මෙරටට පැමිණෙන විදේශ සංචාරකයන් මීගමුවට ආකර්ෂණය කර ගැනීමටත්, එලෙසම මීගමුව ප්‍රබල සංචාරක ගමනාන්තයක් බවට පත්කර ගැතීම සඳහාත් ඉදිරි කාලයේදී ක්‍රියාවට නැංවීමට සිටින සැලසුම් පිළිබඳව දැනුවත් කිරීමේ විශේෂිත මාධ්‍ය හමුවක්, පසුගිය 06 වැනි දින සවස මීගමුව, ඒත්තුකාල, ” රාණි බීච් රිසෝර්ට්” හෝටලයේ පැවතිණි,
මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබුනේ මීගමුව, සංචාරක ව්‍යාපාරිකයන්ගේ සංගමය විසිනි.
මීගමුව සංචාරක ව්‍යාපාරිකයන්ගේ සංගමයේ ආරාධනයෙන් සංචාරක මණ්ඩලයේ සභාපතිවරයාගේ මූලිකත්වය සමගින් මීගමුවට සංචාරකයන් වැඩි පිරිසක් ආකර්ෂණය කර ගැනීම සඳහාත් මීගමුව සුන්දර සහ විධිමත් සංචාරක කලාපයක් බවට පත්කර ගැනීම සඳහාත් ක්‍රියාවට නැංවිය යුතු සැලසුම් සහ ඒ සඳහා බාධාවන් වී ඇති ගැටළු ,කාරනා පිළිබඳවද සාකච්ඡාවක්ද එදින ම පෙරවරුවේ පවත්වා ඇත
මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ මීගමුව, සංචාරක ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති ඒ. වර්ණකුමාර මහතා පහත සිය සංගමයේ යෝජනා මෙසේ ගොනු කර තිබුණි
මීගමුව වෙරළ තීරය
පසුගිය කාලයේ දේශීය සංචාරකයන් මෙන්ම විදේශීය සංචාරකයන්ගේද මහත් ආකර්ෂණයට ලක් වු මිගමුව වෙරළ තීරය බවට පත් වී තිබුනේ මීගමුව මාළු වෙළෙඳපොළ පිහිටි මේ වන විට කරවල වේලීම සහ කරවල නිෂ්පාදනයට අදාළව යොදාගෙන ඇති මුහුදු වෙරළ තීරයයි.
ඒ සමීපයේම මීගමුවේ පැරණි තානායම සහ නව තානායමයද පිහිටා තිබෙන නිසා මෙම වෙරළ තීරය කාගේත් අවධානයට ලක් වූ මනරම් මුහුදු වෙරළ තීරයක් විය. එහෙත් මේ වන විට එහි කරවල නිෂ්පාදන කටයුතු සිදුවන නිසා එම මනරම් මුහුදු වෙරළ තීරය දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ට ද අහිමි වී තිබේ. එම වෙරළ තීරයේ අලංකාරභාවය මේ වනවිට ගිලිහී ගොස් එම වෙරළ තීරය සම්පූර්ණයෙන්ම අපවිත්‍ර වී තිබේ. එලෙසම එම ප්‍රදේශයම දැඩි දුරුගන්ධයක් සහිත ප්‍රදේශයක් බවට පත්වී ඇත
ඒ නිසා එම කරවල නිෂ්පාදන කටයුතු වල යෙදී සිටින පිරිසට සහ ධීවරයන්ට අසාධාරණයක් නොවන පරිදි එම නිෂ්පාදන කටයුතු වෙනත් ස්ථානයකට රැගෙන යාමට ඇති අවස්ථාව කෙරෙහි සංචාරක මණ්ඩලයේ සභාපතිවරයා සමගින් සිදු කළ සාකච්ඡාවේදී අවධානය යොමු කළ බව වර්ණකුමාර මහතා වැඩිදුරටත් පැවසීය.
මීගමු වෙරළ තීරය පවිත්‍ර කිරීම.
