රූපලාවන්‍ය ක්ෂෙත්‍රයට පිවිසි රූපරාජිනිය..

0
49

( 2.30 pm ) ජැකී අපොන්සු  1992 වසරේ ” මිස් ශ්‍රී ලංකා ” කිරුළ දිනා ගනිමින් ශ්‍රී ලාංකික රූප රාජිණිය ලෙස  ලෝක රූප රැජිණි තරඟාවලිය නියෝජනය කරන ලදී. 1994දී   සැලොන් ජැකී” නමින් ඇයගේ ප්‍රථම රූපලාවන්‍ය ආයතනය මීගමුවේදී ආරම්භ කළාය.  එතැන් පටන් දශක  03 ක පමණ කාලයක් ඇය මීගමුව කේන්ද්‍ර කරගනිමින් සිය රූපලාවණ්‍ය ව්‍යාපාරය තවත් පුළුල් කරගනිමින් හා ප්‍රචලිත කර ගනිමින් එම ව්‍යාපාරය  මෙරට තුළ පමණක් නොව ජාත්‍යන්තරව ද  ප්‍රසිද්ධ රූපලාවන්‍ය ව්‍යාපාරයක් බවට පත් කරගෙන ඇත.

එමෙන්ම ඇය ශ්‍රී ලංකා රූපලාවණ්‍යය ශිල්පීන්ගේ එකමුතුවේ සභාපතිවරිය ලෙස මෙරට රූපලාවන්‍ය ක්ෂේත්‍රය යම් විධිමත්භාවයකට ගෙන ඒමට සහ එම ක්ෂේත්‍රය මෙරට වැදගත්ම වෘත්තිමය ක්ෂේත්‍රයක් බවට පත් කිරීමට කටයුතු කරන ප්‍රකට රූපලාවන්‍ය ශිල්පණියක් ලෙසද ඇයව හඳුන්වා දිය හැක. එවගේම  සොන්ටා ක්ලබ් නැමැති ජාත්‍යන්තර සංවිධානයේ මීගමුව ශාඛාවේ හිටපු  සභාපතිනිය ලෙසද  පසුගිය කාලයේ විශාල සමාජ සේවා වැඩ කටයුතු රාශියක් ඇයගේ නායකත්වය තුළින් සිදු කළාය.පහත පලවන්නේ ජැකී අපොන්සු මහත්මිය සමඟින්  සිදුකළ කෙටි පිළිසඳරේ සංක්ෂිප්ත සටහනකි.

මං අහලා තියෙන විදිහට ඔබේ මව, මෙරට රූප රැජිනියක් ලෙස කිරුළ දැරූ කෙනෙක්. ඒ විස්තර වගේම, ඔබේ බාල කාලය, සහ පවුල් පසුබිම වගේ විස්තර ටිකක් දැනගන්න කැමතියි මුලින්ම ?

ඔව් . මගේ මව ඉවෝන් ද රොසාරියෝ.ඇය 1962 වසරේ ලංකාවේ රූප රාජිනිය ලෙස ඒ කියන්නේ ” මිස් සිලෝන් ලෙස ජයග්‍රහණය කරලා තියෙනවා. ඒ කාලේ ඉංග්‍රීසි භාෂාවෙන් ලංකාව හැඳින්වූනේ  සිලෝන් කියලා, ඒකයි මිස් සිලෝන් කියලා හැඳින්වුණේ. මගේ පියා ෆිනෑන්ස් ආයතනයක රැකියාව කෙරුවේ.අපේ ගම මොරටුව. මට වැඩිමල් සහෝදරියක් සහ බාල සහෝදරයෙක් ඉන්නවා. ඒ අය මේ වෙද්දි විදේශගත වෙලා ව්‍යාපාර ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා  ඉන්නේ. මම පළමුවෙන්ම පාසල් ගියේ වැල්වත්ත ශාන්ත ලෝරන්ස් විද්‍යාලයට. ඉන් පසුව මම උසස් අධ්‍යාපනය සඳහා  කොළඹ  මෙතෝදිස්ත විද්‍යාලයට ගියා. මම විශ්ව විද්‍යාල අධ්‍යාපනයට යොමු වුණේ නැහැ. උසස් පෙළින් පස්සේ රූපලාවන්‍ය ක්ෂේත්‍රයට යොමු වුණා.

මම මීගමුවට ආවේ 1994 වසරේ. මගේ හසබන්ඩ් මීගමුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක්. විවාහ වුණාට පස්සේ ඔහුගේ ගම  මීගමුව නිසා  අපි පදිංචි වුණේ මීගමුවේ. එහෙම තමයි මම මීගමුවට ආවේ.

රූපලාවන්‍ය  ක්ෂේත්‍රය තෝරාගන්න විශේෂයෙන් හේතු වුනේ ඇයි ?

