සටහන සහ ඡායා / ඩිල්ෂාන් තිසේරා
මීගමුව යනු සුන්දර වෙරළ තීරයකින් හා කලපුවකින් සමන්විත වූ නගරයකි. බොහෝ ඡායාරූප ශිල්පීන්ට මීගමුව තොතැන්නක් වන්නේ එහි තිබෙන ධීවර කර්මාන්තය හා පවතින පාරිසරික තත්වය නිසයි.
මීගමුවේ ෆොටොග්‍රැපි ක්ශේත්‍ර චාරිකාවකදි මේ සුන්දර මිනිසා හමුවිය.
මීගමුවේ සුන්දරත්වය තම කැමරා කාචයේ සටහන් කිරීමට පැමිනෙන ඡායාරූපශිල්පීන් සිරිපාලව අමතක කරන්නේ නැත. ඒ තරමට සිරිපාලට ඉල්ලුම වැඩිය. ඔහුගේ රැවුලේ තිබෙන කලාත්මක බව හා ඔහුගේ රැකියාව හා සරල ජීවිතය තම කැමරා කාචයේ සටහන් කර ගැනීමට මොවුන් ප්‍රිය කරති.
පිටතින් පෙනෙන කලාත්මක බාවය පෙරදී කාචයේ සටහන් කරගත්තාට පසුදිනක මා ඔහු හමුවූයේ ඔහුගේ නොදුටු ඇතුලාන්තය අවදි කරන්නටය.
මඩාරේ කංකානම්ලාගේ සිරිපාල උපන්නේ රත්නපුරයේය. එහි සිට මීගමුවට එන්නේ කුඩා කලදීය.
ඒ ඔහුගේ පියා විසින් ඔහුව මීගමුව උසාවියේ සේවය කල සිරිල් අයියාට බාර දීමේන් පසුවය.සිරිල් අයියා කටුවපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.එම නිසා සිරිපාලද තම කුඩාකල ගෙවනුයේ කටුවපිටියේදීය.
හෝඩියේ අකුරක් ඉගනීමටවත් සිරිපාල පාසල් ගොස් නැත.
කුඩා කල සිටම සිරිල් අයියාගේ දර මඩුවේ දර පැලුවේය.
වයස අවුරුදු 18 දි පමණ සිරිපාල මීගමුව දෙහිමල්වත්ත ප්‍රදේශයට එයි.
ඒ දරමඩුවක වැඩ කිරීමටය.ඒ අතර තුරු හටගත් පෙම් කෙලියක් නිසා දෙහිමල්වත්ත පදිංචි මියුරියල් සමග විවාහ වී දිවි ගෙවන්නට වූහ. දැරියන් හතර දෙනෙකුගේ පියෙක්වන මොහු තම ජීවිතය ගැටගසා ගැනීමට නොයෙකුත් රැකියා අත්හදා බලයි.
පළමුව මීගමුව බස් නැවතුම්පොලෙහි වඩ විකුනමින් වසර 10 ඒම ආදායමින් ජිවත් විය. පසුව ඔහු තම උපන්ගම වන රත්නපුරයට යන්නේ වෙනත් රැකියාවක් සොයාගෙනය. රත්නපුරයේ බස්නැවතුම්පොලෙහි ” රනර් ‘ ලෙස රැකියාව කරගෙන ඉන්න කාලේ ඩ්‍රැයිවින් ලයිසන් අරගෙන රත්නපුර කොළඹ බස් රථයක්ද ධාවනය කරයි.
එම කාලයේ සිරිපාල මහත් ලෙස බීමත්කමට ලොල් විව.
ඒ අතරතුර බස් ඩ්‍රැයිවින් රැකියාව අත්හැර මීගමුවට ආපසු පැමිනෙයි.
මීගමුව දලුපත ප්‍රදේශයේ මුදලාලි කෙනෙකුගේ වැන් රථයක් ධාවනය කරයි.එහිදී ඔහු දුම්කොල ප්‍රවාහනය කරයි.එම රැකියාව අතරතුර සුලු හයර් යමින් ජීවිතය ගැටගහගෙන යයි.ඉන්පසු කොළඹින් පළතුරු ගෙන්විත් මීගමුව ඔරලෝසු කනුව අසල විකුණයි.පසුව එයද අසාර්ථක වෙයි.
කලපුවේ ජීවිතය
“මාලු අල්ලන රස්සාව අවුරුදු 7ක් 8 ක ඉදලා කරගෙන යනවා.මෙ ඉන්න තැනත් දුන්නේ මංකුලිය වයිමන් රාජගේ අම්මා. එය හිටපු තැන මේ එය ඉතින් මට දුන්නා බලාගෙන ඉන්න කියල.මෙහෙ තමා මම රැට නිදා ගන්නේ” මුල් කාලයේ කොතලාවල පාලම උඩ බිලී බා මාලු අරන් ගිහින් විකුනා මඩිය තරකරගත්තා.