බොහෝ විදෙස් සංචාරකයන්ගෙන් මීගමුව සංචාරක කලාපය පිළිබඳව තිබූ ආකර්ෂණය ගිලිහී යාමට ප්‍රධානතම හේතුවක් වී ඇත්තේ මීගමු වෙරළ තීරය අපවිත්රවීම වී තිබීමයි. පෙරදා මනරම් වෙරළ තීරයක් ලෙස පැවති සංචාරක ආකර්ෂණය දිනාගත් මෙම වෙරළ තීරයේ මේ වන විට කැලි කසල බැහැර කිරීම නිසා සහ ක්‍රමවත් ලෙස වෙරළ තිරය පවිත්‍ර කිරීමේ නිසි ක්‍රමවේදයක් මෙන්ම ක්‍රමවත් වැඩසටහනක් ක්‍රියාත්මක නොවීම නිසා ද විදෙස් සංචාරකයන්ගේ මෙන්ම මෙරට සංචාරකයන්ගේ ද මීගමු වෙරළ තීරය පිළිබඳව තිබූ ආකර්ශනය මේ වන විට ගිලිහී ගොස් ඇති බවද වර්ණකුමාර මහතා මෙහිදී සඳහන් කළේය.
මේ සඳහා විධිමත් සහ ක්‍රමවත් වැඩසටහනක් සැලසුම් කර ඇති බවත් ඒ සඳහා මීගමුව මහා නගර සභාව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වැනි රාජ්‍ය ආයතන වල සහායද එලෙසම සමහර ව්‍යාපාරික ආයතනවල මෙන්ම ස්වෙච්චා සංවිධානවල ද සහයද ලබාගෙන මීගමු වෙරළ තීරය පවිත්‍ර කිරිමේ වැඩසටහනක් අඛණ්ඩව සිදුකිරීමට සැලසුම් කර ඇති බවද මෙහිදී ඔහු වැඩිදුරටත් පැවසීය.
එලෙසම ඔහු මෙහිදී පෙන්වා දුන්නේ සංචාරක මණ්ඩලයේ සභාපතිවරයා සමගින් සිදුකළ සාකච්ඡාවේදී මීගමු සංචාරක කලාපය දියුණු කිරීම සඳහා යෝජනා කිහිපයක් පිළිබඳව අවධානය යොමු කළ බවයි.
මීගමුව බන්ධනාගාරය
දැනට මීගමු බන්ධනාගාරය පිහිටි ලන්දේසි කොටුව නිදහස් ස්ථානයක් බවට පත්කර එය සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථානයක් ලෙස සංවර්ධනය කර ස්ථාපිත කිරීම කෙරෙහිද අවධානය යොමු කර ඇත.ඒ අනුව මීගමුව බන්ධනාගාරය වෙනත් ප්‍රදේශයකට රැගෙන යාම සඳහා ද මෙහිදී කරුණු සාකච්ජා වි තිබුණි.
මීගමුව කලපුව
එමෙන්ම මීගමුවට විශාල ආකර්ෂණයක් ගෙන දුන් සහ මේ වන විට දැඩි ලෙස අපවිත්‍ර වී ඇති මීගමුව කලපුව අඛණ්ඩව පවිත්‍ර කර එය සංචාරක ආකර්ෂණය සහිත පාරිසරික වටිනාකමින් යුත් ස්ථාන බවට පත් කරලීම ගැනද අවධාරණය යොමුව තිබේ
හැමිල්ටන් ඇල
හැමිල්ටන් ඇළ සම්බන්ධයෙන්ද මෙහිදී විශේෂ ආකාරයෙන් සාකච්ඡා වී තිබේ. හැමිල්ටන් ඇළ ද දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ගේ වැඩි ආකර්ෂණයකට ලක් වන ආකාරයෙන් හැමිල්ටන් ඇල පවිත්‍ර කිරීමේ වැඩසටහන් අඛන්ඩව සිදු කල යුතු බවත්, විශේෂයෙන්ම හැමිල්ටන් ඇළ දෙපස ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර එය වඩාත් හොඳින් සංවර්ධනය කළ යුතු බවත්, ඒ අනුව හැමිලිටන් ඇළේ බෝට්ටු සවාරි ආදිය විධිමත් ලෙස ආරම්භ කළ යුතු වත් බවත් මෙහිදී සාකච්ඡා වී තිබේ.