ඇත්තටම මම රූපලාවන්‍ය ක්ෂේත්‍රයට යොමු වුනේ ,මට ඒ ක්ෂේත්‍රය ගැන ඒ වෙනකොට යම් ආශාවක් ඇති වෙලා තිබුණා. මොකද ඒ වෙද්දි මගේ මවගේ බාල සහෝදරිය  රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කෙරුවා. එයා ඒ  කරන දේවල් දිහා බලා ඉඳලා මටත් යම් ආශාවක් තිබුණා මේ ගැන ඉගෙන ගන්න. ඒත් එක්කම මගේ මව රූප රැජිනියක් වීම නිසාම එයත් බොහෝවිට රූපලාවන්‍ය පැත්තට වැඩි නැඹුරුතාවයක් තිබුණා. විශේෂයෙන් මවගේ රූප ස්වභාවය හොඳින් පවත්වාගෙන යන්න කරන කියන දේ මම ප්‍රායෝගිකව අත්දැක්කා. ඒකත් එක හේතුවක් වුනා මමත් රූපලාවන්‍ය ක්ෂේත්‍රයට යොමුවෙන්න. අනික මගෙත් යම් බලාපොරොත්තුවක් තිබුණා ,

මගේ මව වගේ කවදාහරි මුළු ලංකාවෙන්ම රූපරාජනීය බවට පත් වෙන්න ඕනේ කියලා.ඉතින් ඒ බලාපොරොත්තුවත් එක හේතුවක් බවට පත්වුණා,  මට රූපලාවන්‍ය ක්ෂේත්‍රය තෝරා ගැනීමට. ඉතින් ඇත්තටම මේ ක්ෂේත්‍රයට ඇවිල්ලා ඒක රැකියාවක් එහෙම නැත්නම් ව්‍යාපාරයක් විදියට කරන්න මගේ කිසිම අදහසක් තිබුණේ නැහැ. මම ඇත්තටම රූපලාවන්‍ය ක්ෂේත්‍රය ගැන ඉගෙන ගන්න හිතුනේ මුලින්ම විනෝදාංශයක් විදිහට. මම උසස් පෙළට , කලා විෂයන් හැදෑරුවේ.

මට ලොකු ආසාවක් තිබුණා, පොලිටිකල් සයන්ස් එහෙම නැත්නම් මේ දේශපාලන විද්‍යාව  ඉගෙනගන්න. ඒත් මගේ පියා ඒකට කැමති වුණේ ම නැහැ. ඒවගේම මට උසස් අධ්‍යාපනය සඳහා ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල 02 කින්ම මට කැඳවීම් ලැබුණා මොකද ඒ වෙද්දී මගේ වැඩිමහල් සොහොයුරිය හිටියේ ඕස්ට්‍රේලියාවේ නිසා. නමුත් මගේ පියාගේ තිබුණ අකමැත්ත නිසා මම ඒ එකකටවත් යොමු වුණේ නැහැ. කොහොම හරි ඉතින් රූපලාවන්‍ය ක්ෂේත්‍රය ගැන ඉගෙන ගන්න නම් ඒ වෙද්දි මට ලොකු ආසාවක් තිබුණා.
මම පළමුවෙන්ම රූපලාවන්‍ය විෂය ගැන ඉගෙන ගන්න ගියේ ,ඒ කියන්නේ පාඨමාලාවක් විදිහට යම් හැදෑරීමක් කෙරුවේ ලංකාවේ රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ පුරෝගාමියෙක් වන ස්ටෙෆ්නි රඹුක්වැල්ල මහත්මිය ගාව. ස්ටෙප්නි රඹුක්වැල්ල මහත්මයත් ඒවාගේම ජෙනට්  බාලසූරිය මහත්මිය, ඒ දෙන්නා තමයි මේ රටේ රූපලාවන්‍ය ක්ෂේත්‍රය අද තියෙන තත්ත්වයට ගෙන එන්න පදනම දැමුවේ. ඉතින් ඒ ඩිප්ලොමා පාඨමාලාව මාස 06 ක් වුනාට අවසන් වෙන්න අවුරුද්දක් පමන ගත වුනා. මොකද ප්‍රායෝගික පුහුණුව සඳහාත් යම් සැලකිය යුතු  කාලයක් ගත වෙනවා.

ප්‍රායෝගික පුහුණුව කියලා කියන්නේ, මේ ක්ෂේත්‍රයේ ඉතාමත් වැදගත් සහ ප්‍රධානතම සාධකයක්. ඉගෙනගෙන පමනක් මදි ,මේ ක්ෂේත්‍රය තුළ වැඩිම පුහුණුවක් තියෙන්න ඕනේ ප්‍රායෝගිකව.  ඒ කාලේ අද කාලේ වාගේ හැම තැනකම වාගේ තියෙන රූපලාවණ්‍ය පාඨමාලා තිබුනේ නැහැ. පාඨමාලා කෙරුවෙත් හොඳටම සුදුසුකම් තියන, මේ විෂය ගැන හොඳටම දැනුමක් තියෙන, ප්‍රායෝගික ක්‍රියාකාරකම් වල නිරත වෙලා පලපුරුද්දක් අත්දැකීම් තියෙන අය. ඒවා ඉතින් හොයාගෙන යන්න ඕනේ. ඒ පාඨමාලාවෙන් පසුවත් දේශීයව සහ ජාත්‍යන්තරව පාඨමාලාවන් ගණනාවකටම මම සහභාගි වුණා .ඒ දේවල් වලින් තමයි මම විශාල දැනුමක් මේ ක්ෂේත්‍රය ගැන ලබාගත්තේ.

1992 වසර ඔබේ ජීවිතයේ  හැරවුම් ලක්ෂයක් කියලා මම කිව්වොත් ,ඒක නිවැරදිද ?