දවසක් මම විකුණපු මාලු භූමිතෙල් රහයි කියලා දොස් නැගුණා. පසුව කොතලාවල පාලමෙන් මාලු ඇල්ලීම නවත්වා මුන්නක්කරය පාලම උඩ මාලු ඇල්ලීමට පටන් ගත්තා.
” පාන්දර තුනට නැගිටිලා මූන සෝදගෙන ලෙල්ලම ලඟ කඩෙකින් කෝපි එකක් බීල බීඩියකුත් ගහලා ලෙල්ලම ඇතුලට ගිහින් බලනවා වැඩක් තියනවාද කියලා. කොහොමහරි බෝට්ටුවක වැඩක් කරලා මාලු ටිකක් ඉල්ලගෙන ලෙල්ලමේ විකුණනවා.ඊට පස්සේ උදේ 06ට වගේ මුන්නක්කරය පාලම උඩට යනවා මාලු අල්ලන්න. කොහොමත් 12 විතර වෙනකන් එතන ඉන්නවා. එකත් අල්ලගෙන 1 වගෙ මීපුර හෝල් එක ලඟ ලෙල්ලමට ගිහින් ඒ මාලුත් විකුණනවා. දවසකට ඉතින් 5000ත් හොයන අවස්ථා තියනවා.200ක් හොයන වෙලාවලුත් තියනවා. මාලු ටික විකුනලා ගෙදරට ගිහින් නාලා රෙස්ට් (විවේකයක් ) එකක් අරගෙන අයේ හවස් වෙලා එනවා.
ඒ ඉතින් ඇවිල්ලා යන්නේ හවස 6 තමා.”
මීට වසර 05කට පමණ පෙර සිට මීගමුවේ ක්ශේත්‍ර චාරිකාවක් සඳහා පැමිනි ඡායාරූපශිල්පීන් සිරිපාලව අදුන ගනී. එතැන් පටන් මීගමුවට එන ඡායාරූපශිල්පීන්ගේ අමතක නොවන ස්ථානයක් වන්නේ සිරිපාලගේ නිවසයි.සිරිපාලගේ රැවුල නිසා ඔහු තවත් කලාත්මක වී ඇත.
· මේ පාලම උඩ බිලිබාන පිරිස කොපමණ ඉන්නවාද?
බිලි බාන එක රැකියාව වශයෙන් කරන අය 25 ක වගේ ඉන්නවා.රැට මාලු මොද්දු අල්ලන අය 15 ක් විතර, උදෙටත් 10ක් 20 ක් ඉන්නවා.මේ රැකියාවෙන්ම හම්බ කරන අය 25ක් වගෙ ඉන්නවා කියන්න පුලුවන්.
- බිලි බාන්න එන්නේම මීගමුවේ අයද?
නැහැ. මීගමුවේ අයට වඩා පිට අය වැඩි.මිනුවන්ගොඩ , කටාන , කිබුලාපිටිය,කටුනායක ඒ වගෙ පැති වලින් එනවා.
· මොන වගේ මාලුද සාමන්‍යයෙන් අල්ලන්නේ ?
දැන් ගොඩාක් මරන්නේ තැඹලයා, ඕරුවො,ඉලත්ති, කරමොරැල්ලා ,ඔස්සා ඒ වගේ මලු තමා,
· සිරිපාල මාලු අල්ලන්න ගන්න පිති මොනා ද ?
මම ගන්නේ කිතුල් පිති තමා.කිතුල් පිත්ත අරන් ගැට ඇහැරලා පොත්ත පිහදාලා ගිනි මැලයක් ගහලා එකෙන් පදම් කරගන්නවා. එක අව්වේ දාලා වේලුනාට පස්සේ ගන්නවා වැඩට.ඒක මැෂින් පිති වලට වඩා ගොඩාක් හොදයි.
කොහොමද මීගමුවේ මිනිස්සු ?
මෙහෙ ඉතින් ගොඩාක් ඉන්නේ මුහුදු රැකියාව කරන අය තමා එයලා ගොඩාක් බීමට ඇබ්බැහි වෙලා.
අනෙක් පලාත්වලට වඩා මෙහෙ ගොඩාක් අය බොන්න පුරුදුවෙලා.හැලි අරක්කුත් ඔනම තැනක ගන්න තියනවා.ඒවා පොලීසියෙන් ඇල්ලුවත් ආයේ කරගෙන යනවා.
මීගමුව ගොඩාක් හොදයි හැමදේම වගේ තියනවා. ඕනම දෙයක් කරලා ජිවත් වෙන්න පුලුවන්.කුලී වැඩක් කරලා හරි.මම මේ මාලු රස්සාව කලාට මට දවසේ ආදායම් හම්බ උනේ නැත්තම් මම පලා ටිකක් හරි හොයන් ගිහින් විකුණනවා.දර පලන්න හරි යනවා.ඒ වගෙ වැඩ කරලා ජිවත් වෙනවා.ඒකට මීගමුවේ අවස්ථාව තියනවා.මිනිස්සු ඉතින් කම්මැලි කම්මැලි වෙලා බැහැ.වැඩ කලොත් තමා කාලා බීලා ඉන්න පුලුවන්.ඒ වගේම ඉතුරුත් කරනවා.