ජනාධිපති සිරිසේන රාජ්‍ය නත්තල් උත්සවය සමරන්නට යාපනයට ගියේය. ඒ ගිය අතරවාරයේ විසි පස් වසරකට කලින් උතුරු වලිකාමම්හි හමුදා වාඩිලා ගත් ගම් බිම්වලින් නෙරපා හරින ලදුව උන් හිටි තැන් අහිමි වූ ජනයා බැහැ දකින්නට ද හේ අමතක නොකළේය. ඒ ජනයාගේ ‘ඛේදනීය ජීවත තතු නොදැන සිටීම ගැන තමන් තමන්ටම දොස් පවරා ගන්නා බව’ ජනාධිපතිවරයා කීවේ යැයි ජනවාරි 4 වැනිදා ‘හින්දු’ පුවත්පත වාර්තා කොට තිබිණ. ඒ ප‍්‍රකාශය කරන ලද්දේ ඉකුත් විසි හත් වසර අඛණ්ඩව ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කළා වූද, ඉන් 17 වසක් කැබිනට් ඇමති ධූර දැරුවා වූද දේශපාලකයෙකු විසිනැයි කිසිවෙකු ලියා නොතිබිණ.
ඒ වෙනුවට 27 වැනි ඉරිදා දිවයින පත‍්‍රයේ මෙසේ ලියා තිබිණ: ‘‘යාපනයේ රාජ්‍ය නත්තල් උත්සවයට කොළඹින් නෑදැයෝ ගියේද තෑගි බෝග පිරිවරාගෙන ය. ඒ නෑදැ පිරිවරේ නායකයා රටේ ජනාධිපති ය. ජනාධිපති යාපනයේ නත්තල් උත්සවයට පැමිණෙනවා යැයි යන සිතුවිල්ලම යාපනයේ ජනතාවට නත්තල් ය. යාපනයේ ජනතාව එය ආශිර්වාදයක් යැයි සිතූහ. ඒ ආශිර්වාදය පිළිගැනීමට ඔවුහු සැදී පැහැදී සිටියහ. මේ එන්නේ දකුණේ පමණක් නොව, අප සැමගේ නායකයා යැයි එම ජනතාවගේ සිත් සතන් තුළ විය…කොටින්ම අපටත් දැන් රජෙක් ඇතැයි ඔවුහු සිතති.’’
දෙමළ ජනයාට උදා වූ ඒ ‘නත්තල් ප‍්‍රාතිහාර්යය’ ගැන ජනවාරි 03 වැනිදා ‘සන්ඩේ ලීඩර්’ පත‍්‍රය මෙසේ ලීවේය: ‘‘අප දන්නා සිරිසේන මීට කලින් ජාතිභේදවාදය වෙනුවෙන් පෙනී සිටි හෝ දෙමළ ජනයාගේ ප‍්‍රශ්න ගැන ගැඹුරින් දැන සිටි හෝ අයෙක් නොවේ. දැන් රාජ්‍ය ප‍්‍රධානියා වශයෙන් ජනාධිපතිවරයෙකුට ගතහැකි ශ්‍රේෂ්ඨතම පියවර ඔහු විසින් ගෙන තිබේ. එනම්, අපගේ දෙමළ සහෝදරයන්ගේ මුළුතැන් ගෙවල්වලට ගොඩ වැදීමයි’.
නමුත් 2015 නොවැම්බර් මාසය වනවිට යාපනයේ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය විසින් සම්පිණ්ඩනය කරන ලද සංඛ්‍යා ලේඛනවලට අනුව, යාපනයේ වැසියන් 10,359 දෙනෙකුට අයත් අක්කර 7,393ක බිම් ප‍්‍රමාණයක තවමත් රාජ්‍ය හමුදාවෝ වාඩි ලා සිටිති. එහි අර්ථය යුද්ධයේ අවසානය නිවේදනය කොට හත් වසක් ගෙවුණු තැන කොළඹ මහනගර සභා බල ප‍්‍රදේශයෙන් සියයට 80කට සමාන භූමි භාගයක දිවි ගෙවූ ජනයාට සිය ගේ දොර, වගා බිම් තව දුරටත් තහනම් ප‍්‍රදේශව පවතින බව ය. හිටි අඩියේ නත්තල් දා මුළුතැන්ගෙයින් ගැළවුම්කාර ජනාධිපතිවරයෙකු පහළ වීමේ රමණීය ආශ්චර්යය ඊට හිලව් වශයෙනි.