ඇත්තෙන්ම ඔව්. 1992 වසර කියලා කියන්නේ මගේ ජීවිතය විශාල  වෙනසකට ලක්වුණු වසරක්. ඒ වසරේ තමයි මම රූපලාවන්‍ය ක්ෂේත්‍රයට එන්නේ.ඒත් එක්කම මගේ සිහිනයක් ආශාවක් බලාපොරොත්තුවක් වෙලා තිබුණු මේ රටේ රූපරාජිනි එහෙම නැත්නම් ” මිස් ශ්‍රී ලංකා” කිරුළ ජයග්‍රහණය කළෙත් ඒ වසරේ. මගේ මව ලංකාවේ රූප රැජනිය වුණේ 1962 වසරේ. ඊට හරියටම අවුරුදු 30 කට පස්සේ ඒ කියන්නේ 1992 වසරේ  තමයි මම ලංකාවේ රූප රැජිණිය බවට පත්වුනේ.

ඒ එක්කම 1992 වසරට අදාළව තිබුණු “ක්වීන් ඔෆ් ද වර්ල්ඩ්” හෙවත් ලෝක රූ රැජිණ තරඟයට මම ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගි වුණා. ඒක තිබුණේ ඔස්ට්‍රියාවේ වියානා වල. ,තරඟකාරිණියන් එකසිය ගණනක් පමන ඒකට සහභාගි වුණා. ඒ සහභාගිවන හුඟ දෙනෙක් අඩි 06 ක් විතර උස අය. රූප ස්වභාවය  ලස්සන වගේම එයාලගේ පර්සනැල්ටි එක, ඒ වගේම කතා කරන විලාශය , භාෂාව හැසිර වීම සහ සාමාන්‍ය  දැනුම වගේ දේවල් ඒ තරඟෙදි විශේෂයෙන්  පරීක්ෂාවට ලක් කරනවා. ඉතින් මට හැකි වුනා ඒ තරගාවලියේ ” හොලි ඩෙ ක්වීන් ඉන්ටර්නැෂනල්  ”  කියන මිනි ටයිටල්  එකක් ජයග්‍රහණය කරන්න. ඒ වගේ තරගාවලියකදී ආසියාතික රටක තරගකාරියකට, ඒ වගේ මිනිටයිටල් එකක් හරි ජයග්‍රහණය කරන්න පුළුවන් වුන එක ගැන මගේ වාසනාවක් කියලයි මම නම් හිතන්නේ.

මම රූපලාවන්‍ය ක්ෂේත්‍රය ගැන ඉගෙන ගෙන  ඉන්නැද්දි මට රැකියාවක් ලැබුණා, කොළඹ හොලිඩේ ඉන්  හෝටලයේ. මට ලැබුනු රැකියාව  ” පිළිගැනිමේ  නිලධාරිනී ”  . හැබැයි මට ඒ වෙද්දි මොකුත්ම පලපුරුද්දක් තිබුන් නෑ ඒ ගැන. හැබැයි මගේ හැකියාව නිසා වෙන්න ඇති ඒ හෝටල් කළමනාකාරීත්වය හැම මාස හයෙන් හයට මට ඒ හෝටලේ උසස් වීම් ලැබුනා. “ගෙස්ට් රිලේෂන් ඔෆිසර්” වෙලා ඊට පස්සේ ” ලොබී මැනේජර් ” වෙන්න තියෙද්දිම තමයි මම විවාහ වුණේ. ඒ කියන්නේ 1994 මම විවාහ වෙලා මීගමුවට පදිංචියට ආවට පස්සේ, මම රැකියාවෙන් අයින් වුණා.

ඔබ මීගමුවේ පලමුවෙන්ම ආරම්භ කල  රූපලාවන්‍ය ආයතනය ගැන විස්තර දැනගන්න කැමතියි  ?.

මම විවාහ වෙලා  හස්බන්ඩ්ගේ  මීගමුවේ නිවසට ඇවිත් පදිංචි වෙලා ඉන්නැද්දි ඇත්තටම මට හිතුනා, ගෘහණියක් විදිහට නිවසට වෙලාම ඉන්නවට වඩා මම ඉගෙන ගත්තු රූපලාවන ක්ෂේත්‍රය තුළින් යමක් කරන්න පුළුවන් නම් හොඳයි කියලා. මොකද මම මේ රටේ රූප රැජිනියක් වුණ නිසා, මම ඒ වෙද්දි ගොඩක් සමාජ සේවා කටයුතු වලට යොමු වෙලා හිටියා. ඉතින් ඔය කරුණු කාරණා සියලුම දේවල් එක්ක තමයි මම, මීගමුවේ සැලෝන් එකක් ආරම්භ කරන්න ඕන කියන අදහසින් හිටියේ. ඒ අනුව මම මගේ හස්බන්ඩ්ගේ අඟුරුකාරමුල්ල නිවසේ ගරාජ් කාමරය සහ ඔෆිස් කාමරය හදාගෙන, පුටු දෙක තුනක් තියාගෙන ” සැලොන් ජැකී ” කියන නමින් ඉතා කුඩාවට මම සැලොන් එක  ආරම්භ කලා. මුලදී කාවවත් මම සැලොන් එකේ සහයට තියාගත්තේ නෑ

