මෙන්න නියම නායකයෝ ! කැනඩාවේ අගමැතිගෙන් ඉගෙනගමු !

0
118

FB_IMG_1578719843824FB_IMG_1578719850698

යුක්රේන ගුවන් යානයක් ඉරාන ගුවන් සීමාව තුළ පිපිරී කඩා වැටීම – කැනඩාවම ශෝකයට පත් කරමින් කැනේඩියානුවන් 63 දෙනෙකු ඇතුළු 178 දෙනෙක් එතැනම මිය යාම – කැනඩාවේ ප්‍රඥාවන්ත ප්‍රතිචාරය 1:
කැනඩාවේ යොවුන් අගමැතිගෙන්, නායකයන් ගෙන්, මාධ්‍ය වලින් සහ ජනතාව ගෙන් ලංකාවට පාඩම්

පසුගිය බදාදා ඉරානයේ දී යුක්රේන ගුවන් සේවයට අයත් යානයක් පිපිරී කඩා වැටී එහි සිටි කාර්ය මණ්ඩලය ඇතුළු 178 දෙනාම මිය යාම දැවැන්ත ම සංවේගයක් බවට පත් වූයේ කැනඩාවට යි. මන්ද මිය ගිය අතරින් 63 දෙනෙකු ම කැනඩාවේ පුරවැසියන් වීමයි. ඒ අතරින් 30 දෙනෙකු අප ජීවත් වන එඩ්මන්ටන් නගරයේ වන අතර ඒ අතරින් බහුතරයක් සරසවි ශිෂ්‍යන් හෝ කථිකාචාර්ය වරුන්. බොහෝ දෙනෙක් සිව්ල්ල් ඉංජිනේරුවන් හෝ වෛද්‍ය ශිෂ්‍යයන්.

තවත් වැදගත් කාරණයක් තිබේ: එනම් මෙසේ මිය ගිය සියලු දෙනා ම ඉරානයේ උපන් කැනඩා පුරවැසියන්. නැතහොත් ඉරානීය -කැනඩා දෙමාපියන්ට කැනඩාවේ දී උපන් තරුණ තරුණියන්. ඔව්. ඒ හැම දෙනාම ඉරානීය ඉස්ලාම් බැතිමතුන්. නිදහස සොයා බහුතර කිතුනු රටකට පැමිණි ඉස්ලාම් බැතිමතුන්. (කැනඩාවේ ඉරාන ජාතිකයන් 200,000කට අධික පිරිසක් සිටිනවා). නත්තල් නිවාඩු සමයේ නිවාඩු ගන්නට, විවාහ වන්නට, ඉරානයේ සිය නෑ සියන් ගේ උත්සවයකට ආදී වශයෙන් විවිධ කාරනා වලට ඉරානයට ගිය ඔවුන් මේ අවාසනාවන්ත ගුවන් යානයෙන්, යුක්රේනයේ කියේව් නුවර හරහා කැනඩාවට එන්නට සූදානමින් සිටියා. පැයක් ප්‍රමාද වී ගමන ආරම්භ කල යානය ගුවනට පිවිස විනාඩි දෙකක් තුළ කඩා වැටුනා. දැවැන්ත ඛේදවාචකයක්.

මේ ගුවන් යානය කඩා වුනේ ඇයි? හැම කැනඩා ජාතිකයකු තුල ම පැනනැගුනු පලමු ප්‍රශ්නය එයයි.

