මීගමුවේ පානිය ජල අර්බුදය..?

0
159

පසුගිය ජුලි 02 වන සෙනසුරාදා දින සිට මීගමුව නගරය හා නගරය ආශී‍්‍රත ප‍්‍රදේශයට ජාතික ජල සම්පාදන හා ජලපවාහන මන්ඩලයෙන් සැපයෙන ජලයේ මඩ වැනි ආකාරයකින් තද බොර පැහයකින් යුක්ත විය. ජාතික ජල සම්පාදන හා ජලපවාහන මන්ඩලයේ මීගමුව ශාඛාව මගින් ආවරණය කල යුතු ප‍්‍රදේශය වර්ග කිලෝ මීටර් 26 ක් පමන වන ප‍්‍රමානයකි. මෙම වපසරිය තුල සිටින ජල පාරිභෝගිකයන් ප‍්‍රමානය 19000 පමන වේ. මේ ජල පාරිභෝගිකයින් අතර ගෘහස්තමය වශයෙන් හා ව්‍යාපාරික ස්ථාන පවත්වා ගෙන යන පිරිසද සිටි. මෙකී තත්වය මත  ජලපවාහන මන්ඩලයෙන් සැපයෙන ජලය මෙලෙස බොර පැහැයෙන් යුක්ත වීම දෛනික ජීවිතයට විශාල බලපෑමක් එල්ල කර තිබේ.
මේ පිලිබඳව අප කල විමසීමකදී ජලපවාහන මන්ඩලයේ මීගමු ශාඛාවේ නිලධාරියෙකු ප‍්‍රකාශ කලේ මේ තත්වය ඇති වී තිබෙන්නේ  පසුගිය සෙනසුරාදා දහවල් 12.00 න් පසුව වන බවයි. ඒ පිලිබඳව ඔහු පවසන්නේ බම්බුකුලිය ජල පවිත‍්‍රාගාරයේ සිට කට්ටුව , සෙල්ලකන්ද හරහා මිලි මීටර් 450 ක නව නල මාර්ගයක් මීට දෙමසකට පමන කලින් සිට ස්ථාපිත කර තිබෙන බවයි. එම නල මාර්ගය දැනට පවතින නල මාර්ගය හා සම්බන්ධ කිරීමේදී එම නල තුල සිර වු අවශේෂ ද්‍රව්‍යයන් මඟින් මෙලෙස ජලය බොර පැහැ ගැන් වී ඇති බව ඔහු පවසයි.  කෙසේ වෙතත් එම නල මාර්ගයන් මේ වන විට පිරිසිදු කර ඇති තත්වයක් තුල මෙම ගැටළු සහගත තත්වය ඉදිරියේදී පැන නොනගිනු ඇති බවට ඔහු පවසයි.
එහෙත් ඔවුන් එලෙස ප‍්‍රකාශ කලද මීගමුව නගරයේ සහ නගරය ආශී‍්‍රත වැසියන් වැඩි දෙනෙකු ප‍්‍රකාශ කරන්නේ මේ තත්වය මත තම දෛනික වැඩ කටයුතු සියල්ලක්ම පාහේ අඩාල වී ඇති බවයි. ඒ පිලිබඳව අප කල විමසීමකදී අදහස් ප‍්‍රකාශ කල කිහිප දෙනෙකුගේ සංක්ෂිප්ත අදහස් පහත පල වේ.

P1080755 new

දින 03 ක් තිස්සේ තියෙන මේ ජල ප‍්‍රශ්නයෙන් මම සැහෙන්න දුකක් විදිනවා. මීගමුවේ ඉන්න බොහෝ දෙනෙකුට වාගේම අපිටත් ජලය ලබා ගන්න වෙන විකල්පයක් නැහැ. අඩුම තරමින් ලිඳක්වත් නැහැ. අපේ සියළු ජල අවශ්‍යතා ඉටු කර ගන්න  ඕනේ මේ ජලයෙන්. මට ළමයි 03 දෙනෙක් ඉන්නවා. බාල ම දරුවට තවම මාස 06 යි. මේ ජලය මේ විදිහට මඩ පාට නිසා අපි බීමට ගන්න බයයි. හදිසියේ ම ගිහින් රුපියල් 6000 ක් විතර දීලා වෝටර් ෆිල්ටර් එකකුත් ගන්න වුනා. අතේ සල්ලි වලට නෙමෙයි ගත්තේ ණය වෙලයි ඒක ගන්න සිද්ධ වුනේ. සෙනසුරාදා ?ටයි, ඉරිදා දවල්ටයි අපි ගෙදර ඉව්වේ නැහැ. කඩෙන් ගෙනැල්ලා තමයි කැවේ. ඒක කෑවෙත් හරිම දෙගිඩියාවෙන්. මොකද කඩවල් වල උයන්න පිහින්න ගන්නෙත් මේ ජලය නිසා. මේ තත්වයට ජල සම්පත් මන්ඩලය වගකීම භාර ගත යුතුයි.