මම තනියම තමයි වැඩ කෙරුවේ. ඊට පසු සතියක් දෙකක් යද්දි මට තේරුණා තව එක්කෙනෙක් දෙන්නෙක් හිටියොත් හොඳයි කියලා . ඊට පස්සේ මම එක්කෙනෙක් දෙන්නෙක් අරගෙන පුහුණු කෙරුවා. ඔහොම යද්දි  අපි ලබා දීපු සේවාව නිසා අපි ළඟට ආපු ක්ලයන්ස්ලා සෑහෙන්න වැඩි වුණා, ඊට පසුව මට සිද්ධ වුණා කිහිප දෙනෙකුටම පුහුණුව දීලා සැලොන් එකේ සහායට එක් කරගන්න. ඔහොම වසර තුනක් විතර යද්දි අපි ළඟට ආපු ක්ලයින්ස්ලගෙන් ආපු ප්‍රතිචාරත් එක්ක අපිට ගොඩක් ඇපොයිමන්ට්ස්  වැඩි වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ මට හිතුණා ,වැඩි ඉඩකඩ තියෙන මීගමුව නගරයේම තැනකට ආවොත් හොඳයි කියලා. එහෙම තමයි  අපේ සැලොන් එක මීගමුව නගරයේ දුම්රිය පොළ ගාව දැන් මේ සැලෝන් එක තියෙන තැන ආරම්භ කෙරුවේ.

දැන් ඔබ මේ සැලොන් ජැකී කියන රූපලාවන්‍ය ආයතනය ආරම්භ කරද්දී මීගමුවේ  රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ හිටපු වෙනත් ප්‍රවීන අය කවුද ?.

රමණි හිටියා. එයා මටත් කලින් ඉඳලා මීගමුවේ ,සැලෝන් එකක් කලා . ඔය කාලේ මීගමුවේ ඉන්න කෙනෙක් හැටියට සැලෝන් එකක් කෙරුවේ  මං හිතන්නේ මම විතරයි. පොඩි පොඩියට කරන ඒවා නම්  කිහිපයක්ම තිබුණා. ඒත් එක්කම චන්දනී බණ්ඩාරත් මගේ සමකාලීනයෙක්, විදිහට මීගමුවට ආවා. කොහොම වුණත් අපිට ඉතින් හුඟක් ක්ලයන්ස්ලා වැඩිවුනා,

ඒ කාලේ අපි හොඳ සේවාවක් ලබාදුන්නා අපේ ක්ලාන්ස්ලට.මම හිතන්නේ විශේෂයෙන් සැලොන් ආයතනයක් පවත්වාගෙන යද්දී  මුදල් ගැනම හිතන්නේ නැතුව, අපි අවංකවම හොඳ සේවාවක් සැලසුවොත් ,අපිට අභියෝගයට කොච්චර වෙනත් අයතන අපේ වටේ  හිටියත් නැතත් අපිට ආපු ක්ලයන්ස්ලා අපෙන් ගිලිහෙන්නේ නැහැ. ඉතින් එහෙම වුනාම මේ වගේ ආයතන ඒ කියන්නේ සැලෝන් ආයතන ඉදිරියට  පවත්වාගෙන යන්නත් හැකි වෙනවා. එහෙම නොවුණාම ඒ ආයතන ඉක්මනින්ම වසා දමන්න සිදුවෙනවා. මේ කාලයේ බොහෝ තැන්වල හතු පිපෙන්නා වගේ සැලොන්  ආයතන ආරම්භ වෙනවා. නමුත් ටික කාලයකින් ඒවා වහලා දානවා.

මීගමුව දුම්රිය පල ගාව තියෙන දැන් අපි ඉන්න සැලොන් එකේ අපි වැඩ පටන් ගත්තේ 1997 වසරේ පමණ . සහායට දෙන්නෙක් එක්ක තමයි මම එතන පටන් ගත්තේ. ඉතින් කුඩාවට පටන් අරගෙන අද වෙද්දි මේ තියෙන තත්වෙට අපි ඒක ව්‍යාප්ත කරන්න හැකි වෙලා තියෙනවා.

ඔබ අර කලින් කිව්වා, මේ කාලයේ හතු පිපෙන්නා වගේ සැලොන් ආයතන බිහිවෙනවා. නමුත් පැවැත්මක් නැහැ ඔබ හිතන විදියට ඇයි එහෙම වෙන්නේ ?

මම හිතන්නේ ඒක බොහෝවිට මේ රූපලාවන්‍ය ක්ෂේත්‍රය ගැන ඉගෙන ගන්න එන අය, ඒ කියන්නේ මේ විෂය හදාරන්න එන අය. මේ විෂය ගැන හදාරන එක සීරියස් විදිහට ඒ කියන්නේ බරපතල විදිහට සහ වගකීම් සහසහගතව  ඒ කාර්යය සඳහා ඇප කැප වෙන්නේ නැහැ.  අර නිකන් ටියුෂන් පංති යනවා වගේ තමයි යන්නේ.. අනෙක් කාරණාව තමයි මේ විෂය උගන්වන අයගේත් යම් ප්‍රශ්නයක් තියෙනවා. මම මුලිකවම දකින්නේ පළවෙනිම වරද තියෙන්නේ මේ විෂය උගන්වන අයගේත්, ඒ ඇකඩම් වලත්, මොකද   කෙනෙක් ඩිප්ලොමා පාඨමාලාවක් කරලා ඒක අවසන් කරලා අද එළියට ගිහිල්ලා, හෙට දවසේ  මේ ක්ෂේත්‍රය ගැන එයාට උගන්වන්න බෑ.