එහෙත් ඊට වඩා ප්‍රමුඛව ඔවුන් කම්පනයට පත් කළ දෙයක් තිබුනා. එනම් මේ මිය ගියේ “අපේ” ජනතාව. “කැනේඩියානුවන්”. ඔවුන් මුස්ලිම් ද ක්‍රිස්තියානි ද කියන එක නෙමෙයි හදවතට වද දුන්නේ. ඒ මැරුණේ අපේ අසල්වාසියේ, අපේ කැම්පස් එකේ, මම වැඩ කරන තැන මගේ යාලුවෙක් කියන එක විතරයි. මුළු කැනඩාව ම, හැම මාධ්‍යයක් ම, ඒ අය ජීවත් වුනු හැම නගරයක් ම, හැම යාලුවෙක් ම මිය ගිය අය වෙනුවෙන්, ඒ අයගේ ඥාතීන් සමග තවමත් අඬනවා. මුස්ලිම් නම් තියෙන, ලෝකයේ ත්‍රස්තවාදී රාජ්‍යය කියල ඩොනල්ඩ් ට්‍රම්ප් හඳුන්වන ඉරාන රටේ මිතුරන් වෙනුවන් ඒ ජාතියටවත් ආගමටවත් අයිති නැති අය ශෝක වෙනවා. රින 30 අධික සීතල නොතකා හැම ප්‍රධාන නගරයක ම රාත්‍රී Vigil පවත්වනවා. විවිධ රටවලින් පැමිණි, විවිධ ආගම් අදහන, විවිධ ජනවර්ග එක්සත් කර, බැඳ තබන පොදු සාධකය: “කැනේඩියානු” බව. මෙතනදී අවදි වුනේ ඒ අනන්‍යතාව යි. (මේ රටෙත් වර්ගවාදය අවුළුවන්නට උත්සාහ කරන අන්තවාදී කුහකයන් බොහෝ දෙනෙක් ඉන්නවා. ” මේ කැනඩාව” කියන, ආගමික හෝ වාර්ගික උන්මාදයෙන් නොව “මනුෂ්‍ය” ඇසින් සියල්ලන් දෙස බලන බහුතරය විසින් ඒ අන්තවාදීන් පරාජය කරනු ලබනවා.)
ඒ එක කාරණයක්.
දෙක.
කොහොමද මේ යානය කඩා වැටුණේ? කවුද ඊට වගකිව යුත්තේ? මේ ප්‍රශ්න හැමෝගෙම හිතට වද දුන්නා. ඒ ප්‍රශ්න අනිවාර්යයෙන් ම පිළිතුරු ලැබිය යුතු ඒවා.
ඒත් ජනතාව ඒ ප්‍රශ්නවලට පිළිතුරු හොයන්න ගියේ නැහැ. ඒ ගැන තම තමන් ගේ මත ප්‍රකාශ කරන්න ගියේ නැහැ. තර්ක විතර්ක කරන්න ගියේ නැහැ. ඒ මගින් සමාජය අවුලුවන්න, ප්‍රකෝප කරන්න ගියේ නැහැ. ඒ ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමේ වගකීම තිබෙන්නේ ආණ්ඩුවට. ඒ නිසා ආණ්ඩුවට එය සොයන්න ඉඩ දීලා විපතට පත් වූවන් වෙනුවෙන් ශෝක වුනා. ඔවුන් ගේ ඥාතීන්ට උපකාර කළ හැකි ක්‍රම සෙවුවා.
ඊළඟට ජන මාධ්‍ය.
මේ රටේ ජන මාධ්‍ය තමන් ගේ සීමාව දන්නවා. පළමුවන දවසේ ජනමාධ්‍ය මේ ප්‍රශ්න ඇහැව්වා. කොහොමද මේ යානය කඩා වැටුණේ? යාන්ත්‍රික දෝෂයක්? යානය තුළ පිපිරීමක්? මිසයිල ප්‍රහාරයක්ක? කවුද ඊට වගකිව යුත්තේ? එය හොයා ගන්න හැකි වේවි ද? ඉරානය පරීක්ෂණ වලට සහය වෙයි ද? අදාළ අංශවල ප්‍රවීනයන්, රාජ්‍ය තාන්ත්‍රිකයන් සමග ඔවුන් ඒවා සාකච්ඡා කළා. ඒත් ඔවුන් තමන් ගේ මත ඉදිරිපත් කලේ නැහැ. ජනතාව ප්‍රකෝප කලේ නැහැ. ඒ වෙනුවට ඔවුන් ශෝක වන්නන් සමග ශෝක වුනා. මිය ගිය හැම කැනඩා පුරවැසියකු පිළිබඳව ම කතා කළා. සිද්ධිය ගැන සමතුළිත, සවිස්තර, විෂයමූලික තොරතුරු ඉදිරිපත් කළා.
මෙතැනදී ආගමික නායකයන් තමන් ගේ සීමාව දැන සිටියා. ඔවුන් නොදන්නා සහ වගකීමක් නැති දේවල් ගැන තර්ක නගන්න ගියේ නැහැ. සියල්ල විසඳීම ආණ්ඩුව මත පවරා ඔවුන් තම වගකීම් බලා ගත්තා.
ඊළඟට කැනඩා ආණ්ඩුව. අගමැති කොහොමද හැසිරුනේ? ඊළඟ කතාවෙන් එක ගැන කතා කරන්නම්

