මීගමුව රොටරි සමාජයෙන්, වෙන්නප්පුව මාතෘ සහ ළමා සායනයට පරිත්‍යාගයක්

0
161

 

මීගමුවී රොටරි සමාජය මඟින්  ජූලි මාසය ළමා සහ මාතෘ සෞඛ්‍ය මාසය ලෙස නම් කර ඇත. එයට සමගාමීව මීගමුව රොටරි සමාජය මගින් වෙන්නප්පුව දුම්මලදෙනිය ප්‍රදේශයේ පිහිටි සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල⁣ය විසින් පවත්වාගෙන යන ළමා සහ මාතෘ සායනය සඳහා මෙතෙක් අඩුපාඩුවක්ව පැවැති පොරොත්තු ස්ථානයක් හෙවත් නව රැඳී සිටීමේ ස්ථානයක්  ස්ථාපිත කර ඇත. මෙය විවෘත කිරීම පසුගිය 29 වැනි දින (29/07/2024) පෙරවරුවේදී සිදුවිය. වෛද්‍ය සනත් ප්‍රනාන්දු මහතාගේ මග පෙන්වීම යටතේ මේ නව රැඳී සිටීමේ ස්ථානය නිර්මාණය කර තිබේ. මේ අනුව සායන පැවැත්වෙන වේලාවන්හි දී මෙම ස්ථානයේ ගර්භනී මව්වරුන් 100 කට පමණ ඉතා සුව පහසු ලෙස අසුන්ගෙන සිටීමට හැකි ලෙස නව සුවපහසු ආසන සකස් කර ඇත.එලෙසම මේ නව ස්ථානය සඳහා ඇඳුම් මාරු කරන ස්ථානයක් ද (changing room ) වෙනමම ඉදිකර  තිබේ. මෙම ස්ථානයේ රැඳී සිටින මව්වරුන් ට කියවීම සඳහා වටිනා පොත්පත්වලින් සමන්විත  පුස්තකාල පරිශ්‍රයක්  ද මෙම රැඳී සිටීමේ ස්ථානය තුළ ස්ථාපිත කර  ඇත.

එලෙසම මෙම ව්‍යාපෘතියට සමගාමීව මීගමුව රොටරි සමාජය මගින් එදිනම වෙන්නප්පුව ප්‍රදේශයේ ගර්භනී මව්වරුන් 50 කට පෝෂ්‍යදායී ආහාර අඩංගු ආහාර මලු 50 ක් බෙදා දීමේ වැඩසටහනක්ද පවත්වන ලදී. එය වෙන්නප්පුව ප්‍රදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වීය. එහිදී පැමිණ සිටි ගර්භණී මව්වරුන් සඳහා සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරී ලලිත් අශෝක මහතා විසින් “” ප්‍රීතිමත් පවුල් ජීවිතයක්”” යන මාතෘකාව පදනම් කරගෙන විශේෂ දේශනයක්ද පැවැත්වීය.

මේ වැඩසටහන් සඳහා මීගමුව රොටරි සමාජයේ සභාපති නුෂාන් ප්‍රනාන්දු මහතා සහ මීගමුව රොටරි සමාජයේ සාමාජික සාමාජිකාවන් පිරිසක් සහභාගී වූහ.