විදෙස් සංචාරකයන්ගේ ආරක්ෂාව
එලෙසම මීගමුවට පැමිණෙන විදෙස් සංචාරකයන්ගේ ආරක්ෂාව සම්බන්ධවද මීගමුව පොලිසියේ සහ විශේෂයෙන්ම මීගමුව සංචාරක පොලිසියේ මූලිකත්වයෙන් සහ සහයෙන් සිදු කළ යුතු විශේෂිත ආරක්ෂිත වැඩසටහන් කිහිපයක් කෙරෙහිද මෙහිදී සාකච්ඡාවට ලක් වු බවද වර්ණකුමාර මහතා අවධාරණය කළේය.
මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ මීගමුව සංචාරක ව්‍යාපාරකයන්ගේ සංගමය කමිටු සාමාජික ජානක වීරමන්ත්රී මහතාද අදහස් දැක්වීය.
කට්ටුව දුම්රිය ස්ථානය.
එහිදී වීරමන්ත්රී මහතා ප්‍රකාශ කළේ, මීගමුව සංචාරක කලාපයට ඉතාමත්ම ලඟින් පිහිටි දුම්රිය ස්ථානය වන්නේ කට්ටුව දුම්රිය ස්ථානය බවයි. සංචාරකයෙකුට දුම්රියෙන් පැමිණ මීගමුව සංචාරක කලාපයට ඉතා ඉක්මනින් පා ගමනින් පැමිණිය හැකි ඉතා සීමිත දුරකින් පිහිටා ඇති කට්ටුව දුම්රිය ස්ථානය නවීකරණයට ලක් කර සංවර්ධනය කළ යුතු බව ඔහු මෙහිදී ප්‍රකාශ කළේය. විශේෂයෙන්ම ඔහු පෙන්වා දෙන්නේ කට්ටුව දුම්රිය ස්ථානය මේ වනවිට විදෙස් සංචාරකයෙකුට ප්‍රයෝජනයට ගත හැකි වැසිකිලියක් හෝ නොමැති බවයි. කට්ටුව දුම්රිය ස්ථානයද ඇල්ල දුම්රිය ස්ථානය මෙන් විදෙස් සංචාරකයන්ට ආකර්ෂණයක් ගෙන දෙන පරිදි නවීකරණය කර සංවර්ධනය කිරීමට මීගමුව සංචාරක ව්‍යාපාරිකයන්ගේ සංගමය ඉදිරිපත් කළ යෝජනා අතර ප්රමුඛ යෝජනාවක් බවද ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
ඇල්ල දුම්රිය ස්ථානය එහි සංචාරක ආකාර්ශණය දිනාගැනිමට කොයිතරම් නම් හේතුවි ඇතිද යන්න ගැනද සදහන් කරන්නට යෙදුණි
මීගමුවේ ජාතීන් අතර ඇති සහජීවනය සහ ආගමික සංහිඳියාව
මෙහිදී වීරමන්ත්රී මහතා මීගමුව තුළ ජීවත්වන විවිධ ජාතීන් අතර පවතින සහජීවනය සහ විවිධ ආගමිකයින් අතර පවතින ආගමික සංහිඳියාවද මීගමුව තුළ සංචාරක කර්මාන්තයේ ආකර්ෂණය සහ ප්‍රවර්ධනය සඳහා යොදාගත හැකි බවද පැවසීය.
