටුවා ගන්න. අද මිනිස්සු සබුද්ධිකයි. මටත් අවශ්‍ය වෙන්නේ ඒ ප්‍රවාහය තුළ ජනතා නියෝජිතයෙක් විදිහට පාර්ලිමේන්තුවට ගිහින් මේ මීගමුවට, සහ ජනතාවට සේවයක් කරන්න.