වෙන්නප්පුව කන්‍යාරාම මාවතේ තියෙන උදය පොත්හළ ආරම්භ කරලා තියෙන්නෙත් 1970 දී. ඒ කාලේ වෙන්නප්පුව නගරයේ පොත් කඩ තිබුණේ කීපයයි. ඒවායිනුත් උදය පොත්තකඩේ මගේ මතකයේ රැදිලා තියෙන්නේ අපි පාසල් යන කාලේ අපට මේ ස්ථානය විශේෂ ස්ථානයක් වු නිසයි. පාසල් පෙළපොත් වලට අමතරව අප පරිහරණය කළ කතන්දර පොත්,පෑන් පැන්සල්, පින්තූරු කොල, මකන කෑලි
ලස්සන ස්ටිකරස්, වෙසක් කාඩ් , සියල් පෑන් සියල්ල එතන තිබුණා. ඒ කාලේ ළමයින්ගේ අතට ගොඩාක් මාරු සල්ලි දෙන පුරුද්දක් තිබුණේ නෑ-පොතක් පෑණක් ගන්ඩ අවශ්‍යම මුදල පමණයි අපට ලැබුණේ – ” උදය පොත්හළට” අපි කිව්වේ රාජා මාමලාගේ කඩේ කියලා පෑනට තීන්ත දාගන්ඩ හැමදාම දුවන්නේ එතනට. සමහර දවස්වල පොතක් ගන්ඩ සල්ලි මදිවුණොත් අතමාරුවකට වුණත් අපි පොතක් – පතක් – පෑණක් ගත්ත හැටි තාම මතකයි – ඒකට හේතුව රාජා මාමා හැම ළමයෙකුගේ දෙමව්පියයෝ කවුද කියලා දැනගෙන හිටියා. පල්යේදී කඩපිලේදී හමුවුණා. ඔවුන්ගේ දරුවෝ අපිත් එක්ක පාසල් ගියා ඒකයි. අද ව්‍යාපාර කොතරම් නූතන වුවත් -කෙතරම් පාරිභෝගික භාන්ඩ පිරී තිබුණත් ඒ සම්බන්ධතා වල යම් සංස්කෘතිමය අඩුවක් තිඛෙන බව සමහර අවස්ථාවන්හිදී දැනෙන කරුණක්.ඒ නිසා වන්නට ඇති මම තාමත් කැමති කන්‍යාරාම මාවතේ පියනගද්දී ටිකක් නැවතිලා ඔවුන් ගැන විපරම් කරලා බලන්ඩ. මේ සටහන් වෙන්නේ උදය පොත්හළේ හිමිකරුවන් දෙපළ වන ඥාන සෞන්දරී මහත්මිය සහ වේදමුත්තු ප්‍රේම්රාජ් මහතා සමග ඔවුන්ගේ ව්‍යාපාරික ජීවිතයේ මතක සටහන් ගැන කළ පිළිසදරයි.
කන්‍යාරාම මාවතේ කඩේට ආවේ කොයි කාලෙද?
(ප්‍රේම්රාජ් )
අපි මේ කඩේට ආවේ 1970 දී වගේ. එතකොට මට වයස 21 යි.එතකොට මෙතන කඩ දෙකයි තිබුණේ.
මේ හරිය කැළේ වගේ තිබුණේ. දවල්ට හරිම අව්වයි. පුතාට එතකොට මාස 3යි. අව්ව වැඩි නිසා දවල්ට පල්ලිය වත්තට ගිහිල්ලා ඉන්නවා. රෑටත් නිදාගන්ඩ මහ කඩේ පිලට යනවා. ලයිට් මොකුත් නෑනේ ඒ කාලේ. මෙතනට ඒ කාලේ කඩකුලි දුන්නේ රුපියල් 40යි
( ඥාන සෞන්දරී)
මුලින්ම පත්තර ගෝනි,බෝතල් එකතුකරන එක තමා මෙතන කෙරුවේ. ඔහොම පත්තර එකතුකරගෙන ඉද්දී ඉස්කෝලේ යන ළමයි ඇවිදින් අහනවා පොත් නැද්ද කියලා , තව තව දේවල් අහනවා තියෙනවාද කියලා කියලා. ඒ ගමන තමයි අපි මීගමු ගිහිල්ලා රු 150කට බඩු ගෙනාවේ. ගෙනල්ලා අපි දෙන්නගේ අරපිරිමැස්ම අනුව ටික ටික දියුනු කරලා ගත්තා. එතකොට වෙන්නප්පුවේ පොත් කඩ දෙකයි තිබුණේ. එකක් රඹසෙවන. ඊට පස්සේ ටික ටික කොළඹින් ගෙනාවා. අපි සත පහට තමයි වෙසක් කාඩ් වික්කේ. පිටු 40 පොතක් ශත12යි. පැන්සලක් ශත 07යි. ඊරේසර් කෑල්ලක් ශත පහයි. ඒ කාලේ අපි කොළඹ යන නිසා පොත් -කාඩ් – ලියුම්කවර හදන තැන් දන්නවා. ඒ නිසා ඒ තැන් වලින්ම බඩු ගේනවා. ඒ නිසා අපට ලාභෙට දෙන්ඩ පුලුවන් වුණා. අපි ඒ කාලෙත් 10 ක් ලාභයක් තියාගෙන තමයි බඩු වික්කේ. කඩේ ඉන්න අතරේ තමයි මේ ඉන්න ගෙදර පර්චස් 40 අරගත්තේ. ඒ කාලේ වුණේ රු 6500යි.