FB_IMG_1578719853533

යුක්රේන ගුවන් යානයක් ඉරාන ගුවන් සීමාව තුළ පිපිරී කඩා වැටී කැනේඩියානුවන් 63 දෙනෙකු ඇතුළු 178 දෙනෙක් එතැනම මිය යාම –
කැනඩාවේ ප්‍රඥාවන්ත ප්‍රතිචාරය 2:
කැනඩාවේ යොවුන් අගමැති ගේ ප්‍රතිචාරය
පළමුවැනි දවස අගමැති ජස්ටින් ටෘඩෝ වැය කලේ සිද්ධිය ගැන ප්‍රඥාවන්තව අධ්‍යනය කරන්නට යි . අවශ්‍ය රාජ්‍ය තාන්ත්‍රික, ආරක්ෂක අංශ සමග වගකීමෙන් සාකච්ඡා කරන්නටයි . ප්‍රශ්නවලට හැකි තරම් විසඳුම සොයන්නටයි . එ අතර ඔහු තවත් වැදගත් දෙයක් කළා. ඒ විපතට පත් කැනඩා ජාතිකයන් ගේ ඥාතීන් සහ ශෝක වන්නන් සොයා ගොස් ඔවුන් ගේ ශෝකය බෙදා ගැනීමයි.FB_IMG_1578719847375
දෙවැනි දවස
අගමැති ටෘඩෝ මේ සිද්ධියෙන් පසුව ප්‍රථම වතාවට මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූවේ දෙවැනි දවසෙ. ඒ වන විටත් මේ යානය කඩා වැටීමට හේතුව හෙළිවී තිබුනේ නැහැ. තිබුනේ සැක සහ උපකල්පන පමණයි.
“මේ සිද්ධියෙන් විපතට පත් වූ අයගේ ඥාතීන්, හිත මිතුරන් ඇතුළු එම සිද්ධියෙන් ශෝක වන සියල්ලන්ට මා කිව යුතු දෙයක් තිබෙනවා. මමත්, කැනඩා ආණ්ඩුවත්, මුළු කැනඩාවමත් ඔබ සමගයි.” ඔවුනට කැනඩාවේ ම ශෝකය ප්‍රකාශ කරමින් ටෘඩෝ කියා සිටියා. ඉරානය කැනඩාව සමග රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පවත්වන්නේ නැහැ. මේ නිසා මේ අනතුරින් විපතට පත් වුවන් හඳුනාගැනීම, ඔවුන් ගේ සිරුරු පිලිබඳ අවසන් කටයුතු කිරීම වගේම සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වන්නට හෝ කන්සියුලර් පහසුකම් නැහැ. එහෙත් මිතුරු රටවල සහයෝගිතාව ඇතිව ඒ සියල්ල කරමින් සිටින බව ඔහුකියා සිටියා.