මොකද තවත් අයට උගනවනවා කියන එකට ලොකු දැනුවත්භාවයක් තියෙන්න ඕන. අනිත් එක තමයි ඩිප්ලෝමා පාඨමාලාවක් හරි, වෙනත් කෙටි කාලීන පාඨමාලාවක් කරලා හරි තවත් අයට මේ විෂය උගන්වන ඒක කරන්න බැහැ. ඒකටත් හැකියාවක් තියෙන්න ඕන. ඒ වගේම   විෂය ගැන හොඳ න්‍යායාත්මක වගේම ප්‍රායෝගිකව පලපුරුද්දක් තියෙන්න ඕනේ. ඉතින් අද මේ ක්ෂේත්‍රයේ පාඨමාලා  කරන ගොඩක් දෙනෙකුට දැනුම සහ  පලපුරුද්ද වගේම හැකියාවත් අවමයි ඉතින් අන්න එහෙම තැන්වලින් සහ එහෙම අයගෙන් ඉක්මනින් ඉගෙනගෙන  පරපුරුදුකම් නැතුව සැලොන් ආරම්භ කළාට ඒවා එක දිගට පවත්වාගෙන යාමට අසීරු වෙනවා.

දැන් මේවෙද්දී ඹබ මෙරට රූපලාවන්‍ය ශිල්පීන්ගේ එකමුතුවේ සභාපතිනිය ලෙස පත් වෙලා ඉන්නවා. ඒ ගැනත් විස්තර ටිකක් දැනගන්න කැමතියි.

ඔව් මේ සංවිධානය එහෙම නැත්නම් මේ එකමුතුව හදන්න හේතු වුණේ  අපේ රටේ මෙතෙක් තිබුණේ ශ්‍රී ලංකා කොණ්ඩා සැකසුම් හා රූපලාවන්‍ය ශිල්පීන්ගේ සංගමය .ඒක විතරයි ලංකාවේ තිබුනේ අපි හැමෝම එකේ සාමාජිකයෝ. ඒකෙන් කැඩිලා කැඩිලා වෙන වෙන සංගම් හැදුනා.එතකොට බෙදෙන්න ගත්තා ඔය දැන් අපේ රටේ දේශපාලනය වගේ . ඔය සියලුම දෙනාම අපිට එකට තියාගන්න උවමනා වුණා. ඒ අනුව අපේ රටේ සිටින ජ්‍යෙෂ්ඨතම රූපලාවන්‍ය ශිල්පිනියක් වන නයනා කරුණාරත්න මහත්මියගේ සංකල්පනාවක් මත තමයි ඔය එකමුතුව අපි ගොඩනැගුවේ.

දැන් මම තමයි ඒකේ සභාපතිනිය. මේ ක්ෂේත්‍රයේ නියැලෙන කොට අපිට මුහුණ දෙන්න වෙන පොදු ප්‍රශ්න වලට අපි බෙදී වෙන් වෙලා ඉන්නේ නැතුව එකම සංවිධානයක් එකමුතුවක් විදිහට ඒ ප්‍රශ්නෙට මුහුණ දුන්නාහම මේ ප්‍රශ්න බොහෝ වෙලාවට අපිට නිරාකරණය කරගන්න සහ ඊට හොඳ විසඳුම් හොයාගන්න හැකියාව ලැබෙනවා. දැන් පහුගිය කාලේ අපිට ප්‍රශ්න ගනනාවක් ආවානේ. දැන් පහුගිය කාලයේ ඉන්දියානු රූපලාවණ්‍යාගාර අපේ රටේ පටන් ගන්න හැදුවනේ. ඉතින් ඒ ප්‍රශ්නේ වෙලාවෙදි අපේ සියලුම සාමාජික සාමාජිකාවන් එකම සංවිධානයක් , එකමුතුවක් හැටියට ගිහින් එවකට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව මුණ ගැහිලා ඒ ප්‍රශ්නය අපි යම්තාක් දුරකට විසඳ ගත්තා. පසුව කිව්වේ ඒ සැලෝන් 100 ක් දානවා කියලා. අපි ඒ වෙලාවේ ජනාධිපතිවරයාට කිව්වේ අපි රූපලාවන්‍ය ශිල්පීන් අපි ආණ්ඩුවට බරක් වෙන්නේ නෑ. අපි ආණ්ඩුවෙන් ජොබ් එකක් ඉල්ලන්නේ නෑ.අපි ආණ්ඩුවෙන් යැපෙන්නේ නෑ. ඉතින් අපි කිව්වා අපිට උදව් කරන්න මේක නවත්තන්න කියලා. ඉතින් ඒක යම්තාක් දුරකට අපි ඒක විසඳ ගත්තා.