ඒ කලේ ඉදන්ම තවමත් පත්තර,ගෝනි රස්සාව ඔබ කරනවා. කොහොමද ඒවායේ විස්තර?
(ප්‍රේම්රාජ් )
මම වෙන්නප්පුවේ ඉදලා කට්ටිමහනට යනවා බයිසිකලෙන් ගෝනි එකතු කරන්ඩ. ඒ කාලේ ගෝනි 100ක් විතර මිටියට බැන්දහම මගේ ඉහටත් උඩින් තියෙනවා ගෝනි මිටිය. ගෝනි එකතු කරලා කොළඹ ගෙනියනවා. ඉස්සර කොළඹට ගෝනි ගෙනියන්ගේ සති දෙකකට සැරයක්. මරින් රෝස් කඩේ තිබුණා ඉස්සර හුණු පෝරණයක්. ඒකට හික්කඩුවේ ඉදලා හුණු ගල් අරගෙන එනවා ලොරියක්.ඒ ගල් බාලා ලොරිය උදේ යද්දී මම ගෝනි ටික දාගෙන ඒ ලොරියෙම කොළඹ යනවා. ඒ කාලේ රු 1.50 ට තිබුණා හොඳම ගෝනියක්. 1.25 ට වගේ මුදලට මම ගන්නවා.අරගෙන 10 % ක් තියාගෙන දෙනවා.
මම කොළඹ යන්නේ මෙහේ එකතු කරන බඩු අරගෙන. ගෝනි පත්තර විකුණලා කඩේට උවමනා කරන අයිටම් අරන් එනවා. ඒ නිසා තමයි අඩුවට දෙන්නේ. ඒ කාලේ මිනිස්සුන්ගේ අතේ සල්ලි නෑනේ. බඩු තිබුණට සල්ලි නෑ. සුළු පඩියක්නේ හම්බ වෙන්නේ.
ඒ කාලේ වෙළඳාමයි දැන් කාලේ වෙළඳාමයි ගැන මොකද හිතෙන්නේ ?
දැන් වෙළඳාම කරන අය කොමිස් එක වැඩියෙන් තියෙන පොත් තමයි ගෙනල්ලා විකුණන්නේ. හොඳ පොත් තිබුණත් ඒවා දැන් ළමයිට ගන්ඩ විදිහක් නෑ. හොඳ පොත් තියෙනවා. නමුත් ඒවයින් ලාබේ අඩු නිසා ගෙනල්ලා විකුණන්නේ නෑ. අපි පොත් තොඟ මිළටත් වික්කා. සමහර දවස් තිබුණා එක දවසට කොළඹ දෙපාරකුත් ගිය දවස්. දැන් පොත් වෙළඳාමේදී අතරමැදියෝ කීපදෙනෙක් ඉන්නවා. ඒ අයටත් ලාභේ ඛෙදෙනවානේ.ඒ කාලේ කොළඹ තිබුණා පොත් කඩයක් පීරිස් රණසිංහ කියලා. ඒ ගොල්ලෝ පොත් හදලා,කටු ගහලා දෙනකම් දෙනකම් අපි ඉදගෙන ඉන්නවා. ගුණසේන පොත්, ගොඩගේ පොත් තවමත් හොඳයි. ඉස්සර අපි ඒ තැන්වලට යනවා. ඒ අයත් හරිම හොඳ මිනිස්සු. සල්ලි තිබුණා කියලා කිසි ආඩම්බරයක් නෑ. අපිට හොඳට සංග්‍රහ කරලා, අපේ දරුවෝ ගැනත් අහලා තමයි අපිව එවන්නේ. දැන් සමහර අලුත් ව්‍යාපාරිකයෝ ඉන්නවා කඩේකට ගියහම ගණන් ගන්නේ නෑනේ. ඕන නම් ගනින් නැත්නම් පලයං වගේ තමයි ඉන්නේ. ඒකට හේතුව තමයි සමහරු මුල ඉදලා දුක්විඳලා ආපු අය නෙමෙයි. ඉස්සර නම් අපි ඉන්දියන් කඩයක වැඩ කෙරුවොත් ඉස්සර වෙලා දාන්නේ වලං හෝදන්ඩ. ඒක හොඳට කරනවාද කියලා බලනවා. ලූණු පොලන්ඩ ඕනා, මිරිස් කරල් පිහන්ඩ ඕනා. දැන් වගේ මිරිස් ගෝනිය නිකම් තියන්නේ නෑ. ඒකේ ඇට අරන්දාලා මිරිස් පිහලා,කරලා සුද්ද කරලා තමයි තියන්නේ.ඒවල දැන් වගේ නෙමේ දූවිලි නෑ. දැන් කඩවලට එන සේවකයින්ට මොකුත් කියන්ඩත් බයයි, මොකද එහෙම වුණොත් අස්වෙලා යනවා යන්ඩ. දැන් සේවකයෙක් හොයා ගන්ඩත් අමාරුයි.
