යුද්ධයෙන් මිය ගියේ ‘එල්ටීටීඊ සාමාජිකයන් පමණක් නොවේ

0
59

_89729303_gettyimages-473854134

යුද්ධයේ අවසාන දින කීපයේ මරුමුවට පත් වූයේ එල්ටීටීඊ සාමාජිකයන් පමණක්ම නොවන බව උතුරු පළාතේ ප්‍රධාන අමාත්‍ය සීවී විග්නේශ්වරන් පවසයි.

යුද්ධයට සහභාගී වූ එල්ටීටීඊ සාමාජිකයන් පමණක් නොව එහිදී ”අහිංසක සාමාන්‍ය වැසියන්ද” මරුමුවට පත් වූ බව ඔහු කියා සිටියේ යුද්ධයෙන් මියගිය පිරිස් සිහි කරමින් මුලතිව් වෙල්ලිමුල්ලිවයික්කාල්හි පැවති අනුස්මරණ උළෙලක් අමතමින්.

එල්ටීටීඊ සාමාජිකයින් අනුස්මරණය කරන බව පවසමින් දකුණේ ජාතිවාදය අවුස්සමින් දේශපාලන වාසි ලබාගැනීම තමන් අනුමත නොකරන බවත් උතුරු පළාත් මහඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මුලතිව් වෙල්ලිමුල්ලිවයිකාල් පළාතේ ඉදි කොට ඇති විශේෂ යුද ස්මාරකය අභියසදී සැමරුම් උළෙල පැවැත්වුණු අතර ඊට සහභාගි වූ පිරිස මල් තබා පහන් දල්වමින් යුද්ධයේදී මියගිය තම ඥාතීන්ට පිං අනුමෝදනා කළහ.

උතුරු පළාත් සභාව විසින් සිදු කරන ලද යෝජනාවකට අනුව අනුස්මරණ උළෙල පැවැත්වුණු අතර එම අවස්ථාවට දෙමළ ජාතික සන්ධානයේ වන්නි හා යාපනය දිස්ත්‍රික්කවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද, උතුරු පළාත් සභාවේ අමාත්‍යවරුන් මෙන්ම මන්ත්‍රීවරුන්ද සහභාගි වී සිටියහ.

සාමාන්‍ය වැසියන් විශාල පිරිසක් එම අවස්ථාවට එක් වී සිය මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කළ බවත් උතුරු පළාතේ තවත් ස්ථාන කීපයකද එවැනි සැමරුම් උළෙල සංවිධානය කර තිබුණු බවත් දිනසේන රතුගමගේ වාර්තා කරයි.