ඒත් එක්කම අපිට ලොකු ප්‍රශ්නෙකට මුහුණ දෙන්න සිද්ධ වුණා, කොරෝනා වසංගතයත් එක්ක. ඒකෙදි ලංකාවේ තිබුණු  රූපලාවන්‍යාගාර සියල්ලම  පාහේ වසා දමන්න සිදුවුණා,සැලකිව යුතු කලෙයක්  එලෙස රූපලාවන්‍යාගාර සියල්ලම වසා තැබීම නිසා අපිට විශාල පාඩු  සිද්ධ වුනා  අර්බුද ගණනාවකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඉන්පසු අපි මේ එකමුතුව විදිහට  සංවිධානය වෙලා තමයි බලධාරීන් දැනුවත් කරලා ආරක්ෂක ක්‍රම අනුගමනය කරලා අපේ රූපලාවන්‍යාගාර සියල්ලම ආපහු සැරයක් විවෘත කරන්න යම් අවශ්ථාවක් ලබා ගත්තේ.

ඒත් එක්කම අපිට තව ප්‍රශ්නෙකට මුහුණ දෙන්න සිද්ධ වුණා ,පහුගිය. කාලේ අපේ රට යම් ආකාරයක ආර්ථික වශයෙන් කඩා වැටිලා තියෙද්දි මේ රටට වෙනත් රටවලින් වලින් බඩු භාණ්ඩ ආනයනය කරන එක නතර කිරීම නිසා. අපේ රූපලාවන්‍යාගාර වලට අවශ්‍ය  හුඟක් ආලේපන වර්ග සහ සැලොන් උපකරණ ආනයනය කරන්න නොහැකි වීම නිසා බොහෝ සැලොන් වැහෙන තත්ත්වයටම කටයුතු සිද්ධ වුණා.. ඒ වෙලාවෙත් අපි එකමුතුවක් හැටියට අපි සංවිධානය වෙලා ඒ තත්ත්වය යම්තක් පාලනය කරගෙන, අපිට අවශ්‍යා ආලේපන සහ උපකරණ වගේ දේවල් ආනයනය කරන්න පුළුවන් යම් වටපිටාවක් නිර්මාණය කරගන්න අපට හැකි වුණා. ඉතින් මේ විදිහට ගත්තහම අපේ එකමුතුව තුළින් අපි මේ ක්ෂේත්‍රයේ බොහෝ ප්‍රශ්නවලට අපි සාර්ථකව සංවිධාන වීම හරහා විසඳුම් සොයාගෙන තියෙනවා.

ස්වාධීනව කළහැකි ව්‍යාපාරයක් වන  රූපලාවන්‍ය ක්ෂේත්‍රයට අධිකාරියක් අවශ්‍යවන්නේ ඇයි ?

අපේ මේ රූපලාවන්‍ය ක්ෂේත්‍රයකට අධිකාරියක්  ඉල්ලපුවහම, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයත් අපෙන් ඇහුවා , අධිකාරියක් හරහා අමාත්‍යාංශයකට යටවෙන්න හදන්නේ ඇයි කියලා. නමුත් අපට මෙවැනි ප්‍රශ්නයක් ආපුවහම ඒවට නීතියක් නෑ.අපි වෙනුවෙන් කතා කරන්න ආයතනයක් නෑ.අනිත් එක තමයි දැන් ,වෛද්‍යවරු නීතිඥවරු හැම තැනම ක්ලාස් කර කර ඒ අයව බිහිකරන්නේ නැහැනේ  නීතිඥවරු බිහි කරන්න ලෝ කොලේ තියෙනවා. වෛද්‍යවරු බිහි කරන්න මෙඩිකල් කොලේජස් තියෙනවා.  නමුත් අපේ ක්ෂේත්‍රයේ හැමතැනම ක්ලාස් කර කර ඒ අයව එළියට දානවා, අන්තිමේ රූපලාවන්‍ය ශිල්පීන් කියලා ලේබල් ගහලා. හැබැයි ඒකට NVQ කියලා ප්‍රමිතියක් දාලා තිබුනට දැන්  NVQ ත් හැම තැනම උගන්වනවනේ.ඒ උගන්වන අයටත් දැනුම මදි.විශේෂයෙන්ම NVQ උගන්වන ටීචර්ස්ලාටත් දැනුම මදී. ඉතින් අපි ට්‍රේයින්  ද ට්‍රේනර්ස් ( පුහුණුකරුවන්ට පුහුණුව) වැඩසටහන ඉදිරිපත් කරපුවහම අපේ ක්ෂේත්‍රයේම ඉන්න සමහර අය ඒකට කැමති නෑ. දැන් මම තවම ඉගෙන ගන්නවා. මේ ක්ෂේත්‍රයේ දවසින් දවස අලුත් දේවල් එකතු වෙනවා. මේක ඉගෙනීම අවසන් කියලා නතර කරන්න බෑ. ක්ෂේත්‍රයේ ඉන්නවා නම් හැමදාම වගේ එන අලුත් අලුත් දේවල් ඉගෙන ගන්න තියෙනවා. නිදසුනක් විදිහට කියනවා නම් මේ කෙරටින් සත්කාරය වගේ දේවල් මේ අද ඊයේ ආපු දේවල්. අපි මේ ක්ෂේත්‍රයට එන කාලේ ඒවා තිබුණේ නෑ. නමුත් අපි ඒවත් අද කාලේ ඉගෙන ගන්නවා.අපි අප්ඩේට් වෙන්න ඕන. එහෙම නැතුව අපිට මේ ක්ෂේත්‍රය තුල  ඉදිරි ගමනක් ගැන බලාපොරොත්තු වෙන්න බෑ. ඉතින් අපිට ලොකු අඩුපාඩුවක්  සහ ලොකු ප්‍රශ්නයක් අපේ ක්ෂේත්‍රයට අධිකාරියක් නැති එක.

