රන්ජා අත්අඩංගුවට ගැනීම : ”විපක්ෂය ජනතාව වෙනුවෙන් ඉටු කරන මානුෂීය කටයුතු වලට රජය සෘජුවම බාධා කරනවා” -සමගි ජන බලවේගය කියයි

0
214
email sharing buttonsharethis sharing buttonlinkedin sharing buttonwhatsapp sharing buttonwechat sharing buttonpinterest sharing button
 විපක්ෂය ජනතාව වෙනුවෙන් ඉටු කරන මානුෂීය කටයුතු වලට රජය සෘජුවම බාධා කරන බව රංජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම තුළින් පැහැදිලි වන්නේ යයි ‘සමගි ජන බලවේගය’ පවසයි.

සමගි ජන බලවේගයේ මහ ලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර විසින් නිකුත්කරන ලද විශේෂ නිවේදනයක එබව සඳහන් වේ.

පසුගියදා පාලිත තෙවරප්පෙරුම හිටපු මන්ත්‍රීවරයා ද අත්අඩංගුවට ගැනීමේ උත්සහයක් ක්‍රියාත්මක වූ බවද රන්ජිත් මද්දුමබණ්ඩාරගේ නිවේදනයේ සඳහන් වේ.

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළා යයි චෝදනා කරමින් මිරිහාන පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් රන්ජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයාව ඊයේ (13) අත්අඩංගුවට ගත් අතර අනතුරුව ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අප්‍රේල් 20 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබිය.

ඒ සම්බන්ධයෙන් සමගි ජන බලවේගය නිකුත් කළ නිවේදනයේ මෙසේද සඳහන් වේ.

ආණ්ඩුව කොරෝනා වෛරසය තම දේශපාලන අවශ්‍යතා සඳහා යොදාගෙන !

”ආණ්ඩුව ජනතාවට බෙදා දීමට ලබා දුන් ආහාරපාන නිවෙස් තුළ තුළ සඟවාගත් පොදු ජන පෙරමුණ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පිළිබඳවද වාර්තා දක්නට ලැබුණි. ඒ කිසිවකට පියවර නොගන්නා ආණ්ඩුව විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගේ කාර්යයන් වලට අකුල් හෙලමින් මර්දනයක් දියත් කිරීමද දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකිමු.

ජනතාවට අවශ්‍යය අත්‍යවශ්‍ය සේවාවන් නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වී ඇති රජය, උත්සාහ දරනුයේ තම නොහැකියාව විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකාරීත්වය තුළ හෙළිදරව් වීම වළක්වා ගැනීමට යි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරියද විසුරුවා හරින ලද පාර්ලිමේන්තුවේ නිල කාලය අගෝස්තු මස තෙක් ක්‍රියාත්මක කිරීමට හැකියාව තිබුණි.

බලය ලබා ගැනීමේ පටු චේතනාවෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැර කොරෝනා වෛරසයද  තම දේශපාලනය සඳහා යොදාගන්නා ආණ්ඩුව ජනතාවගේ දුක නොහඳුනන බව ජනතාවට උපකාර කරන මන්ත්‍රීවරුන්ට කරනු ලබන මෙවැනි ක්‍රියාමාර්ග තුළින් පැහැදිලි වේ.

ආණ්ඩුව කළ යුත්තේ මන්ත්‍රීවරුන් සිරභාරයට ගැනීම නොව ජනතාව වෙනුවෙන් මෙම සේවාවන් ඉටුකරන මන්ත්‍රීවරුන්ට අවශ්‍ය සහාය ලබා දීමයි.

ඉදිරි මැතිවරණයට අවශ්‍යය මුදල් හරි හම්බ කර ගැනීමට…

නමුත් ආණ්ඩුව සිදු කරනුයේ තමන්ගේ පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට එළවළු බෙදාහැරීම දක්වා වූ සියලු කටයුතුවල අවස්ථාවන් සලසා දෙමින් ඒ තුළින් ඉදිරි මැතිවරණයට අවශ්‍යය මුදල් හරි හම්බ කර ගැනීමට අවකාශය සලසා දීමයි.

පාර්ලිමේන්තුව යලි රැස් කරන ලෙස ලෙස කරනු ලබන ඉල්ලීමට ප්‍රතිචාර නොදක්වනුයේ ද මෙම සදාචාර සම්පන්න නොවන ක්‍රියාදාමය නිසයි.

ජාතික ව්‍යසන, අර්බුද, ගැටලු දේශපාලනීකරය කරමින් ඒ තුළින් පටු අභිමතාර්ථ ඉටු කර ගැනීම පිළිබඳව ආණ්ඩුවට ඇත්තේ අපකීර්තිමත් ඉතිහාසයකි.

ආණ්ඩුව සිදු කරන දේශපාලන ක්‍රියාදාමයන් නිවැරදිව වටහාගන්නා මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටීමු.

රංජන් රාමනායක මන්ත්‍රීවරයාට, පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයාට හෝ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට හෝ  පොදු ජනතාවට සහන සලසන ඕනෑම කෙනෙකුට ආණ්ඩුව ලබාදිය යුත්තේ සහය මිස දෑතට විලංගු දැමීම නොවනබව පෙන්වා දෙමු.

වහාම අසත්‍ය  චෝදනා නොකොට රංජන් රාමනායක මන්ත්‍රීවරයා නිදහස් කරන ලෙස ඉල්ලා සිටිමු.”
theleader.lk