ඒ වගේම මේ “අනතුර” ගැන ප්‍රශ්න තිබෙනවා. කොහොමද මේ යානය කඩා වැටුණේ? යාන්ත්‍රික දෝෂයක්? යානය තුළ පිපිරීමක්? මිසයිල ප්‍රහාරයක්? කවුද ඊට වගකිව යුත්තේ? මේවා ගැන කතා කල ඔහු මෙසේ පැවසුවා:
“මේ ගැන කැනඩාවට ප්‍රශ්න තිබෙනවා. මේවා ගැන මට ප්‍රශ්න තිබෙනවා. මේවාට පිළිතුරු දැනගන්න කැනඩා ජනතාවට අයිතියක් තිබෙනවා. ඒ ප්‍රශ්නවලට පිළිතුරු සොයා ගන්නා තෙක් මේ ආණ්ඩුව විවේක ගන්නේ නැහැ.”
වැදගත් ම කාරණය මේ අවස්ථාවේ කිසිම රටකට හෝ පුද්ගලයකුට ඔහු චෝදනා කලේ නැහැ. සිය උපකල්පන හෝ සැකයන් ගැන කතා කලේ නැහැ. ජනතාව ප්‍රකෝප කලේ නැහැ. මේ ‘අනතුර’ ගැන සොයා බැලීමේ වගකීම තමන් භාර ගත්තා.
බුද්ධි අංශ තොරතුරු අනුව ඉරාන අහසේදී යුක්රේන ගුවන් යානය පිපිරී වැටුනේ ඉරාන මිසයිල ප්‍රහාරයකින් බවට පෙනෙන්නට ඇතැයි ඇමෙරිකාවේ සහ කැනඩාවේ මාධ්‍ය වාර්තා කලේ එදා රාත්‍රියේ. මේ පුවත ඇසීම නිසා කැනඩා ජනතාව ගේ සිත් තරමක් ගිණි ගත්තා. තරමක කෝපයක් ඇති වුනා.FB_IMG_1578719856363
තුන් වන දවස
අගමැති ටෘඩෝ ඔටාවා හි මාධ්‍ය ශාලාවේ දී යළිත් උදාසන ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳෙව්වා.
” යුක්රේන ගුවන් යානය ඉරාන අහසේ දී කඩා වැටුනේ, ඇතැම් විට සිතා මතා සිදු නොකළ, මිසයිල ප්‍රහාරයකින් බවට බොහෝ දුරට විශ්වාස කළහැකි බව බුද්ධි අංශ වැඩි ගණනකින් ලැබී ඇති තොරතුරු අනුව පෙනී යනවා.” යි ඔහු කීවා. (මෙය කැනඩා සහ මිතුරු රටවල බුද්ධි අංශ බව ඔහු පසුව කීවා.) “අප මේ අවධියේ දී කාටවත් ඇඟිල්ල දිගු කරන්නේ නැහැ. කිසිවෙකුත් සැක කරන්නේ නැහැ. අපට නිසි නිගමනයකට එළඹීමට හැකි වන්නේ වගකීමක් සහිත, පුළුල් සහ විශ්වාසය තැබිය හැකි පරීක්ෂණයකින් පසුවයි. මේ නිසා මෙම පරීක්ෂණයට අවශ්‍ය පහසුකම් සපයන ලෙසත් එම පරීක්ෂණය සිදු කිරීමට කැනඩාවේ විශේෂඥයන්ට ඉඩ දෙන ලෙසත් අප ඉරානයෙන් ඉල්ලා තිබෙනවා.” ඔහු කීවා.
ඔහු මෙහිදී භාවිත කල රාජ්‍ය තාන්ත්‍රික වචන යලිත් කියවන්න. ඔහුට අවශ්‍ය වන්නේ තම ජනතාවට උදව් කිරීම සඳහා ඉරානයේ හොඳ හිත දිනා ගෙන දොරක් විවෘත කර ගැනීමයි. කිසිවෙකුත් ප්‍රකෝප කිරීම නොවේ. අනවශ්‍ය සහ සමහර විට සාවද්‍ය නිගමන වලට පැමිණීම නොවේ. ඒ මගින් සියල්ල අවුල් කරගැනීම නොවේ. ඇමෙරිකාව විසින් ඇති කරන ලද ගින්දරට තවත් පිදුරු දැමීම නොවේ. එසේ ම සිත් ගිනි ගෙන ඇති සිය ජනතාව ගේ ගින්නට පිදුරු දමා ගිනි ජාලාවක් කර “චූන්” එකක් ගැනීම නොවේ. පරීක්ෂණ පැවැත්වීම සඳහා මෙන් ම කැනඩා වැසියන්ට සිය හිතවතුන් හා නෑයන් ගේ සිරුරු පිලිබඳ අවසාන කටයුතු සංවිධාන කරගැනීමට ඒ රටට ඇතුළු වීමට මග පාදා ගත හැකි පරිදි ඔහු කතා කළා.
මේ අවස්ථාවේ දී ඉරානයට විරුද්ධව කිසියම් ක්‍රියාමාර්ගයක් ගන්නේ දැයි වාර්තාකරුවන් ප්‍රශ්න කළා. අගමැති ටෘඩෝ අවධාරණය කලේ එසේ කරන්නට හේතුවක් නොමැති බවයි. ඔහු යලි යලිත් කියා සිටියේ “පුළුල් සහ විශ්වාස කල හැකි” පරීක්ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාවයි.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානය ගැන කල ප්‍රකාශයක් ගැන විමසු අවස්ථාවේ ඔහු මෙසේ කියා සිටියා: “I will let Mr.Trump’s words speak for themselves”. (ට්‍රම්ප් මහතා ගේ වචන වල අරුත ඔහුගෙන්ම ලැබෙන්නට මම ඉඩ හරිනවා).