ඔබේ සමාජ සේවා වැඩ කටයුතු ගැනත් කෙටියෙන් දැනගන්න කැමතියි?

මිස් ශ්‍රී ලංකා වුනාට පස්සේ මට සමාජ සේවා වැඩ කටයුතු වලට නිරත වෙන්න සිදුවුණා. ඒ වගේම මගෙත් හිතේ ලොකු ආශාවක් කැමැත්තක් තිබුණා මේ සමාජයට යම් කාර්යභාරයක් මගෙන් සිදු විය යුතුයි කියලා. ඉතින් ඒ අනුව රූපලාවන්‍ය ක්ෂේත්‍රයට ආවට පස්සෙත් අපි ඒ විවිධ සංවිධාන හරහා සමාජ සේවා වැඩකටයුතු රාශියක් සිදු කළා. විශේෂයෙන්ම මීගමුව බන්ධනාගාරය තුළ සමාජ කාර්යය භාරයයන්  ගණනාවක්ම අපි සිදු කළා. විශේෂයෙන්ම බන්ධනාගාර රෝහලට අවශ්‍ය කරන ඒ ඇඳන් අපි සමහර පිටරට සංවිධානත් එක්ක කතා කරලා ඒවා හුගක් මෙහාට පරිත්‍යාග කෙරුවා.  ඒ වගේම තවත් වැඩසටහන් ගණනාවක් අපි බන්ධනාගාරය තුළ සිදු කෙරුවා.

ඔහොම ඉන්න අතරතුරේ මට කොළඹ සොන්ටා (ZONTA) ක්ලබ් එකෙන් කතා කෙරුවා, කතා කරලා ඇහැව්වා කැමති ද සොන්ටා ක්ලබ් එකේ මීගමුව බ්‍රාන්ච් එකක් ආරම්භ කරන්න කියලා. සොන්ටා ක්ලබ් කියල කියන්නේ ජාත්‍යන්තර කාන්තා සංවිධානයක්. ඒ කාන්තා සංවිධානයේ හුඟක්ම හිටියේ විවිධ වෘත්තීන් තුළ නියැලුණු කාන්තාවෝ. ඉතින් මම මීගමුවේ සොන්ටා ක්ලබ් එක පිහිටවලා එහි සභාපතිනි වුනා. අපි විවිධ විවිධ වැඩසටහන් කෙරුවා. එකාලේ මේ එල්ටීටීඊ ප්‍රශ්නෙත් තිබුණා ලංකාවේ .

ඒ කාලේ  එක්තරා නත්තලකට අපි වැඩසටහනක් කෙරුවා එල්ටීටීඊ එකේ හිටපු සහ ඒ වෙද්දි පුණ්රුත්තාපනයට අරගෙන තිබුණු එල්ටීටීඊ තරුණියන් පිරිසක් එකතු කරගෙන මිත්‍රත්වය සහෝදරත්වය ආදී සම්බන්ධතාවයන් ගොඩනැගීම අරමුණු කරගෙන. ඉතින් ඒකෙදි එල්ටීටීඊ ය සඳහා යුද්ධයට සක්‍රීයව දායක වුණු  මරාගෙන මැරෙන ළමයින් පවා ඒ පුණ්රුත්තාපනය කරපු අයව අපි මීගමුවට ගෙනල්ලා නත්තලට සාදයක් පවත්වලා ඒ අයට තෑගි දීලා එයාලව සතුටු කරලා, ඒ වගේම අපේ සැලොන් එකට ගෙනල්ලා එයාලව ලස්සන කරලා. එයාලා සමඟ  අපේ තරහවක් නැති බව අපි පෙන්නුවා. එයාලට අපිව පෙනුනෙත් හතුරෝ විදිහට. අපිට එයාලාව  පෙනුනෙත් හතුරෝ විදිහට. ඉතින් එයාලා හරි රළු ගති පැවතුම් තියෙන අයනේ. එයාලගේ මානසිකත්වය හැදිලා තිබුණේ රළු විදිහටනේ. නමුත් එදා අපෙන් සමු අරගෙන යද්දි එයාලගේ ඇස්වලින් කඳුළු කඩා හැලුනා. ඒ වගේ සබැඳියාවන් ගොඩනැගීමේ වැඩසටහන්  ගොඩක් සොන්ටා ක්ලබ් එක හරහා අපි කෙරුවා. ඉතින් තවමත් මම විවිධ විවිධ සංවිධාන හරහා  සමාජ සේවා කටයුතුවල නිරත වෙනවා.

සම ඉක්මනින්ම සුදු පැහැ වන බව පැවසෙන රූපලාවන්‍ය ආලේපනයන් පිලිබඳව ශිල්පිනියක් විදිහට සමාජයේ පවතින විශේෂයෙන්ම තරුණ කාන්තාවන් අතර පවතින මේ නව ප්‍රවණතාවය ගැන මොකක්ද ඔබේ අදහස ?