විදෙස් සංචාරකයන් මීගමුවට ආකර්ෂණය කර ගැනීමේදී වෙනත් සංචාරක කලාපවල දක්නට නොලැබෙන සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් ඇතුළු ජාතීන් සහ බෞද්ධ කතෝලික ඉස්ලාම් හින්දු යන ආගමික සහජීවනය තුළින් විදහා දැක්වෙන බහුවිධ සංස්කෘතික දායාදයන් සහ වටිනාකම් භාවිතා කළ යුතු බවත් එමෙන්ම මීගමුව තුළ ජීවත්වන විවිධ ජාතිකයන් සහ විවිධ ආගමිකයන් අතර පවතින ආගමික සංස්කෘතික අංග භාවිතා කළ හැකි බවත් ඒ සඳහා සංචාරක ආකර්ෂණීය වැඩසටහන් ක්‍රියාවට නැංවිය යුතු බවත් ඒ සඳහා විශේෂ සැලසුම් තම සංගමය මගින් ඉදිරිපත් කර ඇති බවද ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
ආහාර සංස්කෘතිය
වීරමන්ත්රී මහතා සිය අදහස් දැක්වීමේදී මීගමුව තුළ පවතින ආහාර සංස්කෘතියද සංචාරක ආකර්ෂණය දිනා ගැනීමට යොදාගත ඇති ආකාරය පිළිබඳව පෙන්වා දුන්නේය. මීගමුව යනු බහුවිධ සමාජයක් බැවින් විවිධ ජාතීන් සහ විවිධ ආගමිකයන් අතර ඇති විවිධ වූ ආහාර පාන වර්ග භාවිතා කරමින් සංචාරක ආකර්ෂණය වැඩි වශයෙන් දිනා ගනිමින් මීගමුව සංචාරක කලාපයට සංචාරකයන් ගෙන්වා ගැනීම සඳහා කටයුතු කළ හැකි බවයි ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.
මීගමු කලපුවේ පාරිසරික වටිනාකම
එමෙන්ම වීරමන්ත්රී මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේ මීගමුව කලපුව ආශ්‍රිතව ඇති කඩොලාන ශාක ඇතුළු එම සංවේදී පරිසර කලාපයද සංචාරක ආකර්ෂණය දිනා ගන්නා ස්ථාන ලෙස සංවර්ධනය කල යුතු බවයි.
එමෙන්ම ඔහු වැඩිදුරටත් මෙහිදී අවධාරණය කළේ මීගමුව සංචාරක කලාපය සංවර්ධනය කිරීමේදී සියලු අංශ එනම් වගකිව යුතු රජයේ ආයතන, ආගමික නායකයන්, ඒ ප්‍රදේශයේ වෙසෙන ජනතාව , ධීවර ප්‍රජාව, ඇතුළු සියලු දෙනා සමගින් විධිමත් ලෙස දැනුවත්භාවයකින් යුතුව සාකච්ඡා කර මෙහිදී සියලු තීන්දු තීරණ ගත යුතු බවයි. ඒ සඳහා මීගමුව සංචාරක ව්‍යාපාරිකයන්ගේ සංගමය මූලිකත්වය ගෙන කටයුතු කරන බවද ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මෙම මාධ්‍ය හමුවේදී විදෙස් සංචාරකයකු ලෙස ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඇමෙරිකානු ජාතික ඇල් සන්ඩේ මහතාද සිය අදහස් පල කළේය. ඔහු එහිදී ප්‍රකාශ කලේ තමන් විශේෂයෙන්ම මීගමුවේ වෙරළ තීරයට ඉමහත් ලැදියාවක් දක්වන බවයි. එහෙත් ඔහු වැඩිදුරටත් පවසා සිටියේ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මේ වන විට මීගමුව වෙරළ තීරය අපවිත්‍ර වී ඇති බවයි.
ඒ සඳහා ඔහු ස්වේච්ඡාවෙන් මේ වනවිටත් වෙරළ තීරය පවිත්‍ර කිරීමේ වැඩසටහන් කීහිපයක්ම පවත්වා ඇති බවත් ඉදිරියේදී මීගමුව සංචාරක ව්‍යාපාරිකයන්ගේ සංගමය සමග එක්වී ස්වේච්ඡාවෙන් සිදු කරන එම වෙරළ පවිත්‍ර කිරීමේ වැඩසටහන් අඛණ්ඩව පවත්වාගෙන යාමට බලාපොරොත්තු වන බවද ඔහු එහිදී වැඩිදුරටත් පැවසීය.
මෙම මාධ්‍ය හමුව සඳහා මීගමුව, සංචාරක ව්‍යාපාරිකයනගේ සංගමයේ සාමාජික සාමාජිකාවන් පිරිසක්ද සහභාගි වූහ.