රටක නායකත්වයට පත් විය යුත්තේ ප්‍රඥාවන්තයින්. නැතහොත් අඩුම තරමේ තමන් මෝඩයන් හෝ ජෝකර් වරුන් නම්, තම නොදන්නා කම පිළිගෙන ප්‍රඥාවන්ත උපදේශකයන් ගේ උපදෙස් වලට අනුව ක්‍රියා කරන පුද්ගලයන්.
රටක් වේදනාවෙන් දවන, ඇතැම් විට කෝපයෙන් ගිණි තැබිය හැකි මෙවැනි ඛේදවාචකය දී, රටේ සාමය සහ සහජීවනය පවත්වා ගන්න අතර යුක්තිය ඉටු කරගැනීමට මග පාදා හැක්කේ එවිටයි.

දේශපාලකයකු වන අගමැති ටෘඩෝ ගේ මෙම ක්‍රියාව ආදර්ශයක් වන්නේ ශ්‍රී ලංකාවේ දේශපාලකයනට පමණක් නොවේ.
ප්‍රඥාවෙන් හීන, මෙවැනි ඛේදවාචක වලදී කටට එන පලියට තමන් ගේ දේශපාලන න්‍යාය පත්‍ර මත කතා කරන ඇතැම් ආගමික නායකන්ටත් ඔහු දැවැන්ත ආදර්ශයක්.
සේයාරුවේ ටෘඩෝ ට වම් පසින් ඔහු පිටුපස සිටින්නේ කැනඩාවේ ආරක්ෂක ඇමති වරයායි. ඔව්. ඔහු ඉන්දියාවේ සිට සංක්‍රමණය වූ සික් ආගමික පන්ජාබ් ජාතිකයෙක්. අනෙක් පිරිස රජයේ නිලධාරීන්.
(සමන් කපිල විජේසුරියගේ මුහුණු පොතෙනි )