අයෝමී පෙරේරා මහත්මිය, රුක්මණි දේවී මාවත, මීගමුව.

මේ ප‍්‍රශ්නය පටන් ගත්තේ පහුගිය සෙනසුරාදා දවසේ. එදා සවස මේ ප‍්‍රශ්නය නිසාම අපි කටානේ , හල්පේ තියෙන මගේ මහත්තයාගේ මහා ගෙදර ආවා. මොකද මේ විදිහට මේ එන ජලය බොන්න බැහැ, රෙදි හෝදන්න බැහැ. නාන්න කරන්නත් බැහැ. පොඩි දරුවන්ව තියාගෙන මීගමුවේ ඉන්න බැරි නිසයි අපි මෙහෙට ආවේ. අද තමයි අපි ආපහු (ජුලි 04 වැනි සදුදා )මීගමුවට ආවේ දරුවන්ව පාසල් යවන්න. ඒත් තවම මේ ලැබෙන ජලය මඩ පාටයි. මීගමුවේ වෝටර් බෝර්ඞ් එකට කථා කරපුවාහාම එයාලා කියනවා, පාට මෙහෙම වුනාට ගනන් ගන්න එපා . දැන් සේරම හරි අපි ඒ නල පිරිසිදු කරලයි තියෙන්නේ කියලා. නමුත් අපි දරුවන්ට මෙවා බොන්න දුන්නේ නැහැ. මම හිතන්නේ මේවා තවම බොන්න හොඳ නැහැ කියලයි. මේ හේතුව නිසා ජලය පිරිනු ටැංකියක්ම අහකට දාන්න සිදු වුනා. අපිව කලින් මොන ක‍්‍රමයකට හෝ දැනුවත් කලා නම් මෙහෙම ජලය අපතේ යැවෙන්නේ නැහැ. කෙහොමින් හිරි මේ ප‍්‍රශ්නය නිසා අපි දරුවෝ එක්ක සෑහෙන අපහසුතාවයකට පත් වෙලයි ඉන්නේ.

මීගමුව නගර සභාවේ විපක්ෂනායක රෝයිස් විජිත ප‍්‍රනාන්දු මහතා,

නගරයේ හා නගරය ආශී‍්‍රත ප‍්‍රදේශයේ ජනතාව මෙලෙස විශාල කරදරයකට පත් වෙලා ඉන්නවා දැනට දවස් 03 ක් තිස්සේ ඉදලා. හැබැයි මේ සඳහා වගකිව යුතු බලධාරීන් හෝ එම නිලධාරීන් මේ පිලිබඳව ජනතාවගේ පැත්තෙන් හිතලා කිසිම පියවරක් මෙතෙක් අරගෙන නැහැ. මේ ප‍්‍රදේශයේ සෑම නිවෙසකම පාහේ ජලය ගබඩා කරන්න ටැංකි තියනවා. ඒ ටැංකි වල ගබඩා වෙලා තියෙන මේ මඩ වාගේ ජලය බීමටවත් හෝදන්න කරන්න වත් ගන්න විදිහක් නැහැ. හැබැයි ඒලෙස  ටැංකි වල ගබඩා වුන ඒ අපතේ ගිය ඒ විශාල ජල කඳට මුදල් ගෙවන්න වෙන්නේ ත් මේ ජනතාවටමයි. ඒක නිසා මම බලාපොරොත්තු වෙනවා ලබන මාසික මහා සභා රැස්වීමට යෝජනාවක් ගෙන එන්න. , වෝටර් බෝර්ඞ් එකෙන් ඉල්ලීමක් කරන්න කියලා මීගමුව නගර සභාවට, මේ දින 03 ට අදාල ගනනක් සෑම මාසික ජල බිල් පතකින්ම කපා හරින්න කියලා, මහජනයාට සහනයක් ලෙස. මොකද මේක වෝටර් බෝර්ඞ් එකේ වගකීම. ඒකට ජනතාව මුදල් ගෙවන්න උවමනා නැහැ. ඒක නිසා නගර සභාව හරහා එම ඉල්ලීම කරන්න කියන යෝජනාව මම ඉදිරිපත් කරනවා මේ පාර නගර සභාවේ මහා සභා රැස්වීමට .