ඉක්මනට සුදු වීම එහෙම නැත්නම් ඔය වයිට්නින්  කියන දේ ගැන ඉස්සෙල්ලාම මාධ්‍යයට ගිහින් කතාකරුවෙ මම. එහෙම මම ගිහින් මාධ්‍ය ඉදිරියේ කතා කරපුවහම සමහර අය කිව්වේ මට පිස්සු කියලා.  අද ගාලා හෙට උදේ වෙද්දි සම සුදු කරන විවිධ රූපලාවන්‍ය ආලේපන වර්ග තියෙනවා.හැබැයි ඒවාඅතිශය පිළිකාකාරක විසද්‍රව්‍ය වලින් පිරිලා තියෙන්නේ. මම ඒකයි හැමතිස්සේම කියන්නේ මේ රූපලාවන්‍ය ගැන උගන්වන අය කරුනු කාරනා ගැන හරියට දැනුවත්භාවයක් නැතිවයි උගන්වන්නේ කියලා. අපේ ශරීරයක සාමාන්‍යයෙන් තියෙන සෛල තට්ටු  දින 28ක්  යනවා එළියට තල්ලු වෙලා එන්න. අද ගාලා හෙට සුදු වෙන්න පුළුවන් පාස්ට් ෆෝවර්ඞි සෛල තට්ටු ගෙන්නන්න දවසෙන් දෙකෙන් බැහැ .මාසයක් පමන යනවා ප්‍රතිඵල එන්න, හොඳ නිෂ්පාදනයක් ගෑවොත් සමහර වෙලාවට සම පැහැදිලි වෙන්න පුළුවන්. ඒත් දවසෙන් දෙකෙන් සුදු වෙන්න නම් බැහැ. එහෙම ඉක්මනින්ම සුදු මැලි සුදක් එනවා කියලා කියන්නේ එක්කෝ රසදිය නැත්නම් අධික ලෙස හයි⁣ඩ්‍රෝ කි්‍යු නෝට් පෝජික් ඇසිඩ්  වැඩි සාන්ද්‍රණයක් ඒකට මිශ්‍ර කරලා තියෙනවා

ඒවා දාන්ඩ පුළුවන් ප්‍රතිශතයක් තියෙනවා. දැන් රසදිය නම් කොහොමත්ම දාන්න බැහැ.හයිඩ්‍ෆිනෝන් දාන්න පුළුවන් සීයට දෙකක් ( 2% )   පමන ප්‍රමාණයක් විතරයි. ෆෝර්ජික් ඇසිඩ් බොහොම සුළු ප්‍රමාණයයි තිබිය යුතු වන්නේ .  ඉතින් ඔය කෘතිම දේවල් එහෙම නැත්නම් කෙමිකල්ස් වැඩිපුර දාලා හදන  රූපලාවන්‍ය ආලේපන වර්ග  දැන් වෙළඳපොලේ තියෙනවා. ඉතින් ඉක්මනින් ඇඟ සුදු වෙනවා කියන ඔය ආලේපන සෑම දෙයක්ම ශරීරයට ඉතා අහිතකර කෘතිම රසායනික ද්‍රව්‍ය  වලින් තමයි බොහෝමයක් හදලා තියෙන්නේ.

ඔබ මීගමුට ඇවිල්ල දශක දෙකකටත් වැඩි කාලයක් මේ වෙද්දි ගෙවිලා ගිහිල්ලා. ඇත්තටම මීගමුව නගරය ගැන මොකක්ද ඔබේ අදහස ?.

දැන් මීගමුවට අමතරව මගේ සැලොන් එකේ ශාඛා තියෙනවා ජාඇල සහ මොරටුවේ. හැබැයි මේ කොහේ  මගේ ශාඛා තිබුනත් මගේ ව්‍යාපාරික කටයුතු මම මෙහෙය වෙන්නේ මේ මීගමුවේ ඉඳලා. මීගමුවේ නැති දෙයක් නැහැනේ.ඇත්තටම කියනවා නම් මීගමුව කියලා කියන්නේ එක අතකින් සුරපුරයක් කියලයි මට හිතෙන්නේ. දැන් බලන්න අර සංචාරක හෝටල් තියෙන පැත්තට ගියාම, ඒ පැත්තෙ නැති දෙයක් නෑනේ.රෙස්ටුරන්ට්, හෝටල් ගෙස්ට් හවුස් ඉතින් මීගමුව කියලා කියන්නේ මට නම් ඇත්තටම සුපිරි නගරයක්. මේ නගරය තුළ. හරියට දැනගෙන මේ නගරය ඇතුලේ බිස්නස් එකක් පටන් ගත්තොත් එක කවදාක්වත් කඩාකප්පල් වෙන්නෙ නෑ. ඒ ව්‍යාපාරය හොඳින් කරගෙන ගිහින් හොඳ ආදායමකුත් ලබාගෙන  හොඳින් දියුණු වෙන්න පුළුවන්.ඒ වගේ ව්‍යාපාර කරන්න පුළුවන් හොඳ සුපිරි නගරයක් තමයි  මීගමුව කියලා කියන්නේ. මගේ ව්‍යාපාර තුළ මම ලංකාවේ කොයි පළාත් තුළ සලෝන් ආයතන විවෘත කළත්. මම නම් මීගමුව දාලා යන්නේ නෑ.

සාකච්ඡා සටහන  – තුෂාර රොහාන්

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here