83 ජූලි කලබල මතකද ?
( ඥාන සෞන්දරී)
ප්‍රා.සභාවේ වැඩකරපු අපේ යාලුවෝ දෙන්නෙක් ඇවිල්ලා කිව්වා ‘‘අක්කේ ඔයාලගේ නමත් තියෙනවා ලිස්ට් එකේ ඔයාලගෙත් කඩ කඩයි,අපි මේක ටිකක් අස්කරමු කියලා. පස්සේ අපි ලඟ තිබුණ වටිනාම බඩු දැම්මා තේ කොල පෙට්ටි දෙකක. ඒ කාලේ හැටියට රු 15000ක 20000ක විතර වටිනා බඩු. ඒවා පෙට්ටියක දාලා තැනක අරන් තිබ්බා. එතකොටම ආවා අපේ හිතවතෙක් ජෝර්ජ් අප්පුහාමි කියලා එයා ලඟ පැඩ්නා කාරෙකක් තිබුණා. කිව්වා ඉක්මණට දාපන් ඔය බඩු ටික ලුණුවිල හන්දියේ කඩ වලට ගිණි තියාලා ගිණි ගන්නවා කියලා.පස්සේ මම ඒ කාරෙකේ නැගලා ගෙදර එනකොට නන්දා මිස් (වෙන්නප්පුව කනාරාමයේ හිටපු ඉංග්‍රීසි ගුරුවරියක්) ඇවිත් ළමයි දෙන්නාව අරන් ගිහින් තිබුණා. කඩේ තිබුණ රතිඤ්ඤා ටික එළියට දාලා ගිණි තියලා තිබුණා. කඩේට ගිණි තියන්ඩ යද්දී කවුරු හරි කියලා තියෙනවා අල්ලපු කඩේ සමූපකාරේ තියෙන්නේ උඹලට ණය ගෙවන්ඩ වෙයි කියලා. එකෙන් කඩේ බේරුණා. ඒ වගේම අපි හිටපු ගේත් ගිණිතියන්ඩ ඇවිත් තිබුණා. පස්සේ වටේ පිටේ කොල්ලෝ ඒ මිනිස්සුන්ව එළවලා තිබුණා. පස්සේ ගේ පිටිපස්සේ මට්ටා ගොඩකට ගිණි තියලා තිබුණා. අපි පොලීසියටත් ගියා. පොලීසියෙන් කිව්වා වෙන්නප්පුව කන්‍යාරාමයේ කඳවුුරක් දාලා තියෙනවා ඒකට යන්ඩ කියලා. පස්සේ මම කිව්වා කඳවුරේ හිටියොත් ඔයාලා දවස් දෙකක් කන්ඩ දෙයි අපේ රස්සාව අපි කරගන යන්නේ කොහොමද ? කවුද ඒවට වන්දි ගෙවන්නේ කියලා.
(ප්‍රේම්රාජ් )
වෙන්නප්පුවේ ටවුමේ කඩ වලට ගිණි තියද්දී බඩු එළියට ඇදගෙන තමයි ගිණි තිබ්බේ. ඒවා ඉතින් පස්සේ විකුණ ගත්තා. සමහරු කඩ අයිතිකාරයෝ මේ කලබල එනවා කියලා දැනගෙන කලින්ම බඩු ඇදගෙන තිබුණා. ඒ වගේම ගිණි තියන්ඩ ආාපු මිනිස්සුත් කඩවල තිබුණ බඩු ඇදගෙන තමයි ගින්දර තිබ්බේ. ජූඩ් කඩේටත් ගින්දර තිබ්බා. ඒ වෙලාවේ වෙන්න්ප්පුවේ හෙට්ටි කඩ දෙකක් තිබුණා, ගොඩාක් හිටියේ ඉන්දියාවෙන් ඇවිත් ව්‍යාපාර කරපු දෙමළ අය. යාපනෙන් ඇවිත් හිටියා කන්දසාමි කියලා කෙනෙක්.