නමුත් මුලතිවු දිස්ත‍්‍රික්කයේ වට්ටුවාකල් පාලමේ සිට පුදුකුඩියිරිප්පු දක්වා අක්කර 617ක් පුරා පැතිරුණු දෙමළ ගම්බිම්, නාවුක හමුදාව විසින් පවරා ගැනීමට එරෙහිව ජනවාරි 02 වැනිදා විරෝධය පෑ ජනයාගේ කතාව ද, යුද හමුදාවන්ට වාඩි ලා ගනු පිණිස අක්කර 475ක බිම්වලින් පලවා හරින ලද කේප්පාපිලවු ගම්වාසීන් සිය ඉඩකඩම් ලබාදෙන මෙන් ඉල්ලා ජනවාරි 05 වැනිදා කළ උද්ඝෝෂණයේ කතාව ද ඉහත උද්වේගකර කොළඹ වාර්තාවන්ට පිටින් ඇති යථාර්ථයන් බව සැළකුව මනා ය. නැගෙනහිර පළාතේ අම්පාර හා මඩකළපු දිස්ත‍්‍රික්කයන්හි මෙන්ම මන්නාරම් දිස්ත‍්‍රික්කය ආශ‍්‍රිතව දැන් දියත් වන ඉඩම් අල්ලා ගැනීම් සහ සිංහල ජනපදකරණ සැළසුම් ඊටත් අමතර වශයෙනි.
තමන් තුළ වන අගතීන් අනෙකාට ආරෝපණය කොට එය තමාගෙන් බාහිරව පවතින නරකක් සේ සැළකීම ෆ්‍රොයිඩියානු මනෝ විශ්ලේෂණයේ හඳුන්වන්නේ ‘ප‍්‍රක්‍ෂේපණය’ යනුවෙනි. මේ හා සමීපව ගැට ගැසුණු තවත් සංකල්පයක් මනෝ විද්‍යාවේ එයි. ‘ව්‍යාජ ඒකමතිකත්ව අගතිය’ (False consensus bias) සේ හැඳින්වෙන එය වනාහී, තමන්ගේ විශ්වාසයන්, වටිනාකම් හා ආශාවන් තමන්ගෙන් බාහිරවුන් ද ඒ හා සමානව පිළිගනිතැයි ඇදහීමට ඇති නැඹුරුවයි. පාරම්පරිකව දිවි ගෙවූ ගේ දොර, වගා බිම්වලින් පලවා හරිනු ලදුව විසි පස් වසක් අවතැන් නරකාදියක දිවි ගෙවන්නට බල කෙරුණු දෙමළ ජනයා මුළුතැන් ගෙයින් පහළ වී ‘බත් මුට්ටි හැර බලන’ ජනාධිපතිවරයෙකුගේ මෙත්තාවෙන් නිවී සැනසුණැයි කියැවෙන කතා අයත් වන්නේ මේ ගණයට ය.
‘ඵලදායී ප්‍රොපගැන්ඩා සැළැස්මක් විශ්වාසය තබන්නේ මුසාවන් වෙනුවට එය රාමුගත කරන ආකාරයත්, ඇත්ත බිඳ දමනු වෙනුවට එය විකෘත කරන ආකාරයත්’ ගැන යැයි මයිකල් පරෙන්තී වරක් ලීවේය. ඒ අනුව බලතොත් ජනාධිපතිවරයාගේ යාපන සංචාරය ඇත්තකි. කෝනාපුලම් කඳවුරේ විසි පස් වසක් දිවි ගෙවන උතුරු වලිකාමම් යුද අනාථයන්ගේ කතාව ද ඇත්තකි. තෝරාගත් සේයා රූ, සිරස්තල හා උධෘත මගින් මේ ඇත්ත, සිය පිළිගැනීම් හා ආශාවන්ට සරිලන සේ ප‍්‍රතිරාමු ගත කෙරෙන්නේ ලියන්නාගේ විශ්වාසයන් දෙමළ ජනයාගේ සාමූහික ඇදහිල්ලක් සේ ඉදිරිපත් කෙරෙන ‘ව්‍යාජ ඒකමතිකත්වයක්‘ නිර්මාණය කරමිනි.
ඇත්ත නම්, දෙමළ ජනයා ගැළීගත් නිරා දුක් පිරිපතින් සසළ වූ හදැති ගැළවුම්කාර සිංහලයන්ගේ ප‍්‍රදර්ශනකාමී කරුණා මහිමය හෙළිකරන්නේ තමන්ගේම සද්භාවය ගැන ස්වයං ප‍්‍රශංසාවට ඇති ලෝභය මිස, ඓතිහාසික වැරැද්දක් නිවැරදි කිරීමේ සාමූහික විගීෂාවක් නොවේ. වර්ග කිලෝ මීටර් 29ක පැතිරගත් පාරම්පරික ගම්බිම්වලින් පිටවහල් කොට දුගී භාවයේ කුරුසියට තබා ඇණ ගැසූ ජන පිරිසකට ‘රාජකීය නත්තල් ප‍්‍රාතිහාර්යයන්ට’ වඩා යුක්තිය වැදගත් වන්නේ එහෙයිනි.☐
(මෙම ලිපිය 2016 ජනවාරි 10 වැනිදා ‘රාවය’ පත්‍රයේ මුලින් පළ විය.)
රෝහිත භාෂණ අබේවර්ධන