මුස්ලිම් මහපල්ලිය ලග කැඩුනු පාර ෆරිස්ට අමතක වුනේ ඇයි

0
163


මීගමුව , ජුම්මා මස්ජිද් පල්ලිය අසල , යොන් වීදිය අවසන් වන ස්ථානයේ අනතුරුදායක වලක් නිර්මාණය වී ඇත . මෙම වල දැනට දින ගනනාවක් තිස්සේ මේ ආකාරයෙන් තිබෙන බවත් , නගරසභාව හෝ වෙනත් වගකිවයුත්තෙකු මෙය යථාතත්වයට පත්කිරීම සඳහා මැදිහත් නොවූ බවත් ප්‍රදේශවාසීන් පවසති.

මෙහි දමා ඇති කොන්ක්‍රීට් ලෑල්ලක් කැඩී යාම නිසා මෙකී වල නිර්මාණය වී ඇත. මේ නිසා කිහිප දෙනෙකු තුවාල සිදුකරගත් බව අසල කඩ හිමියෙකු අප සමඟ පැවසීය . මෙම පල්ලියට නිතර විශාල පිරිසක් පැමිණෙන බැවින් එය වඩාත් බරපතල තත්වයක් බව කිව යුතුය. එසේම මෙම ස්ථානය හතරමං හන්දියකි.

ප්‍රදේශවාසීන් වගකිවයුතු අය හමුවී මේ ගැන දැනුම්දී ඇති නමුත් කිසිදු බලධරයෙකු මේ පිළිබඳව තවමත් අවධානය නොදුන් බව ඔවුන් පවසයි .

වඩාත් වැදගත් කාරණය වන්නේ ප්‍රදේශයේ නාගරික මන්⁣ත්‍රී වරයා වන පරිස් මහතාගේ නිවස පිහිටා තිබෙන්නේ ද මේ අසලමය. එබැවින් අවට ජනයා මේ පිළිබඳව කතා කරන්නේ දැඩි කලකිරීමකිනි. ඒනිසා පවතින අනතුරු දායක තත්ත්වය සැළකිල්ලට ගෙන මෙය යථාතත්වයට පත්කරන මෙන් සියළු බලධාරීන් ගෙන් අප ඉල්ලා සිටින්නෙමු.
මීගමුව මහ පල්ලිය ලඟ අනතුරු දායක වල පරිස්ට නොපෙනුනේ ඇයි?

මීගමුව ජුම්මා මස්ජිද් පල්ලිය අසල ( මහ පල්ලිය ) යොන් වීදිය අවසන් වන ස්ථානයේ අනතුරු දායක වලක් තිබෙන බව කියමින් පසුගිය දිනවල අපට නිතර දුරකතන ඇමතුම් ලැබින. දමා තිබුණු කොන්ක්‍රීට් ලෑල්ලක් කැඩී යාමෙන් මෙම වල නිර්මාණය වී ඇත. එසේම මෙම කොන්ක්‍රීට් ලෑලි අතර පරතරය වැඩි හෙයින් නිතර යන එන අය තුවාල කරගන්නා බව අසල කඩ හිමියෙකු පැවසීය. එසේම මෙය හතරමං හන්දියකි. පල්ලියට නිතර පැමිණෙන පිරිස නිසා මෙම තත්ත්වය තවත් බරපතලය. එපමණක් නොව ප්‍රදේශයේ මන්⁣ත්‍රී වරයාගේ නිවස පිහිටා ඇත්තේද මෙම අනතුරු දායක වල අසලමය.


ඒනිසා ප්‍රදේශවාසීන් තුළ පරිස් මන්⁣ත්‍රී වරයා පිළිබඳව තිබුණේ දැඩි කලකිරීමක් බව ඔවුන් කරන ප්‍රකාශ තුළින් පැහැදිළි විය .
අප එම ස්ථානයට ගොස් පින්තූර කිහිපයක් ගත් අතර ඒ වනවිට වෙලාව ප.ව. 3.00 ට පමණවී ඇත .
ඉන්පසු කාර්‍යාලයට ගොස් මෙම ප්‍රවෘත්තිය ලියමින් සිටින අතර හදිසියේම එම වල යථාතත්වයට පත්කළ බවට දුරකතන ඇමතුමක් ලැබිණ .

එවිට වෙලාව 3. 50 ට පමණ වී තිබිණ . මෙය විනාඩි ගනනාවක නැතහොත් පැය භාගයක පමණ වැඩකි. මෙතෙක් තමන්ගේ වගකීම ඉටු නොකල බලධාරියාට මේ හදිසියේ ප්‍රදේශවාසීන් ගැන අනුකම්පාවක් ඇතිවීම පුදුම සහගතය.


මේ අනුව අපට පැහැදිළි වන්නේ නගරයේ ඇති බොහොමයක් ජනතා ප්‍රශ්ණ ක්ෂණිකව විසඳිය හැකි ඒවා බවය. එකම ප්‍රශ්ණය වන්නේ අදාල වගකිවයුතු අය මේවා සම්බන්ධව නිද්‍රාශීලි ව සිටීමයි. ඔවුන් මෙසේ හැසිරේ නම් ජනතාවට කිවයුත්තේ ඉදිරියේදී හෝ මෙවැනි ජනතා නියෝජිතයන් පත්කිරීමේදී හොඳින් සිතා බැලීම වැදගත් වන බවය.
සැම්සන් ඥානසිරි