රිෂාඩ් අත්අඩංගුවට ගත් හේතුව මෙන්න? – මුජිබර් කියයි

0
67

රිෂාඩ් බදුයුදීන්  මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ අසාර්ථක පාලනය සම්බන්ධයෙන් ආණ්ඩුවට එල්ල වන ජනතා අප්‍රසාදය වෙනතකට යොමු කිරීම සඳහා යැයි සමගි ජන බලවේගයේ මැද කොළඹ සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි.   ඔහු එබව කියා සිටියේ, මැද කොළඹ සමගි ජන බලවේග කාර්යාලයේ  අද (25) පැවැති මෙම මාධ්‍ය හමුවේ දීය.  

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති විමර්ශන කොමිසමෙන්  අපරාධ චෝදනා නගා ඇති සැබෑ වගකිවයුත්තන්ට නීතිය ක්‍රියාත්මක කරන්නට ආණ්ඩුව අසමත් වී තිබෙන බවද මුජුබුර් රහුමාන් මන්ත්‍රීවරයා  එහිදී සඳහන් කළේය.   වැඩිදුරටත් අදහස් දැක්වූ මුජුබුර් රහුමාන් මන්ත්‍රීවරයා මෙසේද සඳහන් කළේය.  

”ඉතා කෙටි කාලයක් තුළ වත්මන් ආණ්ඩුවේ සියලු ව්‍යාපෘති අසාර්ථක වී තිබෙනවා. මේ ආණ්ඩුව බලයට ගෙන එන්නට කටයුතු කළ අය පවා. ආණ්ඩුවේ වර්තමාන කටයුතු වලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් තිබෙනවා. එමෙන්ම ආණ්ඩුවේ ජනප්‍රිය බව සහ විශ්වාසනීය බව දිනෙන් දින විනාශ වෙමින් තිබෙනවා. ආණ්ඩුවට එරෙහිව නැගෙන චෝදනා දිනෙන් දින වැඩිවෙමින් තිබෙනවා.   සීනි බදු වංචාවක් පිළිබඳව ආණ්ඩුවට චෝදනාවක් එල්ල වුණා.

ඉන්පසුව පොල්තෙල් වංචාවක් ගැන කරුණු කියැවුණා. පරිසර විනාශය ගැන දිගින් දිගටම චෝදනා එල්ලවෙමින් තිබෙනවා. මේ චෝදනා හමුවේ ආණ්ඩුවට එල්ල වන ජනතා අප්‍රසාදය වෙනතකට යොමු කිරීම සඳහා දැන් රිෂාඩ් බදුයුදීන්  මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.   

රිෂාඩ් බදුයුදීන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ නම් වසරකුත් තවත් මාස පහක් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා බලා සිටියේ ඇයි? පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කිරීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ  කොතැනකවත් රිෂාඩ් බදුයුදීන් සම්බන්ධයෙන්  අපරාධ චෝදනා ගොනු කර නැහැ.    

අල්ලස් හෝ දූෂණ සම්බන්ධ සම්බන්ධයෙන් චෝදනාවක් නම් තිබෙනවා.   ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති විමර්ශන කොමිසමෙන් අපරාධ චෝදනා එල්ල වූ කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැහැ. එලෙස අපරාධ චෝදනා නගා ඇති සැබෑ වගකිවයුත්තන්ට නීතිය ක්‍රියාත්මක කරන්නට ආණ්ඩුව අසමත් වී තිබෙනවා.   ආණ්ඩුව විටින් විට  විපක්ෂ දේශපාලකයන් අත්අඩංගුවට ගන්නේ ඔවුන්ට එරෙහිව එල්ල වෙමින් තිබෙන ආණ්ඩු විරෝධය වෙනතකට යොමු කිරීමටයි.  

     ආණ්ඩුවට හෙණ ගහනකොට තැලෙන යකඩය ! 

Rishad lkhjldf

මෙවන විට කොරෝනා වසංගතය නැවත හිස ඔසවමින් තිබෙනවා. මෙවැනි අර්බුදකාරී තත්ත්වයන් තුළ ඇතිවන ජනතා වෛරය  මැඩ පැවැත්වීම සඳහා ආණ්ඩුවට අලුතින් මාතෘකා අවශ්‍යයි. සත්‍ය වශයෙන්ම ආණ්ඩුව මෙවැනි දේ කරන්නේ දකුණේ ජනතාවට “පොඩි චූන් එකක්” දීමටයි.  

  වගකිවයුතු හිටපු අමාත්‍යවරයෙකු වූ රිෂාඩ් බදියුදීන් රෑ එකට නිවසට පැමිණ අත්අඩංගුවට ගන්නේ කුමට ද? ප්‍රකාශයක් ගන්නට අවශ්‍ය නම් මේ බව දැනුම් දෙන්න තිබුණා. මහ රෑ ගෙවල්වලට ගොස් මේ කරන ක්‍රියාවන් පැහැරගැනීමකට සමානයි.   මේ ආණ්ඩුව බලයට ආවේ නීතිගරුක සමාජයක් හදන බව කියමිනුයි.

අන්තිමට ඒවා වචන වලට පමණක් සීමා වෙලා. අන්තිමට බිහිවී ඇත්තේ අශිෂ්ට විනය විරෝධී ආණ්ඩුවක්  පමණයි.

  සමාජය බියට පත් කොට පාලන බලය ගෙන යාම දැන් ආණ්ඩුවේ අලුත්ම සෙල්ලම වී තිබෙනවා. මේ ආණ්ඩුවේ අසාර්ථක බව වහගන්න දැන්  විපක්ෂ මන්ත්‍රී දඩයම ආරම්භ කර තිබෙනවා.   පාලකයන් අසාර්ථක වෙන විට හැමදාම කරන්නේ විරුද්ධවාදීන් දඩයම් කිරීමයි. මේ අසාර්ථක පාලනයට වැඩි ආයුෂ නැති බව අප වගකීමෙන් ප්‍රකාශ කරනවා..”
theleader.lk