නම සඳහන් කිරීමට අකමැති මීගමුව නගරයේ ව්‍යාපාරිකයෙක්.

මම මේ දවස් වල කෑන් වලට ගෙදරින් වතුර අරං ඇවිත් තමයි මේ ෂොප් එකට එන අයට බෝන්න දුන්නේ . මිනිස්සුන්ට දැනුවත්වම මඩ වතුර බොන්න දෙන්න බැහැනේ. එහෙම කරන අයත්  ඕනේ තරම් ඉන්නවා. නමුත් අපිට එහෙම කරන්න බැහැ. මෙහෙම වුනාම අඩුම තරමින් වෝටර් බෝර්ඞ් එකෙන් හරි නගර සභාවෙන් හරි ජලය බවුසර් වලින් හරි අරං ගිහිල්ලා මේ වාගේ තත්වයක් හරියන කම්වත් මිනිස්සුන්ට දෙන්න ඔිනානේ නමුත් අපි ඒ බවත් මීගමුවේ දැක්කේ නම් නැහැ.

ජාතික ජල සම්පාදන හා ජලපවාහන මන්ඩලයේ ගම්පහ කලාපීය කලමනාකරු ,

මේ තත්වය ඇති වී තිබෙන්නේ පැය 24 පුරාම මීගමුව නගරය හා ඒ ආශී‍්‍රත ප‍්‍රදේශ වලට අඛන්ඩ ජල සැපයුමක් ලබා දීමට නව නල මාර්ගයක් ප‍්‍රධාන නල පද්ධතියට සම්බන්ධ කිරීමෙන් හා නව වැඩි ධාරිතාවයකින් යුත් මෝටර් යන්ත‍්‍ර ප‍්‍රධාන ජල සැපයුම් පද්ධතියට සම්බන්ධ කිරීම නිසා පැරණි නල මාර්ග වල තිබු අවශේෂ ද්‍රව්‍යයන් ජලය සමග මුසු වීම නිසයි.  මේ වෙද්දී ඒ සියළු නල මාර්ග අපි පවිත‍්‍ර කරලා පිරිසිදු කරලයි තියෙන්නේ. සමහර නල වල අර පරණ ජලය තිබී ඒවා ගෘහස්ත මාර්ග වලින් පැමීනීමට පුළුවන්. ඒ ජලය බීමට හෝ වෙනත් ගෘහස්ත කාර්යන්වලට යොදා ගැනීමට නොහැකියි. අප එම ජලය පිලිබඳදව සිදු කල පරීක්ෂන වලදී කිසිදු ආකාරයක රෝග කාරක ද්‍රව්‍ය එහි නොමැති බවට සහතික වෙනවා.

මීගමුව නගරික කොමසාරිස්වරයා,

අපි දන්නේ නැහැ ඔය තත්වය ගැන. අපිත් මේ නගර සභාවේ සියළු ජල ටැංකි සුද්ධ පවිත‍්‍ර කරනවා. අපි හිතුවේ ජලය මේ විදිහට තිබුනාම මේක මේ අපේ ටැංකි වල ප‍්‍රශ්නයක් කියලයි. ඒක නිසයි අපි අපේ ටැංකි ටික අද උදේ ඉඳලා ශුද්ධ පවිත‍්‍ර කලේ. ඇත්තෙන්ම මේක නගරයේ ජනතාවට විශාල ලෙස බලපෑමක් සිදු වෙන ප‍්‍රශ්නයක් නිසා ඒ පිලිබඳව ජල සම්පත් මන්ඩලයෙන්  අපට යම් විමසීමක් කරන්න පුළුවන්. එහෙම නැතිව අපිට ඒ වගකීම ගන්න බැහැ. මොකද 1992/09/17 දරණ අති විශේෂ ගැසටි පත‍්‍රය මගින් ජල සම්පාදනයේ සහ ජල සැපයුමේ සියළු වගකීම් සියල්ල ජල සම්පත් මන්ඩලයට පවරා දුන්නා. ඒවාගේම නගර සභා වලට තිබුනා ජල සේවාව සම්බන්ධ යම් යම් කාර්ය භාර්යන් ඒවාද මේ ගැසට් පත මගින් ජල සම්පත් මන්ඩලයටම පවරා දිලා තියෙනවා. ඒක නිසා ඒ පිලිබඳව මීගමුව මහා නගර සභාවටද හැකි වන්නේ යම් විමසීමක් කර ඒ පිලිබඳව ඒ නිලධාරීන්ව දැනුවත් කර ඒ සඳහා යොමු වන මෙන් යම් ඉල්ලීමක් කිරීම පමනයි.