පිටර්ස් රෙදි කඩේ නෑ දැන්. ජෝශප් රෙදි කඩේ නෑ, මංජුලා කියලා රත්තරන් බඩු කඩේ නෑ.කොහොමහරි වෙන්නප්පුවේ දෙමළ ව්‍යාපාරිකයෝ හිටියා දහයක් විතර. පස්සේ ඒ ගොල්ලන් තැනින් තැනට ගියා.
පස්සේ මොකද වුණේ ?
(ප්‍රේම්රාජ් )
පස්සේ අපි ගිහින් පෙස්ටස් පෙරේරා මහත්තයාව හම්භ වුණා. හම්භවෙලා කිව්වා වෙච්ච කරදරේ. ගෙදරත් කඩේට අවශ්‍ය බඩු තිබුණා. නමුත් කඩේ ලෑලි ටික තිබුණේ නෑ.
පස්සේ අපේ ගමේ හිටිය ෆයස් මහත්තයා ලෑලි ටික හදලා දුන්නා. සල්ලි ගත්තෙත් නෑ. පස්සේ තමයි කඩේ ඇරියේ.
එදා ඇතිවෙච්ච බය අපේ තාම තියෙනවා. ඒ පුරුද්දට අපි කඩේට ගේන බඩු කවදාවත් ඔක්කොම කඩේට දාන්නේ නෑ. ගෙදර කොටසක් තියාගන්නවා. මොකද මොනවාහරි ප්‍රශ්නයක් වුණොත් පාරේ හරි දාලා විකුණන්ඩ බලාගෙන තමයි මම එහෙම කරන්නේ.පස්සේ මේ කඩේ අයිතිකරුවන් කඩ කුලිත් වැඩි කළා නමුත් අපිට නැවතත් දුන්නා.
ඔබ වොලිබෝල් ක්‍රීඩකයෙක් ඒ ගැන යමක් කියන්න ..
75 වර්ෂයේදී තමයි මම වොලිබෝල් ක්‍රීඩාවට සම්බන්ධ වුණේ’ මම වෙන්නප්පුවේ ශාන්ත ජෝශප් වොලිබෝල් කණ්ඩායමේ සෙල්ලම් කළා. ඒ වගේම ටික කාලයක් එහි නායකත්වයත් දැරුවා. පෙස්ටස් මහත්තයා ජෝශප්වාස් එක ඉදිරිපට ඉඩම ලබාදුන්නා , සුද්ධ කරලා සෙල්ලම් කරන්ඩ පුලුවන් තත්වයට අපි ගත්තා. දැන් තවමත් එතන වොලිබෝල් ගහනවා.
ආපහු හැරිලා බලද්දී මොකද හිතෙන්නේ ?
(ප්‍රේම්රාජ් )
සෑහෙන අමරුවෙන් අපි දෙන්නම ලොකු ගමනක් ආවා. අපේ ළමයිත් පාසල් යන්ඩත් ඉස්සර වෙලා කඩේ වැඩ කරලා තමයි ඉස්කෝලේ යන්නේ. ගිහින් ඇවිල්ලත් කඩේ වෙළදාමට ඒ ගොල්ලේ උදව් වුණා. ඉතින් එයාලව ලොකුමහත් කෙරුවේ ,ඉගැන්නුවේ ඔක්කොම මේ වෙළදාමෙන් තමයි. ඒ ගැන සතුටුයි. 2012 දී මට අංශභාග රෝගය වැළදුණා. තරමක් සුව වුණා. තාමත් වැඩ කරනවා.
පවුලේ තොරතුරු ?
අපි දෙන්නාම ගියේ මැදගම පාසලට. අපි නෑදෑයෝ. මමයි අපේ අම්මයි තාත්තයි මල්ලිලා තුන්දෙනයි. අපි හිටියේ වෙන්නප්පුවේ. ඉස්සර අපේ අම්මා වෙන්නප්පුව ෂැම්රොක් ෆිල්ම් හෝල් එක ලඟ කඩල , රටකජු වික්කා. එයාගේ නම සෙල්ලකන්නි අම්මා. පසුව අපිව විවාහ වුණා. මගේ මල්ලිලා තුන්දෙනාගෙන් එක්කෙනෙක් දැන් ධීවර සහකාරවරයෙක්. අනිත් දෙන්නයි එයාලගේ දරුවෝ සහ පවුලේ ඔක්කෝම ඉතාලියේ තමයි ඉන්නේ. මට දුවලා දෙන්නයි එක පුතයි. උදය කුමාර්, සෙව්වන්දි තේසමලර්, ලූර්දු සූරියකාන්ති.
සටහන – කුමාරි ප්‍රනාන්දු